Menu Close

තමන් හිසට තම අතමය සෙවනැල්ල

Virtuvian Ventures Pvt. Ltd. - Best Software development Company ...
ආපහු හැරිලා බැලුවම පොඩි කාලේ ඉදන් මගේ ජිවිතේ ප්‍රධාන පියවරවල් මම අරන් තියෙන්නේ අනික් අයට වඩා ඉකමනට. හැබැයි උසස් පෙලින් ඒක වෙනස් උනා. එතන ඉදන් මම අනිත් අයට පස්සේ තමයි ජිවිතේ ප්‍රධාන කණු පහු කරන්නේ. 
කෙලින්ම මම ඇඟිල්ල  දික් කරන්නේ ඒ කාලේ අපේ රටේ තිබුන කාලකන්නි අධ්‍යාපන ක්‍රමයට. ඒ නිසා මට බැරි උනා මගේ හැකියාවට හරියන පාරේ යන්න. මට පොඩි කාලේ ඉදන් තිබුනා ඉලෙක්ට්‍රොනික් සහ පරිගණක පිස්සුවක්.  මම ඉස්කෝලේ යන කාලේ කැමැත්තෙන්ම කරපු එකම විෂය ඒක. යන්තම් ඒක ඕ ලෙවල් වලට තිබුනා අපේ ඉස්කෝලෙට පින් සිද්ද වෙන්නේ. ඒකට A එකක් ගත්ත කියන එක ගැන මම සතුටු උනා. අනිත් ඒවටත් A තිබුනට මට කිසි ගතියක් දැනුනේ නෑ. 
හැබැයි ඉතින් ඕ ලෙවල් උගන්නපු ඉලෙක්ට්‍රොනික් මට නිකන් ඒ කාලේ හෝඩි පොත වගේ. ඒ වෙද්දී මම සැහෙන ඇඩ්වාන්ස්. දවසක් අපිට උගන්නපු ගුරුතුමා කිව්වා මෙන්න මේ සර්කිට් එක හදාගෙන එන්න කියල. මට මතකයි එක කොල්ලෙක් අඩි දෙකක විතර ලොකු සර්කිට් බෝඩ් එකක් උස්සන් ආවා. ඒක හරියට වැඩ කලේ නෑ. මම මගේ සර්කිට් එක අරන් ගියේ ගිනි පෙට්ටියක දාගෙන. උගන්නපු ගුරුතුමාට හෙන කික් ඒක දැකල.
කොහොම හරි මට ඕන උනා ඒ පැත්තෙන් යන්න ඉස්සරහට ඒත් මම ලොකු සල්ලිකාර පවුලක කොල්ලෙක් නොවුන නිසා මට තිබුන එකම පාර රජයේ කැම්පස් එක. ඉතින් තාක්ෂණික පැත්තේ කැම්පස් කෝස් එකක් කරන්න නම් maths කරන්න ඕනනේ. දැන් එහෙම නෑ. ඒ කාලකන්නි කාලේ එහෙමයි. 
හැබැයි පොඩි කාලේ ඉදන් ගණන් නම් මට පෙන්න බෑ. දක්ෂතාව නෑ. අන්තිමේ මගේ ජිවිතේ අවුරුදු තුනක්  නාස්ති උනා ගණන් හද හද ඉඳලා. වෙන රටක හිටිය නම් එහෙම වෙන්නේ නෑ. තමන් කැමති දෙයින් ඉස්සරහට යන්න පුළුවන්. අද මම Senior Software Engineer කෙනෙක් විදියට ගණන් හදලා කැම්පස් ගිය අයට වඩා ලොකු තැනක ඉන්නවා. හැමදාම මම හිතන දෙයක් තමයි අවකලනය අනුකලනය ජ්‍යාමිතිය හද හද හිටපු අවුරුදු තුනේ මම අලුත් programming language ටිකක් ඉගෙන ගත්ත නම් අද මීටත් වඩා දෙයක් කරන්න තිබුනා කියලා. 
programming language සමහර ඒවා ඉගෙන ගන්න ගේමක් දෙන්න ඕන. ඉගෙන නොගෙන ඉන්නත් බෑ. ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න නම් අලුත් දේවල් ඔක්කොම ඉගෙන ගන්න ඕන. ඒක තමයි මේ ෆීල්ඩ් ඒකේ තියෙන අවුල. කොන් වෙනවා නැත්නම්. වටිනාකම නැතිව යනවා. මට ඉස්සර ඉදන් කවුරු හරි කියල දෙන දෙයක් ඔලුවට යන්නේ අඩුවෙන්. මම වැඩියෙන්ම දක්ෂ මොබයිල් ඇප් වලට උනත් අනිත් දේවලුත් අකමැත්තෙන් උනත් ඉගෙන ගන්න ඕන.  දැන් මම සති ගානක් තිස්සේ MEAN STACK (තේරෙන්නේ නැති ය වැඩිය හිතන්න එපා. වෙබ් සයිට් එකක් හදන විදියක් කියල හිතා ගන්නකෝ ) වීඩියෝ බලල ඉගෙන ගන්න හැදුව. හරි ගියේ නෑ. අන්තිමේ ගත්ත ෆුල් කෝඩ් එක තියෙන කලින් හදපු ප්‍රොජෙක්ට් එකක්. ඒක බලාගෙන හැදුව. මට දවසෙන් ට්‍රැක් එක අල්ල ගන්න පුළුවන් උනා. 
මට එතකොට තේරුණා මගේ ඉගෙන ගන්න විදිය කෑලි වලට ගලවල හදලා මිසක් මුල ඉදන් පොඩ්ඩ පොඩ්ඩ නෙවෙයි කියන එක. මේක තේරුම ගන්න මගේ ජීවිතෙන් ලොකු කාලයක් ගියා. අපිට ලංකාවේ මේක තෙරුන් ගන්න කල් ගියාට පිටරට ළමයින්ට පොඩි කාලෙම නිදහස දෙනවා තමන්ව තේරුම ගන්න.  
ඒ කියන්නේ තමන් මොන පැත්තෙන්ද යන්න ආස , තමන් මොන විදියටද ඉගෙන ගන්න ඕන කියන ඒදේ හිතන්න උන්ට නිදහස තියෙනවා. අපිට ඒ නිදහස තිබුනේ නෑ. මම දන්නේ නෑ  තාමත් ඒක තියෙනවද කියල. අපිව එක වසරේ  කාලේ ඉදන් ශිෂ්‍යත්වෙට තමයි ටාගට් කලේ. ඊටපස්සේ ඕ ලෙවල් , ඊට පස්සේ ඒ ලෙවල්. ඔය තුන ගොඩ දැම්මම හරි කියල තමයි හැමෝම හිතන්නේ. ඒත් ඔය රැල්ලට ගියාම වෙන දේ තමයි දැන් ලංකාවට වෙලා තියෙන දේ දැක්කම තේරෙන්නේ. කවුරු වත් තමන් කැමති දේ නෙවෙයි  කරන්නේ. මරන්න වගේ ඔෆිස් යන්නේ. එතන ගියාට කැමැත්තෙන් වැඩ කරන්නේ නෑ. 
හොද වෙලාවට මම මේකෙන් අපගමනය උනා. බැංකු දෙකක වැඩ කරපු  කරපු මම ඒ දෙකෙන්ම අස් උනා, ඒක මට හරි ගියේ නෑ, ඊට පස්සේ රජයේ රස්සාවක් කරන ගමන්  ගෙදර මිනිස්සුන්ගේ බැනුම් අහගෙන මම තොරතුරු තාක්ෂණ උපාධියක් කරා. උපාධිය අරන් රජයේ රස්සාවෙන් අස් වෙලා පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ජොබ් එකකට යද්දී  හැමෝම හිතුවේ මට කෙල වෙයි කියල.  රජයේ රස්සාවෙන් අස් වෙන මොඩය කියල හැමෝම හිතුව කිව්වා. ගෙදර මිනිස්සු බැන්න. මෘදුකාංග ඉංජිනේරුවෝ විදියට ඒ වෙත්දී වැඩ කරන යාලුවෝ පවා හිතුවේ, කිව්වේ එහෙමයි . එහෙම උනේ නෑ . ඒකට හේතුව උන්ට වගේ නෙවෙයි මට ඔෆිස් එකේ වැඩ වදයක් නෙවෙයි මොකද මගේ ඇගේ තියෙන්නේ ඒක, මම ආස ඒක. එක කරන්න.  එහෙම බැලුවම මම ගත්ත තීරණ ගැන මම සතුටු වෙනවා. ආඩම්බර වෙනවා. (පඩිය ගැන කතා නොකර ඉමු. හොයල බලන්න කැමති කෙනෙක් මෘදුකාංග ඉංජිනේරු කෙනෙක් ගේ පඩිය.) හැබැයි දැන් මට ගෙදර අය කියන්නේ අර අහවල් එක්කෙනාගේ පුතාත් IT  වැඩ කරන්නේ, ඔයාට වඩා ලැබෙනවනේ එයාට කියල. එතකොට මම මතක් කරලා දෙනවා රජයේ රස්සාවෙන් අස් වෙනකොට මට බැනපු හැටි සහ එතකොට ලැබුන පඩිය. 😅
මම කියන්නේ කවුරු මොනවා කිව්වත් තමන් කැමති වඩු වැඩට නම් වඩු වැඩ කරන්න, අසාවෙන් එක කලොත් ඒකෙන් උනත් උඩට යනවා ෂුවර්. හැබැයි තාමත් ලංකාවේ අම්මල තාත්තලට ඕන දරුවා බැංකු කරුවෙක් , වෛද්‍යවරයෙක් , ඉංජිනේරු වරයෙක් කරන්න. මට කියන්න අයිතියක් නෑ දෙමවුපියෝ කියන දේ අහන්න එපා කියල. හැබැයි අමාරුවෙන් හරි තමන් කැමති දෙයක් කරලා ගොඩ ගියොත් කොච්චර බැන්නත් දෙමවුපියෝ  අන්තිමේ සතුටු වෙනවා.
%d bloggers like this: