Menu Close

තාත්තාගේ නම නැති තාත්තාගේ පුතා

තාත්තා මැරුණා කියලා ආරංචිය ආවේ ගිය සිකුරාදා උදේ. මම හිටියේ නිදාගෙන. මාව නින්දෙන්ම නැගිට්ටවලා අම්මා ඒ ආරංචිය කියද්දි අම්මාගේ ඇස් වල කඳුළු පිරිලා තිබ්බා. මගේ ඉස්සරහා ඇඩුවේ නැතුවට එයා පහුගිය දවස් දෙක පුරාම හිටියේ අඩ අඩා. තාත්තා වහ බිව්වා කියලා අපිට ආරංචිය ආවේ දවස් දෙකකට උඩදී. එතකොටත් තාත්තා වහ බීලා දවසක් විතර පහු වෙලා.

තාත්තා බහ බිව්ව කථාව අපිට ටැලිෆෝන් කරලා කිව්වේ තාත්තාගේ ලොකු පුතා නයන උදයතුංග. අපට කියන්න ඇත්තේ යුතුකමක් විදිහට. ඒකයි දවසක් පහු කරන්න ඇත්තේ. අම්මා ටැලිෆෝන් එක කනේ තියාගෙන අහගෙන හිටියා. ‍ඇඩුවේ නැ. ඒකටත් හරියන්න පස්සේ ඇඩුවා. ටැලිෆෝන් එකෙන් අම්මගේ කනට මෙහෙම කථාවක් කියවිලා තිබ්බා. ‍ඒ දේවල් වලට අපි වග කියන්නඕන කියලා. අම්මගේ කනට වැටෙන දෙයක් කටින් පිට වෙන්නැ ලේසියෙන්. මේ වචන ටිකත් එහෙමයි. ඒ වෙලාවේ මම අම්මා ලඟ ම හිටගෙන හිටියේ. මට නයන උදයතුංගගේ , තාත්තාගේ ලොකු පුතාගේ වචන ඇහුණා. ඒ වෙලාවේ මගේ අත මිට මෙළවුණා. වෙවුලුවා. මම තරහා පිට කරගත්තේ බිත්තියෙන්. අම්මා මට රැවුවා. අම්මා අතරයි තාත්තා අතරයි කථා නැවතුනෙත් මේ විදිහට අම්මගේ රැවුමකින්.

එහෙම රැවුමකින් ඉවර වෙන කථා අපේ ගෙදර ගොඩක් වෙලාවට සිද්ධ උනේ කලාතුරකින්. තාත්තා අපේ ගෙදර ආවේ මාසෙකට එක සැරයක් හරි දෙසැරයක් හරි විතරයි. පොඩිම දවස් වල නොතේරුණාට පස්සේ පස්සේ මම ලොකු වෙද්දි දැන ගත්තා තාත්තා ගෙවල් දෙකක් බලනවාය කියලා. කළින් හිතන් හිටියේ තාත්තා දුර පළාතක රස්සාව කරනවය කියලා. ඔය නයන උදයතුංග, රසික උදයතුංග, අභා උදයතුංග, භාතිය උදයතුංග එක්ක මිත්‍රා සේනාධිර ඇවිත් පද්මිණි ස්වර්ණාආරච්චි ට මගේ ඉස්සරහදීම වේ* කියලා බනින දවස වෙනකම්ම මම පොඩි එකෙක් විදිහට තාත්තා දුර පළාතක රස්සාව කරනවා කියන විත්තිය විශ්වාස කරා. එදයින් පස්සේ මම ලොකු මහත් වෙන්න ඇති, එහෙම නැත්නම් පද්මිණි ස්වර්ණාආරච්චි ට මාව ලොකුවට පෙන්න පටන් ගන්න ඇති. එදත් මගේ අත මිට මෙළවුණා. අත වෙවුලුවා. මිත්‍රා සේනාධිරවර මගේ අත් දෙකින් තල්ලු උනේ ඒ වෙලාවේ. අපේ අම්මාට අත උස්සපු වේ*ගේ පුතා කියලා අභා උදයතුංග මට ගහද්දි, නයන උදයතුංගලට වේ*යක් වෙච්ච පද්මිණි ස්වර්ණාආරච්චි මාව බඳා ගෙන අඩන්න පටන් ගත්තා. අභා උදයතුංගගේ පා පාරවල් එකක් දෙකක් පළිහක් වෙච්ච අම්මාගේ පිට මැද්දෙන් නතර උනා. මම වේ*ගේ පුතා උනා.

එදයින් පස්සේ තාත්තා අපේ ගෙදර ආවේ මාස හයකට විතර පස්සේ. මම ගගන ස්වර්ණාආරච්චි, ගාමිණි උදයතුංගගේ පස් වෙනි දරුවා. හතර වෙනි පුතා. තාත්තා ගේ නම නැති තාත්තාගේ දරුවා. එහෙම කිව්වේ තාත්තමයි. එදා තාත්තා මාව පොඩි එකෙක් වගේ හුරතල් කරා. ඒ වෙද්දි හුරතල් කරන්න තරම් මම පොඩි නෑ. ඒත් මමත් හුරතල් උනා. තාත්තා මට පින්තුර වගයක් පෙන්නුවේ ඒ වෙලාවේ. නයන, රසික, අභා, භාතිය මගේ සහෝදරයෝ කියලා මට පෙන්නලා දුන්නේ ඒ වෙලාවේ. මම නයනලට ඉරිසියා කරන්න ගත්තේ ඒ වෙලාවෙදී. ඒක පවුලේ පින්තුරයක්. අම්මා තාත්තා දරුවෝ සම්පුර්ණ වෙච්ච පවුලේ පින්තුරයක්. මට එහෙම පින්තුරයක් තිබුන්නෑ. තාත්තාගේ ඔඩොක්කුවෙම ඒ වෙලාවේ නින්ද ගියපු නිසා තාත්තගෙන් පින්තුරයක් ගමුයි කියලා ඉල්ලන්න මට ඒ වේලාවේ බැරි උනා.

බීලා මේවාට විසඳුම් හොයන්න බෑ ගාමිණි.”

මට එතන පවුලක් නැ පද්මි, මගෙන් වැරැද්දක් උනා.ඒකට ඔයයි මේ දරුවයි පලි නෑ.”

අපි තියෙන හැටියකට කලා බීලා ඉන්නම් ගාමිණි, ඔයා එහෙ ඉන්න ආයෙ මෙහෙ එන්න එපා. මේ ප්‍රශ්නේ මෙහෙම විසඳ ගමු. මට මේ දරුවා හදා ගන්න පුළුවන්.”

මට ආදරයක් කියලා ලැබුණා නම් ලැ‍බුණේ ඔයලා දෙන්නාගෙන්.ඒක නැති කරන්න එපා. ඒ දරුවන්ට මම කාලකන්නියෙක් මිසක් තාත්තෙක් නෙවෙයි. ඒ දරුවෝ හතර දෙනාම මට විරුද්ධයි. මම බොන්නේ ආසාවට නෙවෙයි පද්මි. නයන කොයි වෙලාවේ හරි මාව ඔය ගෙදරින් පන්නයි. මම ඒක දන්නවා පද්මි. ඔය හතර දෙනාම උස් මහත් උනේ මගේ මේ අත් උඩ. ආයෙ බීලා ආවොත් තාත්තා කියලා බලන්නැතුව මාව මරනවායි කියලා අභා කියනවා. මිත්‍රා කැත්තක් මන්නයක් ලඟ තිබ්බොත් කොල්ලගේ අතට දෙයි. ඒ තරම් දරුණු වෙන්න ගැණියෙකුට බෑ පද්මි. මිත්‍රා කොයි තරම් නපුරු ගැණියෙක්ද කියලා ඔයා දන්නැ. මම විදින වේදනාව කවුරුවත් දන්නැ පද්මි. ඒ වේදනාව නැති කර ගන්න මම බිව්ව එකයි, ඔයාට ලං උන එකයි ඇරෙන්න වෙන වැරුද්දක් මගෙ අතින් උනේ නැ. දරුවෝදැක්කේ මගේ නරක පැත්ත විතරයි පද්මි. මගේ හොඳක් පෙන්න මිත්‍රා දරුවන්ව මට ලං කළෙ නෑ. දරුවන්ට මගේ වැරදි විතරයි පෙන්නුවේ. මම එහෙම වැරදි කරපු මනුස්ස‍යෙක් නෙවෙයි පද්මි. ඒක ඔයා දන්නවා.”

මම ඒ වෙලාවේ ඇහැරුණේ කොහොමද කියලා මතක නෑ. ඒත් මේ කථාව මට ඇහුණා. අම්මා තාත්තට අපේ ගෙදර නවතින්න කියයි කියලා මම හිතුවත් අම්මා එහෙම කිව්වේ නෑ. මට එහෙම කියන්න ඕන උනත් කළුවරේ මම ඇස් පියාගෙන හිටියා. මම නයනල‍ට වෛර කරන්න ගත්තේ එදා. ඊට දවස් තුනකට පස්සේ තමයි තාත්තා වහ බිව්වා කියලා නයන උදයතුංග කෝල් කලේ.

අම්මා කිව්වා තාත්තා වහ බිලා ජිවිතේ නැති කර ගන්න තරම් මෝඩ නෑ කියලා. ඒක එහෙම තමයි. තාත්තා බිව්වලු. ඒත් කවදාවත් මට ඒක දැනිලා තිබ්බේ නෑ. මට අතක් උස්සලා නෑ. තාත්තා වහ බිව්වා වෙන්න බෑ. මගේ හිත එහෙම කිව්වා. ඒත් මට තේරුමක් තිබ්බේ නෑ වෙච්ච දේ මොකක්ද කියලා ගලපගන්න. අපිට තාත්තාගේ මිනිය බලන්න හම්බුණේ නෑ. නයනයි, අභායි අම්මටයි මටයි එන්න දුන්නැ. අපි තාත්තාව මරා ගත්තා කිව්වා. අම්මා සද්ද නැතුව හිටියට ඒක ඇත්ත නෙවෙයි. තාත්තට වහ පෙව්වේ අම්මා නෙවෙයි. අන්තිමට පත්තර වල එහෙම ලියවිලා තිබුණා. අනියම් බිරිය වස පොවයි කියලා.

සර් මම දන්න හැමදේම කිව්වා. අදවත් අම්මා නිදහස් වෙයිද? “

 

%d bloggers like this: