Menu Close

භීෂණ සමයේ ‘උදව්වක්’ කර අමාරුවේ වැටීම

    රටෙහි  මහත් අසහනකාරී තත්ත්වයක් මතුවී තිබුණු කාලයයි. ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු ක්‍රියා නිරතුරුව අසන්නට ලැබුණු කාලයයි. රජයේ හමුදා අතින් ඝාතනයට ලක්වන අය ගැනද විවිධ තොරතුරු ලැබෙමින් පැවති කාලයයි. මේ සියල්ල සමග රැකියාවද කළ යුතුව තිබිණ. සමහර දිනවල උදේ කාර්යාලයට යනවිට “අද වැඩ කළහොත් මරණය” වැනි අනතුරු හැඟවීමේ වගන්ති සහිත කඩදාසි කැබලිද හමුවේ. ඉඳහිට, පැය කිහියයක්, රාත්‍රී කාලයේ හෝ දවස මුළුල්ලේම, ඇඳිරි නීතියද ක්‍රියාත්මක වේ. කරදර මධ්‍යයේ වුවද බඩ වියත රැක ගැනීම සඳහා රැකියාව කළ යුතු විය.
මේ අතර එක් දිනක් අධ්‍යාපනයට සම්බන්ධ රාජකාරි කටයුත්තක් සඳහා මට කොළඹ විශ්ව විද්‍යාලයයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකු සමග පැය කිහිපයක් වැඩ කිරීමට සිදුවිය. ඔහු මාගේ හිතවතෙකු විය. අප පදිංචිව සිටියේද එකිනෙකට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි නිවාස දෙකකය.

සවස හතර පමණ වන විට අපගේ රාජකාරි කටයුත්ත අවසන් විය. තව පැය කිහිපයකින් ඇඳිරි නිතිය පැනවෙන නිසා. ආපසු කාර්යාලයට නොගොස්, මාගේ මිතුරා සමග ඔහුගේ මෝටර් රථයෙන්ම ගෙදර යාමට ඔහු කළ යෝජනාවට කැමති වීමි. ඔහු මෝටර් රථය පැදවූ අතර, මම ඔහුගේ වම්පස අසුනේ හිඳ ගත්තෙමි. අප පැය කිහිපයක් තිස්සේ කළ රාජකාරි කටයුත්ත සහ තවත් විවිධ දේවල් ගැන කතාකරමින් ගොස් කැස්බෑව නගරයද පසු කළෙමු. මහා මාර්ගයේ වාහන බාධකයක් අටවා තිබුණු නිසා වාහනය තරමක් මන්දගාමී කළ අපි තරමක් විමසිලිමත් වූවෙමු. එය මාර්ගයේ යම්කිසි අලුත්වවැඩියාවක් සඳහා අටවන ලද බාධකයක් බව පෙනෙන්නට තිබුණි. අප ඉතා හෙමින් මාර්ගයේ අලුත්වැඩියා කරමින් තිබුණු කොටස පසු කළෙමු. නැවත වේගය වැඩි කිරීමට සැරසෙන විටම වාහනය අසලට පිටතින් පැමිණි අයෙකු, මා සිටි පැත්තේ වීදුරුවට තට්ටු කර

‘සර්ලා ගෙදර යනවා වගෙයි. මම මේ බස් එකක් එනකන් හුඟක් වෙලා බලා සිටියා. මාව පොකුණුවිටින් දාගෙන යන්න’ යයි කිවේය.

මම අමුත්තා හඳුනා නොගත් නිසා මිතුරාගේ මුහුණ බැලීමි.

තරමක් පහත්වී අමුත්තා දෙස බැලූ ඔහු,

‘හා…නගින්න……..’ කියන විටම අමුත්තා පිටුපස දොර හැර වාහනයට ගොඩ විය.

ඔහු මගේ මිතුරා හඳුනන කෙනෙක් විය හැකි බව මම අනුමාන කළෙමි.

මිනිත්තු කිහිපයකට පසු අප කහතුඩුව මංසන්ධිය පසුකර ටික දුරක් යනවිට ආයුධ සන්නද්ධව සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පාර හරස්කර අපට වාහනය නතර කරන ලෙස සංඥා කළහ.

මේ කාලයේ මහා මාර්ගයේ ධාවනය කරනු ලබන වාහන සන්නද්ධ හමුදා හෝ පොලිස් නිලධාරීන් විසින් නතර කර පරික්ෂා කිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී තිබිණ.

වාහනය පාරේ වම් පසට කර නතර කර, අපි වාහනයේ වීදුරු පහත් කළෙමු.

ඒ සමගම ගිනි අවි අමෝරාගෙන වාහනය වෙත පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මිතුරාගේත් මගේත් හැඳුනුම් පත් පරික්ෂාකර අපට වාහනයෙන් බසින ලෙස අණ කර, මෙසේ ප්‍රශ්න කළහ.

“තමුන් කොහේ ඉඳලද මේ එන්නේ ?”

“අපි කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඳලා එන්නේ. රාජකාරි වැඩක් කර අවසන් කරලා, අද හතට ඇඳිරි නිතිය නිසා මේ ඉක්මණට ගෙදර යනවා. අපි හොරණ.” මිතුරා පිළිතුරු දුන්නේය.

පිටුපස අසුනේ වාඩිවී සිටි අමුත්තා මේ කිසිවක් ගණනකට නොගෙන පිටත බලාගෙන සිටියේය.

“පිටිපස්ස සීට් එකේ ඉන්නේ කව්ද?” පොලිස් නිලධාරියා අපගෙන් ඇසීය.

“මේ පැත්තේ කෙනෙක්. කැස්බෑවේදි බස් හොල්ට් එකේ ඉඳලා වාහනයට ගොඩ උනා. එයා යන්නේ පොකුණුවිට ට.” මම පිළිතුරු දුනිමි.

“මෙයාව හඳුනනවාද?” පොලිස් නිලධාරියා නැවත ප්‍රශ්න කළේය.

මම මිතුරාගේ මුහුණ බැලීමි. ඔහු කිසිවක් නොදන්නා බව මුහුණින් පෙනුනි.

අපගෙන් පිළිතුරක් නොලැබුණු බැවින්, පොලිස් නිලධාරියා අමුත්තාගේ හැඳුනුම් පත ඉල්ලා සිටියේය.

මෙහිදී තරමක් කලබලයට පත්වූ අමුත්තා තරමක් ගොත ගසමින්

“මගේ අයි ඩී එක නැතිවෙලා” යයි කිවේය.

“තමුන්ගේ නම කොහොමද?” නිලධාරියා තරමක් සැරෙන් ඇසී ය.

“සැම්සන්”

මෙසේ කියන විටම වාහනයේ දොර විවෘත කළ තුන්වන පොලිස් නිලධාරියා, ඔහු වාහනයෙන් එළියට ඇද, දෙඅත් පිටුපසට කර මාංචු දැමිය.

“අනේ ! රාලහාමි……., මේ අහිංසක මම මොන වැරැද්දක් කළාටද?” කියමින් ඔහු බැගෑපත් වන්නට විය.

“තුන්දෙනාම යමු පොලිසියට…….” කී පොලිස් නිලධාරියෙක් අප දෙදෙනාගේ හැඳුනුම් පත් සහ මෝටර් රථයේ ලියකියවිලි සහ යතුරු තම භාරයට ගත්තේය.

මෙහි අගක් මුලක් නොදත් අප දෙදෙනාට කර කියා ගත හැකි දෙයක් නොවීය.යම්කිසි වැරද්දක් සිදුවී ඇති බව තේරුම් ගත් අපි, කලබල නොවී සන්සුන්ව, නිතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අවනත වූයෙමු.

මාංචු දැමු අමුත්තා සහ සන්නද්ධ පොලිස් නිලධාරින් දෙදෙනා ඉදිරියෙන්ද ඊළඟට අප දෙදෙනාද, අපට පසුපසින් අනිකුත් පොලිස් නිලධාරින් දෙදෙනාද ටික දුරක් ගොස්, ඉදිරියෙන් තිබුණු පොලිස් ස්ථානය වෙත ගියෙමු.

එහිදී අප දෙදෙනාට ආලින්දයේ තිබුණු බංකුවක වාඩිවීමට කී පොලිස් නිලධාරියා, අමුත්තා සිරමැදිරියකට දමා එයට ඉබි යතුරු දැමී ය.

ටික වේලාවක් තුෂ්ණිම්භුතව සිටි අප දෙදෙනාට, සිදුවුයේ සහ ඉදිරියට සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නටවත් නොහැකිවිය. ටික වෙලාවකින් මිතුරාගේ කනට ලංවී

“ඒ මිනිහව හඳුනවාද?” කියා මම ඇසීමි.

“මම හඳුනන්නේ නැහැ. මම හිතුවේ ඔයා දන්නා කෙනෙක් කියලනේ.”

“හරි වැඩේනේ. මදැයි උදව්වක් කරන්නට ගිහිල්ලා මරාලයක් ඔලුව උඩට කඩා වැටුන හැටි.”

පොලිස් නිලධාරීන් මෙතෙක් අපගෙන් කිසි තොරතුරක් නොවිමසූ නිසා සිද්ධියේ යථා තත්වය ඔවුනට පැහැදිලි කිරීම සුදුසු යයි තීරණය කළ අපි, කාර්යාලය තුළට ගොස් කලින් අප සමග කථාකළ නිලධාරියාට සිදුවූ සියල්ල විස්තර කළෙමු.

අප කී දෙයට සාවධානව සවන් දුන් ඔහු,

“මේ මිනිහා හොරෙක්, මංකොල්ලා කාරයෙක්. දවස් කිහිපයක් ඉඳන් කොහුවල පොලිසියෙන් හොයනවා. දැන් ටිකකට කලින් අපට පණිවුඩයක් ආවා, කාර් එකකට ගොඩ උනා කියල. මහත්තයලා නොදැන උනත් කරලා තියෙන්නේ, වැරදි කරුවෙකුට පලායාමට උදව් කිරීමක්.”

“දැන් ඉතින් බේරුමක් කර ගන්න වෙන්නේ උසාවියෙන්”

“මදැයි, කිසි දවසක උසාවි ගානේ රස්තුයාදු වෙලා නැතුව සිටි අපට හරි අලකලංචියක්නේ උනේ.”

“කොහොම වෙතත් තව ටිකකින් ඕ අයි සී මහත්මයා එනවා. කථාකරලා බලන්න.” ඔහුගෙන් ලැබුණේ කාරුණික පිළිතුරකි.

අප දෙදෙනා පැය භාගයක් පමණ අහස පොලොව ගැටලමින් වැඩි කතාබහක් නොමැතිව බැංකුව උඩ වාඩිවී සිටියෙමු.

ඉක්මණටම ඇඳිරි නිතිය ක්‍රියාත්මක වීමට නියමිතය. ගෙදරවල අඹු දරුවන්ට පණිවුඩයක් යැවීමටද පිළිවෙලක් නොමැතිය. තව ප්‍රමාද වුවහොත් අප භීෂණයේ රුදුරු පීඩාවකට ලක්වවූවාදෝයි, ඔවුන් ලතවිමටද ඉඩකඩ තිබේ.

වේලාව පස්වරු හත පසුවිය. දැන් ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. අපට හෙට පහන් වනතුරු මේ බංකුව උඩට වී සිටීමට සිදුවේ දැයි සැකයක්ද සිත් වෙලාගනිමින් තිබේ. 

ටික වෙලාවකින් ජීප් රථයකින් එහි පැමිණි, පාංශු දේහධාරී තරුණ නිලධාරියෙකු, සිවිල් ඇඳුමෙන් සැරසුණු තවත් කෙනෙකු සමග අප පසුකර කාර්යාලයයට ඇතුල් විය. නිල ඇඳුමෙන් සිටි ඔහු ස්ථානභාර නිලධාරියා බව අපට පැහැදිලි විය.

තවත් මිනිත්තු දහයක් පමණ ගතවිය.

ස්ථානභාර නිලධාරි අප කැඳවන බව, අප සමග කලින් කතාකළ පොලිස් නිලධාරියා අපට දැන්වීය. අපි කාර්යාලයට ඇතුල් වීමු. ඉතාමත් සුහදව කථාකළ නිලධාරියා අපට හිඳ ගැනීම සඳහා ඔහු ඉදිරිපස තිබුණු ආසන පෙන්වී ය. අපගේ හැඳුනුම්පත් සහ වාහනයට අදාළ ලියකියවිලි ඔහුගේ මේසය මත තිබෙනු අපි දුටුවෙමු. ඔහු සමග පැමිණි සිවිල් ඇඳුමෙන් සැරසුණු අයද පසෙකින් සිටියේය.

අප පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන ආ නිලධාරියා විසින් පොතක පිටුවක් පමණ ලියා තිබුණු විස්තරයක්ද මේසය මත විය.

“මොකද්ද මහත්මයලා මේ කේස් එක” සටහන් කියවමින්ම ඔහු අපගෙන් ඇසී ය.

මගේ කථිකාචාර්ය මිතුරා සිදුවූ සියල්ල නොවලහා විස්තර කළේය. අප මුහුණපා සිටින අවාසනාවන්ත තත්ත්වය නිසා අපට එහි සිටි අනෙක් පුද්ගලයා දෙස බැලීමටවත් උවමනාවක් නොවීය. එහෙත් ඔහු අප දෙස නොඉවසිල්ලෙන් බලාසිටිනු අපට පෙනින.

“හරි කරදරයකටනේ වැටිලා තියෙන්නේ, මේ උදව් කරලා තියෙන්නේ නම් දරාපු දාමරිකයෙකුටනේ. දැන් මේ කේස් එක උසාවියට දාන්නට වෙනවා. පොලිසිය මග හරිමින් සිටි චූදිතයෙකුට පලා යාමට උදව් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.”

“අපි කිසිවක් නොදැන කර ඇති වරදක් නිසා මේකට සහනයක් දෙන්නට බැරිද?” මම ඇසුවෙමි.

“අපට සහනයක් දෙන්නට බැහැ. මේ ගැන ප්‍රකාශයක් කර, වැදගත් සාක්ෂියකුත් ඉදිරිපත් කළහොත්, මට ඇති සීමිත බලතල අනුව වාහනය ඇප පිට නිදහස් කළ හැකියි. කොහොමත් ඉතිරි කොටස උසාවියෙන් බේරා ගන්නට වෙනවා.”

මේ අතර ස්ථාන භාර නිලධාරියා සමග සිටි අනෙක් අය, අප පුදුම කරවමින් අපගේ සාකච්ඡාවට සම්බන්ධවිය.

“සමාවෙන්න, මේ සාකච්ඡාව මැදට පැන්නාට. ඒ ප්‍රකාශයට මම අත්සන් කරන්නම්. මෙතුමා දැනට වසර දහයකට පමණ ඉහතදී, මගේ විශ්ව විද්‍යාල ගුරුවරයෙක්. මට හැකි උපකාරයක් කරන්නම්”

“සර්, මම අබේකෝන්.දැනට මහා බැංකුවේ ආර්ථික නිලධාරියෙක්.”

මෙය අසා පුදුමයට පත්වූ ස්ථාන භාර නිලධාරි මහතා

“හා …. එහෙනම් ගුරු ගෝල සම්බන්ධයකුත් තිබෙනවානේ. ප්‍රශ්නය ගොඩින් බේරා ගනිමු. එහා කාමරයේ සාර්ජන්ට්ගෙන් ඔය ප්‍රකාශ පත්‍රය ලබාගෙන සාක්ෂි කරු ලවාත්  අත්සන් කරගෙන මට දෙන්න. මම එය උසාවියට ඉදිරිපත් කරන්නම්. කොහොමටත් අර පුද්ගලයා ගැනනම් උසාවියේ සාක්කියක් දෙන්නට වෙනවා.”

අපට සැනසුම් හුස්මක් හෙලීමට හැකිවිය.

අප සමග ඊළඟ කාමරයට ගිය බැංකු නිලධාරියා, ඔහු පිලිබඳ විස්තර කියා විශ්ව විද්‍යාල කාලය පිළිබඳ සිහිපත් කළේය. ඔහු තම මිත්‍ර පොලිස් ස්ථාන භාර නිලධාරිවරයා හමුවීමට පැමිණ තිබෙන්නේ, වසර දෙකක රජයේ ශිෂ්‍යත්වයක් සඳහා විදේශ ගත වීම පිණිස පොලිස් වාර්තාවක් ලබා ගැනීමට බව පැවසීය. 

ප්‍රකාශය ලියා අත්සන්කර ඔහුගේ සාක්ෂියද සමග ස්ථාන භාර නිලධාරි මහතාට භාර දුන් විට ඔහු කී දෙයක් අදටත් සිතෙහි තැන්පත්වී තිබේ. එය මෙසේය.

“ජීවත්වීම සඳහා උගත්කම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා බුද්ධිය සහ ස්ථානෝචිත ප්‍රඥාවද තිබිය යුතුයි.”

අප ප්‍රකාශ පත්‍රය ඔහුට භාර දුන් වහාම, ඇඳිරි නීතිය වේලාවේ ගමන් කිරීම සඳහා සකස් කරන ලද බලපත්‍රයක් සමග අපගේ හැඳුනුම්පත් සහ මෝටර් රථයේ ලියකියවිලි අප අත පත්කළ නිලධාරියා ‘ප්‍රවේශමෙන් යන්න’ කියා අපට සමු දුන්නේය.

ස්ථාන භාර නිලධාරියාට සහ බැංකු නිලධාරියාට ස්තුති කර අපි පොලිස් ස්ථානයෙන් පිට වූවෙමු.  

සියල්ල අවසන් වන විට වේලාව රාත්‍රී නවයද පසුවී තිබිණ.
%d bloggers like this: