Menu Close

පිරිමි ලංසුවක් – 8 කොටස

“අහස ගුගුරා 

පාත් වී හෙන ගහද්දි 
අවනඩු නොකී
ඉරිතලා ගිය පස බදාගෙන
කටු ඉපල් මත මල් පිපි 
හිනා නොමැකී 
හෙටත් හිනහෙයි
පෙති විදහා නෙලුමත් සකී

ඉඩෝරයට ගහන අකුනු වල සැර
වදින්නේ  පපුවේ  ගැඹුරුම තැනට 
සත්තයි ඒ ගැඹුරු තැන් වල
අලවපු ප්ලාස්ටර් කෑලි වලට
කතා කරන්න පණ තිබ්බනම්
පැටලි පැටලි ඇද ගෙන ආව
ජිවිතේ බරට ලංසුවකුත් තියාවි”

– සිතුම් විජේබණ්ඩාර 

……………………………
එඩ්වින් රෝහල්ගතව සිටි කාලය තුල ඔහු බලන්නට තුන් වරුවම රෝහලට යන එක සිතුම්ට පුරුද්දක් වුණා. ඒ යන හැම මොහොතකම එඩ්වින් සිතුම් දිහා බලාගෙන කතා කරන්න උත්සහා කරා. වචනයක් දෙකක් එකතු කරත් ශබ්දය පිට නොවී ඔහුත් නොදැනිම ඔහුගෙ කට දෙපැත්තෙන් කෙල වැගිරෙන්න  ගද්දි, තමන්ට කතා කිරීමට  තිබෙන නොහැකියාව තේරුම් ගත් එඩ්වින්ගේ ඇස් කොනින් කඳුළු බිංදු රූරා වැටුණා.

පෙර තිබ්බ තේජාන්විත මුව මඩල අද බොහෝ දුකින් මැලවිලා ගිහින්. එඩ්වින් මහත්තයගෙ හදිස්සි රෝගාතුරුවීම සිතුම්ට හීනයක් වගෙ. ජීවිතයට බොහෝ දේවල් එඩ්වින් මහත්තයා නිසා එකතු වෙලා තිබුණා. අවුරුදු දාහතක් වැනි වයසකදි පිරිමි දරුවෙක් විදියට ජීවිතේ ලොකු දැනුමකින් සිතුම් පරිණත වෙලා සිටියේ එඩ්වින්ගේ මග පෙන්වීම නිසා. නමුත් එඩ්වින් මහතාගෙ අසනීප තත්වය ඔහු දරා ගත්තේ බොහෝ වේදනාවෙන්. හදවතින් ඔහු හඬා වැටුණා. ඒ හැම දවසකම සිතුම් රෝහල් කොරිඩෝව දිගේ ඇවිදගෙන ආවේ රහසේම අඬ අඬා.

එඩ්වින්ව මේ අයුරින් දකින එක විශාකාටද ලොකු වේදනාවක් වුණා. ඇය  බොහෝ විට රෝහලට නොගියේ තමාව දකින එක ඔහුටත් වේදනාවක් වී තව තවත් හිත දුර්වල කරන බව දන්නා හින්දමයි. රෝහලට යන ගමන සිතුම්ගේ කර මත පැට වී තිබුණා. විශාකා  අවශ්‍ය කරන සියලු දේ සිතුම්ට ලෑස්ති  කර දී පුරුදු විදියටම  ඔහු පිටත් වෙන හැම මොහොතකම  ආශිර්වාද කරා.


“ඔය දරුවට රත්නත්තරේ පිහිටයි”


දවසක් රෝහලට යන මොහොතක  සිතුම් දිහා බලාගෙන සිටි විශාකට ඇයගෙ ඇස් වලින් වැටෙන කඳුළු පාලනය කර ගන්න නොහැකි වුණා.


“අඩන්න එපා නෝනා”

“අපි ඉක්මනට මහත්තයා හොඳ කර ගමු”


ඔහු ඇගේ හිත සැනසුවා.


තමන්ට අම්මා කෙනෙක් වගෙ සෙනෙහස දැක් වූ ඇගේ නෙතින් වැටෙන කඳුලක් වත් දකින්න සිතුම් කැමති  වුණේ නෑ. තම ලෙයින් හැදිච්ච දරුවෝ තුන් දෙනෙක් සිටියත් ඔවුනට වැඩියෙන් එඩ්විනුත් තමනුත් ගැන දක්වන සැලකිලි ගැන විශාකා බොහෝ සේ හදවතින් සිතුම්ට කෘතඥශීලීතාවය පුදකර සිටියා. එඩ්වින්ගෙ  ශරීරය එන්න එන්නම දුර්වල වෙන්න ගද්දි, කරන සියලු ප්‍රතිකාර තුලින් බලාපොරොත්තු වන තරමට ප්‍රතිඵලයක් නොලැබෙන කොට විශාකා හදවතින් වැලපුණා. දූ දරුවන්ට තම පියා පිලිබඳ එතරම් උවමනාවක් නැති එක විශාකාගෙ හිත තව තවත් වේදනාවෙන් තෙත් කරා.


මේ අතරතුර එඩ්වින්ගේ අසනීප තත්වයත්, මග නතර වී ඇති ඔහුගෙ ව්‍යාපාර කටයුතුත් බාර ගැනීම සදහා ඔහුගෙ වැඩිමහල්  පුත් මේනක විදේශ ගතව සිට ලංකාවට එන්න සියලු කටයුතු සූදානම් කරමින් සිටියා.


“අම්මා”


“තාත්තට තවත් ට්‍රීට්මන්ට් කරල තේරුමක් නැති එකෙ ගෙදර ගෙනාවොත් නරකද”
  
“අනික අම්මා අර කොල්ලව උනත් දැන් බිස්නස් එක හරියට පටන් ගත්තම ඒ වැඩ වලට ඕන වෙනවනේ”


“හොස්පිට්ල් ගානෙ රස්තියාදු වෙවී ඉන්න කාලයක් නැතුව යයි ඉස්සරහට”


“පුතා තාත්තගෙ  ලොකු ආසවක් තිබුණා සිතුම්ට උසස් පෙළ උගන්වන්න”


“අම්මා විකාර වැඩ කරන්නෙපා ඒ කොල්ලව දැන්  තියෙන වැඩත් එක්ක ඕවට යවන්න හිතන්නවත් එපා. අනික ඌට මෙතන බිස්නස් ටිකට උදව් දීගෙන ගොඩට එන්න චාන්ස් එක  තියෙනවනෙ අම්මා”
දුරකතනයේ එහා කෙලවරේ ඉඳන් තමන්ගෙ ලොකු පුතා මේනක අසන ප්‍රශ්න වලට දෙන්න පිළිතුරු විශාකට හිතා ගන්න බැරුවයි ඇය  සිටියේ.


“කැමත්තක් කරන්න ලොකු පුතා”


ඇය අවසාන වශයෙන් පැවසුවේ තමන්ගේ දරුවෝ උනත් ඔවුන්ගේ සිතුම් පැතුම්  ගැන තමන්ගේ හිතේ ඇති උන ලොකු අප්‍රසාදෙකින්. පොඩි දුව නයෝමිගෙන් වුනත් සිතුම්ට ඇති වුණු සිත් තැවුල් ඇය  නොදැන හිටියා නොවේ. නයෝමිගෙ හිත රිදෙන දෙයක් පැවසුවොත් ඇය  තව තවත් වැඩි වශයෙන් සිතුම්ට රිද්දන බව විශාකා දැනන් සිටියා.


“පවු අසරණ පොඩි එකා”


ඇය තමාටම කියා ගත්තේ සිතුම් ගැන උපන් අනුකම්පාවෙන්.


සිතුම්ට දැන් දැන් ජිවිතේ මහා හිස්කමක් දැනෙමින් තිබුණා. එඩ්වින් මහත්තයා ගෙදර  නැති දවසේ පටන් මේ ගෙදර වහලේ යට වුණ සමහර සිදුවීම් ඔහුගේ හිත බොහෝ අසරණ කළා. කෑම කන්න මුලුතැන්ගෙට යන හැම මොහොතකම නයෝමි විසින් සිතුම්ට දමා ගසන වචන ඔහුට දරාගන්න නොහැකි වෙද්දී හිතින් හඬා වැටුණේ අත්තම්මා ලඟ එක වේලක් හරි කාලා වැටිලා ඉන්න තමන්ට ඉඩ ලැබුණනම් අද මේ තරම් දුකක් හිතේ ඇති නොවන බව තේරුම් ගනිමින්.


“ආතක් පාතක් නැති එකා”


“තාත්තත් නැති එකේ දැන් කන්න දෙන්න ඕනේ ඉඳුල්”


“මඩ ගොඩේ ඉඳලා ඇවිත් දැන් හාමු වෙන්න හදනවා”


“අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෙක්ද කොහෙද”


“ඔය මූසලකම තමයි අපේ තාත්තටත් ගැහුවේ”


සිතුම් කෑම ගෙන අවසන්ව පිඟාන සෝදන මොහොතේ  නයෝමි පැමිණ ඇය  කාපු  පිඟානත් සින්ක් එක තුලට දමා යන්නේ, “ඕකත් හෝදලා දානවා” යැයි පවසමින්.


මහා රෑටත් නයෝමිගෙ ගොරහැඩි ශබ්දකෝශය සිතුම්ගෙ කන හරහා රැවු දෙද්දි සීතල කඳුළු බිංදු ඔහුගේ  පපුව දිගේ ගලාගෙන යන්නේ හරියට ඇවිලිච්ච හිතක ගින්න නිවන්න වගේ. හිත ඇවිලුන සෑම මොහොතකම  අත්තම්මගෙ පුරුදු මතක් කර ගනිමින් බුදු ගුණ සිහි කරන සිතුම්ගෙ ඇස් හිමි හිමින් නින්ද හොයාගෙන ඇදිලා යන්නේ ඔහුත් නොදැනිම. 

(ලබන සතියට)

🖌 අමා සිල්වා | සිත්තම් මායා
%d bloggers like this: