Menu Close

ලෝක බැංකුවෙන් තවත් කෝටි 1600ක ණයක්!

ලෝක බැංකුව විසින් කෝවිඩ්-19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙරසූදානම් ව්‍යාපෘතිය යටතේ ලංකාවට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 87.24ක හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 1626.6ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. මේ ණය මුදල ලැබෙන්නේ මීට පෙර අප්‍රේල් 2 වනදා ශ්‍රී ලංකාව විසින් ලෝක බැංකුවෙන් ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 128.60ක ණය මුදලට අමතරවයි.

ශ්‍රී ලංකා රජය විසින් මේ අලුත් ණය ලබා ගෙන තිබෙන්නේ කෝවිඩ්-19 වැළඳීමේ වැඩි අවදානමක් ඇති පිරිස් වලට මුදල් සහනාධාර ලබා දීමට හා රටේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහායි. කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංරක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතියේ එක් කොටසක් ක්‍රියාත්මක කරනු ඇති අතර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශය විසින් අනෙක් කොටස ක්‍රියාත්මක කරනවා.

ලෝක බැංකුවට ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති විස්තරය අනුව කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංරක්ෂණ අමාත්‍යාංශය විසින් මුදල් වැය කරන්නේ පහත කටයුතු සඳහායි.

–  කෝවිඩ්-19 අර්බුදය හමුවේ මෙතෙක් ආධාර මුදල් නොලැබී පොරොත්තු ලේඛනයේ සිටින ආධාර හිමි විය යුතු අඩු ආදායම්ලාභී නිවාස ඒකක වල ජීවත්වන අයදුම්කරුවන්ට හා අලුතින් අයදුම් කරන වයස්ගත පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින්, නිදන්ගත වකුගඩු රෝගය ඇතුළු නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට සහනාධාර මුදල් ලබා දීම.

– ජ්‍යෙෂ්ඨ පුරවැසි සහනාධාර වැඩ සටහන යටතේ දැනටමත් ආධාර ලබන අයගේ ආධාර මුදල් තාවකාලිකව වැඩි කිරීම.

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශය විසින් මුදල් වැය කිරීමට බලාපොරොත්තු වන දේ අතර පහත අයිතමයන් ඇතුළු තවත් දේවල් තිබෙනවා.

– කෝවිඩ්-19 සම්බන්ධීකරණ කටයුතු සඳහා ජාතික මට්ටමේ හදිසි මෙහෙයුම් මධස්ථානයක් ස්ථාපිත කිරීම.
– කෝවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම, රෝග නිවාරණ උපදෙස් ලබා දීම හා සබඳතා හඹා යාම පිළිබඳව වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය සේවකයින් හා වින්නඹු මාතාවන් පුහුණු කිරීම.
– සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම හා සනීපාරක්ෂක කටයුතු ක්‍රියාත්මක කිරීම.
– ස්වයං-නිරෝධායනය වී සිටින පිරිස් ඇතුළු අනෙකුත් අයට සනීපාරක්ෂනය සඳහා අවශ්‍ය දේ සැපයීම
– නිරෝධායන පහසුකම් වැඩි කිරීම

මේ ණය මුදල ආපසු ගෙවිය යුත්තේ වසර 30ක කාලයකින් වන අතර පළමු වාරිකය ගෙවිය යුත්තේ වසර 5කට පසුවයි. ඒ නිසා, ණය ආපසු ගෙවීම අනාගත ආණ්ඩු වලට භාර කටයුත්තක්.

(Image: https://yukthiyanews.com/archives/830)

%d bloggers like this: