Menu Close

සංස්කාර ධර්මයන් නැසෙන සුළු වීම අනිවාර්යය නැහැ

saskiafernandogallery-jagath-weerasinghe-backpack-7-2019 (1)

ඉයන් හැමිල්ටන් ග්‍රාන්ට් නම් ‘සමපේක්ෂී යථාර්ථවාදියා’ උගන්වන විශ්ව විද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම තීරණයට විරුද්ධව පොදු විරෝධයක් පැන නගිමින් පවතින අතර එයට එරෙහි අන්තර්ජාල පෙත්සමක් අපේ රටේ දර්ශනය සහ අධ්‍යාපන නිදහස වෙනුවෙන් පෙනී සිටිනා අය අතර සංසරණය වනු දක්නට ලැබුණි (පෙත්සමේ සබැඳිය මෙතැනින්). තමන් හරියට නොදන්නා දේවල් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කප් ගසා ඇති නලින් ද සිල්වා ද හදිසියේ නොදන්නා ග්‍රාන්ට් කෙනෙක් ගැන විශේෂ අදහස් දැක්වීමක් කිරීමට ඉදිරිපත් වී තිබුණි. නමුත් මේ අතර තරමක පුදුමාකාර දෙයක් ඔහු අතින් කියවෙයි. ඔහු බොහොම අපහාසාත්මක ලෙස කියා සිටින්නේ ග්‍රාන්ට් උගන්වන ‘වෙස්ට් ඔෆ් ඉන්ග්ලන්ඩ්’ විශ්ව විද්‍යාලය වසර විසි අටක් පමණක් පැරණි විශ්ව විද්‍යාලයක් බවයි. කාටත් තේරෙන සරල බසකින් කියන්නේ නම් ඔහු කියන්නේ මෙවැනි දෙයකි: ඔය වගේ විශ්ව විද්‍යාල ‘කවුරුවත්’ ගණන් ගන්නේ නැහැ. විශ්ව විද්‍යාල කියන්නේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ලන්ඩන් විශ්ව විද්‍යාල වැනි තැන් පමණි!

මෙයට අනුව විශ්ව විද්‍යාලයක වටිනාකම තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් තිබෙන මහජන පිළිගැනීම අනුවයි. කෙනෙක් ලබන උපාධියේ වටිනාකම තීරණය වන්නේ ඔහු/ඇය ඉගෙන ගන්න දෙපාර්තමේන්තුවේ සිටිනා ගුරුවරුන් කවුද, එහිදී උගන්වන පාඨමාලා මොනවාද, ඒවා ඉගැන්වීමට ඒ ගුරුවරුන් කොතරම් සමත් වේ ද වැනි දේ මත නොවේ. ඒ වෙනුවට උපාධියේ වටිනාකම තීරණය වන්නේ ඒ විශ්ව විද්‍යාලය ගැන සමාජ පිළිගැනීම, සමාජ තත්වය අනුවයි, මධ්‍යම පාන්තික ආකල්ප අනුවයි. ඒ අනුව ඔබගේ විශ්ව විද්‍යාලයේ නම කියූ සැනින් ඔබට ආඩම්බරයක් ඇති විය යුතුය. ඔබේ දෙමව්පියන්ට බොහෝම ආඩම්බරයෙන් මෙසේ කියන්නට හැකි විය යුතුය: ‘අපේ පුතා දැන් ඔක්ස්ෆර්ඩ් වලනේ ඉගෙන ගන්නේ’. නලින් ද සිල්වා ට අනුව යහපත් විශ්ව විද්‍යාලයක් මැන ගන්නා මූලික නිර්ණායකය විය යුත්තේ මෙයයි.

නොවැදගත් ලෙස පෙනී යා හැකි වුවත් මෙය ජාතික චින්තනවාදය සම්බන්ධ ඉතා වැදගත් අදහසක් අපට හෙළි කරයි. සත්‍ය වශයෙන්ම එහි තිබෙනා උග්‍ර බටහිර විරෝධය තිබෙන්නේ ඉතාම තදින් බැඳුනු උග්‍ර බටහිර වන්දනාවක් ද සමගයි. එමගින් පෙනී සිටින්නේ එක්තරා යුගයක, ධූරාවලිගත වූ බටහිර පිළිබඳව අදහසක් වෙනුවෙනි. ජාතික චින්තනවාදයේ සැඟවුණු ඔවදන වන්නේ මෙයයි: අපිට බටහිර මිනිසා තරම් දියුණු වෙන්න බැහැ බටහිර විදියට හිතුවොත්; මන්ද බටහිර මිනිසාට එම තරඟයේ වාසියක් තිබේ. ඒ නිසා අප කළ යුත්තේ අපේ විදියට සිතීමයි. එවිට අපටද බටහිර මිනිසා හා සමානයෙක් විය හැකිය. ජාතික චින්තනවාදයේ බටහිර විරෝධය පසුපස ඇති ආශාව වන්නේ මෙයයි. එය බටහිර සමාජය සම්බන්ධයෙන් මෙතරම් සම්ප්‍රදායිකවාදී ලෙස සිතන්නේ එම නිසාය. එයට අවශ්‍ය වන්නේ ඔක්ස්ෆර්/කේම්බ්‍රිජ් වලින් සැදුම් ලත් සම්ප්‍රදායික ඉංග්‍රීසි අධ්‍යාපනයේ ධූරාවලියක් වෙනුවෙන් පෙනී සිටීමටයි.

නමුත් අද ලෝකයේ දර්ශනය වර්ධනය වන්නේ මේ අය ආශා කරන සම්ප්‍රදායික බටහිර ලෝකයේ ධූරාවලීන් ට අනුව නොවේ. අද දර්ශනයේ වඩාත්ම කතා බහට ලක් වන, වඩාත්ම රැඩිකල් වර්ධනයන් සිදු වන්නේ මේ ආකාරයේ සම්ප්‍රදායික විශ්ව විද්‍යාල වලින් බාහිරවයි. සමකාලීන දර්ශනයේ කතා බහට ලක්වන චරිතයක් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි විශ්ව විද්‍යාලයක හමු වන්නේ ඉතාම විරල ලෙස පමණි. ඔබට සැබැවින්ම අලුත් දේ සිදු වන දාර්ශනික දෙපාර්තමේන්තුවක් හා සම්බන්ධ වීමට අවශ්‍යනම් මධ්‍යම පන්තික වටිනාකම් ඉවත දැමීමට සිදු වේ. මෙය කිසිවෙක්ට ප්‍රශ්නයක් නොවන්නේ මේ ආශාවල් අත්හැර ඒ සමාජ බොහෝ ඉදිරියට ගොස් තිබෙන නිසාය.

මෙයටත් වඩා, නූතන විශ්ව විද්‍යාල සම්ප්‍රදායේ බරපතල වෙනසක් අද ඇති වෙමින් තිබෙනා බව ඉතාම පැහැදිළි වෙයි. කොරෝනා වසංගතය සහ ඒ සමග පැතිරුණු ‘ඔන්ලයින් අධ්‍යාපනය’ පිළිබඳව අදහස මෙහි තවත් තීරණාත්මක වෙනසක් සලකුණු කරනවා යන්න සම්බන්ධයෙන් අද වනවිට එතරම් සැකයක් නොමැත. ඉතාමත් කෙටි කාලයකදී ඔබට ලෝකයේ සිටිනා වැදගත්ම චින්තකයන් සමග ඔබගේ නිවසේ සිට ගණුදෙනු කිරීමට ඉඩක් ලැබිය හැකිය. අවුරුදු විස්සකින් තිහකින් පමණ අලුත් දෙයක් කියවා නොමැති එක තැන පල්වෙන බුද්ධිමතුන් ට මෙය දරා ගැනීමට බොහෝ අපහසු වනු ඇත.

වියහැකි දෙයෙහි පරමත්වය යනු මෙයයි. පවත්නා දේ මෙලෙස තිබීම මෙන්ම පවත්නා දේ වෙනස් වීම ද අනිවාර්ය වන්නේ නැත.

පහතින් තිබෙන්නේ අපගේ ‘ඔන්ලයින් මෙයසූ සංවාදය’ වෙනුවෙන් සකස් කළ දේශන සටහනයි. මෙයට අදාළ සාකච්ඡාව පසුගිය ඉරිදා – ජුනි 21 දා – පැවැත්වුනි. එම සංවාදයේ වීඩියෝව ‘බටහිර ඉවුරේ දර්ශනය’ නම් යූටියුබ් නාලිකාවෙන් බලා ගත හැකිය (සබැඳිය මෙතැනින්). මේ සටහන සමග එය බලන මෙන් ඉල්ලන්නේ, එහි බොහෝ පැති මානයන් ගවේෂණය වන නිසාය.

අපේ ‘ඔන්ලයින් විශ්ව විද්‍යාලයට’ මාස දෙකක් වත් නැහැ! මධ්‍යම පන්තිකයන් මේක සත පහකට ගණන් ගන්න එකක් නැහැ නේද? අපේ පුතා යන්නෙත් අර සිංහලෙන් මෙයසූ ගැන කතා කරන ‘ඔන්ලයින් විශ්ව විද්‍යාලයට’ කියල කොයි තාත්ත ද ආඩම්බරෙන් කියන්නේ?

 

***

 

කරුණුත්වයේ මූලධර්මය නොවුපන්‍යාසික වන්නේ ඇයිද කියා අපි දැන් දනිමු. සංක්ෂිප්තව ගත්විට මෙයසූ ගේ තර්කය අපට මෙලෙස තේරුම් ගත හැකිය. මෙය ප්‍රතික්ෂේප කිරීම සඳහා කෙනෙක් ට තිබෙන්නේ එකම එක මාවතකි. ඒ සඳහා පෙන්වා දිය යුතු වන්නේ අනිවාර්යයෙන් පවත්නා යමක් ඇති බවයි. එසේතන් නැතිනම් අනිවාර්යයෙන් වලංගු වන්නා වූ මූලධර්මයක් ඇති බවයි. නමුත් නූතන දර්ශනය අපට දිගින දිගටම පෙන්වා ඇති ලෙසට මෙය කිසිදා කළ නොහැකි වේ. මෙයට හේතුව වන්නේ අපට දැන ගත හැකි සියල්ල අපට සාපේක්ෂ ලෙස පමණක් නිවැරදි වීමයි. එම නිසා කිසිවක් අනිවාර්යයෙන්, සදාකාලිකව, අප සිටියත් නැතත් වලංගු වන බව පෙන්වා දීමට අපට පදනමක් නොමැති වේ. එම නිසා අපට කිව හැකි එකම දේ වන්නේ අප සිටිනා තුරු, යම් යම් දේ මෙසේ තිබෙනවා කියා අපට කිව හැකි බව පමණි. වෙනත් ආකාරයකට කියන්නේ නම් පවත්නා ඕනෑම දෙයක් පවතින්නේ කරුණක් ලෙස පමණි. එම නිසාම එය මෙලෙස පැවතීමට සහ වෙනත් ආකාරයකට නොපැවතීමට හේතුවක් ලබා දීමට අපට නොහැකි වේ. පවත්නා ඕනෑම දෙයක් මේ තිබෙන ආකාරයෙන් රැඩිකල් ලෙස වෙනත් ස්වරූපයක් ගෙන පැවතීමට හෝ නොපැවත්මක් බවට පත් වීමට සමත් වන්නේ මෙම නිසාය. මෙයට හේතුව වන්නේ සියල්ල වෙනස් කරන ගැඹුරු හේතුවක් තිබීම නොව කිසිවක් සඳහා අවසානයේ හේතුවක් නොමැති වීමයි. අපට සාපේක්ෂ ලෝකය ලෙස දැන ගත හැකි දෙය බෙදා වෙන් කර ගැනීමේ වන්දිය මෙයයි. අවසානයේ දී මේ සියල්ල සිතා ගත නොහැකි ලෙස වෙනස් වී යා හැකි බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකි වන අතර එම නිසා එය උපන්‍යාසයක් ලෙස නොව තර්කයේ ආරම්භක මොහොතේ දී ම නිවැරදි බව පිළිගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ නැත.

මෙය පැහැදිළි කර ගැනීමට මෙයසූ කාලය පිළිබඳව අදහසක් අප වෙත යෝජනා කරයි (පි. 205-206). මෙම කෘතියේ දී මෙයසූ අතින් මෙම කරුණ එතරම් විදාරණය නොවන්නේ වුවත් මේ තිබෙන්නේ ඔහුගේ සත්‍යය උනන්දුව බව අපි දනිමු. මෙයසූ ගේ දාර්ශනික ව්‍යාපෘතිය සාරාංශ කළ හැකි එක් ආකාරයක් වන්නේ කාලය පිළිබඳව හේගලියානු ප්‍රවාදයට හෛඩගර් සහ ඩෙරීඩා දැක්වූ ප්‍රතිචාරය ඉක්මවා යාම ලෙසයි. පොදුවේ ගත්විට අප සිටින්නේ තවමත් මෙම හෛඩගරියානු සහ ඩෙරීඩියානු ආධිපත්‍යය තුළ කියා කිව හැකිය. නිරපේක්ෂ ලෙස පවතින්නේ ඕනෑම දෙයක් වෙනස් කිරීමට ඇති හැකියාව යන අදහස මෙයසූ ඉදිරිපත් කරන්නේ කාලය පිළිබඳව මෙම ආධිපත්‍යධාරී අදහසට විකල්ප සිතීමක් ලෙසයි.

තරමක් සරල අර්ථයෙන් ගත්විට මෙයසූ යෝජනා කරන්නේ මෙවැන්නකි. අප කාලය සම්බන්ධයෙන් සිතන්නට පුරුදු වී තිබෙන්නේ එය කිසියම් ආරම්භයක් සහ අවසානයක් සහිත දෙයක් ලෙසයි. නිදර්ශනයක් ලෙස කාලය ආරම්භ වන්නේ දෙවියන් වහන්සේ ගෙන් කියා කිතුණුවන් විශ්වාස කරයි. ලෝකයට ආරම්භයක් තිබුනද දෙවියන් වහන්සේ ට ආරම්භයක් නැත. එම නිසා කාලය ගලා යාම යන අදහස ඇති වන්නේ දෙවියන් ගෙන් පසුවයි. එවිට දෙවියන් සිටින්නේ කාලයෙන් බාහිරව පමණි. තවත් නිදර්ශනයක් ලෙස නලින් ද සිල්වා ගේ බුදු දහමට අනුව කාලය ආරම්භ වන්නේ අපේ මනස නම් වූ බොරුව නිර්මාණය වීමත් සමගිනි. එම නිසාම නිවන සම්මාබෝධය සමග කාලය අවසන් වෙයි. තවත් එක් නිදර්ශනයක් ලෙස අපට ස්වභාවික නීති වල සදාකාලිකත්වය පිළිගන්නා විද්‍යාත්මක යථාර්ථවාදයක් සලකා බැලිය හැකිය. එවැනි ස්ථාවරයක් මත කෙනෙක් කියනු ඇත්තේ, නිදර්ශනයක් ලෙස, ගුරුත්වාකර්ෂණය සදාකාලික වන බවයි. නමුත් එම අර්ථයෙන් ගත්විට අප ගුරුත්වාකර්ෂණය හඳුනා ගත යුතු වන්නේ කාලයෙන් බාහිරව තිබෙනා දෙයක් ලෙසයි. මේ අවස්ථාවන් තුනේම පොදු ලක්ෂණය වන්නේ මෙමගින් අපට කාලය පිළිබඳව ලැබෙන චිත්‍රය දුප්පත් එකක් වීමයි. කාලය යනු සෑම විටම එයට වඩා ‘විශාල’, ‘වැදගත්’, ‘සැබෑ’ දෙයින් මෙහා තිබෙනා දෙයකි. එම නිසාම කාලය තුළ විය හැක්කේ අපට සිතා ගත හැකි, සීමා සහිත දේ පමණි.

මෙයට පරස්පරව මෙයසූ ගේ අහඹුබවේ නිරපේක්ෂකත්වය මගින් යෝජනා කරනා විකල්පයේ ඇති වාසිය තේරුම් ගැනීම අපහසු නැත. තවදුරටත් අපට කාලය පිළිබඳව සිතීම සඳහා කිසිවක් කාලයෙන් බහිශ්කරණය කිරීමට අවශ්‍ය නොවේ. ඒ වෙනුවට අපට තිබෙන්නේ අසීමිත ලෙස පොහොසත් කාලයකි. එය සෑම දෙයක්ම, සෑම නීතියක්ම ඇති කිරීමට සහ නැති කිරීමට සමත් වන්නා වූ කාලයකි. එහි දෙවිවරුන් ඇති විය හැකිය, එහි නිර්වාණ සුවයන් තිබිය හැකිය, එහි භෞතික විද්‍යාවේ නීති ඇති විය හැකිය. නමුත් ඒ හා සම ලෙස මේ සියල්ල නැති වී ගොස් වෙනත් දේ බවට පරිවර්තනය වීමට ද හැකිය. මන්ද, පරම ලෙස පවතින්නේ වෙනත් දෙයක් බවට පත් කිරීමේ හැකියාව පමණි. මෙම අහේතුව පරමකරණය කිරීම මගින් අපට අත්පත් වන පළමු වාසිය වන්නේ මෙයයි. අපට දැන් ඕනෑම දෙයක් ඇති කිරීමට සහ නැති කිරීමට සමත් වූ කාලයක් පිළිබඳව අදහසක් තිබේ. එම නිසාම අපේ වර්තමාන යථාර්ථය කිසිදු අයුරකින් අපට අත්පත් විය හැකි පැවැත්මේ අවසානය නොවේ. අපගේ පැවැත්ම පාලනය කරන ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක මෙන්ම මනෝවිද්‍යාත්මක කොන්දේසි ද සිතා ගත නොහැකි ලෙස වෙනස් වීමේ විභවයට සෑම මොහොතකම විවෘත වෙයි. පරම ලෙස වලංගු වන්නේ අහඹුබව පමණි.

නමුත් මෙම පරම අහඹුබව අප සාමාන්‍යයෙන් අහඹුබව ලෙස අනුභූතිකව නම් කරනා දෙයින් වෙනස් කර ගැනීම වැදගත් වෙයි (206-207). අනුභූතික අහඹුබව යන්නෙන් අදහස් කරන්නේ යම් යම් දේ විනාශ විය හැකි වෙයි කියා අපට ඇති නිශ්චිත දැනුම් ය. පොත්, පලතුරු, මිනිසුන්, තාරකා ආදී විශාල පරාසයක දේ වෙත මෙම අනුභූතික අහඹුබව අදාළ වෙයි. එහිදී ඒවා විනාශ වන්නේ ඇයිද කියා අපට පැහැදිළි කිරීමක් ලබා දිය හැකිය. බොහෝ විට එය අප මේ වනවිටත් හඳුනාගෙන තිබෙන අනුභූතික නීතියකට අනුව සිදු වෙයි. එම නීති වෙනස් නොවන තාක් ඒවා විනාශ වන බව අපට නිශ්චිතව කිව හැකිය. මෙවැනි අකාරයේ අනුභූතික අහඹුභාවයන් නම් කිරීම සඳහා මෙයසූ ‘අස්ථිරබව’ යන සංකල්පය යෝජනා කරයි. එමගින් අදහස් වන්නේ කිසියම් දෙයක් ස්ථිර නොවන බව, වෙනස් විය හැකි බව අප දන්නා අවස්ථාවන් ය.

මෙම අස්ථිරබව ට එරෙහිව පරම අහඹුබව මගින් නම් කරන්නේ පාරිශුද්ධ වියහැකිභාවයක් පමණි. එමගින් කිසිදු ආකාරයක අනිවාර්ය පැවැත්මක් නියෝජනය කරන්නේ නැත. එම නිසාම අස්ථිරභාවයට වෙනස් ලෙස මේ මගින් යම් යම් දේ විනාශ වීමේ හැකියාව මිස ඒවායේ අනිවාර්ය විනාශය ප්‍රකාශ කරන්නේ නැත. මේ කාරණය අවධාරණය කිරීම වැදගත් වන්නේ මෙයසූ ගේ පරම අහඹුබව සම්බන්ධයෙන් තිබෙනා සුලභ වැරදි වැටහීමක් නිසාය. අහඹුබවේ පරමත්වය මගින් සියල්ල නැති වී යාමේ අනිවාර්යතාවයක් යෝජනා කරන්නේ නැත. වෙනත් ආකාරයකට කියන්නේ නම් එමගින් කියා සිටින්නේ ‘සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු’ වනවා යන්න නොවේ. අප කියන්නේ එයනම් එවිට එම ‘සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු’ වනවා යන්න තවදුරටත් අහඹුබවට යටත් වන්නේ නැත. අප කියා සිටින්නේ එය අනිවාර්ය නීතියක් බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස එය අපට සලකා බැලිය හැකි වන්නේ කාලයට බාහිර වූ සදාකාලික පැවැත්මක් ලෙස පමණි. නමුත්, අප දන්නා පරිදි, අහඹුබවේ අනිවාර්යතාවය මගින් මේ ආකාරයේ නියාම ධර්ම වල පැවැත්ම මුළුමනින් අර්බුධයට පත් කරයි. එමගින් කියා සිටින්නේ, අන් සෑම දෙයක් හා සම ලෙසම මේවා ද වෙනස් විය හැකි බව සහ අනෙකක් බවට පත් විය හැකි බවයි. එවිට අපට අසන්නට තිබෙන්නේ ‘ඇයි’ යන ප්‍රශ්නය පමණි: සෑම සංස්කාර ධර්මයක් ම නැසෙන සුළු වන්නේ ඇයි? මෙහිදී ‘සංස්කාර ධර්මය’ යන්න අප නිර්වචනය කරන්නේ කෙසේද යන ගැටලුව තීරණාත්මක වන්නේ නැත. එහි ‘සැබෑ අර්ථය’ කුමක් වුවත් එය මෙසේ අකණ්ඩව පැවතීම යුක්ති යුක්ත කිරීමට සමත් වන්නේ නැත. ‘ඇයි’ යන ප්‍රශ්නය අවශ්‍ය ප්‍රමාණක් වර නැගීමෙන් අපට මෙම ප්‍රශ්නයට තිබෙන්නේ ද පරිමිතවාදී දර්ශනවාදයේ සම්භාව්‍ය පිළිතුර පමණක් බව තේරුම් ගැනීම අපහසු වන්නේ නැත.

අපට කියන්නට තිබෙන්නේ අප දන්නා කියන ලෝකයේ එය මෙසේ වී ඇති බවත්, ඉදිරියේදී එය මෙසේ වීමට ඉඩ ඇති බවත් පමණි. නමුත් එය එසේ වීමේ කිසිදු අනිවාර්යතාවයක් අපට පෙන්වා දීමට හැකි වන්නේ නැත. අපට කළ හැක්කේ අපගේ පරිමිත දැනුම තුළ එය එසේ වනබවත්, සමහරවිට, අපට සිතා ගත නොහැකි ලෙස එය වෙනත් දෙයක් බවත්වීමට හැකි බවත් පිළිගැනීම පමණි. අහඹුබව යනු කිසි සේත් අස්ථිරබව නොවන්නේ මෙම නිසාය. අහඹුබව මගින් සියල්ල නැති කිරීමට මෙන්ම පවත්නා දේ කිසිදු වෙනසකින් තොරව මේ ආකාරයටම අකණ්ඩව පැවතීමට ද ඇති හැකියාවක් අදහස් කෙරෙයි. සියල්ල ඇති කිරීමට, නැති කිරීමට හෝ මෙලෙසම තබා ගැනීමට සමත් කාලයක් යනු මෙයයි.

අහඹුබවේ අනිවාර්යතාවය නිසා, නිදර්ශනයක් ලෙස, අනිච්චාවත සංඛාරා යන නීතිය අවලංගු වී යන කාලයක් පැමිණිය හැකි අතර සමහර දේ වෙනස් නොවී අකණ්ඩව පවතිනු ඇත.

මෙවැනි නීති පිළිබඳව විශ්වාසය නියෝජනය කරන්නේ හේතුවේ මූලධර්මය බව පැහැදිළි වේ. පොදුවේ ගත්විට නූතන දර්ශනය මගින් මෙවැනි ආගමික හේතු දැක්වීම් සම්බන්ධයෙන් නිහඬව සිටීමට උත්සාහ කිරීම මගින් ප්‍රායෝගිකව සිදු වන්නේ මෙවැනි ‘සැඟවුණු හේතු’ සඳහා වලංගු බවක් ලැබීමයි. එම අර්ථයෙන් ගත්විට, මෙයසූ පෙන්වා දෙන ලෙස, නූතන දර්ශනය යනු ආගම වෙනුවෙන් නිදහසට කරුණු දක්වන්නා – ආගමේ ක්ෂමාලාපකයා – කියා අපට කිව හැකිය. එමගින් කියා සිටින්නේ අපට පවත්නා දේ මෙලෙස තිබීමට පරම වූ හේතුවක් ලබා දිය නොහැකි වන නිසා ඒවා යටින්, අප තවමත් හඳුනාගෙන නැති ගැඹුරු හේතුවක් තිබීමේ හැකියාව ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

මෙයට පරස්පරව මෙයසූ පෙන්වා දෙන්නේ පරිමිතවාදියා ගේ මෙම තර්කය මගින් අපට සැඟවුණු සද්භාවවේදී සත්‍යයක් නිරාවරණය කර ගත හැකි බවයි. මෙවැනි සැඟවුණු හේතුවක් පිළිගැනීමට සහසම්බන්ධතාවාදී දාර්ශනිකයන් එකඟ වන්නේ පවත්නා දේ වෙත පරම හේතුවක් ලබා දීමට ඔවුන්ට නොහැකි නිසාය. එම නිසා පවත්නා දේ ඔවුන්ට සිතා ගත නොහැකි ලෙස වෙනස් වීමේ හැකියාව පිළිගැනීමට ඔවුන් එකඟ වෙයි. නමුත්, අප දුටු පරිදි, මෙලෙස එකඟ වීම මගින් ඔවුන්ට ප්‍රායෝගිකව පෙන්විය හැකි එකම දෙය වන්නේ මේ පවත්නා දේ මෙලෙස අකණ්ඩව පැවතිය හැක්කේ ඇයි කියා කිව නොහැකි වන හෙයින් එය අපට සිතා ගත නොහැකි ලෙස වෙනස් වීමේ හැකියාවට යටත් වන බව පමණි. නමුත් මේ මගින් සත්‍ය වශයෙන්ම හෙළිදරව් වන්නේ අන් කිසිවක් නොවේ අපේ පැවැත්ම තුළ සිට අපට සිතිය හැකි එකම නිරපේක්ෂ වූ අදහස බව දැන් අපි දනිමු. එම අදහස වන්නේ කිසිදු හේතුවකින් තොරව ඕනෑම දෙයක් සිදු විය හැකි බවයි.

මේ අර්ථයෙන් ගත්විට අප දැන් ආරම්භක අරමුණ වෙත පැමිණ ඇති බව කිව හැකි ය. මෙයසූ ගේ ඉලක්කය වූයේ සහසම්බන්ධතාවාදයේ චක්‍රයට හසු නොවන පරම සත්‍යයක් නිරාවරණය කර ගැනීමයි. අහඹුබවේ අනිවාර්යතාවය මගින් අප වෙත විවර කර තිබෙන්නේ මෙයයි. පවත්නා ඕනෑම දෙයක් පැවතිය හැක්කේ එය පරම ලෙස පැවතීමට හේතුවක් ලබා දීමේ නොහැකියාවට යටත්ව පමණි. එම නිසාම එම අවසාන හේතුවක් නොමැති බව නිරපේක්ෂ ලෙස ස්ථාපිත කිරීම අපේ සිතීමේ පූර්ව කොන්දේසියකි. නමුත් මෙතනදී කෙනෙක්ට අලුත් ප්‍රශ්නයක් ඇති වීම වැළක්විය නොහැකිය. මෙවැනි පරමත්වයක් මගින් සත්‍ය වශයෙන්ම අපට ඇති ප්‍රයෝජනය කුමක්ද? එයටත් වඩා මෙය සාමාන්‍යයෙන් අප පරමත්වය (absolute) යන්නෙන් අරුත්ගන්වන දෙයෙහි පූර්ණ ප්‍රතිපක්ෂය නොවේද? (පි. 209) සාමාන්‍යයෙන් අප ‘පරම’ යනුවෙන් අදහස් කරන්නේ යමක සැබෑ සහ සත්‍ය පදනම යන්නයි. නමුත් මෙයසූ විසින් දැන් පෙන්වා දී තිබෙන්නේ කිසිදු පදනමක් වෙත ළඟා වීමේ නොහැකියාව පරම වන බවයි. එම නිසාම මේ මගින් විවර වන්නේ කිසිදු අර්ථයක් නැති, කිසිදු පදනමක් නැති ඕනෑම දෙයක් සිදු විය හැකි විකාර රූපී යථාර්ථයකි.

මෙයසූ ආරම්භයේ දී ප්‍රකාශ කර සිටියේ ඔහු ඩෙකාට් ගේ “Meditations” කෘතියේ තර්කය අනුගමනය කරනා බවයි. ඩෙකාට් ගේ විධික්‍රමය වූයේ පළමුවෙන් දෙවියන් ගේ පැවැත්ම සාධනය කර ඒ දෙවියන් අපව රවටන්නේ නැති වීම යන තර්කය මත බාහිර ලෝකය පිළිබඳව ගණිතමය දැනුම නිවැරදි වේ කියා තහවුරු කිරීමයි. වෙනත් ආකාරයකට කියන්නේ නම් පොදුවේ පවත්නා දේ සියල්ල සඳහා අදාළ වන ප්‍රාථමික පරමත්වයක් පළමුවෙන් තහවුරු කරගෙන එම පරමත්වය මත පදනම් වී ගණිතමය කතිකාවේ පරම වලංගු බව (ද්වීතීයික පරමත්වය) සඳහා අතිරේක තර්කයක් ගොණු කිරීමයි. නමුත් දැන් මෙයසූ විසින් සාධනය කර තිබෙන්නේ කිසි සේත් මෙවැනි ආකාරයේ ප්‍රාථමික පරමත්වයක් නොවේ කියා කෙනෙක් පැවසිය හැකිය. ඒ වෙනුවට ඔහු මෙහිදී තහවුරු කර තිබෙන්නේ ඕනෑම දෙයක් පරම ලෙස සිදුවීමේ හැකියාවකි. එම නිසා අපට එය නම් කළ හැකි වන්නේ අධි-වියවුලක් (hyper-chaos) ලෙස පමණි. නමුත් මෙවැනි අධි-වියවුලකින් අපට ගණිතමය කතිකාවේ පරම වලංගු බව සඳහා දාර්ශනික පදනමක් සැපයිය හැක්කේ කෙසේද? සත්‍ය වශයෙන්ම මේ මගින් කිසිදු දැනුමක් සඳහා පදනමක් සැපයිය හැක්කේ කෙසේද?

මෙයසූ විසින් පෙන්වා දී තිබෙන්නේ ඕනෑම දෙයක් ඇති කිරීමට, නැති කිරීමට, එසේත් නැතිනම්, අකණ්ඩව පවත්වා ගෙන යාමට සමත් වන්නා වූ පරම බලයකි. මෙය කිසි සේත්ම ඩෙකාට් ගේ දෙවියා මෙන් අපව රවටන්නේ නැති සත්‍යවාදී දෙවි කෙනෙක් නොවේ. මෙයට කිසිදු සදාචාරමය තෝරා ගැනීමක්,යහපත අයහපත පිළිබඳව වගකීමක් නැත. එම නිසාම මෙය අපට නම් කළ හැක්කේ අන්ධ ස්වයංක්‍රීයත්වයක් ලෙස පමණි. එම අර්ථයෙන් අප මේ හඳුනාගෙන තිබෙන්නේ කාලයට ‘තරමක් සමාන වන්නකි’ කියා මෙයසූ කියයි (පි. 210). නමුත් මෙම කාලය කිසි සේත් භෞතික විද්‍යාවට හඳුනා ගත හැකි කාලයක් නොවේ. එමගින් අපට හෙළිදරව් කරන්නේ සියලු භෞතික විද්‍යාත්මක නීති අවලංගු කළ හැකි කාලයකි. සියලු ප්‍රවාද, සියලු සුසමාදර්ශ බිඳ දැමිය හැකි කාලයකි. මෙම ස්වයං ක්‍රියාකාරීත්වයෙන් ඕනෑම නීතියක් නැති වී යා හැකිය. අනෙක් අතට මෙම කාලය පාරභෞතික විද්‍යාවට ද සිතිය නොහැකිය. මන්ද ඒ මගින් අපට හෙළිදරව් කරන්නේ සර්වබලධාරී දෙවියන් වැනි පැවැත්මවල් මෙන්ම නිවන වැනි අවසානයන් ද අවලංගු කළ හැකි කාලයකි. එමගින් සෑම සදාකාලික මූලධර්මයක වලංගු බව අභියෝග කරයි.

නමුත් මෙමගින් වුවත් අපට ඉහතින් මතු වූ ප්‍රශ්නයට ලබා දිය යුතු පිළිතුර කුමක්ද කියා පැහැදිළි වන්නේ නැත. සහසම්බන්ධතාවාදී දාර්ශනිකයා ගේ ආස්ථානය සහ මෙයසූ ගේ ආස්ථානය අතර අති විශාල වෙනසක් ඇති නොවේ කියා කෙනෙක් කිව හැකිය. බැලූ බැල්මට ගත්විට සහසම්බන්ධතාවාදියා කියා සිටින්නේ අපේ දැනුමින් එහා ඕනෑම දෙයක් සිදු විය හැකි බවත් ඒ ගැන තමන්ට දැනුමක් නැති බවත්ය. මෙයට වෙනස් ලෙස මෙයසූ කියන්නේ අපේ දැනුමින් එහා ඕනෑම දෙයක් සිදු විය හැකි බව තවදුරටත් අපේ දැනුමින් එහා තිබෙන්නක් නොව අපේ දැනුමේ කොටසක් සහ අපට ළඟා විය හැකි එකම නිරපේක්ෂ දැනුම වන බවයි. නමුත් ප්‍රායෝගිකව සහසම්බන්ධතාවාදියා ගේ ‘නොදැනුම’ සහ මෙයසූ ගේ ‘දැනුම’ අතර එතරම් වෙනසක් ඇති බව අපට පෙනී යන්නේ නැත. දෙදෙනාම කියන්නේ ඕනෑම දෙයක් විය හැකි බවයි.

නමුත් තරමක් කල්පනා කර බැලූ විට මේ දෙක අතර බරපතල වෙනසක් ඇති බව පෙනී යයි. සත්‍ය වශයෙන්ම මෙයසූ කියා සිටින්නේ ඕනෑම දෙයක් විය හැකිය යන්න නොවේ. අපි මෙම වෙනස මීළඟට සාකච්ඡා කරමු.

 

වංගීස සුමනසේකර

 

 

 

***

 

%d bloggers like this: