Menu Close

චන්ද්‍රා

එදා රාත්‍රියේත් හුළඟ අඹ අතු අස්සෙන් සර සර ගාගෙන හමායමින් තිබුණ. හුළඟේ හඬත්, ඉඳහිට රෑසියෙක් දෙන්නෙකුගෙ කීරිගෑමත්, මැඬියෙකුගෙ බුක් ගෑවිල්ලත් ඇරෙන්න වෙන කිසි සද්දයක් පරිසරයෙ තිබුණෙ නෑ. ටකරන් වහලෙ හිඩැසක් අතරින් අහසෙ අඩ හඳ පායා තියෙන හැටි චන්ද්‍රාවතීට පෙනුණ. හඳෙන් එක අර්ධයක් අඳුරට වැහිල තියෙද්දි අනෙක් අර්ධය ආලෝකය දිදී දිස්නෙ දෙනව. තමන්ගෙ ජීවිතේ කොයිතරම් අර්ධයක් අන්ධකාරෙට වැහිලද කියල චන්ද්‍රාවතී කල්පනා කරා. අවට පරිසරයෙ තිබුණෙ නිහඬ බවක් වුණත් තව ටිකකින් මෙතැන පහු කරන පොඩි මැණිකෙ කෝච්චියෙ සද්දෙට ඒ නිහඬ බව සීසීකඩව බිඳීයන්න නියමිතව තිබුණ. චන්ද්‍රා උන්නෙ රේල්පාර කිට්ටුවෙ තියන ගෙවල් පේළියෙන් එකක. ලෑලි වලින් වටකරල ටකරන් හෝ පොල් අතු හෙවිල්ලපු ගෙවල් යායෙන් රේල් පාරට ආසන්නවම තිබ්බෙ ඒ ගෙදර. රේල්පාර එතැනින් වංගුවක් අරගෙන මතුවුණ නිසා එතනින් ආව හැම කෝච්චියක්ම ආවෙ මහ හඬින් හූ සද්දෙ දී ගෙන. ඒ හැම වතාවෙම චන්ද්‍රා ට හිතුනෙ කෝච්චිය හූ කියන්නෙ එයාට කියල.
එතැන ඉඳන් හැමදාම වගේ මතකේ ඇඳෙන සිදුවීම් මාලාව සිතුවම් පටයක් වගේ ඇගෙ හිතේ ආයෙමත් මැවුණ.
චන්ද්‍රාවතී උන්නෙ මීට ගම් දෙකකට විතර ඈතින්. චන්ද්‍රා ගෙ තාත්ත කලේ ගොවිතැන. අම්මා උන්නෙ ගෙදර. චන්ද්‍රාට තව වැඩිමල් සහෝදරියක් හිටිය. පොඩි කාලෙ ඉඳන්ම පොත පතේ වැඩට මේ දෙන්නම දක්ෂකමක් පෙන්නුව. ඒ නිසාම ගමට පොඩ්ඩක් ඈතින් නගරෙ ඉස්කෝලෙට යන්න ඒ දෙන්නට පුලුවන්කමක් ලැබුණ. චන්ද්‍රා ගෙ අක්ක උසස්පෙළ හොඳින්ම සමත්වෙළා විශ්වවිද්‍යාලයෙට ඇතුලත් වෙන්න පුලුවන් වුණා. අක්කගෙම අඩිපාරෙ යෑමයි චන්ද්‍රා ගෙ හීනය වුණේ. නගරෙ ටිකක් ඈත නිසා චන්ද්‍රා ඉස්කෝලෙ යන්න පුරුදු වෙලා හිටියෙ බස් එකේ. කොන්දොස්තර සෝමෙ බස් එකේ වැඩට එනකොට චන්ද්‍රා හිටියෙ උසස්පෙළ පන්තියෙ. බස් එකේ ටිකට් කඩන අතරෙ සෝමෙ ටිකක් වැඩිපුර තමන් දිහා බලන බව චන්ද්‍රා ට නොතේරුණා නෙමේ. ඉස්කෝලෙ වුණත් පිරිමි ළමයින්ගෙ ඇල්ම බැල්ම තමන්ට ලැබෙන බව චන්ද්‍රා ට වැටහිල තිබුණත් සෝමෙ ගැන චන්ද්‍රා ට ඇතිවුණ විශේෂත්වය මොකක්ද කියල එයාට හිතාගන්න බැරිවුණා. අක්බමරු වගේ ලස්සන කොණ්ඩෙ, හරි පිළිවෙළට අඳින පළඳින විදිහ, බොහෝම වැදගත් විදිහට තමන්ගෙ රස්සාව කල හැටි. මේව නිසා සෝමෙ ගැන චන්ද්‍රා ගෙ හිතේ යම් පැහැදීමක් ඇතිවෙලා තිබුණ කිව්වොත් හරි. චන්ද්‍රා බොහෝම වෙලාවට නිහඬව උන්නු චරිතයක්. තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා තනියම ඉන්නයි එයා කැමති වුණේ. චන්ද්‍රාට වැඩියො යාලුවො හිටියෙ නෑ. තනියම බස් එකේ යන එන අතරෙ සෝමේ චන්ද්‍රා එක්ක කතාබහ කලා. දවසක් ඉතුරු සල්ලිත් එක්ක ලියුම් කඩදාසියක් චන්ද්‍රාගෙ අතට ලැබී තිබුණ. එතනම විසි කරදාන්නත් බැරි කම හින්ද හිමිං සැරේ අතේ ගුලි කරන් චන්ද්‍රා ඒක ගෙදර ගෙනත් කියවා බැලුව. තමන් ගැන සෝමේ ගෙ හිතේ ඇතිවෙලා තිබ්බ ආදරය ඒ ලියුම පුරා ලස්සනට ලියවිලා තිබ්බ. තව ජෝතිගෙ මිල්ටන්ගෙ සින්දු කෑලිත් තිබ්බ. දැන් මොකද කරන්නෙ කියල එයාට හිතාගන්න බැරිවුණා. සෝමේ කතා කරනකොට කතා නොකර ඉන්නත් බෑ. දවස් කීපයක් ඔහොම ගත වෙලා ගියා. බස් එකෙ සෙනඟ අඩු වෙලාවක තමන් දීපු ලියුම ගැන සෝමෙ ඇහුව. චන්ද්‍රාට ඒකට උත්තර දුන්නෙ නෑ. හවස පන්ති ඇරෙන වෙලාවක දවසක් පන්තිය ගාවට සෝමෙ ඇවිත් හිටිය. එයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද කියල ඇහුව. චන්ද්‍රා ඒකට හ්ම් කිව්ව විතරයි. නමුත් සෝමෙ එක්ක කතාබහ කරනකොට චන්ද්‍රාට සැනසීමක්, සහනයක් ආරක්ෂිත බවක් දැනෙමින් තිබ්බ බව ඇත්ත. කාලය ඔහොම ගතවුණා. දෙන්නටම එකිනෙකා නොදැක ඉන්න බැරිතරම් වුණා. අන්තිමෙ එයා එක්ක යන්න එන්න කියල සෝමෙ චන්ද්‍රා ගෙන ඉල්ලුව. ගෙදරින් කොහොමත් මේකට කැමත්තක් නොලැබෙන බව චන්ද්‍රා දැන උන්න. සෝමෙ ව හිතින් අහක් කරගන්න එයාට බැරිව උන්නෙ. එතකොට තමන්ගෙ අධ්‍යාපනේ, ජීවිතේ හීන.. ඒවට මොකද වෙන්නෙ…. තමන් කොහොම හරි එයාව බලාගන්න බවත් එයා නැතුව තව දුරටත් ජීවත් වෙන්න බැරි බවත් සෝමේ චන්ද්‍රාට තදින්ම කියා හිටිය. චන්ද්‍රාට රේල් පාර ගාව ගෙදරට එන්න වුණේ එහෙම.
සෝමේ ගෙ ලෑලි ගෙදර උන්නෙ එයාගෙ අම්මත් තාත්තත් විතරයි. අම්මා නම් මුලින්ම අකමැති ගතියක් පෙන්නුවත් පස්සෙ ඒක හරිගියා. කණගාවින්ම වගේ ඔලුවත් දෙදෙරවගෙන කෝච්චිය යන සද්දෙ නං චන්ද්‍රාට උහුලගෙන ඉන්නම අමාරු වුණා. වැස්ස වෙලාවට වහලෙ තහඩු අස්සෙන් ගේ ඇතුලෙත් පුංචි වැස්සක් වැස්ස. කොහොම හරි වත්තේ ජීවිතේට චන්ද්‍රා ටිකෙන් ටික හුරු වුණා. චන්ද්‍රාත් සෝමේත් දෙන්නා පටන් ගත්ත අලුත් ජීවිතේ මුල් අවධිය සතුටින් ගෙවුණ එකක් කිව්වොත් හරි. හැමදාම මෙහෙම ඉඳල හරියන්නෑ ටවුමෙ පොඩියට ගරාජ් එකක් පටන් ගන්න ඕන කියල සෝමෙ නිතරම කිය කියා උන්නත් ඒක කවදාවත් කෙරුණෙ නෑ. ඉක්මණින්ම දරුපැටියෙක්ගෙ මූණ බලන්න දෙන්නම ආසාවෙන් උන්න බව ඇත්ත. කාලය ගෙවුණත් ඒ කිරි කැටි හීනෙ එළි වෙන බවක් නම් පෙනුණෙ නෑ. සෝමේ කලබල වුණා. අඳුනන දොස්තර කෙනෙක් හම්බවෙන්න යමුයි කිව්ව. ඒත් චන්ද්‍රා ඒකට කැමති වුණේ නැහැ. සෝමේ ගෙන් එල්ල වෙල බලපෑම ටිකෙන් ටික වැඩි වුණා. බොහෝම තදින් අමු තිත්ත වචනෙන් සෝමෙ චන්ද්‍රාට බැණවැදුණ. ඒ ඔක්කොම එයාගෙ වැරදි බව කියමින් චෝදනා කලා. වෙන ගෑණියෙකුගෙන් දරුවෙක් හදාගන්න බව කිව්ව. ඒත් චන්ද්‍රා කන්දක් වගේ නොහෙල්ලීම හිටිය. ටිකෙන් ටික සෝමේ හවසට බීල ගෙදර එන්න පුරුදු වුණා. ඒ ඇවිත් චන්ද්‍රාට මහ හයියෙන් බැණ වැදුණ. අම්මත් දවසක් චන්ද්‍රා ගෙ මූණටම “වඳ ගෑණි” කියල කිව්ව. එයා ගෙ පුතාව විනාස කලේ චන්ද්‍රා ලු. චන්ද්‍රාට හිතුණෙ ඒ වෙලාවෙම දුවගෙන ගිහින් පහළ තිබ්බ ඇළට පැනල ජීවිතේ නැති කර ගන්න. ඒත් චන්ද්‍රා මේ හැම දෙයක්ම විඳදරා ගෙන හිටිය. 
සමහරදාක, කොහෙන්දෝ ඉඳල ආව අළු කොබෙයි යුවළක් ගෙදර වහලය යට කූඩුවක් හදන්න උත්සාහ කරමින් ඉන්න හැටි චන්ද්‍රා බලාගෙන උන්න. කෝච්චි යන සද්දෙ නිසා උන් කොහොමත් එතැන රැඳුණෙ නෑ. තමන්ගෙ දරු දෙන්නා අහිමි කරගත්ත අළු කොබෙයි අම්මා කෙනෙක් ගැන කතාව චන්ද්‍රා කොහෙන් හරි අහල තිබුණ. “මී පුප් ලදින්, දරු නොලදින්, රං කැටි පුතා කෝ.. කෝ..” එදා ඉඳන් අළු කොබෙයියන් කෑ ගගහ කියන්න ඒක ලු. මේ කුරුල්ලන් නිතර දකින එක දරුවන් නොලැබෙන්න හේතුවක් කියල මිනිස්සු කියනව. ඒ කතාවට නම් චන්ද්‍රා තනියම හිනා වුණා. “මී පුප් ලදිම්.. දරු නොලදිම්” අඩු ගාණෙ තමන්ට ලැබුණ දෙයක් හරි තියනවද කියල චන්ද්‍රා කල්පනා කල වාර නම් අනන්තයි. තාත්ත අන්තරා වුණා, අම්ම ලෙඩ ගාණෙ, සෝමෙ නූල කැඩිච්ච සරුංගලේ වගේ නන්නත්තාරෙ. ජීවිතේ හොඳම කාලයක් කෝච්චියෙ යකඩ රෝදවලට යට වෙලා ගියා වගේ වුණ බවයි ඈ නම් දැනගෙන හිටියෙ.
එදා රෑ ඔය සිදුවීම් ආයෙත් තමන්ගෙ මනසෙ ඇඳුනෙ ඇයි කියල චන්ද්‍රාට හිතාගන්න බැරිවුණා. අම්ම, තාත්ත, අක්ක.. කොයි ලෝකෙක කොහොම ඉන්නව ඇත්ද.. චන්ද්‍රා ගෙ හිත ගල් ගෙඩියක් වගේ මහා බරකින් පිරුණ. දොර පැලැල්ල ඇරගෙන චන්ද්‍රා ගෙයින් එළියට බැස්ස. හඳ එළිය වැටිල බිම පුරා හෙවණැළි රටා මැවිල තිබ්බ. සට සට ගාල පිනි කැට වහලෙ තහඩුව උඩට වැටුණ. චන්ද්‍රා ආයෙමත් අහසේ පායල තිබ්බ හඳ දිහා බැලුව. හඳට හැමදාම උරුම තනියම දුක උහුලා ගන්න එක ද.. පිනිකැට වගේ මේ වැටෙන්නෙ හඳේ කඳුළු ද.. කෝච්චිය තව ටිකකින් එන්න නියමිතයි. චන්ද්‍රා රේල්පාර දිහා බැලුවෙ නිකමට වගෙයි. රේල් පාර ගාව කව්දෝ කෙනෙක් එහා මෙහා වෙන හැටි චන්ද්‍රා දැක්කෙ හඳ එළියෙන්. තරමක් ඈත වුණත් ඒ ගැහැණු පරාණයක් බව චන්ද්‍රාට අඳුනගන්න පුලුවන් වුණා. “මේ වෙලාවෙ.. කවුද මෙතන..” ප්‍රශ්නයත් එක්ක චන්ද්‍රා රේල් පාර ගාවට කිට්ටු වුණා.
ඒ උන්නෙ කුසුම්. වත්තෙම තමා එයත් හිටියෙ. කුසුම් ඒ ළඟම තිබ්බ පොඩි ගාමන්ට් එකක වැඩ කලා. එතනම වැඩ කල කවුදෝ හාදයෙක් එක්ක ඇතිවෙච්චි පළහිලව්වකින් කුසුමාට දරුවෙක් ලැබෙන්න හිටිය. මිනිහ එතනින් මාරුවෙලා ගිහින් ලු, බැඳපු මිනිහෙක් ලු, ඔහොම ගෑණු අනාත කරල පැනල යන එක මිනිහගෙ පුරුද්දක් ලු. වත්තෙ තැන තැන තලුමරන කතා චන්ද්‍රාට එහෙන් මෙහෙන් ඇහුණත් එයා හිටියෙ ඒව නෑහුණ ගාණට. ඔය මිනිස්සු තමන් ගැනත් කතා හද හද රසකරමින් කියන්නෙ ඔය කටවල් වලින් තමා කියල චන්ද්‍රා දැනගෙන උන්න.
දැන් මේ මහ රෑ කුසුම් රේල් පාර මැද හිටං උන්නෙ මාස දෙකක ඒ කිරිකැටියව වඩා ගෙන. ඈතින් යන්තම් හූ හඬක් ඇහුණ. රේල් පාරෙ කොණකින් එළියක් මතු වුණා. පොඩි මැණිකෙ තමන් ළඟම එන බව දැනුම් දෙමින් හිටිය.
“කුසුම් ඔය මොකද කරන්නෙ.. මෙහෙ වරෙන්” චන්ද්‍රාට කෑගැහුණෙ ඉබේටම. 
“ඌගෙ දරුවත් නැති කරං මාත් මැරෙනව .. මට මැරෙන්න දීපං”
කුසුම් කියෙව්වෙ මරුවිකල්ලෙන්..
“මාව රැවැට්ටුව..මාව නැති කලා.. බොරු කාරය.. ඔක්කොම එකයි..”
පොඩි මැණිකෙ හිනාවීගෙන වංගුවෙන් මතු වුණා. කුසුම් ඉන්නව දැකලද මන්ද හයියෙන් හූ කිව්ව.
“මේ නොදරුව මරාගන්න හදන්නෙ මොන වරදකටද. අයින් වෙයං ඔතනින් ” 
වහාම එතනට දුවගෙන ආව චන්ද්‍රා කුසුම් ගෙ ඇඟේ එල්ලිල රේල් පාරෙන් ඉවතට ඇදගන්න හැදුව
“මට මැරෙන්න දීපං.” 
කුසුම් කෑ ගැහුව. හැකි වැර දාල ඇදල ගන්න හැදුවත් කුසුම් එතනින් හොල්ලන්නවත් චන්ද්‍රාට හැකිවුනේ නෑ. පොඩි මැණිකෙ දැන් තවත් ළඟ. ටකස් ටකස් ගාල රෝද වලට සිල්පර කොට හෙල්ලෙන සද්දෙ, කෝච්චි පෙට්ටි එකිනෙක ගැටෙන සද්දෙ දැන් හොඳට ඇහෙනව. ලොකු යකඩ රෝද රේල් පීල්ලෙ ඇතිල්ලිල ක්‍රීස් ක්‍රීස් ගෑව. එක පාරම චන්ද්‍රා ගෙ ඇහැ යොමු වුණේ කුසුම් අතේ තුරුලු කරන් හිටපු රෙදි පොට්ටනිය දිහා.
“දරුවා! දෙයියනේ!” 
එකපාරම කොහෙන්ද ඉඳන් අමුතු හයියක් චන්ද්‍රා ගෙ දෑතට ලැබුණ වගේ දැනුණ. චන්ද්‍රා කුසුම්ගෙ අතේ උන්නු දරුව ව උදුරල ගත්තෙ ඒක වුණේ කොහොමද වුණේ කියල හිතා ගන්න බැරි තරම් වේගෙකින්. තමන් ඇත්තටම දරුව ඇදල ගත්තද නැත්තං කුසුම් දරුව ඒ මොහොතෙ අතහැරියද කියන්න චන්ද්‍රාට නිනව්වක් නෑ. ඒ වේගෙන්ම චන්ද්‍රා රේල් පාරෙන් පැත්තකට තල්ලු වෙලා ගියා. පොඩි මැණිකේ චන්ද්‍රා ගෙ ඇඟේ ගෑවී නොගෑවී කුසුම් ගේ සියුමැලි ශරීරය මත්තෙන් ඇදිල ගියා. 
තල්ලු වුණ පාරට චන්ද්‍රා බිම වැටුණ. කොච්චියෙ දඩස් බඩස් දඩස් බඩස් සද්දෙ ටික වෙලාවක් යනකම් තිබුණ. අවසානෙ ආයෙත් සියල්ල නිශ්ශබ්ද වුණා. පරිසරය ආයෙත් තිබුණු විදිහමයි. චන්ද්‍රා වැටුණු තැනින් නැගිටල අතේ තිබ්බ රෙදි පොට්ටනිය දිග ඇරල බැලුව. රෝස පාට පුංචි කිරිකැටියෙකුගෙ මූණ ඒ රෙදි පොට්ටනිය අතරෙ හඳ එළියෙ බබලමින් තිබ්බ. චන්ද්‍රා ට දැණුන තමන්ගෙ පපුව පුරා අමුතු හීතලක් ගමන් කල බව. එයා තවත් පුංචි එකාව ළමැදට තුරුලු කරන් ඒ අසීමිත සැනසීම වින්ද. චන්ද්‍රා ගෙ ඇස් කොණෙන් මතුවෙලා කම්මුල දිගේ ගලාගෙන යන්න පටන් ගත්ත හීන් කඳුළු බිඳු දෙකක්. ටික වෙලාවකින් මෙච්චර කාලෙකට හිර වී තිබුණ ඒ වාන් දොරටුව බිඳුණා. කඳුළු කැට වැස්සක් වෙලා පොඩි එකාත් චන්ද්‍රාත් ඒ වැහි දියේ තෙමුව. රෑ මැදියමටත් කිට්ටු වෙලාවෙ,හඳ එළියේ නෑවෙමින් එයා ඒ විදිහටම දරුව ව දරාගෙන හිටිය.
රේල් පාර නිහඬයි, පාලුයි. රේල් පාර යොමුවෙලා තිබ්බෙ කොහේදෝ නොපෙනෙන ඈතකට. චන්ද්‍රා, සෝමේ එක්ක උන්නු ලෑලි ගෙදර දිහා අවසාන වතාවට හැරිල බැලුව.
%d bloggers like this: