Menu Close

බිත්තර හා කිරි නොමැති ආහාර සැදීම

බිත්තර නැතිව කෑම සෑදීම 
අනුන් උයන ඒවා හොඳට කාල බිල හිටපු මට විවාහවෙලා ගිය ගෙදර මස්, මාළු බිත්තර  නැති කෑමට හුරුවෙන්න වුණා. උයන්න ටිකක් හොර මම ඒ වෙනසට කැමතිවුනා. ඒත් ඉතින් වෙන වෙන රසකැවිලි හදන්න, බේක් කරන්න ගියාම තමයි අභියෝගය ආවේ. බිත්තර නැතුව කේක් හදන්නේ කොහොමද? ඒ කාලේ ඉන්ටනෙට් තිබුනෙත් නැහැනේ. තරුණි, සිරිකත පත්තර පෙරළන් බැලුවත් ලැබුනෙ නැහැ උදව්වක්. අහම්බෙන් අම්මගේ කුකරි පොතක වෙසක් කේක් කියල රෙසිපියක් හමුවුණා. දරුවන්ගේ උපන්දින වලට නොවරදවා හදපු මෝස්‌තර කේක් කරලියට ආවේ එහෙමයි.

ඒ රෙසිපියේ බිත්තර හා සිනි වෙනුවට condensed milk හෙවත් උකුකිරි/ටින්කිරි  යොදාගත්තේ.
බිත්තරවලින් කෙරෙන්නේ මොකක්ද?

1. binding :ද්‍රව්‍ය එකට බඳවා තැබීම
2. leavening :අමුද්‍රව්‍ය අතර වාතය රඳවා ආහාරය පිපුම් ගතියක් ලබාදීම
3. moisture : තෙතමනය රඳවා ගැනීම
4. රස හා පෙනුම ලබාදීම

මේ සියලු දෙය රසේ හෝ පෙනුමේ වෙනසක් නොදැනෙන්න උකුකිරි මගින් ලැබුණා. කවුරුත් විශ්වාස කලෙත් නැහැ බිත්තර නොයොදා හැදුවේ කියල.
පසු කාලෙක වෙනත් දේවලුත් බිත්තර වෙනුවට ආදේශක ලෙස යොදාගන්න පුළුවන් බව දැනගත්තා.

  •  🍌 🥑   පොඩිකරගත් ඉදුණු කෙසෙල් හෝ ඉදුණු අලිපේර : බිත්තරයක් වෙනුවට මේවයින් ග්‍රෑම් 65ක් ප්‍රමාණවත්. කෙසෙල්වල රස තරමක් එන අවස්ථා තියනව. 
  •  සෝයා කර්ඩ්/ ටෝෆු  : ඒ කියන්නේ ඝන සෝයා කිරි. මේවත් එක බිත්තරයක් වෙනුවට 60g ප්‍රමාණවත්. ඔම්ලට් වුනත් හදන්න පුළුවන්. 
  •  විනාකිරි හා බේකින් සෝඩා : බේකින් සෝඩා තේ හැන්දකට විනාකිරි මේස හැන්දක් මිශ්‍ර කළාම බොහෝ ආහාරවල බිත්තර වෙනුවට ගන්න පුළුවන්. මේවා මිශ්‍ර කරන්න ඕන බැටර් එක තුලදිමයි. 
  • යෝගට් හෝ බටර්මිල්ක් : කේක්, කප් කේක් වලට කදිමයි. 
  •  හුලංකිරිය පිටි (Arrowroot powder) : බිත්තරයක් වෙනුවට හුලන්කිරිය පිටි මේස හැඳි දෙකක්  වතුර මේස හැඳි තුනක දියකරලා ගන්න.
  • කවුපි, කඩල, මුං ඇට තම්බපුවම ඉතුරුවෙන වතුර (aquafaba): බිත්තරයක් වෙනුවට දියර මේස හැඳි තුනක් ඇති. මාෂ්මෙලෝස්, බ්‍රවුනිස් එහෙම හදන්න නියමයි.

Apple sauce 
  •  🥜 පීනට් බටර්, ආමන්ඩ් බටර් : බිත්තරයක් වෙනුවට මේවා මේස හැඳි තුනක් යොදාගෙන බිස්කට් එහෙම හදන්න පුළුවන්.  
  • ඇපල් මදය පොඩිකරල සීනි එක්ක උණු කරලා හදන ඇපල් පියුරි/ ඇපල් සෝස්  කෙසෙල් වගේම යොදාගන්න පුළුවන්. වෙනස් රසක් එන්නෙත් නැහැ.
  •  සෝඩා වතුර දාන්නත් පුළුවන්.
  •  Egg Replacer නමින් කඩෙන් ගන්න තියනව. අර්තාපල් පිටි හා තවත් ද්‍රව්‍ය වලින් හදල තියෙන්නේ. 

බිත්තර allergy අයට හා බිත්තර නොකන වෙජිටේරියන් අයට මේ ක්‍රම අත්හදා බලන්න පුළුවන්.    🥐🥞🍰 🍩🥮 🥪🧀🍪🧁🍩🍹

සත්ව කිරි නැතිව කෑම සෑදීම
සර්ව භක්ෂක ඉඳල ශාක භක්ෂක වුනු මට ඊළඟ ආහාර අභියෝගය එන්න තව වසර ගණනාවක් ගියා. දුව පොඩිකාලේ සිටම සතුන්ට හරිම ආදරෙයි.  2015 යාපනේ ගිය වෙලාවේ නැවතිලා හිටි ගෙදර එළදෙනුන්ගෙන් කිරි ගන්න විදිය දැකල හරිම සතුටු වුනා. එයා කිව්වේ එලදෙනවත් ඉන්න තැනත් පිරිසිදු කරලා, පැටියටත් දීල ඒ වගේ කිරි ගන්න එක ඒ සතුන්ගේ වාසනාවක් කියල. මම කිව්වා අපි පොඩිකාලේ එහෙම ගන්න කිරි බිව්වේ කියල.
කලක සිටම වානිජමය කිරි නිෂ්පාදනයේදී  සතුන්ට සිදුකරන කරදර ගැන කියමින් හිටියා. එළදෙනුන් නිතර බලෙන් ගැබ් ගැන්වීම, පැටවුන් ඉතා කුඩා කළම මවගෙන් ඈත් කිරීම, පිරිමි පැටවුන් කුඩා කල මසට ගැනීම, මෙලෙස ශාරීරික හා මානසික වධයන්ට ලක් කරන මව්දෙනගේ ප්‍රජනන හැකියා අඩුවෙත්ම සැලකිලි අඩු කර පසෙක දැමීම ගැන නිතර පැමිණිලි!
ගිය වසර අග එයා කිව්වා ඊළඟ මාසේ ඉඳන්  vegan වෙනවා කියල. ඒ කියන්නේ සත්ව කිරි බොන්නේ හෝ කිරිවලින් සාදන ආහාර ගන්නේ නැහැ කියල. ඒ සඳහා සාධාරණ හේතුත් කිව්වා. අපි හැමදෙනාම එයාගේ අදහසට ගරුකරලා එයට ඉඩ දුන්නා. නමුත් ආහාර වර්ග හදද්දී ආයේ ලොකු අභියෝගයක්.
හැබැයි මම මුලින් වෙජිටේරියන් වුනු කාලේ වගේ අමාරු නැහැ. දැන් හුඟක් අය වීගන් ආහාර ක්‍රම අනුගමනය කරන හින්ද ආහාර වර්ග හොයාගන්න පුළුවන්. හැම අසුරුමේම ‘අඩංගු දේ’ සඳහන් හින්ද තොරගන්නත් පහසුයි.
දුව එයාට ඕනකරන ආහාර තෝරාගෙන ආව. මුලින් එයා තනියම එයාගේ ආහාර හදාගත්ත. ගෙදර අනිත් අය විගන් වුනේ නැහැ. කොරෝනා කාලේ හැමෝම ගෙදර ඉන්න වුනාම විශේෂ ආහාර හැදීමත් වැඩිවුණා. මටත් ක්‍රම හොයන්න වුණා කාටත් කන්න පුළුවන් වර්ග හදන්න.
දැනට අපි යොදාගන්න ක්‍රම මේවයි.

1. සෝයා කිරි, හේසල්නට් කිරි  හෝ ආමන්ඩ් කිරි භාවිතය: රසයේ තරමක වෙනසක් තිබුණත් බොන්නත්, කිරි යොදාගෙන හදන ආහාර හැම එකක්ම හදන්නත්  පුළුවන්. මේවට සිනි එකතු කරන අවස්ථා තියන නිසා මිලට ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
2. ඕට්ස් කිරි භාවිතය: හුඟක් ආහාර හදද්දී කිරි වෙනුවට රෙසිපියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිතා කරන්න පුළුවන්.
3. රයිස් මිල්ක්: රතු හාල්වලින් හදන කිරි වෙළඳ පොලේ තියනව.  ඇත්තටම මම හාල්වලින් කිරි හදන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නැහැ.
4. සත්ව කිරි නොවෙන බටර්, චීස් ආදියත් වෙළඳ පොලේ තියනව. සාමාන්‍ය කජු, ආමන්ඩ් හා මැකඩමියා කියන කජු වර්ග වලින්  මෙම බටර් හා චීස් හදන්නේ.  සත්ව කිරි හා සමානම පෝෂණ කොටස් තිබුණත්, සිරුරට ගුණදායක HDL කොලෙස්ටරෝල් තියෙන නිසා රෝග සැදීමේ අවදානම අඩුයි. පීසා, ලසඥ්ඥ, රැප්ස් වගේ චීස් අවශ්‍ය ආහාර ඒවායින් හදාගන්න පුළුවන්.
5. සෝයා ටෝෆු භාවිතය.
6. බටර්මිල්ක් අවශ්‍ය රෙසිපි වලට ඒ වෙනුවට ලෙමන් යුෂ, විනාකිරි, cream of tartar, ටෝෆු භාවිතය
7.  පොල් කිරි භාවිතය 🙂🙂
ලොකුම
ලොකුම අභියෝගය තමයි බඩු ගන්න කඩේ ගියාම භාණ්ඩ හැම එකේම කිරි හෝ සත්ව කොටසක් ගෑවිලා තියනවද කියල පරික්ෂා කරන එක. 🧐මාගරින් වල පවා කිරි හෝ කිරි කොටස් අඩංගු විය හැකිය කියල තියනවනේ. හොයල හොයල ගෙනාවමත් may contain milk කියල තියනව. එහෙම තියෙන්නේ එකම කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවලින් කිරි අඩංගු ආහාරත් හදන නිසාලු.
ලෝකෙම මිනිස්සු සත්තුන්ගෙන් කිරි ගන්න එක නැවත්තුවම ඒවා හරියයි.  🤔

උදව්:
ආහාර පිලිබඳ කියා දුන් සැමට
www.healthline.com/nutrition/egg-substitutes
www.huffingtonpost.ca/2016/06/16/aquafaba-recipes
www.peta.org/living/food/everything-you-need-to-know-about-vegan-cheese/
www.mybluprint.com/article/milk-substitutes
www.purewow.com/food/vegan-buttermilk-substitute









%d bloggers like this: