Menu Close

ඇමරිකාවේ මහ බැංකුව

ඇමරිකාවේ මහ බැංකුව කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් තිබෙනවා- ෆෙඩරල් සංචිත බැංකුව. මේ වගේ ඕනෑම ප්‍රශ්නයකට ලැබෙන පිළිතුරක් කෙනෙක් අවබෝධ කර ගන්නේ තමන් දන්න දේවල් වලට සාපේක්ෂවයි. ඇමරිකාවේ පොලීසිය කියා කිවුවහම ලංකාවේ ඉන්න කෙනෙක්ගේ හිතේ මැවෙන්නේ ඇමරිකාවේ තිබෙන ලංකාවේ පොලීසිය වගේ එකක්. ඉන්දියාවේ කෙනෙක්ගේ හිතේ මැවෙන්නේ ඇමරිකාවේ තිබෙන ඉන්දියාවේ පොලීසිය වගේ එකක්. මහ බැංකුව ගැන වුනත් එහෙමයි.

ඇමරිකාවේ බොහෝ ආයතනික ව්‍යුහයන් ලෝකයේ අනෙක් හැම රටකටම වඩා වෙනස්. ඒ නිසා, ලංකාවේ පමණක් නෙමෙයි බටහිර යුරෝපීය රටවල අය පවා මේ වෙනස්කම් වලට එතරම් සංවේදී නැහැ. එය බොහෝ විට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඇතැම් මූලික කරුණු අතින් බැලුවොත් වෙනසක් නැහැ. ලංකාවේ වගේම ඇමරිකාවෙත් පොලීසිය විසින් කරන්නේ නීතිය හා සාමය රකින එක. මහ බැංකුව විසින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ රටේ මිල ස්ථායීතාවය පවත්වා ගන්න එක.

ඇමරිකාවේ මහ බැංකුව අවම වශයෙන් කරුණු දෙකක් මත ලෝකයේ වෙනත් මහ බැංකු වලින් වෙනස් වෙනවා. පළමු කරුණ ඇමරිකාවේ තිබෙන්නේ මහ බැංකු පද්ධතියක් මිසක් තනි මහ බැංකුවක් නොවීම. දෙවන කරුණ මේ මහ බැංකු පද්ධතිය සෑහෙන තරම් දුරකට පෞද්ගලික අංශයේ පාලනය යටතේ තිබීම. මෙයින් වෙනස්ව ලෝකයේ හැම රටකම වගේ මහ බැංකු රාජ්‍ය අංශය යටතේ තිබෙන මධ්‍යගත ආයතන. හැබැයි ඇමරිකාවේත් මේ තත්ත්වයන් දෙකම ක්‍රමයෙන් වෙනස් වෙමින් ෆෙඩරල් සංචිත පද්ධතිය රාජ්‍ය අංශය යටතේ තිබෙන මධ්‍යගත ආයතනයක් දක්වා ක්‍රමයෙන් රූපාන්තරණය වෙමින් පවතින බවත් කිව යුතුයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කළේ 1950 වසරේදී. ශ්‍රී ලංකා මහ බැංකුව කියා කිවුවත් ඒ දවස් ලංකා මහ බැංකුව (The Central Bank of Ceylon). ශ්‍රී ලංකා මහ බැංකුවට දැන් අවුරුදු හැත්තෑවක්. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය ස්ථාපිත කළේ 1914 වසරේදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය එක්ක සංසන්දනය කළොත් ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය අවුරුදු 34කින් මහළුයි. නමුත්, යුරෝපයේ ඇතැම් මහ බැංකු එක්ක සංසන්දනය කළ විට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය සෑහෙන්න තරුණයි.

එංගලන්තයේ මහ බැංකුව වන එංගලන්ත බැංකුව (Bank of England) ආරම්භ කෙරුණේ 1694 වසරේදී. ස්වීඩනයේ මහ බැංකුව (Sveriges Riksbank) ආරම්භ කෙරුණේ 1668 වසරේදී. එහෙත් එයින් අදහස් වෙන්නේ මේ මහ බැංකු අද පවතින්නේ ඒ ආයතන ආරම්භ කළ ස්වරූපයෙන්ම කියන එක නෙමෙයි. එක් එක් මහ බැංකුව හා අදාළ වෙනස් ඉතිහාස කතා තිබෙනවා.

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය ආරම්භ කරන්න කලින් ඇමරිකාවේ මහ බැංකුවක් ස්ථාපිත කරන්න උත්සාහයන්  කිහිපයක්ම ගත්තත් ඒ උත්සාහයන් සාර්ථක වුනේ නැහැ. එයට හේතු වුනේ රටක මහ බැංකුවකට මිනිසුන්ගේ ජීවිත පාලනය කළ හැකි යම් ඒකාධිකාරයක් ලැබීම හා බොහෝ ඇමරිකානුවන් එවැනි තත්ත්වයක් ඇති වනවාට මනාපයක් නොදැක්වීමයි. ඒ ඉතිහාසය පහු කරලා 1913 වසරට ආවොත්, ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය ස්ථාපිත කෙරුණේ ඇමරිකානු කොංග්‍රසයේ සම්මත වී 1913 දෙසැම්බර් 23 දින ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් අත්සන් කිරීමෙන් පසුව නීතියක් බවට පත් වූ ෆෙඩරල් සංචිත පණතේ ප්‍රතිපාදන අනුවයි.

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතියට ප්‍රාදේශීය ෆෙඩරල් සංචිත බැංකු 12ක් අයත් වෙනවා. මේ එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතියේ කොටස් වුවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර හෝ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාල මෙන් බැංකු ප්‍රධාන කාර්යාලය යටතේ තිබෙන ප්‍රාදේශීය කාර්යාල නෙමෙයි. එකිනෙකින් ස්වාධීන ෆෙඩරල් සංචිත බැංකු.  මේවායින් ඇතැම් ෆෙඩරල් සංචිත බැංකු යටතේ ප්‍රාදේශීය ෆෙඩරල් සංචිත බැංකු කාර්යාලත් තිබෙනවා.

ඇමරිකාව ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්ක 12කට බෙදා තිබෙන අතර මේ එක් එක් දිස්ත්‍රික්කයකට වෙනම ෆෙඩරල් සංචිත බැංකුවක් බැගින් තිබෙනවා. ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයකට සාමාන්‍යයෙන් ප්‍රාන්ත කිහිපයක් ඇතුළත් වෙතත්, ප්‍රාන්ත හරහා ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්ක මායිම් වැටී ඇති අවස්ථාද කිහිපයක්ම තිබෙනවා. දිස්ත්‍රික් සීමා සලකුණු වීම ආරම්භක අවස්ථාවේදී සීමා නිර්ණය කරද්දී රට පුරා විසිරී තිබුණු මූල්‍ය ආයතන වල හා ජනතාවගේ රුචිකත්වය අනුව සිදු වී තිබෙන දෙයක්. මේ ෆෙඩරල් සංචිත බැංකු ඒවා පිහිටි නගර වල නම් වලින් හැඳින්වෙනවා.

පළමු දිස්ත්‍රික්කය – බොස්ටන් ෆෙඩරල් සංචිත බැංකුව
දෙවන දිස්ත්‍රික්කය – නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව
තෙවන දිස්ත්‍රික්කය – ෆිලඩෙල්ෆියා ෆෙඩරල් සංචිත බැංකුව
සිවුවන දිස්ත්‍රික්කය – ක්ලීව්ලන්ඩ් ෆෙඩරල් සංචිත බැංකුව
පස්වන දිස්ත්‍රික්කය – රිච්මන්ඩ් ෆෙඩරල් සංචිත බැංකුව
හයවන දිස්ත්‍රික්කය – ඇට්ලන්ටා ෆෙඩරල් සංචිත බැංකුව
හත්වන දිස්ත්‍රික්කය – චිකාගෝ ෆෙඩරල් සංචිත බැංකුව
අටවන දිස්ත්‍රික්කය – සෙන්ට් ලුවිස් ෆෙඩරල් සංචිත බැංකුව
නමවන දිස්ත්‍රික්කය – මිනියාපොලිස් ෆෙඩරල් සංචිත බැංකුව
දහවන දිස්ත්‍රික්කය – කැන්සාස් සිටි ෆෙඩරල් සංචිත බැංකුව
එකොළොස්වන දිස්ත්‍රික්කය – ඩලස් ෆෙඩරල් සංචිත බැංකුව
දොළොස්වන දිස්ත්‍රික්කය – සැන් ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් සංචිත බැංකුව

ස්වාධීන ආයතන වන ෆෙඩරල් සංචිත බැංකු අධීක්ෂණය කරන්නේ වොෂින්ටන් ඩීසීහි සිටින “ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය” විසින්. එයට සභාපතිවරයෙකු හා උප සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකු අයත්.

කිසියම් ෆෙඩරල් සංචිත බැංකුවක “අයිතිය” අදාළ ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ බැංකු සතුයි. “අයිතිය” කිවුවත් මේ අයිතිය මොන වගේ එකක්ද කියා මම පැහැදිලි කරන්නම්.

ෆෙඩරල් සංචිත බැංකුවක සාමාජිකත්වය දරන බැංකුවක් විසින් එම බැංකුවේ ප්‍රාග්ධනයෙන් හා පසුව ප්‍රාග්ධන සංචිත වලට එකතු කළ ලාබ වලින් 6%ක මුදලක් යොදවා තමන් අයත් දිස්ත්‍රික්කයේ ෆෙඩරල් සංචිත බැංකුවේ කොටස් මිල දී ගත යුතුයි. එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව සතු ප්‍රාග්ධනය වන්නේ මේ ආකාරයට කොටස් විකුණා ලබන මුදල්. කිසියම් ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයක ඇති ලොකු බැංකු වලට අදාළ සංචිත බැංකුවේ වැඩි කොටස් ප්‍රමාණයකුත් පොඩි බැංකු වලට පොඩි කොටස් ප්‍රමාණයකුත් හිමි වෙනවා.

ඒ කියන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු වල කොටස් හිමිකරුවන් වන්නේ අදාළ දිස්ත්‍රික්කයේ බැංකු. එසේ වුවත්, මේ කොටස් හිමිකරුවන්ට අදාළ ෆෙඩරල් සංචිත බැංකු වල ලාබ රිසි සේ බෙදා ගන්න බැහැ. ලාභාංශ ලෙස ලබා ගත හැක්කේ කොටස් වටිනාකමෙන් 6%ක් පමණයි.

එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව පාලනය කරන්නේ නව දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින්. එම අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගන්නේ පහත ආකාරයටයි.

– කොටස් හිමි බැංකු විසින් ඔවුන්ව නියෝජනය කිරීම සඳහා තෝරා පත් කර ගන්නා බැංකුකරුවන් තිදෙනෙක්
– කොටස් හිමි බැංකු විසින් තෝරා පත් කර ගන්නා බැංකුකරුවන් නොවන නියෝජිතයින් තිදෙනෙක්
– ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය විසින් පත් කරන නියෝජිතයින් තිදෙනෙක්

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ අධ්‍යක්ෂවරුන් අතරින් එක් අයෙක් අදාළ ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති සේ තෝරා ගන්නවා. අධ්‍යක්ෂවරුන් නව දෙනෙකුගෙන් හය දෙනෙකුම තෝරා පත් කර ගන්නේ බැංකුකරුවන් විසින් නිසා 2010 වසර වන තුරුම ෆෙඩරල් සංචිත බැංකු වල සභාපතිවරුන් තෝරා ගැනීමේදී බැංකු කරුවන්ගේ අභිමතයට වැඩි ඉඩක් ලැබුණා. එහෙත්, ඔබාමා රජය විසින් 2010දී ගෙන ආ සංශෝධනයකට අනුව මේ වන විට ඉහත පළමු කාණ්ඩයේ අධ්‍යක්ෂවරුන්ට, එනම් කොටස් හිමි බැංකු විසින් ඔවුන්ව නියෝජනය කිරීම සඳහා තෝරා පත් කර ගන්නා බැංකුකරුවන් තිදෙනාට, සභාපති පත් කර ගැනීමේ කටයුත්තට සම්බන්ධ විය නොහැකියි. ඒ සමඟ ෆෙඩරල් සංචිත පද්ධතිය තුළ ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ බලය වැඩි වී තිබෙනවා.

ආරම්භයේදී ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනාගෙන් දෙදෙනෙකු නිල බලයෙන් පත් වුනා. ඒ භාණ්ඩාගාරයේ ලේකම් වරයා සහ මුදල් පාලක වරයා. එවකට ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය හැඳින්වුණේ ෆෙඩරල් සංචිත මණ්ඩලය ලෙසයි. එහෙත්, 1935 වසරේ සිට ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය ස්ථාපිත කිරීමෙන් පසුව සාමාජිකයින් හත් දෙනාම පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනුයි. මේ පත්වීම් වලට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතුයි.

ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයට කිසියම් සාමාජිකයෙකු පත් කිරීමෙන් පසුව එම පත්වීම වසර 14ක කාලයකට වලංගුයි. විශේෂ හේතුවක් නැතිව ධුර කාලය අවසන් වීමට පෙර සාමාජිකයෙකු ඉවත් කළ නොහැකියි.

මේ සාමාජිකයින්ව ජනාධිපතිවරයා විසින් පත් කළත් එය කරන්නේ එක් වර නෙමෙයි. වසර දෙකකට එක් අයෙකු බැගිනුයි. මේ අනුව, සෑම වසර දෙකකට වරක්ම සාමාජිකයින් හත් දෙනාගෙන් එක් අයෙකුගේ ධුර කාලය අවසන් වී ඒ වෙනුවට වෙනත් අයෙක් පත් වෙනවා. ඇමරිකාවේ ජනාධිපති වරයෙකුගේ ධුර කාලය වසර හතරකට සීමා වී ඇති නිසා එක් ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය තුළ සාමාන්‍යයෙන් පත් කරන්න ලැබෙන්නේ ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු පමණයි. ඉතිරි පස් දෙනා කලින් ජනාධිපතිවරුන් විසින් පත් කළ අයයි.

ජනාධිපතිවරයෙක් පිට පිට දෙවරක් පත් වුනොත් අධිපති මණ්ඩල සාමාජිකයින් සිවු දෙනෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙනවා. එහෙත්, ඒ දෙවන ධුර කාලයේ අවසාන භාගය වෙද්දී. ඒ නිසා, කිසියම් ජනාධිපතිවරයෙකුට ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයට කළ හැකි බලපෑම සීමා වෙනවා. එහෙත්, යම් අධිපති මණ්ඩල සාමාජිකයෙක් මිය ගියහොත් හෝ ඉල්ලා අස් වුනොත් ඔහුගේ හෝ ඇයගේ ඉතිරිව ඇති ධුර කාලය සඳහා වෙනත් අයෙකු පත් කළ හැකියි. ප්‍රායෝගිකව බොහෝ අධිපති මණ්ඩල සාමාජිකයින් ධුර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස් වෙනවා.

ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සාමාජිකයින් අතරින් එක් අයෙකු ජනාධිපතිවරයා විසින් සෙනෙට් සභාවේ අනුමැතියට යටත්ව ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සභාපති සේ පත් කරනවා. ඒ වසර හතරක ධුර කාලයක් සඳහා. මේ අයුරෙන්ම උප සභාපති වරයෙක්ද පත් කෙරෙනවා.

ෆෙඩරල් සංචිත බැංකුව පිහිටවූ කාලයේදී එහි ප්‍රමුඛ ඉලක්කය වුනේ අද අර්ථයෙන් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නෙමෙයි. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමයි. මේ ඉලක්කය අරමුණු කර ගනිමින් සංචිත බැංකු විසින් වාණිජ බැංකු සමඟ විවට වෙළඳපොළ කටයුතු කරමින් එක් එක් ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කය තුළ ද්‍රවශීලතාව කළමණාකරණය කළා. එහිදී එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් වෙන වෙනම පොලී අනුපාතික තීරණය කළා. නමුත්, රටේ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ එක් තනි වෙළඳපොළක් වූ නිසා මේ කටයුත්තේදී ෆෙඩරල් සංචිත බැංකු අතර සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු වුනා.

ෆෙඩරල් සංචිත බැංකු අතරින් වැඩිම ප්‍රාග්ධනයක් හා වත්කම් තිබුණේ නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවටයි. ඒ නිසා, රටේ පොලී අනුපාතික බොහෝ දුරට තීරණය වුනේ නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව ක්‍රියා කළ ආකාරය මතයි. අනෙක් ෆෙඩරල් සංචිත බැංකු වලට එවැනි විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා, නිල අවශ්‍යතාවයක් නොතිබුණත් අනෙක් ෆෙඩරල් සංචිත බැංකු නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් හා එම බැංකුවට ප්‍රමුඛත්වය දෙමින් ඇමරිකාවේ පොලී අනුපාතික හා මුදල් සැපයුම පාලනය කළා.

පසුව මේ අවිධිමත් සහයෝගය විධිමත් වැඩපිළිවෙලක් බවට පත් වුනා. ඒ 1935දී ෆෙඩරල් විවට වෙළඳපොල කමිටුව පිහිටුවීමෙන් පසුවයි. එතැන් පටන් මේ දක්වා ඇමරිකාවේ මුදල් ප්‍රතිපත්ති තීරණය කරන්නේ ෆෙඩරල් විවට වෙළඳපොල කමිටුව විසින්. විවට වෙළඳපොල කමිටුවට අවශ්‍ය පරිදි විවට වෙළඳපොල කටයුතු ක්‍රියාත්මක කරන්නේ නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව විසින්. මූල්‍ය පද්ධති අධීක්ෂණය වැනි අනෙකුත් කටයුතු එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් වෙන වෙනම කරනවා.

ෆෙඩරල් විවට වෙළඳපොල කමිටුවට සාමාජිකයින් දොළොස් දෙනෙකු අයත් වෙනවා. එයින් හත් දෙනෙක් ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සාමාජිකයින්. අටවැන්නා නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිවරයා. ඉතිරි සිවුදෙනා තෝරා ගැනෙන්නේ අනෙකුත් ෆෙඩරල් සංචිත බැංකු සභාපතිවරු එකොලොස් දෙනා අතරින්. ඉලක්ක ෆෙඩරල් පොලී අනුපාතික, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ආදිය තීරණය කරන්නේ මේ කමිටුව විසින්. වෙනත් විදිහකින් කිවුවොත් ඇමරිකන් ඩොලර් මුද්‍රණය කරන යන්ත්‍රයේ බොත්තම් ඔබන්නේ මේ දොළොස් දෙනා විසින්. එසේ කිරීමේදී උද්ධමනය කළමනාකරණය කරමින්  ඇමරිකන් ඩොලරයේ වටිනාකම පවත්වා ගැනීමේ වගකීම තියෙන්නේත් මේ දොළොස් දෙනා අතේ.

(Image: https://www.connectedtoindia.com/trumps-presidential-takeover-boosts-real-estate-affects-vehicle-sales-in-the-us-241.html)

%d bloggers like this: