Menu Close

බිස්නස් ඩීල් හා මංකොල්ලකෑම

 

පිටකොටුවෙ මාකට් එකේ පදික වෙළෙදුන්ගෙන් විතරක් නෙවෙයි ලොකු ලොකු ව්‍යාපාරිකයන්ගෙන් පවා කප්පම් ගන්න එක සෑහෙන කලෙක හිටන් සිද්ද වෙන දෙයක්. රණසිංහ ප්‍රේමදාසගෙ කාලෙ මැනිං මාකට් එකේ මුදලාලි මැරයෙක් හිටිය, දැන් නම මතක නෑ එයත් කළේ ඕකම තමයි. පස්සෙ මිනිහ පළාත් සභාවටත් ගියා. මිනිස්සුත් එක්ක ඉන්න ගමන්ම තමයි උන්නැහෙල කප්පම් ගන්න සෙට් වෙන්නෙ. රාජපක්ෂ ආණ්ඩුවෙ දි පදික වෙළෙදුන්ගේ සංගමය කියල එකක් අටවගෙන ඒකෙන් තමයි ගේම දුන්නෙ. මිනිහ නගර සභාවෙ මන්ත්‍රී කෙනෙක් පවා උනා.

එයාල පොඩි මිනිස්සුන්ට උදව් කරනව කියන්නෙ කප්පම් ගන්න සල්ලි වලින් 10%ක් විතර මිනිස්සුන්ගෙ සුභ සාධනයට දෙන එක. ඊට පස්සෙ ආණ්ඩුවත් එක්ක තියෙන සබදකම් එක්ක ආණ්ඩුවෙන් අරන් දෙන්න පුළුවන් දෙයක් දෙනව. ඒ සේරම කරන්නෙ කප්පම් ගැනීමේ තමන්ගෙ ආදායම් මාර්ගය ශක්තිමත් කර ගන්න. ඒකට හිලව්වක් විදිහට තමන් වටා ඉන්න මිනිස්සු ආණ්ඩුවට සෙට් කරනව. විරුද්ධවාදියකුට ගේම දෙන්න ඕන උනාම ගිහින් පොඩි චණ්ඩි පාට් එකක් දානව. රැස්වීම් වලට සෙනග සපයනව.

පදික වෙළෙදුන්ගෙ සංගමයෙ ලොක්ක පිටකොටුවෙ පොඩියට කළාට ලොකු ලොකු මුදලාලිල කී දෙනෙක් රජයේ සම්පත් එහෙම නැත්නම් මහජන දේපළ හොරා කාල තමන්ගෙ බිස්නස් සාර්ථක කර ගන්නව ද? මේ ආණ්ඩුවෙ විතරක් නෙවෙයි ගිය ආණ්ඩුවෙත් එහෙමයි. සෙවනගල සීනි කම්හල විකුණන කොට තුන්වැනි ලංසුවට ඒක තීන්දු වෙන්නෙ නිකම්ම නෙවෙයි. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණෙ දි සමහර රූපවාහිනී චැනල සම්පූර්ණයෙන්ම පොහොට්ටුවට කඩේ ගියේ නිකම් නෙවෙයි. ඒක තමයි පාතලයේ බිස්නස් කරනව කියන්නෙ. ගුවන් තරංග මහජන දේපළක් උනාට ඒව තුට්ටුවට දෙකට අරගෙන බිස්නස් කරන්න හැමෝටම බැහැ. හැබැයි සමහරු කුඩු බිස්නස් කරන්නෙත් සමහරු ෂෙයර් මාර්කට් එකේ සෙල්ලම් කරන්නෙත් මේ මහජන දේපළක් වෙච්ච ගුවන් තරංග වලින් බිස්නස් කරමින්.

82391818_781485728986254_8287893198752186368_o

රජය කියල ආයතනයක් නැත්නම් ගොඩක් ලොකු කම්පැණි පාඩු ලබල වහල දානව. එයාල බිස්නස් කරන්නෙම රජයත් එක්ක. රජය මිල දී ගන්නෙ නැත්නම් ඒ බිස්නස් කෙරෙන්නෙ නැහැ. ඉතින් රජයත් එක්ක කරන බිස්නස් වල දි කරන්නෙම ඩීල් එකක් දා ගන්න එක. සමහර බිස්නස්කාරයො ඉන්නව මම පොඩි කාලෙ රුපියල් 500 අරන් කොළඹ ආවෙ කියාගෙන. ඒත් එයාලගෙ ඉතිහාසය හොයල බැලුවොත් එයාල පොහොසත් උනේ නිකම්ම ව්‍යාපාර කරල නෙවෙයි. එක්කෝ එයාල රජයේ සැපයුම්කරුවො. එහෙම නැත්නම් දේශපාලකයන්ගෙ හිතවත්තු. එහෙම උනාම ව්‍යාපාර කරන්න හා අධික ලාභ ලබන්න එයාල දේශපාලකයන් එක්ක ඩීල් දා ගන්නව. ඉතින් ලොකු ලොකු සල්ලිකාරයො වෙන එකක් අහම්බයක් නෙවෙයි.

ඔළුවට පිස්තෝලය තියල කප්පම් ගැනීමත් දේශපාලකයන් සමග ඩීල් දාල රජයේ සැපයුම්කරුවන්වීමත් එක වගේම ලාභ ලබන බිස්නස් එකක්. මේ ක්‍රම දෙකේදිම කරන්නෙ දේශපාලකය සමග බිස්නස්කාරය ඩීල් එකක් දා ගන්න එක. එහෙම කරල මහජන දේපළ මංකොල්ල කන එක.මේක ගම් මට්ටමට යන කොට ටිකක් වෙනස්. ගමේ සංවර්ධන කටයුතු කරන්නෙ ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ දේශපාලකය. සංවර්ධනය සදහා කරන ව්‍යාපෘති කොන්ත්‍රාත්, රටබීමහල්, පෞද්ගලික බස් ධාවනය වගේ මුදල් ඉපයීම් වෙන්නෙ ඔහු හරහා. ඒ කියන්නෙ තමන්ගෙ ප්‍රදේශයේ සල්ලියක් හුවමාරු වෙනව නම් ඒකෙන් කොටසක් දේශපාලකයට යනව. ඒ සල්ලියෙන් තමයි එයා දේශපාලනය කරන්නෙ.

මෙහෙම බැලුවහම බිස්නස්කාරයා හා දේශපාලකයා කියන්නෙම පාතාලෙ මංකොල්ලකාරයන්. පාතාලය නැති කරනව නම් මංකොල්ල කන බිස්නස්කාරයන් වගේම දේශපාලකයන් ද අහෝසි කරන්න ඕන.

%d bloggers like this: