Menu Close

 ඔබ කල ලොකුම පින කුමක්දැයි කෙනෙක් ඇසුවොත්, ඔබේ පිළිතුර කුමක්ද ?

415-701x440           මට නම් කියන්න උත්තරයක් ඇත. එහෙත් එය මා කල ලොකුම පිනද යන්න තේරුමක් නැත. එය පැහැදිළි කරන්නට උත්සාහ කරමි. 

එක්තරා ආයතනයක ඉගෙන ගන්නා කාලයේ කොල්ලෝ කෙල්ලෝ සහ ගුරුවරු සමඟ රට වටේ ගිය ගමනකදී මහනුවර දළදා මාළිගය බලන්නටත් ගියෙමු. එහෙත් මේ වෙලාවේ අප සියලු දෙනා සිටියේ බීමතිනි. අද මෙන් නොව, එදා එය සැලකුවේ සුළුවෙනි. තරුණ කමට වඩා එකළ මෝඩකම වැඩි විය.

තරම බීමතින් සිටි අයගේ ගණයට මා වැටී තිබුණු අතර, කෙලින් කටින් ඇවිදින්නට නොහැකි අයද ඒ අතර සිටියහ. එසේ හෙයින් උඩට යන්නට අපහසු අය වාත්තු කරගෙන ගියෙමු. අප පිරිස තිහක් පමණ විය. එදින මාළිගය තුල සිටි පිරිසද බොහෝ විය. 

මා සමඟ සිටිය එකළ අතිජාත මිත්‍රයෙක් වූ [අපි ඔහුට රණතුංග යයි කියමු] ඔහුට නම් බොහොම වැඩි බවක් පෙනින. කෙල්ලන් නම් වාඩි වී ගාථා කියන බවක් පෙනුණද, අප ඔහේ වට පිට බලමින් සිටියා හැර වෙන දෙයක් කලේ නැත. කෙසේ හෝ අප හැකි අයුරින් වාඩි වී කෙල්ලන්ගේ රැවුම් ගෙරවුම්, ගුරුවරුන්ගේ අමනාපය සහ වන්දනාමාන කරන්නට පැමිණි අයගේ පිළිකුල මධ්‍යයේ නිහඬව සිටින්නට උත්සාහ කළෙමු. ඒ නිහඬ බව බිඳුනේ හිටි හැටියේම වමනය කරන්නට පටන් ගත් රණතුංග හෙයිණි. ශබ්දය එන විටම වමනය දමන්නට භාජනයක් සොයා වට පිට බැලුවද, කිසි දෙයක් සොයාගන්නට නැත. 

වෙන කරන්න දෙයක් නැති හෙයින් තව දෙදෙනෙක් විසින් වත්තම් කරමින් පහළට කැටුව යන රණතුංග තව මොහොතකින් උඩ මළුවේම වමනය දමන බව පැහැදිළිය. සාමාන්‍යයෙන් අපිරිසිදු කැත දෙයක් ඇල්ලීමට අකමැති බොහෝ අය අතරේ මාද කෙනෙක් වීමි. නමුත් එදා එවැනි අදහසක් මට පැමිණියේ කුමන හේතුවක් නිසාදැයි මා අදත් නොදනිමි. රණතුංගට වමනය කරන්නට දෝත වකුටු කර ඇල්ලුවෙමි. ඉන් පසු, එකම එක වමනය බිඳක්වත් බිම වැටෙන්නට නොදී, අතට එක්වූ වමනය එළියටම රැගෙන ගියෙමි. 

එය මට එකවර සිතට ආ දෙයක් නිසා වුණාවත්ද, එසේ නැති නම් දළදා හාමුදුරුවන්ගේ ආනුභාවය නිසා වූ දෙයක්ද යන්න මා අදටත් නොදනිමි. 

කාලයාගේ ඇවෑමෙන් ලොකු රැකියාවක් ලැබුනා මෙන්ම බටහිර රටකටත් යන්නට ලැබුණු රණතුංග, ඉඳ හිට මට ලිපියක් එව්වේය. ඒ ලිපිය සැමදා අවසාන වන්නේ මෙලෙසිනි.

… “දළදා මාලිගයට ගිය අතරේ, ‘උඹේ දෝතේ වමනය දැමූ රණයා…!     …සේය…!    

%d bloggers like this: