Menu Close

කෝවිඩ් වලට අඩුවෙන්ම බය කවුද?

කෝවිඩ් වෛරසය තවමත් ජයටම පැතිරෙනවා. ඊයේ දිනයේ ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකකට වඩා හමු වුනා. එය අලුත් වාර්තාවක්. අනෙක් බටහිර රටවල් බොහොමයක රෝගය පැතිරීම මේ වන විට පාලනය වී ඇතත් ඇමරිකාවෙන් දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යනවා. ඊයේ දිනය තුළ පමණක් අලුත් රෝගීන් 57,236 දෙනෙකු හඳුනා ගැනුණා. ඇමරිකා එක්සත් ජනපදය හැරුණු විට දකුණු ඇමරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, චිලී හා මෙක්සිකෝව යන රට වලත්, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලා දේශය යන රටවලත්, දකුණු අප්‍රිකාවේත්, සවුදි අරාබියේත් මේ වන විට ඉතා වේගවත් රෝග ව්‍යාප්තියක් දැකිය හැකියි.

ඇමරිකා එක්සත් ජනපදයෙන් විශාල ලෙස රෝගීන් හමු වීමට පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව වැඩි පරීක්ෂාවන් ප්‍රමාණයක් සිදු වීමද හේතු වී ඇතත් එය එකම හේතුව නොවන බව පැහැදිලියි. රට විවෘත කිරීමෙන් පසුව රෝග ව්‍යාප්තිය නැවත ඉහළ ගොස් තිබෙනවා. මුල් අදියරේදී සෑහෙන තරමින් ජනප්‍රිය වූ රට වසා තැබීමේ අදහස මේ වන විට දේශපාලනිකව පරාජය වී ඇති බැවින් ඉදිරි සති වලදී ඇමරිකාවෙන් දිනකට හමුවන රෝගීන් ගණන ටිකෙන් ටික ඉහළ යයි. ඇමරිකාවෙන් දිනකට කෝවිඩ් රෝගීන් ලක්ෂයක් හමු වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

කෝවිඩ් හමුවේ ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය වුනේ සෞඛ්‍ය අර්බුදය හා ඒ මත පාදක වූ ආර්ථික අර්බුදය එක් තනි අර්බුදයක් ලෙස සලකමින් කළමණාකරණය කිරීමයි. මෙහිදී බලයේ සිටින රිපබ්ලිකන් පක්ෂය ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම කෙරෙහි සැලකිය යුතු බරක් දැම්මා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති හරහා මෙවර සිදු කළ ආර්ථික ප්‍රසාරණය පෙර නොවූ විරූ තරමේ එකක්. අප්‍රේල් මාසයේදී 14.7% මට්ටම දක්වා ඉහළ ගිය ඇමරිකාවේ විරැකියා අනුපාතය, මැයි මාසයේ 13.3% දක්වාත්, ජූනි මාසයේ 11.1% දක්වාත් අඩු වීමෙන් පෙනෙන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලින් ක්ෂණික ප්‍රතිඵල ලැබී ඇති බවයි.

පසුගිය ආර්ථික අවපාතයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය 10.0% දක්වා ඉහළ ගියා. ඒ 2009 සැප්තැම්බරයේදී. එහෙත්, ඉන්පසුව ඇමරිකන් ආර්ථිකය ක්‍රමයෙන් හිස ඔසොවද්දී විරැකියා අනුපාතයද දිගින් දිගටම ක්‍රමයෙන් පහළ ගියා. කෝවිඩ් අර්බුදය පැමිණෙන්නට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය තිබුණේ 3.5% තරම් පහළ මට්ටමකයි. එය වසර පණහක කාලයක් තුළ දැකිය හැකි වූ හොඳම තත්ත්වයක්. කෝවිඩ් ආක්‍රමණයත් සමඟ දෙමසක් ඇතුළත ඇමරිකාවේ වසර පණහක අවම විරැකියා අනුපාතය වසර පණහක උපරිම විරැකියා අනුපාතය බවට පත් වුනා.

කෝවිඩ් කම්පනයෙන් පසුව ආර්ථිකය නැවත සකස් වීමේදී කිසියම් ආකෘතිමය වෙනස්කමක්ද සිදු වෙමින් තිබෙන බව පෙනෙනවා. උදාහරණයක් විදිහට රැකියා අහිමි වූ සුදු ඇමරිකානුවන්ට නැවත රැකියා ලැබෙන තරම්ම ඉක්මණින් රැකියා අහිමි වූ ආසියානු ඇමරිකානුවන්ට රැකියා ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජීවත්වන ආසියානු ඇමරිකානුවන්ගේ විරැකියා අනුපාතය සුදු ඇමරිකානුවන්ද ඇතුළු අනෙකුත් සියලුම වාර්ගිකයින්ගේ විරැකියා අනුපාතයට වඩා අඩුයි. මෙය වසර 15ක පමණ සිට දැකිය හැකි වූ තත්ත්වයක්. පසුගිය පෙබරවාරි වන විට පැවතුණේ මෙවැනි තත්ත්වයක්.

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය – 3.1%
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය – 5.8%
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය – 2.5%
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය – 4.4%

අප්‍රේල් මාසය වෙද්දී තත්ත්වය මෙහෙමයි. (වරහන් ඇතුළේ තිබෙන්නේ වෙනස් වීම)

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය – 14.2% (11.1%)
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය – 16.7% (10.9%)
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය – 14.5% (12.0%)
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය – 18.9% (14.5%)

දැන් ජූනි වෙද්දී තත්ත්වය මෙහෙමයි.

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය – 10.1% (7.0%)
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය – 15.4% (9.6%)
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය – 13.8% (11.3%)
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය – 14.5% (11.1%)

ප්‍රතිශතයක් ලෙස ගත්තොත් පෙබරවාරි-ජූනි කාලය ඇතුළත රැකියා වැඩිපුරම අහිමි වී තිබෙන්නේ ආසියානු ඇමරිකානුවන්ගේ. එයට හේතුව ඔවුන් ආසියානු ඇමරිකානුවන් වීමම නොවෙන්න පුළුවන්. ආසියානු ඇමරිකානුවන් සුදු ඇමරිකානුවන්ට වඩා කෝවිඩ් ගැන සැලකිලිමත් වීමත් මෙයට හේතුවක්ද?

මේ ආකාරයෙන්ම පිරිමින්ගේ හා කාන්තාවන්ගේ රැකියා අහිමිවීම් හා නැවත ලැබීම් වලද වෙනසක් දැකිය හැකියි. පෙබරවාරි මාසයේදී අවුරුදු 20ට වැඩි ඇමරිකානු පිරිමින්ගේ විරැකියා අනුපාතය 3.3%ක් වෙද්දී අවුරුදු 20ට වැඩි ඇමරිකානු ගැහැණුන්ගේ  විරැකියා අනුපාතය තිබුණේ 3.1% මට්ටමේ. එහෙත් ජූනි මාසය වෙද්දී ඇමරිකානු පිරිමින්ගේ විරැකියා අනුපාතය 10.2%ක් වන විට ඇමරිකානු ගැහැණුන්ගේ  විරැකියා අනුපාතය 11.2%ක් වෙලා. පසුගිය ආර්ථික අවපාතයෙන් පසුව දැකිය හැකි වුනේ මෙහි අනෙක් පැත්තයි.

පශ්චාත් කෝවිඩ් ඇමරිකානු ශ්‍රම වෙළඳපොළ නැවත සකස් වෙන්නේ සුදු පිරිමින්ගේ වාසියටද? එහෙම නැත්නම් කෝවිඩ් පැතිරෙද්දී බය නැතිව රැකියා සොයාගෙන යන්නේ සුදු පිරිමින්ද?

(Image: https://www.france24.com/en/20200416-usa-donald-trump-coronavirus-covid-19-lockdown-reopen-economy-social-distancing)

%d bloggers like this: