Menu Close

JVP නිමල්ගෙ දානෙත් එපා!- දෙවෙනි කොටස

මේ සැදැහැවත් පිරිසට පුළුවන් ඒ පිංකමට මුදලෙන් දායක වෙන්න………

“අපට සිවුපසය දීලා, ඇප උපස්ථාන කරලා අපිව බලාගන්නේ ගමේ උපාසක-උපාසිකාවන් …. ඉතින් එහෙම කරන උපාසක-උපාසිකාවන්ට හරි පාර පෙන්වන එක තමයි අපේ යුතුකම.


-අපි මේ පිරිත් සජ්ජායනයට සහභාගී වෙන භික්ෂූන් වහන්සේලාට දානමානාදිය පන්සලේදීම පිළියෙළ කරවා ගන්නට හිතුවේ වැඩි යහපතක් කරන්නයි.
ඒ පින්කමට ඔය දෙගොල්ලන්ව සම්බන්ධ කරගන්නේ නැතිව ඉන්නේ නැහැ…. මේ ශ්‍රද්ධාවන්ත පිරිසට පුළුවන් ඒ කටයුතුවලට මුදලෙන් දායක වෙන්න….!”

XXX ලොකු හාමුදුරුවන් වහන්සේ ඒ ටික වදාරනවාත් එක්කම, මේ පෝස්ටුවේ පළමු කොටසේදී කියූ අර ප්‍රධාන දායිකාව සාදුකාරයක් දුන්නාය.
කියන්න ඕනි නැහැනේ, ඒ ලෙඩේ බණ මඩුවට පැතිරුණේ කොරෝනා ආසාදනය වෙන තරම් ඉක්මනින්ය.

ඒ දායක සභා රැස්වීමේදී වෙනින් යමක් සාකච්ඡාවට ගැනීමට තරම් වෙලාවක් ඉතිරි වුණේ නැත. ඊළඟට රැස් වෙන්නට දිනයකුත් යොදාගෙනය, අප ගෙදර ආවේ. 
සකලවිධ ශ්‍රී ලාංකිකයන්ටම සෙතක්-ශාන්තියක් වෙන්නැයි ප්‍රාර්ථනා කරමින්….
ශ්‍රී ලංකාවාසී සකලවිධ ජනතාවටම සෙතක්- ශාන්තියක් සලසනු වස් කෙරෙන ‘මහා රතන සූත්‍ර සජ්ජායනා පිංකම’ ගැන පත්තරවල පවා news පළවිණි. දැන්වීමක් දෙකකුත් පළවිණි. සුබ මොහොතින්, උත්සවාකාරයෙන් පිංකම පටන් ගැනුණේ මහරගමටම ඇහෙන තරමට ‘ලවුඩ්ස්පීකර්’ එහෙමත් ගස් බන්දවලාය!

ඒ කාලේ ‘ඩෙසිබල්ස්’ ගැන කාටවත්ම නිනව්වක් තිබ්බේ නැත.

නිනව් ඇති දැන් කාලෙත්; (අද 2020 ජුනි 13 වෙනිදාය.) මාස දෙකකට වැඩි කාලයක ඉඳලා උදේ-හවස දෙකේම පිරිත් ඇහෙයි. පිරිත් විකාශය කෙරෙන්නේ මහරගම, වත්තෙගේදර සීමාවේ තියෙන පන්සල් දෙකින් එකකිනි. හරියටම කොයි පන්සලේදැයි කියන එක නොවේ වැදගත්. ඒ පිරිත් විකාශය පමුණුවේ ඉන්නා මටත් ගෙදරම ඉඳගෙන අහගෙන ඉන්නට හැකිය. අහගෙන නොහිටියත් කන් දෙකට වදින තරමට සද්දය.

අසූහාර කෝටියක් සංවර ශීලය රක්ෂා කරනා අපේ උන්නාන්සේලා පතළ මහා කරුණාවෙන් යුතුව කොච්චර සද්දෙට උදේ-හවා දෙකේදීම ඇහෙන්නට සැලස්සුවත්; ඇහුණත් 99%කටම සෙතක් වෙන්නේ නැත. එහෙම හිතෙන්නේ තර්කානුකූලව බලනකොටය.

“රාජිත, හොඳ ළමයා වගේ ලොකු උදව්වක් කරලා දෙන්නකො. මහරගම හන්දිය සෙන්ටර් එක විදිහට අරගෙන… එතන ඉඳලා කිලෝ මීටරයක් දුර වටයක් ඇතුළේ තියෙන පන්සල් ගණන මට හොයලා දෙන්නකෝ…. හරියට ඕනි නැහැ. ආසන්නෙට තිබ්බම ඇති.” මට හදිසියේ පහළවූ පිස්සු සිතිවිල්ල T.W. රාජිතට කිව්වේ මනුස්සයාට ඒක ටොයිස් බව හිතාගෙනය. මං හරිය; විනාඩි තුනක් යන්නට කලින් උත්තරය ආවේය.

“නිමල් අංකල්, තිහක්-තිස්පහක් විතර තියෙනවා….” (ස්තුතියි රාජිත!)
මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වුණේය!

මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වුණේය!

රතන සූත්‍ර සජ්ජායනයෙන් කොරෝනා නැති-බංගස්තාන කරන්නට ඔය තිස් ගණනේ ඔක්කොම නායක හාමුදුරුවන් වහන්සේලාට පිං සිතිවිල්ලක් පහළ වුණා නම්…..

කෝටි ලක්ෂයක් සක්වලටම ඇහෙන ඝෝෂාවක් මහරගමින්ම කෙරෙනවා නේද කිරි අප්පොච්චියේ?

විසාලා නුවරට තුන්බිය ඇති වුණාම එය දුරු කරගන්නට සජ්ජායනා කළාය කියන්නේත් මේ රතන සූත්‍රයයි. රෝගියකුට ශාන්තිය අත්වෙන්නට නම්; යහපතක් වෙන්නට නම් ‘රතන සූත්‍රය’ 
කියන්නට ඕනේ මෙහෙමලු!

එහෙම කියා තිබුණේ ‘නියම සිංහල තේරුම සහිත රතන සූත්‍රය’ මැයෙන් වූ ලිපියකය. ‘පිටක lk’අඩවියේය!

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානි ව අන්තිලික්ඛෙ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං’ කියා ගිරා පොතක උච්ඡාරණයෙන් සජ්ජායනා කරන කී දෙනෙකු එහි අරුත දන්නවාද?
රමණීය වන ආරණ්‍යයක් බඳු වූ………….
‘ග්‍රීෂ්ම සෘතුවේ පළමුවන මාසය වූ බක්මසෙහි මලින් බරවූ අක් ඇති ගසින් යුක්ත වන ලැහැබක් බඳු වූ ස්කන්ධධාතු ආයතන සතිපට්ඨාන සම්‍යක්ප්‍ර‍ධාන ප්‍ර‍තීත්‍යසමුත්පාද ශීලස්කන්ධ සමාධිස්කන්ධාදියෙන් යුක්ත වූ නානාවචනවලින් ශෝභිත වූ පරමහිත නිර්වාණයට සත්ත්වයන් පමුණුවන්නා වූ උත්තම ධර්‍මයක් භාග්‍යවතුන් වහන්සේ දේශනය කළ සේක. බුදුන් වහන්සේගේ මේ රත්නභාවය උතුම් ය. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය වහා දුරු වේවා!’

ඒ පැතුම කියවෙන්නේ පහළින් දැක්වෙන ගාථාවෙන්ය කියලා දන්නේ කීයෙන් කී දෙනාද?

‘වනප්ප ගුම්බේ යථා ඵුස්සිතග්ගේ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයි
නිබ්බාන ගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු’

පිරිතේ තේරුම අතැඹුලක් සේ දන්නා හාමුදුරුවන් වහන්සේලා වෙන්නට ඇති; අපේ පන්සලේ පිරිත් සජ්ජායනය කරන්නට පටන්ගෙන සති දෙකක්වත් ගියේ නැතිය. දායක සභා රැස්වීමක්…

“මම අද දායක සභාව රැස් කෙරෙව්වේ පහුගිය ටිකේම සැරෙන්-සැරේ අපේ පින්වත් උපාසක-උපාසිකාවන්ගෙන් කෙරිච්චි බලපෑම් හින්දා. විසේසෙන් උපාසිකාවන්ගෙන්….. කලින් අපි තීන්දු කරගත් විදිහටම රතන සූත්‍ර සජ්ජායනය නිසියාකාර පිළිවෙලටම කෙරීගෙන යනවා….. ඉක්මනින්ම දහස් වාරය සම්පූර්ණ වෙයි… දැනට අපේ පංසලේම නැවතිලා ඉන්න කෝකි මහත්තුරු කණ්ඩායමක් තමයි දානය පිළියෙළ කරන්නේ. ඒත් අපේ උපාසිකාවන් මට බල කරලාම කියනවා හතර පෝය දවස්වලටවත් දානය පිළියෙළ කරන්න එයාලට ඉඩ දෙන්න කියලා….”
දානේ හදවන්න වෙනම කෝකියොත් ගෙන්වනවය කිව්වා නේද ස්වාමීන් වහන්ස?
කුලතුංග සර් කතා කළේ එවිටය. “ඔබ වහන්සේ කලින් කිව්වා නේද හාමුදුරුවනේ, දානේ හරි ගස්වන්න ඕනේ පොඩ්ඩක්වත් වරදක් නොවෙන විදියටය කියලා?”

“ඒක නේන්නං අපේ මහත්තයෝ. අපේ උපාසක නෝනලා දිවුරලා කියනවා, ඉතාම පිරිසිදුව…. මස්-මාළු-උම්බලකඩ කිසිම දෙයක් උයාපුවත් නැති අලුත්ම හැලි-වළංවල දානෙ ටික උයාගෙන එන්නංය කියලා. මොකද කරන්නේ කියලා තමුන්නාන්සේලා තමයි තීරණය කරන්න ඕනේ…..”

උපාසකම්මලා ටික කුලතුංග සර්ව ‘කර අඹන්නේ නැතිව බේරුවේ’ ඒ තාක් කල් ශ්‍රී ලංකාවේ ඒ වැඩේ කෙරුණේ එළිපිට නොවෙන හින්දා වෙන්නැතිය. ඉස්-ඉස්සෙල්ලාම ‘හෙළ උරුමයේ’ ගරුතර සංඝයා වහන්සේ මන්ත්රීතුමන්ලා විදියට සර්වජන ඡන්දයෙන් තේරී පත්වී උත්තරීතර ආයතනයට වැඩි දිනයේ නම්, අපේ රට-ජාතිය-ආගම භාර මහෝපාසකවරුන් ඒ පුණ්‍ය කර්මයටත් කර ගැසුවෝල!

“ළමා නිවාසේ ඉඳගෙන කුලතුංග මහත්තයාට ඕවා කරන්න බැරි වුණාට අපට පුළුවන්! මහත්තයා නිස්සද්දව ඉන්න…. හාමුදුරුවනේ, අපට ඒ වැඩේ කරන්න දෙන්න… හතර පෝය දවස්වලට විතරක් කරලා බලමු…. එතකොට ඔබ වහන්සේටම පෙනෙයිනේ…”

එතනින් එහාට තිබුණේ දානයට එකිනෙකා පිළියෙළ කරන්නේ මොනවාද කියන කාරණයයි.

බුදුහාමුදුරුවන් වහන්සේ තුෂ්ණිම්භූතව වැඩ සිටියාය කියන්නේ…………
එච්චර ශ්‍රද්ධාවන්තයෙකු නොවෙන; නසරානියෙකු වෙන මං කළේ තුෂ්ණිම්භූතව බලා හිඳීමයි. 

“නිමල් අයියේ, දැන් ඔය වචනේ කියන්නේ පුදුම වුණා කියන තේරුම දෙන්නනේ…. ඉස්සර බණ පොත්වල තුෂ්ණිම්භූතව හිටියාය කියලා යොදලා තියෙන්නේ ‘නිහඬව ඉවසා හිටියා’ කියන අර්ථයෙන්. බුදුහාමුදුරුවන් වහන්සේට මොකක් හරි යෝජනා කළාම, උන් වහන්සේ ඒකට ‘කැමතියි’ කියලා කැමැත්ත ප්‍රකාශ කරන්නේ නෑ… ‘තුෂ්ණිම්භුතව වැඩ සිටියහ’ කියලයි තියෙන්නේ.” අයස්මන්ත දොස්තර මහත්තයා නිතරම කියයි.

ඒ එයාටත් එහෙම ඉවසාගෙන ඉන්නට පුරුදු නිසාය. මට නම් එහෙම කරන්න ඇහැකි ඉතාම-ඉතාම කලාතුරකින්ය!

ඉතින්, උපාසක-උපාසිකාවෝ එකිනෙකා එක-එක ව්‍යංජන වර්ග හදාගෙන එන්නට බාර ගත්හ. කල් තියාම ලැයිස්තුවෙන් වර්ග වෙන් කරගත්තේ වත්-පොහොසත්කම් ඇති; ඇති-හැකි උදවියයි. ‘කවුද කජු මාළුව හදාගෙන එන්නේ….. සුදුළූණු මාළුවත් ඉතිරියි…. තව ගොටුකොළ සම්බෝලේ….’ සභාව ටිකකට නිස්සද්ද වුණා වගෙය.

“කජු මාළුව මම හදාගෙන එන්නං!” රම්‍යා ඇන්ටි ‘කජු මාළුව’ බාරගත්තාම නම් මට දත් මිටි කැවුණේ නිතැතින්මය. මෙහෙව් තකතිරු අම්මණ්ඩියෙක්… මොළේ කඳුළක්වත් නැද්ද මන්දා!
කජු මාළුව හදාගෙන එන්නට රම්‍යා ඇන්ටි ‘හා’ කිව්වාම නම් මට දත් මිටි කැවුණේය….
සමාවෙන්න ඕනේ. ‘රම්‍යා ඇන්ටි’ කියන්නේ බොරු නමකි. ඇයට අගෞරවයක් විය හැකි නිසාය; ඇයගේ සැබෑ නම නොලියන්නේ.
(ඇයගේ මිනිබිරියකුත් මේ බ්ලොගය කියවයි. මෙච්චර විස්තර කියනවට හිත රිදවාගන්න එපා, හොඳේ. එතකොට ඔයා ඉපදිලාත් නැතිය. වැඩි විස්තර ඔයාලගෙ අම්මාගෙන්ම අහගන්නකෝ ඕනි නං.)

රම්‍යා ඇන්ටි අපේ ඉසව්වේ හිටි හරිම කරුණාබර මාතාවකි. සිව්දරු මවකවූ ඇයගේ මුල්‍ය ප්‍රතිපත්තිත් අපේ පාලකයන්ගේ වගෙය.

ගෙවන්නට පුළුවන් වුණත්-නැතත් ඇයට වගක් නැත. ණය ගන්නට හපනියකි. ඒ ණය ගෙවාගන්නට අසීරු වුණු විට තව කාගෙන් හරි 10%ක් වැනි වැඩි පොලියකට හරි ණයක් අරගනියි. ඊළඟටත් ඒ වැඩේම…..
හැමදාම වගේ ණය හිමි දෙතුන් දෙනෙකු ගෙදරට එනවාමය! බැනලා යනවාමය!!

කොතෙක් බැණුම් ඇහුවත් ඇය මැරෙන තුරුමත් පුරුද්ද අත හැරියේ නැත.

“මම කොහොම හරි ඔයාලගේ ණය බේරන එක බේරනවාමයි. හැබැයි, මෙහෙම ණය අරගෙන තියෙනවාය කියලා එයා දැනගත්තොත් නං මට මොනවාවත් කරගන්න බැරි වෙයි. ඒ හින්දා අපේ එක්කෙනා ඉන්න වෙලාවක නං, මේ විත්තියක් කියන්න එපා.”
රම්‍යා ඇන්ටි ණය හිමියන්ට දැමූ කොන්දේසිය එච්චරය.
මොන හේතුවක් නිසා හෝ ඇගේ දරුවනුත් අම්මාගේ ණය හුටපට කිසිවක් තාත්තාට ………..
මොන හේතුවක් නිසා හෝ ඇයගේ දරුවන් මේ කතා ඔවුන්ගේ තාත්තාගෙන් වසං කළ බවය පෙනුණේ! ඊටත් වඩා පුදුමය, ඇය මේ ණය ගත්තේ ගන්නට පුළුවන් නිසා මිස පලක්-කමක් ඇති දේකට නොවීමය.

දායක සභා රැස්වීමේදී ‘තුෂ්ණිම්භුතව’ හිටියත් ආපහු ගෙදර එන අතරේ මම රම්‍යා ඇන්ටිට දෙස්ස කැපුවෙමි.

“ඇන්ටි වගේ මනුස්සයෙක් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් හිටියලු…. ඇන්ටිත් ඒ වගේ.”

“මං වගේ?  ඒ කවුද රංජි?”

“සුප්පියා කියලා උපාසක අම්මෙක්….. ලෙඩවෙච්චි හාමුදුරු කෙනෙකුට මස් කන්න ආසයි කිව්වම එවන්න පොරොන්දු වෙලා. මස් හොයාගන්න බැරි වුණාම එයාගෙම කලවෙන් කෑල්ලක් කපලා; උයවලා දන් දීලා….. ඇන්ටි ඊට හපන්…

-මොකක්ද ඇන්ටි අර කරපු මෝඩ වැඩේ? අද උදෙත් ණයකාරයො කී දෙනෙක් ඇවිත් ඇන්ටිට බැනලා ගියාද? දැන් කජු රාත්තලක් කීයද? තව කෙනෙකුට ණය වෙලා නේද ඔය පිං කරන්න හදන්නේ? සල්ලි තියෙන මිනිස්සු අල, පරිප්පු, කොළ මැල්ලුම් බාර ගනිද්දී ඇන්ටි විතරක් මොකටද ගණන් වැඩි ජාති බාරගන්නේ?”
පන්සලේ සිට මෙගොඩට එන්නට තිබ්බේ නියර උඩින්ය………
එතකොට පන්සලේ සිට මෙගොඩට එන්නට තිබ්බේ නියර උඩින්ය; එක්සත් සුබසාධක මාවත වෙල හරහා එගොඩටම ගියේ පසු කාලයකය. නියර උඩම නැවතී, ආපසු හැරී රම්‍යා ඇන්ටි ඇයගේ අහිංසක හිනාව මට පෑවාය.

“අනේ රංජි, ඔය අනිත් උපාසිකාවො වගේ මම පිං කරන්නෙ නෑ දිවිය ලෝකේ යන්න හිතාගෙන…. මට හිතුණා…. හොඳ දෙයක් කරන්න හිතුණාම පස්ස ගහලා බැහැනේ. මම පිනක් කරන්නේ නමක් ගන්නවත්, ලොකුකමටත් නෙවෙයි කියලා ඔයා දන්නවනේ…”

පිනක්, යහපතක් වුණත් හිතුණු පළියටම කිරීම හරිද?

අනේ, රම්‍යා ඇන්ටි ඉක්මනින් ඉකුත්ව ගිය එක හොඳය. එයාට මේ  කාලයේ විසූක දස්සන බලන්න තරම් කාලයක් ජීවත් වෙන්නට ඉඩ නොලැබිණි. දැන් ‘නා ලොවින් ධාතු වඩම්මන පිංකමක්’ වුණත් කෙරෙනුයේ වාසි බලාපොරොත්තුවෙනි. ඒ විත්තිය ඉතිහාසයේ සටහන්වී තියෙන්නේ 2019 නොවැම්බර් 27 වෙනිදාය. නව රජයක් ස්ථාපිත කෙරුණු දිනවලය!

අපි ලොක්කො වෙනුවෙන් පාර්ලිමේන්තුවෙදි රණවිරුවන්ටත් මිරිස් කුඩු ගැහුවා, යහපාලන ආණ්ඩුවෙ වැඩ කඩාකප්පල් කළා. අන්තිමට අපේ කට්ටියට ලොකු උනේ යහපාලන ආණ්ඩුවෙ ඇමතිකම් අරගෙන අපිට විරුද්ධව වැඩ කරපු උන්මයි.
ගෝඨාභය මහත්තයා රජ වුණෙත් මම වඩම්මපු ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්…….
කැලණිය ආසනේ නියෝජනය කරපු එක මන්ත්‍රී කෙනෙකුටවත් ඇමති කෙනෙකුටවත් කරන්න බැරිවෙච්ච දේවල් මම තනතුරුත් නැතුව කළා. කාටද පුළුවන් උනේ නාග ලෝකෙන් ධාතු වඩම්මන්න. මෙච්චර කාලෙකට හිටපු එකෙකුටවත් ඒක කරන්න බැරි උනා. ඒකත් උනේ මගේ ආනුභාවයට පිංසිද්ධ වෙන්න. ගෝඨාභය මහත්තයා රජ උනෙත් මම වඩම්මපු ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන්.

එහෙම කරපු මං අන්තිමට දෙකේ කොළේට දාලා. ඇමතිකම් 54 ක් දීපු එකේ මටත් ඔය මොකක් හරි නමට හරි දුන්න නං මොකද වෙන්නෙ.
මෙච්චර කරපු මට අඩුගානෙ නියෝජ්‍ය ඇමති කට්ටක්වත් නෑ.

ආණ්ඩුව හදන්න මිරිස් කුඩු ගහපු, ධාතු වඩම්මපු මටත් මෙහෙම නං සලකන්නෙ මම තවත් වැඩිකල් ඉවසන්නෙ නෑ.
බලමුකො ඊළඟ ඡන්දෙන් පස්සෙ මොකද වෙන්නෙ කියලා. ඡන්දෙන් පස්සෙත් මට ඇමති කට්ටක් ලැබුණේ නැත්තං……..”

ඒ අතින් ප්‍රසන්න රණවීර මහත්තයාත් රම්‍යා ඇන්ටිත් කොච්චර වෙනස්ද?
ඉස්සන් පිසාපිය…. ඒ කිව්වේ………….?
‘ඉස්සන් පිසාපිය
රා කළයක්ම බීපිය
මෝව අඹවාපිය
මෙතුන කරලා මාව කාපිය’

ඈ? …….
%d bloggers like this: