Menu Close

බැබිලෝන් බර්ලින්

ලීසා ප්‍රයිස්

මාස දෙක තුනකට පෙර චමල් අකලංක පොල්වත්තගේ  විසින් හිට්ලර් ගේ නාසිවාදී රජය කරන ලද  මිනී මැරුම් හා යුදෙව් ජනතාව සමුලඝාතනය කිරීම ගැන   අගනා ලිපියක් ලියා තිබුණි. බ්ලොග් ලිපියක් නොවන නිසා එහි යොමුවක් දැමීමට  නොහැකිය. 

ඔහු ඒ ලියූ ලිපියේ කිසියම් වාක්‍යයක් මගේ නිරීක්ෂණයට ලක්වුණි. ඒ මෙයයි.
//ජර්මානු තරුණ තරුණියන් ලක්ෂ ගණනක්ද ම්ලේච්ඡ මිනීමරුවන් බවට පත් විය//
//කලවම් නොවූ ශුද්ධවූ ජාන සංකල්පය අසත්‍යයක් බව ඉගැන්වීමට නිවැරදි ගුරුවරුන් එදා ජර්මනියේ සිටියානම් මේ දෙපාර්ශවයම මේ ඡායාරූප වල නොසිටිනු ඇත.//  
මේ අදහසට  මම කරුණු හතකින් පිළිතුරු දුනිමි.
1. ජර්මනියේ එක් එක් වධ කඳවුරුවල වැඩ කිරීමට සිටියේ  100 කට අඩු සංඛාවකි, මිනීමරුවන් තෝරා ගත්තේ නාසි (ජාතික සමාජවාදී පක්ෂය) පක්ෂයෙනි. පෝලන්තය ආදී රටවල තිබූ කඳවුරු වල  පෝලන්ත, රුමේනියන්, යුක්රේනියන් ජාතිකයන්ද  සේවය කළහ. 
2.නාසි පක්ෂය  ආර්ය තියරිය විශ්වාස කල අතර එවැනි මතයක්   ( සිංහලයන් ආර්යයන් බව ) විශ්වාස කරණ ලක්ෂ ගනනක් ශ්‍රී ලංකාවේ අදත් ජිවත් වෙති.නාසි පක්ෂයේ සාමාජික සංඛාව මිලියන 8 .5 කි. ජර්මනියේ ජනගහනය මිලියන් 70කි. නාසි පක්ෂයේ  සාමාජික සංඛ්‍යාව මුළු ජර්මානු ජනගහනයෙන් 12% කි.
3. ලංකාවේ ජනගහනයෙන් සියට 3 ක  සාමාජිකත්වයක් ඇතැයි  කියන ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා ලංකාවේ  ජාතික සමාජවාදය පිහිටුවන්නට කල කැරලි ගැසීමෙන් ලංකාවේ තරුණ තරුණියන් 60,000ක් පමණ  මිය ගියහ.   රජයේ හා අතුරු හමුදා මගින් ක්‍රියාත්මක කළ  වධ කඳවුරු වල ගෑස් ගැහුවේ නැති වුවත්  ඒවායේ දුන් දරුණු  වධ බන්ධන ඔබ අසා තිබේද? . ඒ වධ දුන්  හමුදා හා පොලිස් නිලධරයන්  එසේ කලේ ඇයි ? ගුරුවරුන් උගන්වූයේ නැති නිසාද? අජිත් පැරකුම් ජයසිංහ ගේ කේ පොයින්ට් පොත හා තවත් එවැනි කැරැල්ල පිළිබඳ පොත් කියවීමෙන් ඒ ගැන දැනගත හැකිය. එසේම ජවිපෙ සාමාජිකයන් අතින්ද බොහෝ අය මිය ගිය අතර ඇතැම් තැන්වල වධ දී තිබුණි. 
4. බොහෝ ජර්මානුන් නාසි ව්‍යාපාරයට  බැඳුනේ ඔවුන්ට කළ තර්ජනය නිසාය. ගුරුවරුන් එය ඉගැන්වූයේ නැතිනම් ඔවුන්ට අනිත් විෂයයන් උගැන්වීමට ඇති බලපත්‍රය අහිමි වේ. ඔවුන්ට සිදුවන්නේ බඩගින්නේ මිය යාමටය. බොහෝ මිනිසුන් මේ අවස්ථාවේ රැකියාව තෝරා ගනී. ජර්මනුන් කලේද  එයමය. 
5. හිට්ලර් බලයට පැමිණියේ ජාතික සමාජවාදය කරපින්නාගෙන වුවත් ඔහු පැමිණියේ දේශපාලන කුමන්ත්‍රණයක්  හරහාය .
6.ජර්මන්  සොල්දාදුවන් ගෙන් වැඩි හරියක්  සටන් කලේ රැකියාව පිණිසය. ඔවුන් පිටුපස එස් එස්  හමුදාවේ දඩ බල්ලන් සිටියහ. SS යනු හමුදාවක්ඇතුලත තිබු හමුදාවකි. (කේජිබි හමුදාංක වැනි).
7. බොහෝ ජර්මනුන්   තමන්ගේ නායකයා යුදෙව් ජනතාවට  කළ අපරාධය දැන  ගත්තේ යුද්ධයෙන්  පසුවය. නගරවල සිටි අය යුදෙව්වන් ගෙන යන්නේ කම්හල් වල වැඩ කිරීමට බවට රජයෙන් කල නිවේදන පිලි ගත්හ. 
ස්ටාලින් ගේ කාලයේ සෝවියට් දේශයේ රාජ්‍ය විරෝධීන් ලෙස නම් කල අය ගේ පැහැරගැනීම් මෙන්ම මේ පැහැර  ගැනීම් කලේ ද රාත්‍රියේය. ජර්මානුවෙක්  එලියට පැමිණියොත් ඔවුන්ට එතනම  වෙඩි තබන ලදී.  අසූ අට අසූ නාමය කාලයේ ලංකාවේ අතුරු හමුදා වලින් පැහැර ගෙන යන අය බේරන්නට කවුරුවත් එලියට පැමිණියේද ? දේජව සාමාජිකයන් පැමිණ එලියට අඬ ගසද්දී අහල පහල අය බේරන්නට අදාළ තැනැත්තා ගියාද ? නැත්නම් ලයිට් නිවා දමා නිහඬව සිටියාද ? ජර්මනුන් කළේද එයමය.
මේ ප්‍රතිචාරයට ප්‍රතිචාරයක් එක් කරන තවත්  මහත්මයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් දීම මේ ලිපියේ අරමුණයි. මෙහි අංක පහට මා ලියුවේ හිට්ලර් බලයට පැමිණියේ දේශපාලන කුමන්ත්‍රණයක් හරහාය යන්නය. හිට්ලර් ගේ පක්ෂය 1933 මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ඇත්තය. නමුත් නාසි පක්ෂය බලයට පැමිණීමට පාර කපා ගත්තේ එම මැතිවරණයෙන් නොවේ. හිට්ලර් ඒ වනවිටත් ජර්මනියේ චාන්සලර් වරයාය.  එම මැතිවරණය පවත්වන්නේ ජර්මන් පාර්ලිමේන්තුව රයිෂ්ටාග්  ගිනිගෙන  දැවී ගොස් නාසි ස්ටෝම්ට්රූපර් හෙවත් නාසි භටයන් මුළු රට පුරා  භිෂණය දියත් කර තිබියදීය. එම භිෂණය දියත් කරන ලද්දේ ජර්මන් කොමියුනිස්ට් පක්ෂය, වාමාංශිකයන්, වෘත්තීය සමිති ක්‍රියාධරයන් , සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයන් සහ මධ්‍යස්ත පක්ෂ (Centre party ) සාමාජිකයන්ට එරෙහිවය. 
මේ භිෂණය දුඹුරු කමිස කාරයන් (brown shirts ) සහ එස් එස් භටයන් විසින් දියත් කරන ලද්දේ නාසි සංවිධාන මැතිවරණ නිරීක්ෂයන් බවට පත් කරගෙනය. එසේම තාවකාලික රජයේ තාවකාලික අභ්‍යන්තර කටයුතු පිළිබඳ  ආමති වරයා වූ  හර්මන් ගෝරින්ග් පෘසියාවේ  පනස්දහසකට  අධික  නාසි එස් එස් සාමාජිකයන් සහ ප්‍රහාරක කණ්ඩායම් මැතිවරණ කටයුතු සඳහා යෙදෙව්වේය. එසේ තිබියදීත් නාසින්ට ලැබුනේ 43.9%  පමණ චන්ද සංඛ්‍යාවකි. 
ඔවුන් ජර්මන්  පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගත්තේ කුඩා පක්ෂයක සහයෝගයෙනි.
හිට්ලර් චාන්සලර් වරයා වුයේ ඉන් වසර දෙකකට පමණ ප්‍රථම එවැනිම වූ ගිවිසුමකිනි. චන්දයකින් දිනා නොවේ. ඔහුට එතනට ඒමට පාර කැපුනේ ප්‍රථම ලෝක යුද්ධයෙන් පසුව රාජාණ්ඩුවාදීන් ජර්මන් සමාජ ප්‍රජතන්ත්‍රවාදී රජයට   එරෙහිව හොර රහසේ රජෙක් ගෙන ඒමට තැත් කිරීමෙනි.
1932 ජනාධිපතිවරයෙන් ජනාධිපති හින්ඩෙන්බර්ග් ට 53% ඡන්ද ප්‍රමාණයක් ලැබුණු අතර හිට්ලර් ට ලැබුනේ 36.8% කි. එම වසරේම  ජුලි මාසයේ මැතිවරණයෙන් නාසීන් පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වුනද බලය ලැබුනේ නැත. නොවැම්බරයේ මැතිවරණයෙන්  නාසීන් ට තවත් ආසන 34 අහිමි විය. මේ වනවිට  නාසීන් වෙනත් පක්ෂ වලට රිංගමින් කලබල ඇති කරමින් තිබුණි. මාධ්‍යවේදීන් අතුරුදහන් වන්නට හෝ හදිසි අනතුරු වලින් මිය යන්නට විය. සමාජ  ප්‍රජාතන්ත්‍රවාදී   දේශපාලනඥයන්ට එම ඉරණමම අත්විය. සමහරුන්ට මහා දවාලේ බෝම්බ ගසන ලදී.  යුදෙව්වන් ජර්මනියේ සියලුම ආර්ථික ප්‍රශ්න  වලට හේතුව යයි හුවා  දැක්වුණි. 
මේ සියල්ල හොඳින් පහදන රූපවාහිනී නාට්‍ය දාමයක්  බැබිලෝන් බර්ලින් නමින් 2017 දී තිරගත විය. එහි දෙවන කතා මාලාව පසුගියදා අවසන් විය.
වෙයිමාර් සමුහාණ්ඩුව (weimar republic ) යනු ප්‍රථම ලෝක යුද්ධය අවසන් වූ පසු පැවති ජර්මන් රාජ්‍යයයි. ජර්මන් රජු කයිසර් විල්හෙල්ම් රජකමින් ඉවත් කිරීමෙන් පසු ජනාධිපති පදවියක් හා අගමැති පදවියට සමාන චාන්සලර් පදවියක් ඇති කෙරුණි. 
මේ කාලයේ ජර්මනියේ ඉමහත් සංස්කෘතික ප්‍රබෝධයක් පැන  නැගුනු අතර ආර්ථිකයද මදින් මද දියුණු වන්නට විය. ජර්මනිය ළඳරු  සෝවියට් දේශය සමගද තානාපති සබඳතා ඇති කරගත් අතර යුරෝපයේ අනිත් රටවල් සමග ද සුහද සම්බන්ධයක් පවත්වා ගති. ප්‍රංශය මේ අතරින් ප්‍රධානතම  රටක් විය.  ජනතාව  නැවතත්  නාට්‍ය ශාලා සහ සංගීතය සහ විනෝදය සපයන සමාජ ශාලා වලට එක් රොක් වන්නට විය. කැබරේ සහ ජෑස් සංගීතය වේගයෙන් පැතිරුණු අ තර ජර්මන් එරෝටිකා සම්ප්‍රදාය පැන  නැගුනේද මේ කාලයේය. එසේම වඩා  විසිතුරු  හා ගෘහ නිර්මාණ ශිල්පයෙන් උසස් ගොඩ නැගිලි ද රට පුරා නිර්මාණය වන්නට විය.
මේ අතර දිළිඳු බවට පත් ජනතාවක් නගර ආශ්‍රිතව ජිවත් වූ බවද කම්හල් වල අඩු පඩියට  කම්කරුවන් ගොනු වෙමින් සිටි බව අමතක නොකළ ප්‍රබල ජර්මන් කොමියුනිස්ට් පක්ෂයක්ද විය.
බැබිලෝන් බර්ලින් යනු රහස්  පරීක්ෂක කතාවකි. කතාව දිව යන්නේ  රුසියාවේ දී ට්සාර් සතුව තිබු රත්රන් වලින් පිරුණු දුම්රිය පෙට්ටියක් හොර රහසේ බර්ලිනයට පැමිණීමේ සිද්ධියක් වටාය . ස්ටාලින් විසින් එවන ලද සෝවියට් රහස් ඔත්තු කරුවන් ට්‍රොට්ස්කිවාදී න් සමුහයක් මර දමා ඔවුන් පළකළ පුවත්පතක්ද විනාශ කරන්නේ කතාවේ   මුල් හරියේය.
වඩාත් වැදගත් වන්නේ නාසීන් විසින් කොමියුනිස්ට් පක්ෂය තුලට රිංගවන  ලද සාමාජිකයන් කරන මිනි මැරුම් වලින් රට අස්ථාවර කිරීමේ ජවනිකාය. . එසේම රට අස්ථාවර කරන්නට කටයුතු කරන ඔවුන් රජෙක් ගෙන්වීමේ සටනේ යෙදී සිටින හමුදා ජෙනරාල් වරුන්ටද උදව් කරයි.
නාසීන් බලයට එන දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ එසේය.
බැබිලෝන්  බර්ලින් ඉතා පහසුවෙන් මේ ඉතිහාසය තම කතාවට  ඇතුලත් කර  ගනී.
 එහි අති සාර්ථක රංගනයක්  ඉදිරිපත් කල ලීසා ප්‍රයිස් (චාලට් රිටර් )  අද ප්‍රධාන පෙලේ නිළියකි.
.
%d bloggers like this: