Menu Close

—අන්තරාභවය—

පසුගිය ලිපි වලින් මනෝකාය, මරණාසන්න අත්දැකීම් සහ ශරීරයෙන් පිටත මනෝකාය හැසිරීම වැනි දේවල් ගැන කතා කළා. හොල්මන් අවතාර මේ වගේ අදෘශ්‍යමාන බලවේග ගැන කතා කරනකොට මේක පදනම් වෙලා තියෙන්නේ මොන විදියට කියලා දැනගෙන ඉන්න ඕන. එක නිසා තමයි පිළිවෙලින් මේ එකින් එක පැහැදිලි කරගෙන යන්නේ.පසුගිය ලිපියෙන් කතා කරපු මරණයෙන් පසු ශරීරයෙන් පිටවන මේ මනෝකායට මොකද වෙන්නේ, අද ලිපිය ඒ ගැන මරණයෙන් පසු පිටවන මනෝකාය ඊළඟට යන්නේ අන්තරාභවය කියන තත්වයට.

අන්තරාභවය කියන්නේ පුද්ගලයකු ගේ මරණයෙන් පසුව ඒ ආත්මය නැතිනම් මනෝකාය නැවත උප්පත්තියක් ලැබීමට ගතවන කාල පරාසය තුළ ඒ මනෝකාය නැත්නම්, ආත්මය පවතින තත්ත්වයයි.වචනයේ තේරුම් විදියටම භාවයන් දෙකක් අතර මැද සිටින තත්වය මේකෙන් අදහස් වෙනවා එක් භාවයකින් තවත් භාවයකට එනම් එක ජීවිතයක් අවසන් කරලා නැවත ජීවිතයක් ලැබෙනකන් ඉන්න කාල පරාසය. ඒ වගේම එක් එක් පුද්ගලයන් නැත්නම් සත්වයන්ගේ අන්තරාභවය කාලය එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ කෙනෙකුගේ මේ අන්තරාභව කාල සීමාව අවුරුද්දක්,මාස 6 ක්, මාස තුනක්, සතියක් දවසක්, පැයක් හෝ තප්පරයක් වෙන්නත් ඉඩ තියෙනවා.

මේ පිළිබඳව විවිධ මත වාද පැවතුනත් මේ ගැන විධිමත් විදිහට හදාරපු සහ මනෝකාය පිළිබඳ අත්දැකීම් ප්‍රගුණ කරපු ස්වාමීන් වහන්සේ නමක් වන අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් පවසන විදිහට ඇත්ත වශයෙන්ම මේ අන්තරාභවය කියන සංකල්පය පවතින දෙයක් වගේම බුදු දහමෙන් සූත්‍ර වල සදහන් සංකල්පයක්.

ජීවියෙකු මව් කුස තුළ පිළිසිඳ ගන්න අවශ්‍ය කරුණු තුනක් මජ්ඣිම නිකායේ මහා තණ්හා සාඛ්ඛය සූත්‍රයේ සහ අස්සලායථනාන යන සූත්‍රයේ දැක්වෙනවා.

ඒවා නම්,

01.මව,පියා දෙදෙනාගේ සංවාසය…
02.මව සෘතු ගැන්වී සිටීම…
03.ගන්ධබ්බයකුගේ පිවිසීම…

මේ කරුණු තුනෙන් දෙකක් විද්‍යාත්මක සාධක විදියට හැමෝම දන්න දෙයක්. නමුත් තුන්වැනි කරුණ විද්‍යාවට හසු නොවුණු මඟහැරුණු කරුණක්. මොකද බටහිර විද්‍යාවේ පරාසයට මේක අහු වෙන්නේ නැති නිසා.මෙහිදී ගන්ධබ්බයකු කියන වචනයෙන් හදුන්වන්නේ කලින් සඳහන් කරපු ආත්මය, නැතිනම් මනෝකායයි. මනෝකාය ශරීරයෙන් එළියට ඇවිත් නැවත උපතක් බලාපොරොත්තුවෙන් සිටින කාලය එනම් අන්තරා භව කාල සීමාවේ සිටින මනෝකාය හෙවත් සූක්ෂම ශරීරයට තමයි මේ ගන්ධබ්බයෙක් කියන වචනය ව්‍යවාහාරය කරන්නේ.

හොල්මන්, අවතාර විදිහට හඳුන්වන්නනේ මේ අන්තරාභවයේ සිටින මනෝකාය නැත්නම් ගන්ධබ්බ යා ද?

සමහර අවස්ථාවල එහෙම වෙන්න පුළුවන් වුණත් ඉතාමත් සීමිත පිරිසකට පමණයි ඒ වගේ අත්දැකීමක් තියෙන්න පුළුවන්. මොකද, මේ සූක්ෂම ශරීර මිනිස් ඇසට ග්‍රහණය වුණත් මිනිස් මොළයෙන් මේ දර්ශන දකින්න තරම් පුළුල් පරාසයක් නැහැ. මොකද ඇසට හසුවන දර්ශනයක් මොලයෙන් තේරුම් ගත්තට පස්සේ තමයි එක අපි දර්ශනයක් විදියට දකින්නේ. පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට මොළයේ තිබෙන වෙනස්කම් අනුව මෙවැනි සියුම් දර්ශන දැකීමට හැකියාවක් සමහර කෙනෙකුට තියෙන්න පුළුවන්. මේ හේතුව නිසා තමයි සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන දේවල් කැමරාවල වීඩියෝ සහ ඡායාරූප වල සටහන් වෙන්නේ. නමුත් මේ සටහන් වෙන්නේ ගන්ධබ්බ අවස්ථාවක්ද නැතිනම් වෙනත් ප්‍රේත අත්මයක්ද ,දේව ඇත්මයක්ද කියන එක සමහර වෙලාවට නිශ්චය කරගන්න බැහැ.

ඒ වගේම මේ ගන්ධබ්බ අවස්ථාව නැත්නම් අන්තරාභව කාලසීමාවේදී භූත ආත්ම, ප්‍රේත ආත්ම, යක්කු වගේ වචන වලින් එක හඳුන්වන එක සම්පූර්ණ වැරදියි. මොකද, යම් කෙනෙක් ප්‍රේත ආත්මයක උපදිනවා ද, දිව්‍ය ආත්මයක උපදිනවා ද, නැත්නම් කිසියම් සත්වයෙක් වෙලා උපදිනවා ද යන එක තීරණය වන්නේ අන්තරාභව කාලයෙන් පසු උප්පත්තියක් ලැබුවාට පසුවයි. අන්තරාභවය කාලයේදී ඒ විදියට හඳුන්වන්න බැහැ.සමහර අවස්ථාවක දී කෙනෙකු මිය ගිය විගසම අන්තරාභව කාල සීමාවේ විනාඩි දහයක් පැයක් ගතවී ප්‍රේත ආත්මයක, දිව්‍ය ආත්මයක උපදිනවා වෙන්නත් පුළුවන්.ඒ වගේම මිය ගිය සනින්ම වෙනත් ආත්මයක් උපදින්නත් ඉඩ තියෙනවා කෙටි කාලයක් අන්තරා භාවයක් ලබා. ඒ ඉපදීමෙන් පසුව සූක්ෂම ශරීරයක් සහිත ප්‍රේත ආත්මයක් වෙලා හෝ වෙනත් ආත්මයක් වෙලා මිනිසුන්ට දර්ශනය වීමේ ඉඩ කඩ තමයි ගොඩක්ම තියෙන්නේ. මෙතැනදී තමන් කරපු කර්ම ශක්තිය අනුව උපදින ප්‍රේත ආත්මයක ඇති හැකියාවන් විවිධ ආකාර වෙන්න පුළුවන් කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ විවිධ දර්ශන මවාපාන්න පුළුවන්, පුද්ගලයින් ට හිරිහැර කරන්න පුළුවන්, ඒ වගේම අවට වස්තු චලනය කිරීමේ හැකියාවත් වගේ විවිධ හැකියාවන් තියෙන ආත්ම තියෙන්න පුළුවන්.

මේ ආකාරයට එක් එක් ප්‍රේත ආත්ම වලට ඇති හැකියාවන් අනුව වර්ග කරන්න පුළුවන් වගේම මෙහෙම වර්ග කරලා තියෙනවා. උදාහරණයක් විදිහට පොල්ටර්ගිස්ට් (Poltergeist) කියලා හඳුන්වනවා භෞතික වස්තූන් චලනය කිරීමේ හැකියාවක් තියෙන භූත ආත්ම වලට. මේ විදිහට එක් එක් කර්ම ශක්තිය අනුව මේ හැකියාවන් විවිධාකාර වෙනවා කියන එක තමයි බෞද්ධ දර්ශනයට අනුව කියවෙන්නේ.

මේ සේරම කරුණු එකතු වුණාම තේරුම් ගන්න පුළුවන් මරණයෙන් පසුව මනෝකාය කියන්නේ මොකක්ද කියන එක සහ මේ අවතාර, හොල්මන් කියන දේ එක්ක මේවගේ තියෙන සම්බන්ධය. ඒ වගේම මේ සේරම දේවල් අසත්‍ය හුදු මතයන් විතරයි කියලා බැහැර කරන පිරිසකුත් ඉන්නවා. නමුත් මම මේ ලිපියේ සඳහන් කළේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් සනාථ කරපු සහ බෞද්ධ දර්ශනයට අනුව මේ අන්තරාභවය ගැන සංකල්පය සරලව. ඇතැම් කෙනෙකුට බැහැර කරන්න පුළුවන් වුනත් මේ පැහැදිලි කිරීම් ඉතාමත් නිරවුල් වගේම බැහැර කරන්න පුළුවන් වෙන්නේ මේවා විධිමත්ව අත්විඳින්න හෝ පර්යේෂණයකට භාජන කිරීමේ අපහසුකම නිසාවෙන්. නමුත් පුනරුප්පත්තිය ගැන පැහැදිලි කරන බෞද්ධ දර්ශනයෙන් මේ සංකල්පය විධිමත්ව පැහැදිලි කරලා තියෙනවා.

රචනය – කලන චතුරංග

(කතෘ අයිතිය සුරකින්න)

%d bloggers like this: