Menu Close

සිතා අරඹේපොළ සහ ඕල්කට් බෞද්ධයෝ

103278086_656186181906568_6227547255622206919_n

සීතා අරඹේපොළ ගේ ‘දේවි බාලිකා ප්‍රකාශය’ සියලු රසින් අනූන එකක් නිසා එය සොයා ගොස් ඇසුවෙමි. මෙහි විවිධ අරුත් ඇති නිසා මේ ඇසුරින් විවිධ කරුණු අවධාරණය කළ හැකිය. මේ අතරින් එකක් පහත පරිදි කියා සිතමි.

මේ ප්‍රකාශය තුළ අරඹේපොළ නම් නොකරන්නේ වුවත් අදහස් කරන්නේ බිෂොප් බාලිකා විද්‍යාලය, කාන්තා බාලිකා විද්‍යාලය, ශාන්ත බ්‍රිජට් ගේ කන්‍යාරාමය වැනි පාසල් කියා සිතමි (‘ලස්සන’, ‘පොෂ්’ කෙල්ලෝ ඉන්නේ මේ පාසල් වල).

මෙය – විශාල හානියක් නැති වුවත් – වර්ගවාදී ප්‍රකාශයක් බව අපි දනිමු. සෑම ආකාරයකම මිනිසුන් මේ සෑම පාසලකම සිටියි. නමුත් වැදගත් වන්නේ මේ ආකල්පය පසුපස ඇති සමාජ විද්‍යාව හඳුනා ගැනීමයි.මේ ආකල්පය මම හොඳට හඳුනමි. නමුත් මා එය හඳුනන්නේ සමාජ විද්‍යාඥයෙක් ලෙස නොව සහභාගීත්ව නිරීක්ෂකයෙක් ලෙසයි – අවශ්‍යනම් මාව මේ සඳහා ප්‍රාථමික මූලාශ්‍රයක් ලෙස ගත හැකිය.

මමත් මේ ආකාරයේ ‘පොළොවේ පය ගහල ඉන්නා’ වර්ගයේ පාසලකට ගියෙමි. මේ පාසල් ඉතා අධික ඉංග්‍රීසි හීනමානය, ඉහළ මධ්‍යම පාන්තික ඇරියස් වලින් පරිපූර්ණ වෙයි. මේ සම්බන්ධයෙන් මට ඇති අත්දැකීම් රාශියකි. ඒ අතරින් එකක් පමණක් කියන්නේ නම් ඒ මෙසේය. මා පාසල් යන කාලයේ අපේ පාසලේ සාකච්ඡාවක් සඳහා X කණ්ඩායමට ආරාධනා කළෙමි (මෙයට සහභාගී වූයේ රොහාන් පෙරේරා සහ කල්‍යානන්ද පෙරේරා ය). අපේ වැනි ‘පොළොවේ පය ගසා සිටිනා’ පාසලකට X කණ්ඩායම කැඳවීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය (එහි මූලිකත්වය ගත්තේ වර්තමාන පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ය). එම විරෝධය දැක්වීම සඳහා වරක් සිසුන් පිරිසක් මා වට කර ගත්තේ ය. එහිදී අදහස් දැක්වූයේ පළමු වසරේ සිට අපේ පාසලේ සිටි ශිෂ්‍යයෙකි. ඔහු කියා සිටියේ අපේ සංස්කෘතිය නැති නොකරන්න කියාය. එවැන්නක් මා කරන්නේ නැති බව කියා සිටින්න උත්සාහ කළ ද ඔහු එය පිළිගත්තේ නැත. දින කීපයකට පසුව මේ සම්බන්ධ වැඩිදුර පැහැදිළි කිරීමක් සඳහා මා ඔහුගේ දුරකථන අංකය සොයා ගෙන ඇමතුමක් ලබා දුන්නෙමි. මා කවුද කියා ප්‍රකාශ කරන්නත් පෙර ඔහු කියා සිටියේ ඔහු දැන් ‘ග්‍රැමීස්’ [Grammy Awards] බලනා බවත් පසුව කතා කරනා ලෙසත් ය. ඔහුට ග්‍රැමි සම්මාන උළෙල මෙතරම් ජීවිතයට වැදගත් වූයේ කෙසේද කියා මම පුදුම වුනෙමි.

මේ අයගේ ජීවිතයේ මූලික ලක්ෂණය වන්නේ මේ දෙබෙදුම යි. ඔවුන් එක පැත්තකින් රට, ජාතිය, සංස්කෘතිය ආරක්ෂා කිරීමට, අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරයි. නමුත් ඔවුන් ගේ සිහිනය වන්නේ බටහිර සංස්කෘතියේ කොටසක් වීමටයි, ඉංග්‍රීසි කතා කිරීමටයි. මේ අයගේ මීළඟ පරම්පරාව බොහෝ විට යන්නේ අර ‘පොළොවේ පය ගසා ඉන්න දන්නේ නැති’, ‘පොෂ්’ පාසල් වලටයි (මෙයට ව්‍යාතිරේක නොමැති බව මෙමගින් අදහස් නොවේ).

මේ අයව ඕල්කට් බෞද්ධයන් ලෙස හැඳින්වීම (එසේත් නැතිනම් ‘ප්‍රොතෙස්තන්ත බෞද්ධයන්’ ලෙස හැඳින්වීම) ඉතාම නිවැරදියි කියා සිතමි. එතනදී මම නලින් ද සිල්වා ට එකඟ වෙමි. නමුත් අප මතු කළ ඩෙරීඩියානු ප්‍රශ්නය වන්නේ මෙයට විකල්ප වූ ‘අව්‍යාජ’ බෞද්ධ සංස්කෘතියක් තිබෙන්නේ ද යන්නයි. සත්‍ය කරුණ වන්නේ මෙයට පිටතක් නොමැති වීමයි. ඕල්කට් බෞද්ධයන් සහ බෙල් බොටම් විහාර මහාදේවි ලා විවේචනය කරන අය ගේ යෝජනාව වන්නේ බටහිර මිනිසා ශිෂ්ඨාචාරය ගොඩ නැගු මූලධර්ම වෙත ගොස් ඒ හා සමාන ලෙස ථේරවාද ශිෂ්ඨාචාරය ගොඩ නගන ලෙසයි. තවත් සරල ලෙස ඔවුන් කියන්නේ මෙවැන්නකි. අපිට ග්‍රැමි සම්මාන ගන්න පුළුවන් නිර්මාණකරුවන් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට හැම දාම වෙන්නේ ග්‍රැමි බල බල ඉන්න පමණයි. මේකෙන් ගැලවෙන්න අපි කරන්න ඕන අපිත් ග්‍රැමි එකක් හදා ගන්න එක. අපේ වටිනාකම් අනුව අපේම කියා ගත්ත ‘ග්‍රැමි එකක්’ හදා ගැනීම.

එම අර්ථයෙන් ගත්විට ජාතික චින්තනවාදය යනු වඩාත් මූලධාර්මික ඕල්කට් බෞද්ධවාදය කියා මම කියමි. ‘සාමාන්‍ය’ ඕල්කට් බෞද්ධයන් ඉංග්‍රීසියෙන් කතා කරන්න, යුරෝපීය සංස්කෘතියේ කොටස් සමග බෞද්ධ සැරසිලි ටිකක් ජීවිතයට එකතු කර ගන්න උත්සාහ කරන විට ජාතික චින්තනවාදීන් උත්සාහ කරන්නේ සමස්ත බටහිර සංස්කෘතිය අනෙකා කරගෙන එයට ප්‍රතිවිරුද්ධ සමාජයක් ගොඩ නැගීමටයි (නලින් ද සිල්වා ගේ මම හරිම ආස අදහසක් තමයි ‘බටහිරයන් තරම්ම වියුක්ත නොවුනත් අපිටත් යම් මට්ටමකට වියුක්ත වෙන්න ඕන’ කියා ඔහු නිතර කියන අදහස  ).

වෙනත් ආකාරයකට කියන්නේ නම් ඕල්කට් බෞද්ධත්වයෙන් බාහිරත්වයක්, ‘අව්‍යාජ බෞද්ධ’ ලෙස නම් කළ හැකි ඕල්කට් බෞද්ධත්වයේ සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් නොමැති වේ. සත්‍ය වශයෙන්ම සීතා අරඹේපොළ ට සහ නලින් ද සිල්වා ට මේ එකම ආණ්ඩුව ඇතුලේ ඉන්නට සිදු වන්නේ මේ නිසාය. අපට නැවත පූර්ව යුරෝපීය නොකැළැල් යථාර්ථයක් යනුවෙන් කිසිවක් හමුවන්නේ නැත. බටහිර සහ බටහිර-විරෝධී ලෙස දේශපාලන බෙදීම ලකුණු කිරීම අතිශය වැරදි සහගත වන්නේ මෙම නිසාය. ‘බටහිර’ ආධිපත්‍යය නිසා කිසිවෙක් පීඩාවට පත් වන්නේ නැත (සුදු ජාතිවාදය නිසා අනෙක් අය පීඩාවට පත් නොවනවා කියා මෙමගින් අදහස් නොවේ).

අද ආධිපත්‍යය තිබෙන්නේ කාටද? පීඩනයට පත්වන්නේ කවුද? මේවා වෙනම සාකච්ඡා කරමු. දැනට, මහින්ද රාජපක්ෂ ගේ දරුවන් ශාන්ත තෝමස් විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ හිටපු නායකයන් බව සිහිපත් කරමු. ඔවුන්ද පොළොවේ පය ගසා සිටිනා මිනිසුන් ය.

 

වංගීස සුමනසේකර

%d bloggers like this: