Menu Close

ජේසුස් දෙවිකෙනෙක් වුන හැටි

ක්‍රිස්තියානි ආගම ගැන ලිපි කිහිපයක් ලියන්න කියලා මිතුරෙක්ගෙන් යෝජනාවක් ආවා. මීට කලින් කිහිප වතාවක්ම ක්‍රිස්තියානි අගමේ විවිධ අංශ ගැන ලියලා තියෙනවා. ක්‍රිස්තියානි කෙනෙක්ට වුනත් තමන් අදහන ආගම ගැන වැඩිය අහන්න ලැබෙන්නේ නැති කරුණු කිහිපයක් ගැන කතා කරන්න කැමැත්තෙන් ඉන්නවා. ජේසුස් කියන පුද්ගලයාව දේවත්වයෙන් කිතුනුවන් අදහනවා. ඒ කියන්නේ ජේසුස් දෙවිකෙනෙක්. ජේසුස් කියන්නේ දෙවිකෙනෙක් කියලා සම්මත වුනේ ජේසුස් මියගොස් වසර තුන්සීයකට ආසන්න කාලයකට පස්සේ ඡන්දයකින් කියලා ඔයාලා අහලා තියෙනවද? අද කතාව ඒ ගැන.

හැම ක්‍රිස්තියානි කෙනෙක්ම හැම ඉරිදා දවසකම පූජාවේ එක්තරා විශ්වාස ප්‍රකාශයක් කියනවා. ඒකට කියන්නේ ‘නයිසියේ විශ්වාස ප්‍රකාශය’ කියලා. ඒකේ මුල් වාක්‍ය කිහිපය මෙහෙම කියනවා; ‘දෙවියන්ගෙන් ඒක ජනිත පුත්‍රයාණන් ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියන්ගෙන් ද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියන් ද වන බවත් ජනිත වූ නමුත් මවුනු නොලැබ පියාණන් වහන්සේ සමග එකම භවත්වය (of the same substance) ඇතිව වැඩ සිටින බවත් විශ්වාස කරමු’

ක්‍රිස්තියානි ආගම ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වුනේ රෝම අධිරාජ්‍යයෙක් වුනු කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ආගම වැලඳ ගත්තට පස්සේ. ඊට කලින් ක්‍රිස්තියානි අයව භාවිතා කළා රෝමයේ කොලෝසියමේ සිංහයන්ට කන්න දාලා බලන්න එන මිනිස්සුන්ව සතුටු කරන්න. රාජ්‍යයයි ආගමයි ඉතා තදින් බැඳිලා තියෙන්නේ. ආගමේ මතබේද ඇතිවුනොත් ඒක රාජ්‍ය පාලනයට බාධාවක්. මේ වගේ ආගමික මතබේද තුරන් කරලා ඒවට විසඳුම් ලබාදෙන්න කැඳවනවා මන්ත්‍රණ සභාවක්. කිතුනු සභා ඉතිහාසය තුල මේ වගේ මන්ත්‍රණ සභා 21ක් තිබිලා තියෙනවා. පලමු මන්ත්‍රණ සභාව යෙදී තිබුනේ ක්‍රි.ව. 325 දී නයිසියේ නගරයේ. විසි එක්වෙනි මන්ත්‍රණ සභාව තිබුනේ 1962 – 1965 අතර කාලයේ.

කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාගේ කාලයේ නයිසියේ නගරයේ මන්ත්‍රණ සභාවක් තියන්නේ ඒ කාලයේ ක්‍රිස්තියානි බිෂොප්වරුන්ට තිබුනු ප්‍රශ්න හා මතබේද වලට විසඳුමක් ලබාගන්න. මේ මන්ත්‍රණ සභාවෙන් පාස්කු දිනය පැවැත්විය යුතු දිනය, ආගම දේශනා කරන ආකාරය, දේවස්ථානයක් සෑදිය යුතු ආකාරය, පූජකයෙක් පත්කරගන්නා ආකාරය ආදිය කතා කෙරුණා. නමුත් මේ හැම එකකටම වඩා වැදගත් වුනු නයිසියේ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන මාතෘකාව වුයේ ‘ජේසුස්වහන්සේ දෙවිකෙනෙක් ද? නැද්ද?’ යන්නයි.

මුල් කාලයේ කිතුනුවන්ගෙන් සමහරක් විශ්වාස කළා ජේසුස් කියන්නේ දෙවි කෙනෙක් කියලා. තවත් කොටසක් විශ්වාස කරා ජේසුස් කියන්නේ මනුෂ්‍යයෙක්. දෙවියන් විසින් මවපු සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියලා. ජේසුස් දෙවිකෙනෙක් නෙමේ මනුෂ්‍යයෙක් කියලා විශ්වාස කළේ ඒ කාලයේ ක්‍රිස්තියානි ආගම පිලිබඳ දැනුම නැති අය නෙමේ. ක්‍රිස්තියානි ආගමේ ම බිෂොප්වරු. ජේසුස් මනුෂ්‍යයෙක් කියන මේ ඉගැන්වීම ප්‍රබල ලෙස සමාජයේ කතාබහකට ලවුනේ ඒරියස් කියන කිතුනු පූජකයා නිසා. ඒ නිසයි ඒ ඉගැන්වීමට ඒරියන්වාදය කියන්නේ. නයිසියේ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන අරමුණ වුනේ මේ ඒරියන්වාදය පිළිගන්නවාද? නැද්ද? යන්න සාකච්ඡා කිරීම.

මේ මන්ත්‍රණ සභාවට ලෝකයේ විසිරිලා ඉන්න පූජකයෝ 318 දෙනෙක් එනවා. මේ සමුළුවට අධික වියදමක් දරනවා වගේම අධිරාජ්‍යයාත් මේ සමුළුවට සහභාගි වෙනවා. සමුළුවට එනකොට අධිරාජ්‍යයා වුනත් ආවේ සොල්දාදුවෝ සමග නෙමේ. මිතුරන් කිහිප දෙනෙක් සමග. මොකද මේක යුද්ධයක් නෙමේ සාමාදානෙන් විසදගෙන එකමුතු වෙන්න කරන ප්‍රයත්නයක් නිසා.

දැන් සමුළුව පටන් ගත්තා. එකිනෙකා තර්ක ගෙනෙමින් ගේන ඒවා ප්‍රථික්ෂේප කරගෙන සමුළුව සති ගණනක් ඇදුනා. එක් වතාවක මේ පූජකයන් අතර ගැටුමක් ද ඇතිවුනා සංවාදය දුර දිග ගිහින්. ඉතින් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාට නිතර මතක් කරලා දෙන්න සිද්ධ වුනා ‘ඔයාලා හැමෝම ක්‍රිස්තියානි අය. අපි ඉන්නේ මේ සටනක නෙමේ’ කියලා. හරි වැරැද්ද කෙසේ වෙතත් මේ සමුළුවෙන් එකඟ වෙන ඕනම දේකට අධිරාජ්‍යයා කැමති වෙන්න සූදානමින් හිටියේ.

අවසානයේ දී සමුළුව ප්‍රධාන වශයෙන් දෙදෙනෙක්ගේ අදහස් මත දෝලනය වුනා. එක්කෙනෙක් ඒරියස් පූජකතුමා. අනිත් කෙනා තමා ඇතනාසියස් පූජකතුමා. ඇතනාසියස් පූජකතුමා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩීකන්වරයෙක්. ඒරියස් පූජකතුමාගේ මතයට ඉතා තදින් විරුද්ධ වුන කෙනෙක්. ඒරියස්ගේ මතය සමුළුවෙන් සම්මත නොවීමට තමන්ගේ සියලු බලය යොදනවා. මුලදී ඡන්දයක් තිබ්බත් අදහස් දෙකටම ලැබෙන්නේ සමාන ඡන්ද ප්‍රමාණයක්. මේ නිසා වාද විවාද දිගින් දිගටම කෙරීගෙන ගියා.

ඔය අතරේ ඇතනාසියස් පූජකතුමා විවාදය අතරේ විශේෂ වචනයක් භාවිතා කරනවා. ඒක තමා ‘හොමොවුසියන්’ (Homoousian) වචනය. ඒක යොදාගත්තේ ජේසුස්ගෙන් දෙවියන්ගෙයි අතර කිසිදු වෙනසක් නැහැ කියල කියන්න. මේ සංකල්පය සමුළුව තුලට ගෙනාවයින් පස්සේ ඒරියස් පූජකතුමා ඒ සංකල්පය තියෙන කිසිදු ලියවිල්ලකට එකඟ නොවන බව ස්ථිර වුනා. දැන් මේ විවාදය තිබුනටත් වඩා බරපතලයි. සමුළුවේ පූජකයන්ට එක්කෝ මේ අලුතෙන් ගෙනාපු සංකල්පයට (ජේසුස් හා දෙවියන් එක්කෙනෙක් බව) එකඟවෙන්න ඕන. එහෙම නැත්නම් විරුඩ්ධ වෙන්න ඕන. අතරමැදි අවස්ථාවක ඉන්න විදිහක් නැහැ.

මේ නිසා ඇතනාසියස් පූජකතුමා පෞද්ගලික සාකච්ඡා ආදියෙන් පූජකයන් එකින් එක්කෙනා තමන්ගේ මතයට අත්සන් කරවාගන්න සමත් වුනා. ජේසුස් කියන්නේ දෙවිකෙනෙක් කියන මතය සම්මත වුනොත් ඒ මතය පිළිගන්නේ නැති පූජකයන්ව රටින් පිටුවහල් කරන බවට දැන්වූවායින් පස්සේ ඒරියස් පූජකතුමා සමග හිටපු අනෙක් පූජකයිනුත් පැති මාරු කරා. රටින් පිටුවහල් වෙන බව දැන දැනත් ජේසුස් කියන්නේ දෙවි කෙනෙක් නෙමේ කියන මතයේ දැඩිව හිටියේ ඒරියස් පූජකතුමා, ඩීකන්වරයෙක් සහ බිෂොප්වරු දෙදෙනෙක් විතරයි.

මේ සිදුවීමෙන් පස්සේ ඒරියස් පූජකතුමාගේ මතය ක්‍රිස්තියානි ආගමට විරුද්ධ මතයක් බවට වැඩි ඡන්දෙන් පත්වුනා වගේම ඒ මතය තුල ඉන්න අයව රටින් පිටුවහල් කරන්නත් නීතියක් ගෙනාවා. දැන් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යාටත් හරි සතුටුයි. ඒ සමුළුවෙන් බහුතරයක් එක් අදහසකට එකඟ වුන නිසා. නමුත් මේක වැඩි කාලයක් තිබුනේ නැහැ.

කොන්ස්ටන්ටීන්ට දැනගන්න ලැබෙනවා එයාට යුසේබියස් කියන පූජකයාවත් පිටුවහල් කරන්න සිද්ධ වෙනවා කියලා. යුසේබියස් නයිසියේ සභාවේ ජේසුස් කියන්නේ දෙවි කෙනෙක් කියන මතයට අත්සන් කරත් දැන් ප්‍රසිද්ධියේ ඒ මතය විවේචනය කරන්න ගන්නවා. නමුත් යුසේබියස්ව රටින් පිටුවහල් කරන එක ලේසි පහසු දෙයක් නෙමේ. යුසේබියස් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාගේ දුරින් නෑදෑ කෙනෙක් වෙනවා වගේම රාජ සභාවේ සාමාජිකයෙක්. යුසේබියස් රාජ සභාවේ ජේසුස්ගේ දේවත්වය ගැන අයගේ අදහස් ටිකෙන් ටික වෙනස් කරන්න හදපු නිසා අධිරාජ්‍යයාට සිද්ධ වෙනවා යුසේබියස්ව පිටුවහල් කරන්න.

නමුත් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාගේ නංගි යුසේබියස්ට බොහොම කැමැත්තකින් හිටපු කෙනෙක්. මේ නිසා ආයෙමත් යුසේබියස්ව රාජ්‍යයට කැඳවනවා. යුසේබියස් මුලදී නයිසියේ සමුළුවේ අත්සන් කරද්දිත් දෙබිඩි සිතකින් හිටියත් පිටුවහල් කරපු නිසා දැන් ඒරියස්ගේ මතය (ජේසුස් මනුෂ්‍යයෙක්) යුසේබියස් දැඩිව විශ්වාස කරා. එයා උදේහවා අධිරාජ්‍යයාගේ සිත වෙනස් කරන්න උත්සහ කරා නයිසියේ සමුළුවේ සම්මතය ගැන. ඒක සාර්ථක වුනා.

ඒරියස් පූජකතුමාගේ අදහස් නයිසියේ සමුළුවෙන් ප්‍රථික්ෂේප වුනත් ඒක ව්‍යාප්ත වෙන එක වැලැක්වුනේ නැහැ. මේ නිසා කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයා තම රාජ්‍ය තුල ඒරියස්ගේ හා ඇතනාසියස්ගේ මත දෙකටම ඉඩ ලබා දුන්නා. ඒරියස් පූජකතුමාවත් නැවත කැඳෙව්වා. ඒකෙන් එයා අදහස් කලේ රාජ්‍යයට සාමය උදාකරන්න. නමුත් යුසේබියස් පූජකතුමා එතනින් නවතිනවට කැමති වුනේ නැහැ. ඔහු දිගින් දිගටම ඇතනාසියස් පූජකතුමාව සහ ඔහුගේ මතය විවේචනය කරා. ඒක කොච්චර දුර දිග ගියාද කියනවනම් අවසානයේ දී ඇතනාසියස් පූජකතුමාව රටින් පිටුවහල් කරනවා.

මේ අධිරාජ්‍ය තුලින් ඒරියස්ගේ අදහස් ලෝකය පුරා ව්‍යාප්ත වෙනවා. කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයා මැරෙන්න කලින් ලෙඩ ඇඳේ ඉන්නකොට යුසේබියස් පූජකතුමා බෞතීස්ම කරනවා. මොකද ඒ කාලේ මිනිස්සු හිතුවා බෞතීස්මයෙන් සියලු පව් සෝදා හරින්න පුලුවන් කියලා. ඉතින් ගොඩක් මිනිස්සු මැරෙනකන් පව් කරලා මැරෙන්න මොහොතකට කලින් බෞතීස්ම කරගන්නවා.

තව කතන්දර නම් එමටයි. දැනට මේ ඇති. තවත් කතාවකින් හමුවෙමු.

%d bloggers like this: