Menu Close

තණමල්විල කොල්ලගෙ යටිබඩ! -හයවෙනි කොටස

තබා යන්නම් පළමු හාදුව…..(සඳරු කිත්මිණි දිසානායකගේ කවියකි.)


“උන් එක්ක දුවලා බේරෙන්නත් බෑ, උන්ට අරෝවක් කරලා බේරෙන්ටත් බෑ. මේ උන්ගෙ කැලේ…. උන් මෙහෙ අඟලක් නෑර දන්නවා. දෙමළිය වැව හිඳුණත් මේ ගල්කෙම හිඳෙන්නෑ මහත්තයෝ. ඔන්නං තදම ඉඩෝර කාලෙක වුණත් ඇවිදින් බලන්නකො….”

දෙමළියේ හීන් මහත්තයා එහෙම කියූ තැනිනි; පහුගිය පොස්ටුව ඉවර කළේ. සමහර කුඩා ගල් කෙම්, පොකුණු ආදිය තද ඉඩෝරයකදී පවා හොඳටම නොසිඳෙන බව ඇත්තය. ඒත් මහා විශාල වැව්, ගංගා පවා සමහර කාලයකදී හිතාගත නොහැකි තරමට වැහැරෙයි…. තණමල්විල කොල්ලෙක් ටෙලියත් ඒ දහම මතක් කරවමින් සිටියි!

මේ කොල්ලා මහා පෙරළියක් කළේය. ඒ ගැන මටත් කලින් කිහිප දෙනෙක්ම දැක තිබුණහ.
චමිඳු නිසල් එයින් කෙනෙකි.

“තණමල්විල කොල්ලාට අයිති මුහුණු පොතේ සමූහය පට්ට ගොං ද ?

ගුණාත්මක නිර්මාණ කරන එක නිර්මාණකරුවන්ගේ කාර්‍යභාරය‍යි. ඒ වුනාට ඒ නිර්මාණ රසිකයෝ බාරගන්නේ තමන්ගේ රසඥතාව අනුව. රසඥතාවය රසිකත්වය හැමෝගෙම එක විදිහ නෑ. තණමල්විල කොල්ලාට අයිති මේ ෆේස් බුක් සමූහයම තමා ඒකට තියන සුපිරිම උදාහරණය. තණමල්විල කොල්ලෙක් ටෙලියේ තියන රසය නැත්නම් ආතල් එක මේකෙ ඉන්න උන්ට දැනෙන්නේ එක එක විදිහට.

සමහරු පට්ට ගොං ආතල් මේ සමූහය ඇතුළේ දෙනවා … කියලා උඹලාට හිතෙන්නේ ඒ නිසා. ඒත් සහෝ, ගොංකන් සාපේක්ෂයි. මං මේ කියන දේත් පට්ට ගොං ආතල් එකක් වගේ කාට හරි දැනෙන්න පුළුවන්. ඇත්තටම ඒකේ අවුලක් නෑ. මට දැනෙන විදිහට සමූහයේ තියන වටිනාම දේ තමා ප්‍රේක්ෂකාගාර දෙකක් මේ නිර්මාණය විසින් ස්පර්ශ කරනවා කියලා අපිට අවබෝධ වෙන එක. සරලව කිව්වොත් එකක් කූඹියෝ මොඩලයේ ප්‍රේක්ෂකාගාරය. අනික දෙවැනි ඉනිම මොඩලයේ ප්‍රේක්ෂකාගාරය. එහෙම වුණේ කොරෝනා නිසා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්.

පතෝ- කූරා- කිතුලා වගේ O/L පේල් වුණත් සැලෙන්න එපා. මෙන්න හිතන්න දෙයක්!


නමුත් මම දකින්නේ මෙහෙම වෙන්න මේ නිර්මාණයේ විශේෂ ගුණයක් හේතු වුණා කියලා.

කූඹියෝ සහෝදරයා (+ තව ටෙලි දෙක තුනක් ) බලපු අලුත් පරම්පරාව හරහා ලංකාවේ වෙනම ටෙලි ප්‍රේක්ෂකාගාරයක් හැදිලා තියනවා. නිර්මාණාත්මක ගුණයක් තියන, යටි පෙළක් තියන ටෙලි තමා ඒ අය බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම “වෙනම ආතල් එකක්” කියන සීන් එක එයාල හොයනවා.

අනික් පැත්තෙන් ඉන්නවා ‘දෙවැනි ඉනිම’ ඇතුළු මෙගා රැල්ල ඇතුළේ හිටපු රසිකයෝ. ඒ අයගේ රසඥතාව ස්පර්ශ කරන්න ‘කූඹියෝ’, ‘සහෝදරයා’ වගේ ටෙලි නිර්මාණවලට බැරි වුණා. මෙතැන ඒ බැරිවීමත් සාපේක්ෂයි මචෝ.

හැබයි මේ ප්‍රේක්ෂකාගාර දෙක මෙච්චර ඉක්මනට එකතු වෙයි කියලා පෞද්ගලිකව මම නම් හිතුවේ නෑ. යටි පෙළක් එක්ක ආතල් එකක් හොයන අයට ඒ ආතල් එක ගන්න මේ ටෙලියෙන් පුළුවන්. ඒ වගේම මතුපිටින් බලලා ආතල් එකක් ගන්න අයට එහෙම ආතල් එකක් ගන්නත් මේ නිර්මාණය ඇතුළේ පුළුවන්.

ඒක තමා මේ සමූහය ඇතුළේ පෙනෙන්න තියන ඇත්ත. කොහොම වුණත් ඒක පට්ට!”

තණමල්විල කොල්ලෙක් තනාගත් ප්‍රේක්ෂකාගාරය මහා ජලාශයක් වැනිය….

ඇත්තය… සහතික ඇත්තය. තණමල්විල කොල්ලෙක් තනාගත් ප්‍රේක්ෂකාගාරය මහා ජලාශයක් වැනිය. ඒත්, එයත් ඉඩෝරයකට අහු වුණේය. ඒ දීප්ත ගමෙන් කොළඹට එනවත් එක්කමය. ගමට; පතෝලයා- කූරා- කිතුලා වැනි උදවියට පෙම් බැඳගෙන හිටි අය අන්ද-මන්ද වූහ. එහෙම වුණේ වඩාත් ආවේගශීලී; නාටකාකාර සිදුවීම්; දෙබස් අඩු වුණු නිසා වෙන්නැතිය.

‘ගංගාවේ ගීතය’ කවි පන්තිය රචනා කරද්දී එච්.එම්. කුඩලිගම කවියාත්, මේ හැල-හැප්පිලි නැතිකමේ නීරස බව දැක තිබුණේය.

   හිරිමල් සිනා රැළි පෙණ පිඬු  මිහිරිතම
   ගල් පරවලම හැපි-හැපි බිහි කරමි මම
   සම තැනිතලාවල හමුවෙයි   අලසකම
   නිරසයි අතරමඟ අවහිර නොදුටු   බිම

එහෙම කිව්වත් ‘ගැඹුරු දිය සසල නොවී නිසලව තිබෙන බව’ත් අප අමතක නොකළ යුතුය.

මරියාගේ සම්ප්‍රාප්තිය සිදු වුණේ එවන් වාතාවරණයකදීය.

අපි තවමත් පිටත පෙනුමට; ප්‍රතිරූපවලට ගරු කරන්නෙමු; පෙම් බඳින්නෙමු; මනාප වෙන්නෙමු!!! මා දුටු විදිහට නම් රසිකයන් මුලදීම වහ වැටුණේ මරියාගේ චරිතයට නොවේ. කළණි දොඩන්තැන්නගේ රූ සපුවටයි. රැල්ලටද මන්දා රසිකයන් ප්‍රතිචාර දක්වන්නට වුණු විට ‘මහේෂ් කුමුදු’ට කේන්තිත් ගියාද කොහෙදය. ඔහු ඒ තරහව අකුරු කර තිබුණේ මෙහෙමය:

මට හිතෙනවා මේ group එකේ ඉන්නේ මානසික ලෙඩ්ඩුද කියලත්…

“වෙලාවකට මට හිතෙනවා මේ ගෘප් එකේ ඉන්නේ මානසික ලෙඩ්ඩු ද කියලා…. යකෝ කතාවට අලුතෙන් කෙල්ලෙක් එකතු වුණොත් ඒකිගේ පංචස්කන්ධයම screenshot ගහලා මඟුල් කියෝනවා.

මහේෂ් කුමුදු කියූ ඒ සන්තෑසිය නාලිකා වෙනුවෙනුත් ආදේශ කරගත හැකිය.

දැන් මා බලාගෙන ඉන්නේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටයේ මීළඟ මහ මැතිවරණය නිමා වෙන තුරුය.

‘කතාව නොදා තවත් ඡන්ද 1,63,000ක් අඩු කරගන්නා ලදී’. ටෙලියේ 41 වෙනි කොටසේ විකාශය නවත්තා කෙරුණු දේශපාලන රංගනයක් නිසා කෝප වුණු ‘නිමන්ත මල්ලව ආරච්චි’ රසිකයා ලියූ කමෙන්ටුවකි; ඒ. (එහි ඊටත් වඩා ගැඹුරු අරුතක් මට පෙනෙයි.)

මැතිවරණ ප්‍රතිඵලයකට ඡන්ද ලක්ෂ ගණනක් කරන බලපෑම සුළු නැතිය. 

ජුනි 24 වෙනිදාට- ‘තණමල්විල කොල්ලෙක් Fan Club’ එකේ සාමාජිකයන් 1,71,394 කි; ටෙලියේ 44 වෙනි එපිසෝඩ් එක You Tube වෙතින් නරඹා තිබුණු ගණන 4,17,578කි. එහෙම රොද බැඳගෙන තණමල්විල කොල්ලා නැරඹූ; ගමට වසඟවූ; තුන් ඈඳුතු නවකතා පොත් කියවූ ඒ රසිකයන් කොතරම් ඥානනය විණිද කියා සොයා බලන්නට මෙම ඡන්ද ප්‍රතිඵලය උපකාරයක් වේවි නේද?

තාප්ප ලස්සන කළවුන්ම දැන් ඒවා වනසමින් මනාප ඉල්ලා සටන් වදිති.

සමහර රසිකයෝ වනිතා රුවට – ලලනා ලාලිත්‍යයට පෙම් බැන්දහ. එහෙත් වැඩි දෙනෙකු වසඟ වුණේ චරිතවලටය. පුබුදු හෙට්ටිගොඩගේ ඒ බව ලියා තිබ්බේ මෙහෙමය:

‘වෙන නාට්‍යවල මිනිස්සු ආදරය කරන්නේ නළුවන්ට හෝ නිළියන්ට, ඒත් මේකේ චරිතවලට. ඒකයි වෙනස.’

‘උඹ ලොකු වුණාම කවුරු වෙන්නද පුතේ හිතාගෙන ඉන්නේ?’

ඒ දවස්වල; මා පොඩි සන්දියේ කවුරු මගෙන් ඇහුවත් උත්තරයට කියැවුණේ එකම එකකි. “මම නළුවෙක් වෙනවා.” එතකොට අපේ තාත්තා කිව්වේ negative කතාන්දරයකි. “කලාකාරයෝ කියන්නේ හිඟන්නෝ. නළුවෙක් වෙලා කාටද බං හරි ගිහිල්ලා තියෙන්නේ?”

දැන් මම දනිමි. එදා අපේ තාත්තා එහෙම කිව්වේ හරිහැටි කරුණු නොදන්නා බැවිනි. අපේ තාත්තා කොල්ලා කාලයේ ටවර්හෝල් නළු-නිළියෝත් හොඳට හම්බ කළහ! මං වුණත් ඒ බව දැනගත්තේ 2019 ජුනි 27  අරුණ ගුණරත්න ‘සරසවිය’ පත්තරයට ලියා තිබුණු ‘නිළියකගේ දික්කසාදයෙන් හෙළිවන ඒ කාලයේ ආදායම’ ලිපියෙනි.

‘…..ටවර් රඟහල ආශ්‍රිතව ඇතැම් ශිල්පීන් මාසික වැටුප් ලබමින් සේවය කළ අතර සමහරු අවශ්‍යතා පරිදි සේවය කළහ. වෘත්තීය කලාකරුවන් පිළිබඳ වර්තමාන සංකල්පය බිහිවනුයේ එමගින් බව පෙනී යන්නකි. එහි නළු නිළියන් ලැබූ ආදායම් පිළිබඳ සුප්‍රකට නිළි ගායිකා ලක්ෂ්මී බායිගේ දික්කසාද නඩුවෙන් අනාවරණය වෙයි.

කයිජා නමින් මුස්ලිම් පවුලක උපත ලබන ඇය ටවර් වේදිකාවට ගොඩ වදිනුයේ ලක්ෂ්මී බායි යන නාමයෙනි. මේ නම වෙනස් කරනුයේ එඩ්මන්ඩ් සෙනෙවිරත්න විසිනි. 1944 වසර වන විට ඇයගේ පමණක් නොව ටවර් රඟහලේ ද කීර්තිමත් යුගය අවසන්ය.

ඒ වසරේ සිදුවන ඇයගේ දික්කසාද නඩුව අනුව ඒ වන විටත් ඇය මාසයකට රුපියල් පන්සියයකට අධික ආදායමක් ලබන්නීය. ඒ අනුව ඇගේ අතිශය ජනප්‍රිය හා ටවර් හෝල් නාට්‍ය වඩා ප්‍රභාවත් යුගයේ ඇය ලැබූ ආදායම කොපමණ විය හැකිදැයි අනුමාන කළ හැකිය. 1944 වසරේ දී රුපියල් පන් සියයක් යනු අද යුගය වන විට ලක්ෂ පහක පමණ ආදායමක් විය යුතුය…..’

ප්‍රියන්ජන් සුරේෂ් හිතවතා ‘Kandy’ පොතේ සිත්තරා වෙතට අප රැගෙන ගියේය…….

‘කලාකරුවෝ හිඟන්නෝ’ කතාව එදත් මට එතරම් ඒත්තු ගියේ නැත.

එහෙම වුණත්, පේව්මන්ට් එකේ රජ වෙමින් මාත් ජීවත්වී- අපේ පවුලමත් ජීවත් කරවන සටනේ නියැලෙන කාලයේ රංගනයට තිබුණු ආසාව අමතකම වෙලා ගියා සේය.

Post Cardවල පන්තියේ ළමුන්ට වෙසක්- පොසොන් සුපැතුම් පත් ඇඳ දුන්; බක්කේ චිත්‍රකතා ශිල්පියෙකු වුණත්, බතික් කරද්දී ගොංගිතොට ප්‍රේමරත්න අයියාගේ චිත්‍ර කීපයකට වහ වැටී ඒවා හොරකම් කළත් මට චිත්‍ර ශිල්පියෙකු වීමට සිතුණේ නැත. එහෙත් වරින්-වර; අහම්බෙන් චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙකු හා විවිධාකාරයෙන් කටයුතු කිරීමටත් වාසනාව ලද්දෙමි.

එයින් දෙදෙනෙකු හා අදාළව වෙනම පෝස්ටුවල ලියන්නට තරම් දේවල් එකතු-පහදු කරගෙන දැන් අවුරුද්දකටත් වැඩිය. (එයින් කෙනෙකු ගැන – චිත්‍රකතා ගැන ලියන බව බ්ලොගයේ හිතවතුන්ට පොරොන්දුවකුත් දුන්නා මතකය.)

දීප්ත ගෙන්දගම් පොළොවේදී professional සිත්තරෙකු වෙනවාත් එක්කම මට සිහි වුණේ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාය; වසන්ත පෙරේරා සිත්තරාය. එදා අපි ප්‍රියන්ජන්ලාගේ නිවසේදී ‘ස්ටෙලා’වී හිටියෙමු. අපි කිව්වාට දොස්තර අයස්මන්තත්, නෙවිලුත්, ප්‍රියන්ජනුත් මාත්ය. දන්නවානේ… එහෙම වෙලාවට කතා-බතා යන දුර….

චිත්‍ර ගැන කියද්දී ප්‍රියන්ජන් පීල්ලට තවත් කෝච්චියක් දැම්මේය. “වසන්ත පෙරේරා කියලා මම දන්නා artist කෙනෙක් ඉන්නවා. ඉන්නකෝ පොඩ්ඩක්….”

වසන්ත පෙරේරාත් දීප්ත මෙන්ම දසදෙස නම රැන්දූ දක්ෂ සිත්තරෙකි!

 

මනුස්සයා ගියේ එයාගේ පොත්, DVD තොගය ලස්සනට – පිළිවෙලකට අසුරා තියෙන රාක්ක ළඟටය; ගිහින් එතැනින් අරගෙන ආවේ වසන්තගේ චිත්‍ර පොතකි. මහනුවර විවිධ ස්ථානවල සිතුවම් එහි විණි. “අනේ ප්‍රියන්ජන්… මේ දවස්වල අපේ සමන්ති නංගී ලංකාවට ඇවිත් ඉන්නේ. එයාට දෙන්න හොඳ තෑග්ගක් ගැන මම හිත-හිතා හිටියේ.  මට මේකක් ගන්න ඕනේ…” මම එවෙලේම කිව්වෙමි.

“නියමයි ප්‍රියන්ජන්… මටත් ආසයි එයාගේ පොත් දෙක-තුනක් ගන්න.” මේ දිනවල ‘හැඟුම් දඩමීමාට වහංවී’ ඉන්නා දොස්තර මහත්තයාත් එවේලේ කිව්වේය. 

“බලමු…” ප්‍රියන්ජන් එසැණින්ම වසන්ත පෙරේරා මහතාට call කළේය; වෙලාවක් දමාගත්තේය. අපි අත්තිඩියේ ගෙදරට ගියෙමු.

මගේ අම්මෝ! ඒකම අමුතු ලෝකයකි; කලාගාරයකි. වත්තට ඇතුළු වෙද්දීම ඉමිහිරි සුගන්ධයකින් පපු කුහරය පිරී ගියේය. ගේ පුරාමත් ඒ සුවඳය. දුර්ලභ හඳුන්කූරු කිහිපයක් දැල්වෙන නිසාය ඒ. සිහින් හඬින්….. (‘ඩකං-ඩිකං හෙණ ගහපං තෝ මැරියං’ සද්දෙට නොවේ) පැතිරෙන සංගීතයකි…. එවන් තැනෙක දිගෑරුණු සොඳුරු කතාබහක අවසානයේ අපට පොත් කිහිපයක් ලැබුණේ විශේෂ වට්ටමකුත් සහිතවය.

(ස්තුතියි වසන්ත මහතාණෙනි! එහෙම පිනක් පාදා දුන්නාට ඔයාටත් ස්තුතියි ප්‍රියන්ජන්!!)

වසන්ත පෙරේරා චිත්‍ර ශිල්පියාට වගේම දීප්තටත් ‘හරි යන්නේ’ ධනවතුන් නිසාය. හරි-හමං විදියට කලාකරුවන් රැකෙන්නට නම් කලාකාමී ධනපතියන් සිටිය යුතුමය! ‘නිදි ධනපතියන්ට අදිනවා’ කියලාත් කෙනෙකුට කිව හැකිය. මා ධනපති පන්තිය හෙළා

දකින්නෙකු නොවේ; හෙළා දකින්නේ වංචනික – අසාධාරණ ධනපතියන් පමණි!

රොෂාන් රවීන්ද්‍ර කියන සූර සරදියෙල් ඉන්දියානු…….

ඒ ටිකත් කියන්නට ඕනෑයි හිතුණේ චතුරංග ඩී. හතුරුසිංහ රසිකයාගේ කෙටි කමෙන්ටුවක් දැක්කාමය. 

‘රොෂාන් රවීන්ද්‍ර කියන සූර සරදියෙල්, ඉන්දියානු මෙගා නාට්‍ය කියන ධනපතියා ලංකාවෙ මිනිස්සුන්ගෙන් උදුරාගත්ත සිංහල ටෙලි නාට්‍ය කලාව ආයෙත් උන්ගෙන්ම උදුරගෙන සාමාන්‍ය මිනිස්සුන්ට දෙන අමෘතය  😂😉තණමල්විල කොල්ලෙක්’.

ඒ අතරේම කණිෂ්ක වීරසිංහ කියා තිබුණු දෙයකුත් කියන්නට වෙයි! රසිකයන් ගොඩ දෙනෙකු මේ කතාවට හූමිටි තියන්නේ නැති වුණත්; පිළිගන්නේ නැති වුණත් ඇත්තත් මේකම නේද?

තණමල්විල කොල්ලෙක් බලල සමාජ අසාධාරණයට හඬ නගන්න හිතෙන උන් හිත යටින් කැමති අවන්ත වගේ කම්පැනියක අයිතිකාරයෙක් වෙලා දීප්තට, පතෝලයට නියෝග දෙන්න ..🤣🤣’.

තණමල්විල කොල්ලෙක් රසිකයන්ට හිතන්නට ගොඩක් දේ දෙයි. හොඳේ ඒකය. කුස්සියේ ඉඳගෙන අහලා ටෙලි රස විඳින්නන්ට නොවේ, මේ නාට්‍යය. ඒ ගැන විවරණ කරන්නට ඕනෙම නැත. ධනුක ඩිල්ෂාන් කියූ දේවල්වලම ගොඩක් කරුණු හැංගී තියෙයි.

ෂූටින් පටන් ගන්න අවුරුදු 1 ½ ක් ඉඳලා මාව හැදුවා….

උඹ මොකුත් හිතන්න එපා. ඔය ඉන්න විදියටම හිටපන්…..(රොෂාන් ඔහුට කියා තිබිණි.)

මම හිතාගෙන හිටියේ මමත් මාර නළුවෙක්… (කල්හාරි බණ්ඩාර ගුණවර්ධනගේ කවියකි) 


…ලොකු පොතක්  (ස්ක්‍රිප්ට් එක)දුන්නා…. පැත්තක තිබ්බා…. මෙගා කරන නිසා මම හිතන් හිටියේ නළුවෙක් කියලා. පොත පැත්තක තිබ්බා. මට ඉතින් සාමාන්‍ය නාට්‍යයක් වගේනෙ. මම හිතාගෙන හිටියේ මමත් මාර නළුවෙක් කියලනේ. මට පුළුවන්. මම ජනප්‍රියයිනේ….

…මට එන්න කිව්වා. එන්න කියලා මෙතන කලිසමේ මෙසර්මන්ට් එකේ ඉඳලාම, මගේ මෙතන කොන්ඩේ කෑල්ලේ ඉඳන්ම… මේ ගොල්ලෝ විස්සක් විතර සෙට් එකක් එකතු වෙලා මගේ ඇඳුම් නිර්මාණය ඇඳලා….

මගේ අතට දාන බෑන්ඩ් එකේ ඉඳලා ඇඳලා……..

ආර්ට් ඩිපාර්ට්මන්ට් එක ගොඩක් ඉන්නවා. පිළිවෙලට වැඩේ……

…..මමත් හිතාගත්තා; දීප්තව මම හැදුවා…..”

දීප්තගේ චරිතය පාසල් සිසුවකුගේ සමයේ සිටය දිග හැරුණේ. අවුරුදු දාසයේ සිට….. ප්‍රංශයේ සිටින දීප්ත 28 හැවිරිදිය.  මේ ටෙලියෙදී ධනුක තම සිරුරේ බර කිලෝ 50 සිට 80 දක්වා පරාසයකට වෙනස් කරගෙන තිබේ. ‘කෙට්ටු වෙනවා නම් බට පඳුර වගේ වෙයන්.’කියලාය රොෂාන් රවීන්ද්‍ර උපදෙස් දී තිබෙන්නේ. ඒ අනුව ‘…නියපොත්තෙ ඉඳන් මේන්ටේන් කළා’ කියා ධනුක කියන්නේ බොරුවටද?

අනේ! එහෙම කැපවීමක් කරලාත් ධනුකට දීප්ත ගැන සතුටු වෙන්නට බැරි කාරණයකුත් තිබේ. ලහිරු ප්‍රසන්න කියන මේ කතාවේ ඇත්තකුත් තියෙනවා වගෙය!

දීප්තව මුලිච්චි වෙන්නවත් හොඳ නැහැ. ඌ ළඟ ඉන්න හැම එකාටම කෙළවෙනවා………..

“දීප්ත කියන්නෙ උදේකට මුලිච්චි වෙන්න හොඳ එකෙක් නෙවෙයි; ඌ ළඟ ඉන්න හැම එකාටම කෙළවෙනවා.
මුලින්ම ජගාට පිහියෙන් ඇනල මැරුණ. කිතුල ආමි එකේදි මැරුණා.
හාමුදුරුවන්ට පන්සල දාල යන්න උනා.
නාලිකා දික්කසාද උනා; මරියාට අකමැති එකෙක් බඳින්න උනා.
යශෝදරා ලෙඩ වෙලා මැරුණ. යාලුව ජොබ් එක දාල ගමට ගියා.

ඌ නිසා ගොඩගියේ අයි ටී එන් එක විතරයි 😀

ප.ලි. දැන් කතාව බලන උඹලට උනත් කෙළවෙන්න ඉඩ තියෙනවා!”

මේ ටෙලියේ අතිසාර්ථකත්වයට ප්‍රධානම හේතුව විදිහට මා දකින්නේ හැම දෙයක්ම ‘නියපොත්තෙ ඉඳන්ම තිතට තියෙන්නට’ හැම කෙනෙකුම වගබලා ගැනීමයි; රසික ප්‍රේක්ෂකයන් අම්බරුවන් යැයි නොසිතීමයි.

දෙවෙනි කරුණ ‘කලණ මිතුදම’යි. ධනුක, දසුන් වගේ හැමෝම ‘තණමල්විල කොල්ලෙක්’ සාර්ථකත්වයට ඔවුනොවුන්ගේ එකමුතුව- මිත්‍රත්වය තදින්ම බලපෑ බව කියති. වයසින් මෝරද්දී; පවුල්-පන්සල් වෙද්දී; සාර්ථක-අසාර්ථක වෙද්දී; නොයෙකුත් හැල-හැප්පිලි සිදු වෙද්දී වුණත් එකා මෙන් සිටින අය දැකීමත් මට නම් ‘මංගල කරුණ’ක්මය.

මට එහෙම හිතෙන්නේ  මගේ මිත්‍ර සමාගම නිසා මා ලබන ප්‍රතිලාභවල නිමක් නැති නිසාය. මා විශ්වාස කරන විදියට මගේ මිතුරන් නැතිනම් මෙලහටත් මා ‘මල්ටිපල් මයෙලෝමා’වෙන්ම ගිහින් ඉවරය. එහෙම මිතුරු සමූහයක් සිටියදී…. 

මේ කොදෙව්වේම තවත් කලණ මිතුරු පිරිසකගේ මෙවන් සාර්ථක නිර්මාණයක් මගේ හිත කළඹන විට; අවුළුවන විට …. එහි මටත් අදාළ තැන් තිබෙන විට…. ඒ ගැන යමක් ලියන්නට හිතෙයි. ඔබ දැනටමත් දන්නෙහිය. මා ලියන්නේ මගේ ජීවනාන්දරයය. එය ලිවීමේදී මෙවැනි උරගලක තබා, උරච්චි කරමින් ලියන්නේ රසික ඔබට විඩා නොදැනෙනු පිණිසය..

තණමල්විල කොල්ලෙක් වගේ නාට්ටි බලන්ඩත් හොඳ නෑ. කුඩ්ඩන්ට කුඩු නැතිව බෑ වගේ………

ඉතින්….. තණමල්විල කොල්ලෙක් ගැන විචාරයක් ලියන කෙනෙකුට තව බොහෝදේ ලියන්නට තිබේ. මටත් එහෙමය. එහෙත් තව ලිවීම නවතන්නෙමි! මට හරිම මහන්සිය………..

ඇත්තම කියනවා නම්, මේ ටෙලිය කොතරම් දුරට මා කම්පනය කළේදැයි කියතොත් මේ පෝස්ටුව අකුරු කළේත් පුදුමාකාර වෙහෙසක් අරගෙනය. ටෙලියේ පාත්‍ර වර්ගයා – සිදුවීම් එතරම්ම සජීවීය. දැන්-දැන් සිදු වෙන්නේ හීනෙකින්වත් නොහිතන දේවල්ය. ඊළඟ එපිසෝඩ් තුන බලන්නට කලින් යටිබඩේ posts ඉවර කිරීම ඇඟට-හිතට දෙකටම ගුණය. නැතිනම් මා වැටෙන්නේ සකල අමාරුවකය.

ඉතින්, මට මේ තීරණය ගන්නට සෙලාන් මධුසංකගේ මේ වගෙ කතා වැඩියෙ බලන්ඩ හොඳ නෑ. අන්තිමේදි වෙන්නෙ නාට්ටිය ඉවර උනාට පස්සෙ අපි, කුඩු නැතුව සික් එක හැදෙන උන් වගෙ ලෙඩ වෙන එක.” යැයි කියැවුණු කොමෙන්ටුවත් බලපාන්නට ඇති පාටය෴

%d bloggers like this: