Menu Close

පොත් කියවන්න කම්මැලි ළමයි

“මගේ ළමයා පොත් කියවන්න ආසාම නැහැ අනේ, ඔයා librarian කෙනෙක් නේ, මේකට පිළියමක් කියන්නකෝ”
මට මෙහෙම කියන අය නිතර හම්බවෙනවා. එක අතකට දෙමව්පියෝ මෙහෙම අහනවා කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙන බව තේරුම් අරගෙන, ඒකට විසඳුමක් හොයන්න ඒ අයගේ උනන්දුවක් තියෙනවා කියන එක. ඒත් සමහරු එහෙම අහන්නේ තමන් කිසිම මහන්සියක් නොවී ක්ෂණික විසඳුමක් හොයාගන්න.
ළමයි පොත් කියවන්නේ නැත්තේ ඇයි?
මගෙන් ඔය ප්‍රශ්නය අහන අයගෙන් මමත් ප්‍රශ්නයක් දෙකක් අහනවා. ගෙදර ළමයාට කියවන්න ගැලපෙන පොත් තියෙනවාද? ගොඩාක් ගෙවල් වල තියෙන්නේ ළමයි පුංචිම කාලේ කොහෙන් හරි හම්බවුන පින්තූර පොත්, ඒවායේත් පිටු ගැලවිලා, ළමයි බලි කුරුටු ඇඳලා. එහෙම නැත්නම් අල්මාරියක දාලා අරන් තියපු තාත්තාගේ නීති පොත්, අම්මාගේ විශ්ව විද්‍යාල සටහන්. ඉතින් ළමයෙක් කොහොමද ගෙදරදී පොත් කියවන පුරුද්දක් ඇති කරගන්නේ?
ඊළඟට ප්‍රශ්නය දෙමව්පියන් ඒ දරුවාව පුස්තකාලෙකට, පොත් සාප්පුවකට එක්කගෙන යනවද, එහෙම ගිහින් කැමති පොතක් තෝරාගන්න ඉඩ අරිනවද කියන එක. සාමාන්‍යයෙන් ළමා රූප පොත් එහෙම සාපේක්ෂව මිළ අඩුයි. ඒත් ළමයින්ගේ කියවීමේ මට්ටම් ඉක්මනින් වෙනස්වෙන නිසා ලාබ ම, පලදායීම තෝරාගැනීම පුස්තකාලයකට යන එක. ලංකාවේනම් හැම පළාතේම එක වගේ පුස්තකාල පහසුකම් නැති බව ඇත්ත. ඒත් ළමයි කියවන්න උනන්දු නැහැ කියලා චෝදනා කරන දෙමව්පියන් බොහෝ වේලාවට ලංකාවේ නගරබදව එහෙම නැත්නම් ලංකාවෙන් පිට ඉන්න, පුස්තකාල පහසුකම් තියෙන, ඒවා පාවිච්චි නොකරන අය. ළමයින්ව පුස්තකාලයකට අරගෙන ගියත් බහුතරයක් දෙමව්පියන් ළමයින්ට කැමති පොතක් තොරාගන්න නිදහසක් දෙන්නේ නැහැ.
තුන්වෙනි ප්‍රශ්නේ තමයි ළමයින්ට පුංචි කාලේ ඉඳන් කියවීම හුරු කළා ද කියන එක. බොහෝ වේලාවට මේකට උත්තරයත් නැහැ කියන එක තමයි. පොත්වලට ආදරය කරන්න ළමයින්ට හුරු කරන්න ඕන බිළිඳු කාලෙදිමයි. දරුවන්ට මාස තුන හතරේදී පාට, හැඩතල පේන්න ගනිද්දී ඒගොල්ලන්ට පොත් පෙන්නුවාම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඕස්ට්‍රේලියාවේදී දරුවෝ ඉපදුන අලුත වැඩීම බලන්න අරගෙන යන හෙද සායන වලදී ඒ බිළිඳු වයසට ගැලපෙන පාට තියෙන පොත් නොමිළේ දෙන බව මම දැනගත්තේ ඉස්සර පුතාව ඒවාට අරගෙන යද්දී. අම්මලා තාත්තලා හඬ නඟලා කියන කතන්දර අහගෙන ඉන්නත් දරුවෝ වයසෙන් වැඩෙද්දීආසයි. දරුවෝ පුංචි කාලේ ඒගොල්ලෝ නිදාගන්න කලින් ඒ අයත් එක්ක පොතක් දෙකක් කියවන්න මේ රටවල දෙමව්පියන් පුරුදු වෙලා ඉන්නවා. පොතේ මාතෘකාව ගැන අම්මලා තාත්තලාගේ අත්දැකීම් අදහස් බෙදාගන්නත් කතාන්දරය දරුවාට තේරුණු හැටි ගැන තමන්ගේ අදහස් කියන්නත්, සරලවම කියනවානම් දෙමව්පියන්ට දරුවන්ට ආදරයෙන් ලංවෙලා ඉන්නත් ඒ වෙලාව හරි වටිනවා. අකුරු නොදන්නා අවුරුදු දෙකේ තුනේ ළමයි පින්තුර පොත් පිටින් කටපාඩම් කරගෙන පිටු පෙරලමින් බොරුවට කියවනවා වගේ රඟපාන්නේ පුංචි කාලේ ඉඳන්ම මෙහෙම කියවීමේ ආසාව ඇති කළාමයි. දරුවන්ට නැකතට අකුරු කියවන්න කලින් පොත් පෙන්නන්න හොඳ නැහැ කියලා ලංකාවේ සමහරු කියනවා මම අහලා තියෙනවා. ඒ වගේ යල් පැන ගිය අදහස් වලින් අවාසියක් වෙන්නේ දරුවාටමයි. පුංචි කාලේ ඉඳන් පොත් ඇසුරේ හැදෙන දරුවෝ පොත්වලට ආදරේ කරන්න පටන් ගන්නවා. පොත්වල බලි කුරුටු අඳින්නේ නැතිව, පිටු ඉරන්නේ නැතිව කියවන්න ඉගෙන ගන්නවා.
ඕස්ට්‍රේලියාවේ ඉස්කෝලවල 1, 2, 3 වසරවල දරුවන්ට හැමදාම කතන්දර පොතක් ගෙදර ගෙනියන්න දෙන වැඩසටහනක් තියෙනවා. දරුවාගේ කියවීමේ මට්ටමට ගැලපෙන පොතක් තෝරලා දෙන්නේ ගුරුතුමිය. ඒ පොත දෙමව්පියන් එක්ක එකතුවෙලා කියවලා ඊළඟ දවසට ආයෙත් පාසැලට ගේනවා. කියවීමේ හැකියාව ඉක්මණින් දියුණු වෙන්නයි, වචන මාලා වැඩි දියුණු වෙන්නයි මේක හරිම සාර්ථක ක්‍රමයක්. ඉස්කෝලේදී අඩිතාලම් දාලා දෙන මේ හැකියාව තවත් දියුණු කරන්න දෙමව්පියන්ට ලේසියෙන්ම පුළුවන්.
සමහර දෙමව්පියන්ගේ හිතේ තියෙනවා මගේ දරුවා මෙන්න මේ ජාතියේ පොත් කියවිය යුතුයි කියන අදහස. තමන්ගේ අවුරුදු දහයේ පුතා කැමති fantasy & adventure පොත්වලට බවත් තමන් කැමති පුතා මීට වඩා සාහිත්‍යමය පොත් කියවනවාට බවත් මගේ යෙහෙළියක් මට කීවා. අවුරුදු දහය වගේ කාලයේදී අපිත් මායා බල ගැන, වීර ක්‍රියා ගැන තිබුණු පොත්පත්වලට, රූපවාහිනී වැඩසටහන් වලට කොයිතරම් ආසා කළා ද! ළමයා තමන් ආසා දෙයක් වෙනුවට අපි තීරණය කරන දෙයක් කියවන්න ඕන ඇයි? ළමයින්ට කියවීම එපා වෙන්නේ අපි එහෙම බලකරන්න ගියාම නෙමෙයිද? දූලා තරම් පුතාලා පොත් කියවන්න නැඹුරු නැති බවත් තවත් එක චෝදනාවක්. එහෙම නැති බව ඔප්පු කරන්න අපේ ගෙදරම අවුරුදු දොළහක පොත් ගුල්ලෙක් ඉන්නවා. බොහෝ වේලාවට පිරිමි ළමයි කැමති පොත් ශානර (genre) ගැහැණු ළමයි කැමති ඒවා නෙමෙයි. පිරිමි ළමයි කැමති චරිතාපදාන, වීර කතා, පරිසරය එහෙම නැත්නම් අභ්‍යවකාශය ගැන කරුණු තියෙන non-fiction පොත් වගේ ඒවාට. පිරිමි ළමයෙක් සම වයසේ ගැහැණු ළමයින් බොහොම ආසා Anne of Green Gables පොතට ආසා නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට බොහොම උනන්දුවෙන් The Boy who Harnessed the Wind පොත කියවලා ගෙදරදී සුළං පෙත්තක් හදන්න උත්සාහ ගන්න පුළුවන්. සමහර වෙලාවට ළමයි කැමති ebooks කියවන්න, වාහන ගැන, පරිසරය ගැන සඟරා, එහෙම නැත්නම්ළමා පත්තර කියවන්න. manga චිත්‍රකතා පොත් එකක් ඉවරවෙනකොට තව එකක් කියවන ගැහැණු ළමයිනුත් පිරිමි ළමයිනුත් මම දැකලා තියෙනවා . මගේ පුතා මේ දවස්වල war fictionකියවන්න කැමතියි. එයාගේ ඉස්කෝලේ පුස්තකාලේ war fiction වෙනම එකතුවක්ම තියෙනවලු. මේ හැම කියවීමක්ම කියවීමක්. ‘අපි කැමති දේ’ කියන කෝවේ දාලා ළමයින්ව මකන්නේ නැතිව අපි ඒ ළමයින් තමන්ගේම රුචි අරුචිකම් ඇති අය විදිහට දකින්න ගත්තා නම් මේ හැම දෙයක්ම තේරුම් ගන්න හරි ලේසියි.
මෙහෙම පැහැදිලි කළාම ගොඩක් අම්මලා අන්තිමේදී කියන එක දෙයක් තියෙනවා. ඒ තමයි ‘අනේ ඕවා කරන්න වෙලාවක් නැහැ’ කියන එක. එහෙම කියන අය බොහෝ වෙලාවට තමන්ගේ ලේසියට ළමයින්ගේ අවධානය රූපවාහිනිය හරි ඒ වගේ වෙන උපකරණයකට සින්න වෙන්න ඇරලා ඉන්න අය. එහෙම නැත්නම් ගෙදර වැඩට ඉන්න අයට පඩි ගෙවන නිසා දරුවෝ එක්ක කාලය ගත කළ යුත්තේ ඒගොල්ලෝ කියලා හිතන අය. තමන්ගේ දරුවෝ පුංචි කාලේ ඒගොල්ලන්ට කතා පොතක් කියලා දෙන්න දවසකට පැය බාගයක් වෙන් කරන්න බැරි නම්, මාසෙකට සැරයක් වත් පොත් සාප්පුවකට නෙමෙයි නම් අඩුම ගානේ පුස්තකාලයකටවත් ළමයාව එක්කගෙන් ගිහින් නිදහසේ පොත් අතර සැරිසරන්න, කැමති පොතක් තෝරාගන්න ළමයාට ඉඩක් දෙන්න බැරිනම් ඊට එහාට ළමයින්ගේ කියවීමේ පුරුද්ද ගැන කතාකරන්න ඒ අයට අයිතියක් නැහැ කියලා මම හිතනවා. ඒවගේම කියවීමේ පුරුද්ද එක්ක බැඳුනු භාෂා ඥානය, ව්‍යක්ත බව, නිර්මාණශීලී බව ඒ ළමයින්ගේ ජීවිත වලින් ගිලිහුනාම ඒ වගකීමත් ඒ දෙමව්පියන්ටම ගන්න වෙනවා.
මෙල්බර්න් නගරයේ මම රැකියාව කරන බාලිකාවේ පුස්තකාලයේ ප්‍රබන්ධ පොත් එකතුවේ පොත් විසිදාහක් විතර තියෙනවා. ඒ නිසාම අපි එක ළමයෙකුට ගන්න පුළුවන් පොත් ප්‍රමාණය ගැන සීමා පනවලා නැහැ. නිවාඩු කාලයක් කිට්ටු වෙද්දී මේ ඉස්කෝලේ සිසුවියෝ බොහොම ආසාවෙන් පොත් මිටි ගණන් අරගෙන යන හැටි, පොත් රාක්ක ක්‍රමක්‍රමයෙන් හිස් වෙන හැටි බලාගෙන ඉන්න එක මගේ ප්‍රියතම වැඩක්. ඒ කියවීමේ පිපාසය දකිද්දී මමත් ඔය වයසේදී නිදි මරාගෙන කතන්දර පොත් කියෙව්ව හැටි මතක් වෙනවා. අදටත් පොත් කියවීමට මගේ ජීවිතයේ නම් තියෙන්නේ බොහොම ලොකු ඉඩක්.
පුංචි ළමයින්ට අපි ඇතිකරලා දෙන්න ඕන කියවීමේ ආසාව විතරයි. ඒ ගිනි දැල්ල නිවෙන්නේ නැතිව ජීවිත කාලයක්ම තියාගන්න ඊටපස්සේ ඒගොල්ලෝම මහන්සි වෙනවා. පොත් කියවනවා කියන එක පුංචි ළමයින්ට දඬුවමක් නොවිය යුතුයි. ප්‍රසිද්ධ කතුවරයෙක් වන Neil Gaiman මේ කියලා තියෙන විදිහට ඒක තමන්ට සතුටක් ගේන දෙයක් විය යුතුයි. ඒ සතුට හොයාගන්න ඉඩ සලසලා දෙන එක දෙමව්පියන් විසින් දරුවන්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්.

%d bloggers like this: