Menu Close

බිත්ති කඩදාසිය

 

Creepy-Drawings

(Image – internet)

Day 01 – දහවල

“And this is my favorite room…” ශානිකා දෑතින්, දෙ ජනෙල් පියන් විවර කරමින් කීවා ය. මෙතෙක් වේලා අන්ධකාරයෙන් පිරී තිබුණු කාමරය දිවා හිරු රැසින් ඒකාලෝක විය. ජනේලයෙන් එපිට, සඳලුතලයකි. ඉන් ඔබ්බේ ඈතින් ඈතට විහිදෙන, මිහිදුමෙන් ගැවසි අන්ධකාර කඳු මුදුන් ය.

“මෙතන තමා මම හොටෙල් එකේ උඩ තට්ටුවේ ලිවින් ස්පේස් එක දාන්න හිතන් ඉන්නේ…මට සර්බියාවේ කැලෑවකට ගිය ට්‍රිප් එකක් මතක් වෙනවා මේ සීනරි එක දකිනකොට” ඈ කීවේ ඇය පිටුපසින් කාමරයට පැමිණි බ්‍රෝකර් ලලිත්ට ය.
ඔහු දින කිහිපයක් මෙහි නැවතී ඇයට මේ කටයුතු එකලාසයක් කිරීමට උදව් කිරීමට නියමිත ය.

මේ සුවිශාල කාමරයත්, නිවසේ අනෙක් සෑම කාමරයක්ම වාගේ – ඇතැම් විට ඊටත් වඩා කාලය විසින් ජරාජීර්ණ කර තිබුණි. පරණ ඇඳකුත්, ඒ මත දමා තිබූ දෙකට නැමූ ගුදිරියකුත් හැරෙන්නට කාමරය ගෘහ භාණ්ඩවලින් සිස් ය. බිත්තිවල කොන්වල දියසෙවල බැඳිලා ය. කිසිදු අලංකාරයක් නොවූ අලංකරණ කඩදාසියකින්වත් සරසා තිබුණේ කබල් ඇඳ සමීපයේ වූ බිත්තිය පමණි.

” මේ ඇඳ අයින් වෙනවා, අර දොරත් ගලවන්න ඕන, එතකොට…මේ වෝල් පේපර් එක.. ” ශානිකා බිත්තිය සමීපයට ගියා ය. අලංකරණ කඩදාසියේ එක් තැනක් ඇස් මට්ටමෙන් ඉරි එල්ලෙමින් තිබුණි. ඊට යටින් වූ බිත්තියෙහි යමක් කුරුටු ගා ඇත. ඈ ඇඟිලි තුඩින් අල්ලා කඩදාසිය තවත් පහළට ඉරුවා ය.  “මුත්තු 12-05-94” එහි ලියා තිබුණි.

“this wallpaper must go too!”

——————————————————————————————————————————-

Day 02 – දහවල

ශානිකා පිහි තලයකින් කාමරයේ බිම අල්ලි වශයෙන් වැටී තිබූ පැල්ලම් සූරමින් සිටින්නී ය.  කිළිටි මෙට්ටය එළියට ඔසවාගෙන ගිය ලලිත් කාමරයේ ඇඳ කොටස් කරමින් සිටියේ ය.

“ඇඳ එක පාරම හෝදලා දාන්න ලලිත්… මට මගෙ මෙට්‍රස් එක දාන් ඕකෙම නිදියන්න පුළුවන්..බිම නිදියනකොට කොන්ද රිදෙනවා මාර විදිහට…”

ලලිත් ඇඳේ කොටස් කිහිපයක් කරට ගත්තේ ය. ඒ ඇඳ සිතුවාට වඩා බර ය. ඔහු කොටස් කිහිපයක් යළි බිම තබා ඇඳේ රාමුව කරට ගත්තේ ය. ඔහු  කාමරයෙන් පිටවත්ම “ටකස්” හඬින් යමක් බිම වැටෙනු ඇසිණි.

ශානිකා උන් තැනින් නැගිට එය අහුලා ගත්තා ය.

ඒ පිහි තලයකි. මළ බැඳුණු එහි කළු, ඝන පැල්ලම් කිහිපයක් විය. ඈ එය ඒ මේ අත හරවා බැලුවා ය. තලය තවමත් උල් ය.

” ඕක කොහෙද තිබුණේ..?”

යළිත් කාමරයට ආ ලලිත් ඇසුවේ ය.

“ලලිත් ඇඳ අරගෙන යනකොට වැටුණා.. ”

“මේක ඉස්සර හරක් බිස්නස් එකට පාවිච්චි කළ එකක්ද දන්නේ නෑ මිස්…” ලලිත් කීවේ ඇඳේ ඉතිරි කොටස් ඔසවමිනි.

තිගැස්සුණු ශානිකා අතින් පිහි තලය අතහැරිනි.

“මිස් බය වුණාද? මම නිකමට කිව්වේ. ඕක ඒවට ගන්න නැතුව ඇති මිස්.. අනික මස් බිස්නස් එක නැවතුනේ නිහාල් මහත්තයට පිස්සු හැදෙන්නත් කළින්..”

“ඇත්තටම නිහාල් ප්‍රනාන්දුට මොකද වුණේ?” ශානිකා ඇසුවා ය. ලලිත් ඇඳේ කොටස් යළිත් බිම තැබුවේ ය.

“මිනිහගෙ දෙවෙනි නෝනා වත්තේ වැඩ කරන එකෙක්ගෙ පුතෙක් එක්ක පැනල ගියා. ඌ ඔය විශ්ව විද්‍යාලේ එහෙම ගිය එකෙක්. මාලනී නෝනා නිහාල් මහත්තයට වඩා සෑහෙන බාලයි.  ඕකෙන් කාලෙකට පස්සේ මිනිහට පිස්සු හැදුණා. හරක් මස් බිස්නස් එක ඒ කාලේ වෙනකොට නැවතිලා ටිකක් කල්. ඒ වෙද්දි ළමයි හිටියේ එංගලන්තේ. මිනිහට පිස්සු කියල දැනගත්තම මිනිහව එහෙ ගෙනිච්ච ලොකු පුතා. එහෙදි නිහාල් ප්‍රනාන්දු මළාට පස්සේ තමා ගේ විකුණලා දෙන්නයි කියල මට කිව්වේ.. ඉතින් නෝනා ගේ ගත්ත හෝටලේ හදන්න..”

——————————————————————————————————————————-

Day 03 – දහවල 

නිවසට තරමක් ඈතින් වසා දැමූ තනි තට්ටුවේ ගොඩනැගිල්ලකි. ඒ පිටුපස ප්‍රපාතයකි. ශානිකාත් ලලිතුත් මේ සිටින්නේ ඒ ගොඩනැගිල්ල පිරික්සමිනි. කලකට පෙර මේ ගොඩනැගිල්ල ප්‍රනාන්දු පවුලේ මස් ව්‍යාපාරය පිණිස ගවයන් ඝාතනය කෙරුණු, මස් සකස් කෙරුණු ස්ථානයයි. දැන් එහි ජල ටැංකි සිස් ය. යන්ත්‍ර සූත්‍ර මළ බැඳිලා ය.

ශානිකා මේ සියල්ල නරඹමින් ගොඩනැගිල්ලේ අවසන් කෙලවර දක්වාම ඇවිද ගියා ය. පසුපස දොර අසළ විශාල බැරල් කිහිපයකි.

“මේ මොනවද ලලිත්?”

“මොනවහරි ඒ කාලේ මස් පදම් කරන්න ගත්තු කෙමිකල් එකක් වෙන්න ඇති මිස්. දැන් නරක් වෙලත් ඇති..”

ශානිකාත් ලලිතුත් ඉතා අසීරුවෙන් ඒ එක් බැරලයක් තල්ලු කරගෙන එළියට රැගෙන ගියෝ ය. ලලිත් යකඩ ඉන්නකින් එය විවෘත කළේ ය. ඒ හාම ඔවුන් දෙදෙනා දෙපසට දිව ගියේ දරාගත නො හැකි දුර්ඝන්ධය හේතුවෙනි.

“අම්මෝ.. පරණ මස්”

ඔවුන් විවෘත කළ බැරලය ද, අනෙක් විවෘත නොකළ බැරල් ද ප්‍රපාතය දෙසට පෙරළා දැමූහ.

ඒවා බෑවුම දිගේ රෝල් වෙමින් ගොස් නොපෙනී යනු ඔවුන් බලා සිටියහ.

——————————————————————————————————————————-

Day 04 – රාත්‍රිය

ශානිකා සිය ලැප්ටොප් පරිගණක බිම තැබුවා ය. ඇය දැන් නිදන්නේ ලලිත් විසින් සෝදා පිරිසිදු කළ ඇඳට අලුත්  මෙට්ටයක් එලාගෙන ය. බිම තබා ඇති විදුලි පහනෙන් එතරම් ප්‍රබල නැති ලා කහ පැහැති ආලෝකයක් විසිරේ.

ඈ සිය ජංගම දුරකතනය ගෙන පෙම්වතාට පණිවුඩයක් යැවුවා ය.

“When are you coming? ”

“In another few days babe…”

“When?”

“Mmm.. Next Sunday?”

ශානිකා ජංගම දුරකථනය ඇඳේ පසෙකින් තබා බිත්තිය දෙසට හැරුණා ය. පළින් පළ පොතු ගැළවුණු බිත්ති කඩදාසිය කොනහන්න වූවා ය.  කලකිරීම සුසුමක් ලෙස පිටවිය. රංගනව දැකීමට තව දින දහයක්! තව දින දහයක්ම තනියෙම!!

ඈ බිත්ති කඩදාසියේ පදාසයක් නිය තුඩින් ඉරුවා ය.  කුරුටු ගෑ තවත් නමක් එහි මතු විය.

“රේඛා 12-08-94″  ඊට තරමක් පහළින් , ” ජයන්ත බල්ලා  11 -02 – 94″

ශානිකා ඇඳේ කෙලින් වී හිඳගත්තා ය. පදාස වශයෙන් බිත්ති කඩදාසිය ගලවන්නට වූවා ය. තවත් නම් සහ දින මතු විය. ඈ ඇඳ මත හිටගෙන තවදුරටත් බිත්ති කඩදාසිය ඉරමින් ගලවන්නට වූවා ය. විනාඩි කිහිපයකට පසු බිත්තිය සම්පූර්ණයෙන් නිරාවරණය වූයේ තවත් නම් සහ දින රාශියක් එහි කුරුටු ගා ඇති බව පෙන්වමිනි.

ඈ කල්පනාකාරී වූවා ය. ඉන්පසු සිය laptop පරිගණකය ගෙන මේ නම් එකිනෙක සෙවුම් යන්ත්‍රයේ සටහන් කරමින් සොයන්නට වූවා ය. වරින් වර බිත්තිය දෙස බලමින් ඈ එහි ලියා ඇති නම් සෙව්වා ය. බොහෝ නම් පිළිබඳව කිසිදු හෝඩුවාවක් එහි වූයේ නැත. එහෙත් නම් කිහිපයක් පිළිබඳව තොරතුරු එහි විය.

 

“වසර කිහිපයක් තිස්සේ නුවර එළිය දිස්ත්‍රික්කයේ සිදුවූ මේ අතුරුදන්වීම් පිළිබඳව…. වතුයායේ ජීවත් වූ 45 හැවිරිදි සෙල්වරාණි මාරිඅම්මන් නමැති තිදරු මවක්,..සුසිල් චන්ද්‍රපාල…  ”

 

” චන්ද්‍රන් මුත්තුට මොකද වුණේ? –  දොළොස් හැවිරිදි චන්ද්‍රන් මුත්තු අතුරුදන් වූයේ මෙයට වසර 12කට පෙර ය. පාසල් ගොස් නිවසට පැමිණීමෙන් පසුව සිය පවුලට අයත් ගවයෙකුට තණ කැවීමට ගිය ඔහු නැවත නො පැමිණි අතර අද දක්වාම….”

 

” ජයන්ත වික්‍රමාරච්චි උපාධිධරයෙකි…………පවසන්නේ ඔහු වතු හිමියෙකුගේ ලාබාල බිරිඳ සමඟ පළා ගිය බව ය. එහෙත් මව්පියෝ එය නො අදහති. ඔවුන් අදටත් සිය පුතු එතැයි බලා සිටින බව…”

 

බිත්තියේ නම් දහයක්.. පහළොවක්.. විස්සක්… එහෙත් අන්තර්ජාලයේ ඇත්තේ තොරතුරු කෙතරම් අල්පයක්ද?

ඊළඟට ශානිකාගේ ඇසට හසුවූයේ ඇඳේ ඉහ ඉද්දරටම වන්නට වූ නමකි.

 

“මාලනී ප්‍රනාන්දු 08 -02 – 94”

 

මාලනී… මාලනී ප්‍රනාන්දු. නිහාල් දෙවනවර විවාහ වූ ඔහුට වඩා වයසින් බොහෝ ලාබාල ගැහැනිය මාලනී නොවේද? ඈ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු හෝ එවන්නෙකු සමඟ පළා ගිය බව ලලිත් කීවා නොවේද?

ශානිකා රැයේ ඉතිරිය ගතකළේ කාමරයේ එහා මෙහා ඇවිදිමිනි.

——————————————————————————————————————————-

Day 05  – උදෑසන

වේගයෙන් ආ පොලිස් ජීප් රියක් වලව් මිදුලේ නවත්වනු ලැබිණි. පෝටිකෝව යට සිටි ශානිකා පෙරටු කරගෙන පොලිස් පරීක්ෂක  පඩිපෙළ නගින්නට වූයේ ය. ඔහු පිටුපසින් තවත් නිලධරුවෙක්.

පඩිපෙළ මැදක් වන්නට එල්ලූ ඡායාරූපයේ සිටියේ ගැමි පෙනුමකින් යුතු රූමත්  ගැහැනියකි. ඒ මාලනී බව ශානිකාට කියා තිබුණේ ලලිත් විසිනි.  ඒ ඡායාරූපයේ ගෙල හරහා දුඹුරු ඉරක් ඇඳී තිබුණේ  ලේ බීමෙන් අනතුරුව ඡායාරූපයේ වසා සිටි මදුරුවෙකු කවුරුන් විසින් හෝ එහිම තලන්නට ඇති ළකුණු පෙන්වමිනි.

පොලිස් පරීක්ෂකවරයා කාමරයට ඇතුළු විය. දැන් ඇඳ මදක් කාමරය දෙසට ඇද තිබුණි. ඔහු මොහොතක් බිත්තිය පුරා කුරුටු ගා තිබූ නම් දෙස බලා සිටියේ ය.

” මේ මිනිස්සු ගැන කිසිම  හෝඩුවාවක් ලැබිල තිබුණේ නෑ මිස් ශානිකා..මේ ඔක්කොම අතුරුදන් වුණු අය”

බිත්තියේ ඈත කෙළවරේ පොලොව ආසන්නයේ තවත් කඩදාසි කොටසක් ඉතිරි වී තිබුණි. පොලිස් පරීක්ෂකවරයා එතැන බිමට නැමී කඩදාසිය අතින් අල්ලා පරීක්ෂා කරන්නට වූයේ ය. ඇඟිලි තුඩින් කඩදාසිය කෙනහුවේ ය.

ඒ හාම ඔහු වේගයෙන් සිය අත පිටුපසට ඇදගත්තේ ය.  ඔහු ආපසු හැරී ශානිකා දෙස බලන විට ඔහුගේ මුහුණේ වූයේ සුදුමැලි රෝගී පෙනුමකි.

“කෝ මේ wallpaper එකේ ඉතුරු ටික?”

” ඒක අපි එළියට දැම්මා. පහළ ගරාජ් එකේ තියෙනවා. ඇයි ඉන්ස්පෙක්ටර්? ”

“This is human skin! මේ තියෙන්නේ මිනිස් හම්! “

%d bloggers like this: