Menu Close

පිරිමි ලංසුවක් – 07 කොටස


Siththam-Maya-63-Pirimi-Lansuwak-07bw

ආදරණීය අනුරාධා….
ජීවිතය සුවඳවත් කළ රෝස කුසුම
කෙටිම කෙටි කාලයක් තුල
සඳක් වෙලා එළිය දුන් නුඹ
ඇසි පිය ගහන ඇසිල්ලෙන්
දැවි දියව ගිය ඉටි පහන්
එළියක් වූයේ කිම
විඩාබර වූ හදවතක 
මුඩුව ගිය හැඟීම් එකින් එක 
අස්වද්දා මුලු හිතම මගෙ නමට 
දෝවනය කළ අහිංසකාවි 
මේ ගෙවෙන හැම රාත්‍රීයක්ම බොහෝ දිගුය 
ජීවිතය හෙම්බත් වූ අවසන හදවතේ
පිපුනු රෝස කුසුමක් වූ මගෙ පුංචි සුරඟන 
ජීවිතය කවියක් කර නොහික්මුනු හිතක 
දාහය නිවා නුඹ කොහේ හෝ 
මා අතරමන් කර නික් මී ගොස් අවසන්ය 

–  සිතුම් විජේබණ්ඩාර 


__________________________________



වත්තල සිරිකුරුස විදු බිම සිතුම්ගේ ගුණ නැන පාදන්න මහඟු තෝතැන්නක් වුණා. එඩ්වින්ගෙත් විශාකගෙත්  ආශිර්වාදයත්, සිතුම්ට අවශ්‍ය සියලු දේවල් ඔවුන් විසින් ඔහුට ලබා දෙන නිසාත්, සිතුම්  හිතේ සැහැල්ලුවෙන් ඒ ඒ  කටයුතු වල නියැලුනා.

උදේ වරුව පාසලටත් පාසල නිමවී නිවසට පැමිණි පසු හවස් වරුව ගැරේජයටත් වෙන් කර ගෙන කාලය  සමබරව බෙදා ගෙන වැඩ කිරීමට ඔහු ටිකෙන් ටික ඉගෙන ගත්තා.

අවුරුදු පහළොව වෙද්දි සිතුම් කාර්මික දැනුමෙනුත් මුහුකුරා ගිහින් තිබුණා. අත් උදවු දීමෙනුත් වැඩ දෙස  බලාගෙන සිට ඒ සියලු වැඩ තම දෙනෙතට හසු කරගෙන ඒවා ගැඹුරු මතකයක්ව හිතේ තැම්පත් කර ගන්නත් සිතුම් උපන් හපනෙක් බව සියලු දෙනා දැනන් හිටියා.


“කොල්ලා  දක්ශයා”


එඩ්වින් තමාගෙම දරුවෙක් වන් සිතුම් ගැන අන් අය සමඟ පැවසුවේ හරි  ආඩම්බරෙන්. කොල්ලත් ඒ දේවල් කිසි ලොකු කමක් නැතුව අහන් හිටියේ එඩ්වින් මහත්තයා පිලිබඳ භක්තියක් මුසු වෙච්ච   ආදරයක් හදවත පුරා ඉතිරිලා යද්දී.


එඩ්වින් මහත්තයා ලඟට සිතුම් ඇවිත් අවුරුදු හතරකුත් ගෙවුණා. දැන් කොල්ල හිටියේ ජීවිතේ ගොඩක් තේරුම් ගන්න කාල පරාසයක.


ඉඳලා හිටලා කීයක් හරි එඩ්වින්ගෙන් රැගෙන යන්න එන සුනිල් දරුවාගේ මූණවත් බලලා ගිය දවසක් නම් මෙතුවක් කාලෙකට නැතුව ඇති. දරුවා තමන් ලඟට ගෙනාවේ දරුවට ඇති ආදරේකට නොවන බව එඩ්වින්ටත් තේරිලා තිබුණා. මේ සිදුවීම් වලින් හදවත බිඳුණු එඩ්වින් තව තවත් සිතුම්ට වැඩි වශයෙන් සෙනෙහස දැක්වූවා.


සිතුම්ගෙ අත්තම්මා දෙතුන් සැරයක් කොල්ලව බලලා යන්න ආවේ කොල්ලට තියෙන ආදරේ නිසාම මිස නැති නම් උන්දැට මෙතරම් දුරක් ගෙවාගෙන පැමිණීම බොහෝ අපහසු  බව ඇයව දැකපු කවුරු   උනත් තේරුම් ගත්ත කාරණාවක්. අත්තම්මා විශාකගෙ කකුල් දෙක ලඟ වැටිලා අඬද්දී විශාකා ඇයව නැඟිටවා පුටුවක අසුන් ගන්න  සැලසුවේ ඇය ගැන උපන් ශෝකයත් හිතේ දරාගෙන.


“අනේ නෝනා මගෙ පොඩි එකා, ඌව බලා ගන්න මං ලඟ ඉන්නකන් මං ඌව බලාගත්තේ මගෙ ඇස් දෙක වගේ”


“නාකි මට කරන්න දෙයක් නැති උනා නෝනා, නැත්තම් කොල්ලව කීයකටවත් මං එවන්නෑ”
ඇය ඇස් වල කඳුළු පුරවන් කියපු විදිය විශාකාගෙ හිත මොලොක් කරා. ඒ සිදුවීම දවස් ගාණක් යනකන් විශාකව  බොහෝ සංවේදී කළා.


අත්තම්මා ගියාට පස්සේ සිතුම් එළියට වෙලා පාර දිහා බලන් ඉද්දි ඇස් වලින් වැටෙන කඳුළු කොල්ලගෙ  කමිස කොලරය දිගේ පපුවට ගලාගෙන ගියේ වේදනාවෙන් රිදුම් දීගෙන. ඒ සිද්දිය ඈත ඉඳන් බලන් උන්නු විශාකා සිතුම් අසලට පැමිණ ඔහුගේ ඔළුව අත ගෑවේ ඔහු තනි වෙලා නෑ කියන්න වගෙ.


“අඬන්න එපා දරුවෝ අත්තම්මා ආයෙත් එයිනේ. ආවෙ නැත්තම් අපි හරි යන්කෝ අත්තම්මා බලන්න”


විශාකා කොල්ලව සැනසුවා.


__________________________________


අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සිතුම් වැඩ නමයම සම්මාන සාමාර්ථ හතක් සමඟ සමත් වෙලා තිබුණා. එදා එඩ්වින්ටත් විශාකටත් ලොකු සතුටක් හිතට දැනුණා. ඒ පාසලේම උසස් පෙළට සූදානම් වෙන්නත් සිතුම් මඟ බලාගෙන හිටියා. 


මේ අතර දවසක් හිටි හැටියේ එඩ්වින් මහත්තයා  අසනීප වුණා. ඔහු උදෑසන වැඩ බිමට යාමට සූදානම්ව වාහනේට නගින්න හදද්දී හිටි හැටියේම පපුව අල්ලන් බිම ඇද වැටෙනවා, ඊට ටිකක් දුරකින් සිටි සිතුම්ගෙ  ඇස් වලට ඇහැ ගැටුණේ අහම්බෙන්.


“මහත්තයා……”


පොඩි එකා කෑ ගහගෙන ලඟට ආවේ මෙලෝ සිහියකින් නෙමේ. එච්චරටම කොල්ලා හිටියේ විදුලි සැරයක් වැදිච්ච ගාණට බයෙන් බිරාන්ත වෙලා. මුළු ලෝකයම කඩන් වැටුණා වගෙ හැඟීමක්   කොල්ලගෙ හිතට දැනුණා.


දෙමාපියන්ගෙන්වත් නොලැබුණු ආදරයක් අත්තම්මාගෙන් පස්සේ ලැබුණා නම් ලැබුණේ ඔහුත් ඔහුගේ බිරිඳගෙනුත් පමණක් බව සිතුම්ගේ හදවතේ තදින්ම නිදන්ගත වෙලා තිබුණා.


එඩ්වින්ගෙ රුධිරය ගමන් කරන නාලයක් අවහිර කරමින් ලේ ගමනාගමනයට එය බාධාවක් වී ඇති  බවත් පරීක්ෂණ කීපයකට මුහුණ දෙන්න සූදානමෙන් රෝහලේ තව දුරටත් නතර වන ලෙසත් ඔහුට  උපදෙස් ලැබී තිබුණා.


එඩ්වින් නැති නිවස පාලු සොහොන් පිට්ටනියක් වගෙ විශාකාට  දැනුණේ. මේ ගෙවී යන්නේ ජීවිතේ නරක කාලයක් බව ඈ තේරුම් අරන් තිබුණා.


උසස් අධ්‍යාපනයෙන් පසුව රැකියා සඳහා විදේශ ගතව සිටින ලොකු දරු දෙදෙනා සෑහෙන  කාලෙකින් තමනුත් එඩ්වින් ගැනවත් සොයා නොබැලුවත් කලින් මේ ගැන සිතට නොදැනුනාට දැන් දැන් ජිවිතේ  ලොකු හිස්කමක් ඇය වටා වෙලී තිබුණා. සිතුම් දරුවෙක් වගෙ දක්වන ආදරය සෙනෙහස මේ දේවල් යම් තාක් දුරකට අමතක කරලීමට ඇයට පුළුවන් වුණා .


නිවසේ රැඳී සිටින කාලයේ පොඩි දුව නයෝමි සිතුම්ට කරන වෙනස්කම්වල අඩුවක් නොතිබුණත්  කොල්ලට මේ දේවල් දරා ගන්න එඩ්වින්ගෙත් විශාකගෙත් රැකවරණය ඉවහල් වී තිබුණා.


සිතුම් එඩ්වින් පවුලට මේ තරම් ගරුත්වයක් දැක්වීම ඔවුන්ගේ ආශිර්වාදය මැදින් ඔහුගේ ගමනද ආලෝකමත් වෙන්න බොහෝ උපකාරි වුණා…. (ලබන සිකුරාදාවට)

🖌 අමා සිල්වා | සිත්තම් මායා
%d bloggers like this: