Menu Close

129. මගේ හිත අනේ අසරණ වුනා.

දිලී නොදිලී රැයේ ඉකිබින්ද තරු රෑන
ඈත මන්දාරමක තනිවුනා
හිතේ උණුහුම ගාව තුරුළු වී හිටි රුවක්
පෙනී නොපෙනී ගිහින් සැඟවුනා

වැටී පරවුණ මලක සිනිඳු පෙතිවල එතුන
සුවඳ හිත පතුලටම කිමිදුනා
බලා දෑසින් දෑස මිදුන සුසුමක කඳුළ
මැකී ගිය සිතුවමක බොඳවුනා

වැටී හොඳටම වැස්ස රිදී අත්තටු සේද
කදෝකිමියෙක් සෙමින් වැලපුනා
වැවේ දිය රැළි මතට අතහැරපු අපෙ හීන
අසනි සැරයක් ගාව සිහි වුනා

හැපී සිතුවිලි අතර ගෙතී කවියක් ගාව
නොකී සෙනෙහෙක අරුම දියවුනා
ලිහී මතකය ඈත පලා යන්නට බැරුව
මගේ හිත අනේ අසරණ වුනා.

%d bloggers like this: