Menu Close

කඳුළු සලන මාළුවෝ

වෙරළෙ ඉඳන් ටිකක් ඈතින් මුහුද මැද මතුවී තිබුණ ගල් තලාවකයි මං වාඩිවෙලා හිටියෙ. ඉර බස්නාහිර පැත්තෙන් අහස මුණගැහෙන සිතිජ රේඛාවෙදි සාගරය වැළඳගන්න සූදානම් වෙමින් තිබුණ මොහොතක් ඒක. මුහුදෙත් තිබුනෙ මහ මළපාලු නිස්සද්ද ගතියක්. මුහුදෙ රළ වැඩිපුර නැගුනේ නෑ. මහ කුණාටුවක් ඇතිවෙච්ච දවසකට එළියට ගන්න රැළි ටික මූද කොහෙ හරි හංගගෙන ඉන්නවාවත්ද?
හිටි ගමන් සද්දයක් ඇහුණ. මං වාඩිවෙලා හිටපු තැනට පොඩ්ඩක් එහාට වෙන්න මුහුද යටින් දිය බුබුලු වගයක් මතු වෙන්න පටන් ගත්ත. මං බලා උන්නෙ මේ මොකක්ද මේ වෙන්න යන්නෙ කියල හිතා ගන්න බැරිව. එක පාරටම එතනින් මතු වුණා කෙනෙක්. ඔව් ඒ දිය කිඳුරියක්. එයා පීනාගෙන වතුරෙන් ගොඩට ඇවිත් මං හිටපු ගල් තලාවෙ මට ටිකක් ඈතින් වැතිරුණා. එයා අපි පොත්වල දැකල තියනව වගේමයි කියල මට හිතුන. රාස්සිගෙ අව්ව පොල් රුප්පාවකට ඉහළින් වැටෙනකොට තියන පාටට කොණ්ඩෙ, රත්තරං හම, නිල් පාට ලොකු ඇස්, දේදුනු වගේ ඇහිබැමි, රතු පාටට හීන් තොල් පෙති, මත්ස්‍යයෙකුට සමාන ශරීරයෙ අනෙක් අර්ධය, ඒව එහෙමම තිබුණ. 
“මොකද ඔහොම කන්න වගේ බලං ඉන්නෙ” … එයා ඇහුවෙ නං ටිකක් සැරෙන් වගේ.
“නෑ නිකං..” මම උත්තර දුන්නෙ ඒ පෙනුමත් එක්ක කතා කරපු ස්වරය නං ගැළපෙන්නෙ නෑ වගේ කියල හිතමින්.
“ඔයා නිකං බලාගෙන හිටියට මම ආවෙ හේතුවක් ඇතුව.. මම දැක්ක දැන් සෑහෙන වෙලාවක් ඔයා ඔතනට වෙලා දහඅතේ කල්පනා කරමින් ඉන්නව” ඒ පාර හඬේ සැර පොඩ්ඩක් බාල වෙලා.
“ඉතින්..”
“ඔව් … මිනිස්සුන්ට නොදැනුණාට අපි එයාල ගැන සෑහෙන විමසිල්ලෙන් ඉන්නෙ”
“හරි ඉතින් ඇයි මට මේව කියන්නෙ?”
“මට පුලුවන් ඔයාට උදව්වක් කරන්න. මූද ගැන ඔයා අහන ඕනැම ප්‍රශ්නෙකට උත්තර දෙන්න. හැබැයි ඔයාට අහන්න පුලුවන් එක ප්‍රශ්නයයි. ඔව්, එකක් පමණයි”
“එහෙමද.. ම්ම්ම්… ඔව් මට තියනව අහන්න ප්‍රශ්නයක්..” 
මං කිව්වෙ කට කොණකින් පොඩි හිනාවක් දානගමන්..
“මේක මම කාලෙක ඉදන් හිතමින් ඉන්න දෙයක්. ඒක හැබැයි හරි හිනා යන ප්‍රශ්නයක්…”
“කමක් නෑ අහන්න”
“මේකයි… මූදෙ ඉන්න මාලු එක්ක නිතරම ඉන්න කෙනෙක් විදිහට ඔයා මාලුන්ව හොඳට අඳුරනව ඇති කියල මම හිතනව.. මට අහන්න ඕන මේක…මම දැකල නෑ කවදාවත් මාලුවෙක් අඬන හැටි..ඇත්තටම උන් අඬනවද?…ඒක තමා මගෙ ප්‍රශ්නෙ..”
“ඔයා මොන පදනමක ඉදන් ද ඔය ප්‍රශ්නෙ අහන්නෙ‍”
“ගලක් උඩ ඉදන්..”
එයා මහ හයියෙන් හිනා වුණා.. “හරි ප්‍රශ්නෙ ඇහුවෙ..”
“ඉතින් උත්තරයක් දෙන්නකො ඒකට…”
“ඔයා කොහොමද හිතුවෙ මාලු කවදාවත් අඬන්නෙ නෑ කියල ?”
“මම කවදාවත් දැකල නැති නිසා”
“දැකල නැති දේවල් කවදාවත් පවතින්නෙ නෑ කියල හිතන්නෙ එපා…”
“ඉතින් කියන්න මාලු කවදාවත් අඬනවද ඇත්තටම…”
“ඔව්..උන් අඬනව..සතුට දැනුනම හිනා වෙනව. වෙලාවකට මූද පතුලෙ ගල් පර අස්සෙනේ වේගෙන් පීනා යනව. තව වෙලාවකට කිසිම හැල හොල්මනක් නැතිව ගැඹුරේ අදුරු තැන්වලට වෙලා තනියම ඉන්නව. වෙලාවකට රංචුගැහෙනව. හැබැයි උන්ටත් දුක දැනෙනව. එතකොට උන් වැලිගොඩවල පෙරලි පෙරලි අඬනව. කතාවක් බහක් හැලහොල්මනක් නැතුව ඉඳන් අඬනව. හැබැයි උන් ඉන්නෙ වතුරෙ නිසා උන්ගෙ කඳුලු කාටවත් පේන්නෙ නෑ. උන් අඬන බව කිසි කෙනෙක් දකින්නෙත් නෑ. ලෝකෙට නොපෙනුණත් ඔයා විඳින බොහෝ දේවල් උනුත් ඒ විදිහටම විඳිනව. තමන් කිසිදාක හරියට නොදැකපු ජීවින් කොටසක් ගැන ඔහොම පටු විදිහට හිතන්න පුරුදු වෙන්න එපා..”
“හොදයි ඒක මම උත්තරය විදිහට බාරගන්නම්…බොහොම ස්තූතියි මම නොදන්න දෙයක් මට කියා දුන්නට.” එයාගෙ “දිය කිඳුරු” දේශනාව අවසානෙ මම කිව්ව.
“අපිත් කැමති කෙනෙකුට උදව් කරන්න පුලුවන් නම්. ඒත් අපි වැඩිපුර කාටවත් පේන්න එන්නෙ නෑ . මොකද ඉන් පස්සෙ මිනිස්සු අපිවත් ඊතල වලින් විදල මරන්න පටන් ගනීවි. අපේ මාංස හූරගෙන රහ කරකර කන්න ගනීවි. අපිව අරං ගිහින් ඒගොල්ලන්ගෙ වතුර ටැංකි වල හිරකරල තියාගනීවි. කවුද කැමති එහෙම එකතැන හිර වෙච්ච ජීවිතයක් ගත කරන්න. අපි මිනිස්සු ලඟට එන්නෙ නෑ වැඩියෙ ඒ හින්ද.”
 එයා එයා ගෙ මත්ස්‍ය වරල සලමින් කියාදැම්ම.
“ඒකත් ඇත්ත තමයි.”
“ඔයාල හිතන් ඉන්නවට වඩා මූදු ජීවිතේ ගොඩක් වෙනස් බව ඔයාට දැන් තේරෙනව ඇති”
“ම්ම්  ඔව්..ඇත්තටම “
“එහෙනනම් ඒ ඇති. මම යනව‍”
එක්වරම දියට පැන්න එයා ඇස් පිල්ලම් ගහන පරක්කුවෙන් නොපෙනී ගියා.
මගේ හිතට විශාල සැහැල්ලු බවක් දැනෙමින් තිබුණෙ.. මට ලෝකෙටම ඇහෙන්න මහ හයියෙන් කෑගහන්න ඕන වුණා ඒ වෙලාවෙ .. ඒත් මම ගල් තලාව උඩම වාඩි වෙලා හිටිය..
මම ගල් තලාවෙ ඉන්කොට මම ඇතුලෙ හිටපු අනෙක් මම මගෙන් එලියට ඇවිත් මූදට පැන්න. මම ගල් තලාවෙ ඉඳන් බලා හිටිය. අනෙක් මම බැහැගෙන යන හිරුරැස් වැටිල රන් පාටට බබලන මූදු වතුර අස්සෙ ගිලිල මාලුවෙක් වගේ පීනාගෙන ඈතට නොපෙනී ගියා…
%d bloggers like this: