Menu Close

නිදහස් අධ්‍යාපනයට මොර දෙන බොරුකාරයෝ

ලංකාදීප, ජූලි 1, 2020, 4 වන පිටුව

සුජාතා ගමගේ සමග සාකච්ඡා කළේ – චමින්ද මුණසිංහ

ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විවාදාත්මක අදහස් බොහෝය. විටෙක මාතෘකාව පෞද්ගලික අධ්‍යාපනයයි. තවත් විටෙක සරසවි අධ්‍යාපනයයි. 1944 දී කන්නන්ගර වාර්තාව පළවන විටත් ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ පිළිවෙතක් තිබුණි. ඒ අනුව සෑම කෙනකුටම ස්වභාෂාවෙන් නොමිලේ අධ්‍යාපනයට දොරටු  විවරව පැවතියේය. සුද්දන්ගේ කාලයේද එය එලෙසය. එහෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබන අධ්‍යාපනයට මුදල් ගෙවීමට සිදුවිය. කන්නන්ගර ප්‍රතිපත්තියෙන් කළේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයද නොමිලේ ලබාදීමය. ඒ වගේම  ප්‍රධාන නගරවලට සීමාවී පැවැති ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සෑම දිස්ත්‍රික්කයකටම ගෙනයාමද එමගින් සිදුවූණි. මධ්‍ය විද්‍යාල පනස් දෙකක් ආරම්භ කළේය. ග්‍රාමීය දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම මෙහි අරමුණ වී තිබුණි. ඒ අනුව බලන විට සෑහෙන  කලක් ගතකර අප පැමිණ සිටින්නේ සුද්දන්ගේ කාලයේ පැවැති තත්ත්වයටමය. අද නොමිලේ අධ්‍යාපනය සිංහලෙන් ලබාගත හැකිය. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමට පෞද්ගලික අංශයට යා යුතුය.

පාසල්වල ඉංග්‍රීසි උගන්වන බව සැබෑය. ඉංග්‍රීසි ගුරුවරු අපේ පාසල්වල සිටිති. එහෙත් ඔවුන්ට ඉංග්‍රීසි  පුළුවන්දැයි  ප්‍රශ්නයකි. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි සමත්වූ පමණින් පාසල්වල එම විෂය උගැන්විය නොහැක. මේ අයට ඉංග්‍රීසි කතා කිරීමට නොහැක.  ඒ වගේම මේ අය ඉංග්‍රීසි පොත පත කියවන්නේ නැත. අද පවතින්නේ ස්වභාෂාවෙන් නොමිලේ අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයකි. ඒ වගේම මුදල් ගෙවීමට හැකි අයට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සීමා වීමකි. නැතිනම් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන පිරිසටද සීමාවීමය. පහළ මාධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ද ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කරන්නේ ඉංග්‍රීසි  උගැන්වීමේ අරමුණෙනි. එහෙත් එහි ප්‍රතිඵල කොතරම් සාර්ථකද? වසර අසූවකට පසුවත් සුද්දන්ගේ කාලයේ තැනම සිටීම කනගාටුවට කරුණකි.

එදා සිටි අය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූහ. මධ්‍ය විද්‍යාලවලින් ඒ අවස්ථාව උදාකරගත් පිරිස  බෙහෙවින්ම  ඉහළය. නිවසේ ඉංග්‍රීසි පරිසරයක් නැති පවුල්වල අය පවා මෙම පාසල්වලින් සාර්ථකව ඉංග්‍රීසි උගත්තෝය.  එදා එම පාසල්වල ඉංග්‍රීසි ගුරුවරු සිටියහ. එසේ නම් අපට වැරැදී ඇත්තේ කොතැනද? දියුණුවන රටක් හැටියට අප අපේ සීමාව දත යුතුය. එදා මේ පහසුකම් පැවැතියේ ග්‍රාමීය පාසල් පනස්  ගණනක පමණි. අධ්‍යාපනය මහා පරිමාණව ව්‍යාප්ත වුවද එයට සරිලන පරිදි අවශ්‍ය කටයුතු කිරීමේ හැකියාව තිබුණාද? දැන් සෑම කෙනකුගේම අරමුණ එකකි. එනම් තම දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමය. අධ්‍යාපනය ප්‍රභූ අයට පමණක් සීමා කළ යුගය අවසන්ය. මේ රටේ ඵලදායිතාව අඩුය. එවන් රටකට කළ හැකි වියදම් සීමා සහිතය. අපේ අධ්‍යාපනය මහා පරිමාණකරණය වුවද එයට සරිලන ආයෝජනය කිරීමට හැකිව නැත. ඉංග්‍රීසි උගත් පවුල්වල කාන්තාවෝ එදා ගුරු වෘත්තියට ගියහ.  දැන් එවන් තත්ත්වයක් නැත. ඔවුනට වෙනත් අවස්ථා තිබේ. ඉංග්‍රීසී චතුර කුසලතාව ඇති අයත් අනෙක් පිරිසත් සමාජයේ කොටස් දෙකකි. මේ දෙක අතර වෙනස මහා ප්‍රපාතයක් තරම්ය.  මේ අංශ දෙක සම්බන්ධ කිරීමට නම් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත. ඒ වෙනුවෙන් යම් යම් වැඩ සටහන් ආරම්භ වුවද ඒවායේ ප්‍රතිඵල පෙනෙන්නට නැත. බාල කාටුන්වලට හඬ කවා පෙන්නුවද ඉංග්‍රීසි අධ්‍යාපනය නැංවිය හැකි කාටුන්වත් විකාශය කෙරෙන්නේ නැත. අධ්‍යාපනයේ එදා පැවති ඇතැම් පුරුක් කැඩී ගොසිනි. හැකියාව ඇති අය වෙනුවට නොහැකියාව පිරි අය ක්ෂේත්‍රයට අවතීර්ණව සිටීමද ප්‍රශ්නයකි.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට බණ්ඩාරනායක මහතා පියවර ගත්තේය. මෙය මෙරට අධ්‍යාපනයට ගළපා විවිධ අර්ථ දක්වති. මෙතැනදී රටක් වශයෙන් අප වරද්දා ගත්තා දැයි ප්‍රශ්නයක් මතුවන්නට පුළුවන. මවු බසෙන් අධ්‍යාපනය ලබාදීමේ වරදක් නැත. වරද්දා  ගත්තේ  සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාවිතය අතහැර  දැමීමය. ඉංග්‍රීසි භාවිත නොකිරීම විශ්වවිද්‍යාල උප  සංස්කෘතියේ එක් කොටසකි. ඒ ආකාරයට සමාජය අන්තයකට ගෙනයාමක්  සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් සිදුවූ බව පැහැදිලිය. එදා ඉදිරියට ගත් පංච මහා බලවේගය මෙයට බලපෑවා විය හැකිය. මේ අයට සමාජයේ අනෙක් කොටස් සමග තිබුණේ වෛරයකි. අප්‍රසාදයකි. ජීවත්වීමේ ඉංග්‍රීසි රටාව පිළිකෙව් කළ ආකාරයටම ඉංග්‍රීසි භාෂාවද අතහැර දැම්මේය. එය ලොකු පාඩුවකි. කළ වැරැද්දකි.  එනිසා යථාර්ථවාදීව කළ යුතු වැඩ රාශියක් තිබේ. පෙළ පොත් සමහරක් හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීම ප්‍රයෝජනවත් විය හැකිය.

පෞද්ගලික පාසල් රජයට පවරා ගත්තේය. කන්නන්ගර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම ආරම්භ වූ කාලයේද පෞද්ගලික මට්ටමෙන් පාසල් පවත්වාගෙන යාමට ඉඩ දුන්නේය. කන්නන්ගර ප්‍රතිපත්තියෙන් අපේක්ෂා කළේ විවිධ වර්ගයේ පාසල් නොතිබිය යුතුය යන මතය තහවුරු කිරීමය. එහෙත් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව හැට ගණන්වලදී පනතක් මගින් පෞද්ගලික පාසල්  පවරා ගත්තේය.  පෞද්ගලික පාසල් තිබිය නොහැකි යන  දැඩි මතයක පිහිටා එම පාලනය කටයුතු කළේය. එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නැත. විශේෂයෙන්ම  කතෝලික ප්‍රජාවෙන් දැඩි විරෝධයක් එල්ල වුණි. මේ නිසා යම් පසුබෑමක් ඇති වුණි.

එක් එක් වර්ගයේ පාසල් අවශ්‍ය නැති බව එදා ප්‍රතිපත්තිය වුවත් අද ඒ සම්බන්ධව යළි සිතා බැලිය යුතුය. හෙට දවසේ අවශ්‍ය දේ  අපි නොදනිමු. සෑම දිනකම එක අච්චුවක සිරවී සිටීම අවශ්‍ය නැත. එහෙත් දිගටම ගමන් කරන්නේ එක අච්චුවකි. මේ සංකල්පයෙන් බැහැරවීමට යම් යම් ක්‍රම යෙදීම හේතුවෙන් ජාත්‍යන්තර පාසල් ආරම්භ වී තිබේ. එයත් හරියට ‘‘චැනලින්’’ හා සමානය. පෞද්ගලික අධ්‍යාපනය අද පවතින්නේ ‘‘රිලීෆ් වෑල් එකක්’’ හැටියටය. ලංකාවේ සියලු දෙනාට පෞද්ගලික අධ්‍යාපනය ලැබීමේ හැකියාවක් නැත. එයද වටහාගත යුතුය.

රටක සංවර්ධනයට සියයට සියයක් බලපාන්නේ හොඳ පාසල් අධ්‍යාපනයකි. උසස් අධ්‍යාපනයෙන් රටක සංවර්ධනයට බලපෑමක් නැති  බව පර් යේෂණ පෙන්වා  දී තිබේ. එයින් ලැබෙන්නේ පෞද්ගලික වාසිය. 1970 ගණන්වල දකුණු කොරියාව පාසල් අධ්‍යාපනයට කළ ආයෝජනයෙන් ලොකු පිම්මක් පැන්නේය. උසස් අධ්‍යාපනයට පිවිසෙන  පිරිස වැඩි වන්නේ ආර්ථිකය දියුණුවීම හේතුවෙනි. අධ්‍යාපනයේද යම් උද්ධමනයක් තිබේ.  අල්ලපු ගෙදර ළමයා උපාධියක් ලබාගන්නා විට  අනෙක් ගෙදර  කෙනාද බලන්නේ තම දරුවාටද එවන් අවස්ථා විවර කරදීමටය.

අපේ රටේ පෞද්ගලික අධ්‍යාපන ප්‍රතිපත්ති දෙකකි. එයින් එකක් කුහකය. අනෙක මෝඩය. පාසල් අධ්‍යාපනය විභාග කේන්ද්‍රීය නිසා එය පෞද්ගලික උපකාරක පන්තිවලට යටකර දමා තිබේ. දහය, එකොළහ පන්තිවල සියයට අනූවක් කාලය ගත කරන්නේ විෂය නවයක් උගැන්වීමටය. එහෙත් පාසලක තිබිය යුත්තේ සාකල්‍ය විෂය මාලාවකි. විෂය බාහිර, විෂය සමගාමීව උගෙන ගන්නා පොදු කුසලතා වර්ධනය  කෙරෙන පසුබිමක් තිබිය යුතුය. විෂය රාමුවකට කොටුවන දරුවන්ට පොදු කුසලතා ලබාගැනීමට වෙලාවක් නැත. එහෙත් පෞද්ගලික පාසල්වල කාලය යොමුකරන්නේ දරුවන්ගේ කුසලතා වර්ධනයටය. කුසලතා ලබාදීමටය. කෙසේ වුවත්  අධ්‍යාපන රටාව සකසා තිබෙන්නේ සම්පූර්ණයෙන් උපකාරක පන්තිවල ග්‍රහණයට දරුවන් හසුවන  ආකාරයටය. සාකල්‍ය අධ්‍යාපනයට දරුවන් යොමුකළ යුතු කාලයේ එය කරන්නේ නැත. මෙය රටක් හැටියටම වරද්දා ගන්නා කාරණයකි. යථාර්ථය එයයි.

සෑම වසරකම පාහේ වයස 18 සම්පූර්ණ කරන පිරිස 3,60,000ක් පමණය. ඇතැම් විට මෙය මේ වනවිට තවත් වැඩිවී  තිබිය හැකිය. මේ  පිරිසෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ තිස් දහසක් පමණය. මේ වයස් කාණ්ඩය ගත්විට නොමිලේ අධ්‍යාපනයක් ලබා දෙන්නේ සියයට  හතකට පමණය. ඉතිරි සියයට අනු තුනම උපාධියක් ගැනීමට  අවශ්‍ය නම් එය කර ගන්නේ කෙසේද?නිදහස් අධ්‍යාපනය කියමින් එක් කොටසකට ඇති පෞද්ගලික ඉඩකඩ අහුරා තිබේ. හැකියාව ඇති අයට පෞද්ගලික අධ්‍යාපනයට ඉඩදිය යුතුය. අවශ්‍ය තැනදී පෞද්ගලික අධ්‍යාපනයට ඇති ඉඩ අහුරන අතර අනවශ්‍ය නැතිනම් ළමයින්ට හානිකර උපකාර පන්ති අධ්‍යාපනයට ඉනිමං බැඳ තිබේ.

බලයට පත්වන ආණ්ඩු ජනතාවට ඇත්ත  කියන්නේ නැත. ආදායම ට්‍රිලියන දෙකකි. වියදම ට්‍රිලියන හතරකි. යැපෙන්නේ ණය ගැනීමෙනි. එදාවේල පිරිමසා ගන්නේ ණයෙනි. එනිසා තවදුරටත් බොරු නොකළ යුතුය. සැමට උපාධි ලබාදෙන කතා ඇත්තටම ප්‍රායෝගිකද? තෘතීය අධ්‍යාපනය අභිමත කාරණාවකි. මෙතැනදී පෞද්ගලික අංශයට ඉඩදිය යුතුය. පාසල් අධ්‍යාපනයට උපකාරක පන්ති අවශ්‍ය නොවන ආකාරයට ළමයින්ට සාකල්‍ය අධ්‍යාපනයක් ලැබෙන ආකාරයට සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් කළ යුතුය. වැඩි ආයෝජනයක් යොමුවිය යුත්තේ ඒ වෙනුවෙනි. වයස අවුරුදු 18ක් වනවිට ජීවිතයට සුදානම් තරුණ පරපුරක් බිහිකළ හැකි නම් ඉදිරිය ඔවුන් බලාගනු ඇත. එහෙත්  දැන් කරන්නේ 3,60,000කින් සියයට හතක් තෝරාගෙන ඒ අයට තෘතීය අධ්‍යාපනය ලබාදීමය. ඉතිරි සියයට 93 සම්බන්ධ ප්‍රතිපත්තිය කුමක්ද? මෙවන් තැනකට රට තල්ලු වී ඇත්තේ ඇයි දැයි ගැඹුරින් විමසා බැලිය යුතුය.

පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹා අධ්‍යාපනයට ඉඩදීමට යම් යම් කාලවල උත්සාහ කළද විරෝධතා හමුවේ ඒ යටපත්වූ අවස්ථා දැකගත හැකිය. මේවාට මැදිහත්වන්නේ විවිධ දේශපාලන අධිකාරිය. කෙළින්ම කියනවා නම් එ.ජා.ප. ආණ්ඩුවලට ඇත්තේ බියගුලු බවය. අනෙක් අයට ඇත්තේ කුහකකමය. තමන්ගේ දරුවන්ට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනය ලබා දුන්නද සාමාන්‍ය ජනයාට කියන්නේ වෙනත් කතාවකි. එහෙත් කවුරු හෝ නිවැරැදි තීරණය ගත යුතුය. පෞද්ගලික ආයතනවලට විරුද්ධව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යැයි කියමින් කරන පුස් බොරුව, කුහක අරගලය සමාජයට නිරාවරණය කිරීම අත්‍යවශ්‍යය. සෑම කෙනකුටම වයස 18න් පසුව යම් අධ්‍යාපන පුහුණු අවස්ථා ලැබිය යුතුය. එසේ නැතිව වරප්‍රසාදිත කොටසක් බිහිකිරීම නිදහස් අධ්‍යාපනය නොවේ. තෘතීය අධ්‍යාපනය සඳහා  මේ රටේ තිබෙන්නේ වරප්‍රසාදිත අධ්‍යාපනයකි. මෙසේ වී තිබෙන්නේ වගකිව යුත්තන් එදා ගත් තීන්දු තීරණ නිසාය. අසාධාරණ විභාග ක්‍රමයකින් සියයට හතක් තෝරා ගෙන ඔවුනට වරප්‍රසාද දෙන ක්‍රමය වෙනස් කළ යුතුය.

දේශපාලන ඕනෑ එපා කම් නිසා අධ්‍යාපනයේ මූලික ප්‍රශ්නයට කිසිවකු අත ගසන්නේ නැත. විවාදාත්මක කාරණාවලට නොගොස් යමක් කිරීමේ වුවමනාව අධ්‍යාපන ඇමැතිවරුන්ට  තිබූ බව සැබෑවකි. උසස් අධ්‍යාපන ප්‍රශ්න සම්පූර්ණයෙන්ම පාහේ අතහැර දමා තිබේ. ශිෂ්‍ය  ව්‍යාපාරයෙන් ඊට අවශ්‍ය ආවරණය ලැබී තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධ කාරණය සම්පූර්ණයෙන් ශිෂ්‍ය ව්‍යාපාරයට බාරදී දේශපාලනඥයෝ පසෙකට වී සිටිති. ශිෂ්‍ය ව්‍යාපාර ගෙනයන විරෝධයට පටහැනිව කිසිවකු කතා කරන්නේ නැත. උපාධි ලබාගැනීමේ අවශ්‍යතාව ඇති පිරිස අති විශාලය. මේ අයට අවස්ථාව අහිමි කිරීම කොතරම් අසාධාරණද? පැහැදිලිවම මේ විරෝධතා ගොඩනගන්නේ දේශපාලන  වුවමනාව වෙනුවෙනි. වගකිව යුතු දේශපාලන අධිකාරි පවා මේ දෙබරයට අත ගසන්නේ නැත. පාසල් අධ්‍යාපනයේ විභාග කේන්ද්‍රිය අධ්‍යාපනය වෙනස් කිරීමට යම් සාධනීය ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පැවතීම අගැයිය යුතුය.

ඒ ඒ දේශපාලන පක්ෂ බලයට  එන්නේ යම් දේශපාලන චින්තනයක් ඇතිවය. එය ක්‍රියාවට නැංවීමේ හැකියාව ඔවුන්  සතුවිය යුතුය. එහෙත්  වෙනස් නොවිය යුතු දේ තිබේ. අධ්‍යාපන සාධන රාමුවක් තිබිය යුතුය. සිංගප්පූරුවේ එවන් රාමුවක් තිබේ. වසර අටක්  ගිය තැන ලැබෙන සහතිකය කුමක්ද? වසර 11ක් පාසලේ සිටිවිට ලැබෙන්නේ කුමන සහතිකයක්ද? 13 වැනි වසරෙන් පසු තමන්ට ගමන් කළ හැකිවන්නේ කොතැනටද යනාදිය ගැන යම් රාමුවක් අවශ්‍යය. වයස 18 සපුරන අයගෙන් කී  දෙනකු යොමුවුවාද යන දත්ත එරට තිබේ. මේ පසුබිමේ ගමන්කළ යුතු මඟ තෝරා ගැනීම පහසුය. එක් ධාරාවකින් වෙනත් ධාරාවකට පහසුවෙන් මාරුවීමට පුළුවන. මේ මේ පාඨමාලාවලින් මේ මේ තැන්වලට ගිය හැකි බව ලකුණු කර තිබේ. එහෙත් මෙරට පාසල් අධ්‍යාපනයේදී කෙරෙන්නේ එය අවසන් වන දරුවන් අතහැර දැමීමය. සුළු පිරිසක් පමණක් තෝරාගෙන ඒ අයට වරප්‍රසාද දීම අසාධාරණය – ඉතිරි අය යන්නේ කොතැනටදැයි ප්‍රශ්නයකි. මෙය මහා නාස්තියකි. ආණ්ඩු වෙනස් වනවිට වෙනස් නොවන ක්‍රමවේදයක් සකසාගත යුතුය. එයට සිංගප්පුරු ආදර්ශය තිබේ. අධ්‍යයන සාධක රාමුවක් තිබේ නම් බොහෝ ගැටලු විසඳා ගැනීමට ඉඩ තිබුණි. එවන් රාමුවක් නැතිවීමේ අඩුවක් අපට තිබේ.

අධ්‍යාපනයේ වෙනසක්, පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අරඹන විට එයට විරුද්ධව යම් චින්තනධාරී පිරිසක් රටම අවුස්සන ආකාරය ඉතිහාසය පුරා අපි  දුටුවෙමු. මේවාට වගකිව යුත්තේ කව්දැයි වීරමුණ්ඩ වාර්තාවේ පැහැදිලිව සටහන්ව තිබේ. එදා නම් ජ.වි.පෙ ය. අසූ ගණන්වල විශ්වවිද්‍යාලවල මර්දනය ක්‍රියාත්මක වූවේය. ජ.වි.පෙ වැඩි බලය අල්ලා ගත්තේ ඒ අනුවය. එහෙත් දැන් පෙරටුගාමීන් ය. ජ.වි.පෙ. කොටස් නැතුවා නොවේ. මේ අයට විශ්වවිද්‍යාලවලින් තොරව දේශපාලන පැවැත්මක් නොමැති තරම්ය. මේ අයට යන එන මං නැත. තිබෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය පමණි. මෙය වෙනස් කිරීමේ වුවමනාවක් අනෙක් අයට නැත. ඒ ඔවුන්ටද මේ කණ්ඩායම යම් ආකාරයකට ප්‍රයෝජනවත් වන නිසාය.

පැහැදිලිවම ඊනියා ශිෂ්‍ය ව්‍යාපාර කිඹුල් කඳුළු සලන්නේ සියයට හතක වරප්‍රසාදිත කොටස සම්බන්ධව පමණි. ඉතිරි සියයට 93  ගැන ඔවුනට කැක්කුමක් නැත. ඔවුන් කරන්නේ තම දේශපාලන චින්තනය රැකගැනීමට ඇති එකම භූමිය රැක ගැනීමය. විශ්වවිද්‍යාල නායකත්ව පවා මේවාට වගකිව යුතුය. එම නායකත්වයට මේවා වෙනස් කළ හැකිය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර මඟ නැවතී ඇත්තේ සුළුතර කණ්ඩායමක් නිසාය. එය ඉතා පැහැදිලිය. සෘජු තීරණ නොගැනීමේ ප්‍රතිවිපාක කොතරම් දැයි අමුතුවෙන් කිවයුතු නැත. මේවා නිසා වරදින්නේ රටටය. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ ගැනීමට බිය නොවිය යුතුය.

 

 

%d bloggers like this: