Menu Close

රෑටත් පත්තුවෙන මහ බැංකුවේ (රතු?) ලයිට්

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකුවට තමන් කියන දේ වහාම කරන මෙන් කළ අණ කිරීම අනුව මේ වන විටද මහ බැංකුව විසින් ජනාධිපතිවරයාට අවශ්‍යව තිබූ පරිදි මුදල් ප්‍රතිපත්ති තීරණ වහාම ගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා. මා හිතන හැටියට මෙය ලංකාවේ ජනාධිපතිවරයෙකු විසින් ලංකාවේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව මෙවැනි සෘජු බලපෑමක් කළ පළමු අවස්ථාවයි. මේ අවස්ථාව හා අදාළව බලපෑමක් යන වචනයට වඩා ගැලපෙන්නේ අණ කිරීමක් යන යෙදුමයි. ඒ අණ කිරීමේ තිබෙන තර්ජනාත්මක ස්වරූපය ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කළ හැකියි.

“මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කරුණාකරලා මම කියන දේ සම්මත කරන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ සැලසුම හෙට උදේ වෙනකොට මට දෙන්න.”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකුවට ලබා දී තිබෙන්නේ විකල්ප දෙකක් පමණයි. පළමුවැන්න ඔහුට අවශ්‍ය පරිදි වහාම මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම. දෙවැන්න පැය 24කට අඩු කාලයක් තුළ විකල්පයක් ඉදිරිපත් කිරීම. ඒ විදිහට විකල්පයක් ඉදිරිපත් කළත් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හරියන එකක් විය යුතුයි.

“මහබැංකුවත් භාණ්ඩාගාරයත් තමයි Monitory & fiscal Policy එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න.”

පැය 24කට අඩු කාලයක් ඇතුළත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හරියන වෙනත් විකල්පයක් දෙන එක ප්‍රායෝගිකව මහ බැංකුවට කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, ඉතිරිව තිබෙන එකම විකල්පය ජනාධිපතිවරයා කියන විදිහට කටයුතු කරන එකයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කියන දේ කරන්න බැරිනම් නිලධාරියෙකුට පෞද්ගලිකව තිබෙන අනෙක් විකල්පය තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන මහ බැංකුවෙන් අස්වෙලා යන එකයි. ලංකාව වගේ රටක මේ වගේ වෙලාවක ඒ වගේ තීරණයක් ගැනීමෙන් මහ බැංකුවේ රැකියාව හා ඒ ආශ්‍රිත වරප්‍රසාද වලට වඩා තවත් බොහෝ දේවල් අහිමි වෙන්න බැරිකමක් නැහැ.

රෑ තිස්සේ වැඩ කිරීමෙන් පසුව මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති තීරණ මේ වන විට දැනුම් දී තිබෙනවා. රෑ තිස්සේ වැඩ කර තිබෙන්නේ විකල්ප හොයන්න නොවන බව ඉතා පැහැදිලියි. අවසාන වශයෙන් මේ තීරණ වලින් පිළිබිඹු වෙන්නේ ජනාධිපතිවරයාට අවශ්‍යව තිබූ දේ මහ බැංකුව විසින් ඉටු කර ඇති බවයි. කියන දේ එළෙසම කරන්න වුනත් තාක්ෂණික පියවර ගණනාවක් අනුගමනය කරන්න සිදු වෙනවා. මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයත්, මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව කටයුතු කරන දෙපාර්තමේන්තු වල නිලධාරීනුත් රෑ තිස්සේ මේ තාක්ෂණික කටයුතු කර ඇති බව පෙනෙනවා.

මහ බැංකුවේ ක්‍රියා කලාපය අනුව පහත කරුණු දෙකෙන් එකක් තහවුරු වෙනවා. සිදු වී තිබෙන්නේ මේ දෙකෙන් කවර හෝ එකක් විය යුතුයි.
– ඉතා අකාර්යක්ෂම ආයතනයක් වූ මහ බැංකුවට හා එහි අකාර්යක්ෂම නිලධාරීන්ට රටේ ප්‍රධාන විධායකයාගේ සෘජු මැදිහත්වීම හමුවේ කාර්යක්ෂම වන්නට සිදු වී තිබීම.
– ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක බලපෑම හමුවේ මහ බැංකුව විසින් අනුමත කර ක්‍රියාත්මක කළ යුතුව නොතිබුණු මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට සිදු වීම.

ඇත්තටම සිදු වුනේ කුමක්ද කියා පිළිතුරු දෙන එක මහ බැංකුවේ නිලධාරීන්ගේ වැඩක්.

“සෞඛ්‍ය අර්බුදය ඒක ආර්ථික අර්බුදයක් වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල පවා මහ බැංකු විශාල පියවර ගන්නවා. ඇමරිකාවේ FED (සන්ධීය සංචිත බැංකුව) එක අමෙරිකානු ඩොලර් බිලියන 600 මේ ප්‍රෝගෑම් හදලා. අද නිවේදනය කළා. ඕස්ට්‍රේලියාව සහ ජපානය. ඒ වගේම මේ අපේ රට අවට තියෙන පොඩි රටවල්වල මහබැංකු මේ වැඩසටහන පටන් අරන්. දැන් මේ බලන්න FED Commits to use full range of Tools to help the Economy through unprecedented time.”

මෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් “ලොකු රටවල්” හා “පොඩි රටවල්” ලෙස රටවල් වර්ග කරනවා. මේ වර්ගීකරණය අනුව ඇමරිකාව ලොකු රටක්. ඇමරිකාව මුල සිටම සෞඛ්‍ය අර්බුදය හා ආර්ථික අර්බුදය කළමණාකරණය කළේ එක් තනි අර්බුදයක් ලෙස සලකමින් නිශ්චිත සැලසුමක් හා ඉලක්ක ඇතිවයි. ඇමරිකාවේ සෞඛ්‍ය අර්බුදය පාලනය නොකළත් ආර්ථික අර්බුදයක් ඇති විය හැකිව තිබුණා. එහෙත්, ජීවිත බේරාගැනීම සඳහා සෞඛ්‍ය අර්බුදය පාලනය කළ යුතුව තිබුණා. සෞඛ්‍ය අර්බුදය පාලනය කරන තරමට ආර්ථික අර්බුදය උග්‍ර වන නිසා සෞඛ්‍ය අර්බුදය පාලනය කළ යුතු වූයේ එසේ කිරීමේ වාසිය ආර්ථික අර්බුදය උග්‍ර වීම නිසා සිදුවන හානියට වඩා වැඩි වන මට්ටමට පමණයි.

ඇමරිකාව රටක් විදිහට හැකි ඉක්මණින් රට කොරෝනා වලින් තොර කිරීම ඉලක්ක කර ඉන්පසු ආර්ථිකය ගැන හිතන සැලසුමක හිටියේ නැහැ. එවැනි ඉලක්කයක් ඵලදායී නොවන බව මුල සිටම පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ලෝකයේ කිසිදු රටක් තවමත් කොරෝනා වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වී නැහැ. දැඩි පාලනයක් යටතේ කොරෝනා පාලනය කළ චීනයේ පසුගිය දින හතර ඇතුළත 44(33), 40(32), 49(39), 57(38) ලෙස අළුත් රෝගීන් හමු වී තිබෙනවා. මේ අලුත් රෝගීන්ගෙන් වැඩි දෙනෙක් රට ඇතුළෙන් හමු වූ අයයි. වරහන් තුළ තිබෙන්නේ රට ඇතුළෙන් හමු වූ රෝගීන්. දූපත් රාජ්‍යයක් වීමේ වාසිය හමුවේ රට කොරෝනා වලින් තොර කළ නවසීලන්තයෙන්ද ඊයේ දිනයේ නැවතත් රෝගීන් දෙදෙනෙකු හමු වී තිබෙනවා. ආර්ථිකය ගැන අඩු අවධානයක් යොදවා පළමුව කොරෝනා අවසන් කිරීම ඉලක්ක කළ රටවල් ගණනාවකටද අවසාන වශයෙන් ඇමරිකාව වැනි රටවල් අනුගමනය කරමින් කොරෝනා සමඟ ජීවත් වීමට සිදු වී තිබෙනවා.

කොරෝනා හමුවේ රටේ සෞඛ්‍ය අර්බුදයක් මෙන්ම ආර්ථික අර්බුදයක්ද ඇති වීම නොවැලැක්විය හැකි බව ඇමරිකාව මුල සිටම අවබෝධ කර ගෙන සිටියා. සෞඛ්‍ය අර්බුදයට මුහුණ දෙන අතරම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගත්තා. බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින් මේ අවස්ථාව හඳුනා ගත්තේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වලින් ප්‍රයෝජනයක් ලැබිය හැකි විශේෂ අවස්ථාවක් ලෙසයි. මේ කාරණයේදී ඇමරිකානු රජය ඇතුළු රජයයන් විසින් සාමාන්‍යයෙන් කරන කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති අපහරණය කිරීමට විරුද්ධ වන අය පවා මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුනා ගත්තා.

කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වලින් දිගුකාලීනව රටක ආර්ථික වර්ධනය වැඩි කරන්න බැහැ. ඒ සඳහා, රටේ “සැබෑ” ආර්ථික වර්ධනයක් සිදු විය යුතුයි. කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වලින් කළ හැක්කේ ව්‍යාපාර චක්‍ර හේතුවෙන් ආර්ථික වර්ධනයේ සිදුවන විචල්‍යතාව අවම කිරීම පමණයි. රටේ නිෂ්පාදන හා සේවා කර්මාන්ත වලට නිෂ්පාදන විභවයක් තියෙද්දී හදන භාණ්ඩ හෝ සේවා විකුණාගත හැකි තරමේ ඉල්ලුමක් නැති කමින් නිෂ්පාදනය සීමා කිරීමට සිදුවී තිබෙන අවස්ථා වලදී රජයට හෝ මහ බැංකුවට මැදිහත් වී ඉල්ලුම ඉහළ දමන්න පුළුවන්. එවිට නිෂ්පාදනය ඉහළ යනවා.

පසුගිය දවස් වල තෙල් මිල විශාල ලෙස පහත වැටුනා. එයට හේතු වුනේ ඉන්ධන සඳහා ඉල්ලුම විශාල ලෙස අඩු වීමයි. ඒ වෙලාවේ ඇමරිකාවේ රජය මැදිහත් වෙලා වෙළඳපොළෙන් තෙල් මිල දී ගත්තා. මේ වගේ දෙයක් කළ විට ඉල්ලුම යම් තරමකින් හෝ ඉහළ යනවා. කර්මාන්තය බිඳ වැටෙන එක යම් තරමකින් හෝ සීමා වෙනවා.

මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම වැඩි කළ විට රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එවිට භාණ්ඩ හා සේවා මිල ඉහළ යන නිසා නිෂ්පාදකයින් වැඩියෙන් වෙළඳපොළට භාණ්ඩ සපයන්න පෙළඹෙනවා. නිෂ්පාදනය ඉහළ යනවා. එහෙත්, මේ වෙලාවේ තත්ත්වය වෙනස්. මිනිස්සු භාණ්ඩ හා සේවා මිල දී නොගෙන ගෙවල් වලට වී ඉන්නේ කෝවිඩ් නිසා මිසක් භාණ්ඩ හා සේවා මිල දී ගන්න අවශ්‍ය නැති නිසා නෙමෙයි. ඒ නිසා, මුදල් සැපයුම වැඩි කළා කියා ඉල්ලුම වැඩි වන්නේ නැහැ. නිෂ්පාදනය වැඩි වන්නේත් නැහැ. එහෙමනම් ඇමරිකාව මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ කවර අරමුණකින්ද?

රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩු වීම ඇතැම් අංශ වලට වැඩියෙන් බලපානවා. උදාහරණයක් විදිහට සංචාරක සේවා හා ගුවන් ගමන්. මේ අංශ වල සමාගම් පාඩු ලබන විට සේවකයින්ගේ රැකියා අහිමි වෙනවා. එවිට ඔවුන්ට තමන්ගේ ණය වාරික ගෙවා ගන්න බැරි වෙනවා. එය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයට බලපානවා. එම අංශයේ සමාගම් පාඩු ලබන විට තවත් පිරිසකට රැකියා අහිමි වෙනවා.

මේ අවදානම අඩු කර ගන්න ඇමරිකාව විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගත්තා. නිවාස ඒකක වලට සෘජුවම මුදල් ලබා දීම ඇමරිකාව කළ එක් දෙයක්. දරු දෙදෙනෙකු සිටින විවාහක පවුලකට ඩොලර් 3,400ක මුදලක් රජය විසින් ලබා දුන්නා. ඒ මුදල ඇමරිකාවට සාපේක්ෂව වුවත් විශාල මුදලක්. මෙහි අරමුණ වුනේ ඇමරිකානු වැසියන් තමන්ගේ නිවාස ණය, වාහන ණය, ජල විදුලි දුරකථන ආදී බිල්පත්, ක්‍රෙඩිට් කාඩ් බිල් ආදිය කලට වෙලාවට ගෙවනු ඇති බවට වග බලා ගැනීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික අර්බුදයක් ඇති වීම වැළකෙන්නේ නැතත් ඇමරිකාවේ රැකියා යම් ප්‍රමාණයක් ආරක්ෂා වුනා. ඒ නිසා, නැවත රට විවෘත කරන විට මේ සමාගම් විසින් නැවත අලුතින්ම සේවකයින් බඳවාගත යුතු නැහැ. සේවකයින් විසින් නැවත අලුතින් රැකියා සොයාගත යුතු නැහැ.

මේ ආකාරයේ වියදමක් ඇමරිකාවේ ෆෙඩරල් රජයට දරන්න සිදු වෙන්නේ බදු මුදල් වැය කරමිනුයි. එහෙත්, මේ වෙලාව බදු ආදායම් අඩු වී තිබෙන වෙලාවක් මිසක් වැඩි වී තිබෙන වෙලාවක් නෙමෙයි. ඒ නිසා, ෆෙඩරල් රජයට භාණ්ඩාගාර සුරැකුම්පත් විකුණා මුදල් හොයා ගන්න වෙනවා. ඇමරිකාවේ ෆෙඩරල් රජයට මේ වෙලාවේ ඉතා අඩු පොලී අනුපාතිකයකට භාණ්ඩාගාර සුරැකුම්පත් විකිණීමේ හැකියාව තිබෙනවා. අඩු පොලියකට ලබා ගත්තත් මේවා ණය. පසුව මේ ණය පියවන්න වෙනවා. ඒ බදු මුදල් වලින්.

කෝවිඩ් අර්බුදය හමුවේ ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් රාජ්‍යමූල්‍ය උත්තේජනයක් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් රටේ ආර්ථිකයට පොම්ප කර තිබෙනවා. ඇමරිකාව වගේ රටක රජයකට එසේ කිරීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් මුදල් සැපයුමද වැඩි කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ උද්ධමන අවදානම ගැන සැලකිලිමත්ව ඉතා පරිස්සමෙන්. ඇමරිකාවේ වගේම ලෝකයේ වෙනත් සංවර්ධිත රටවල් හා ආර්ථික ශක්තියෙන් පොහොසත් රටවල් බොහෝ ගණනක් මේ වෙලාවේ පෙර නොවූ විරූ තරමේ රාජ්‍යමූල්‍ය උත්තේජන හා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්න පෙළඹී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලොකු රටවල් ලෙස හඳුන්වන්නේ මේ රටවල් විය යුතුයි.

ඉහත කී “ලොකු රටවල්” විසින් කරන හැම දෙයක්ම “පොඩි රටවල්” වලට කරන්න අමාරුයි. මගේ අදහස අනුව ගෝඨාභය රාජපක්ෂ විසින් “අපේ රට අවට තියෙන පොඩි රටවල්” ලෙස හඳුන්වන්නේ භූමි ප්‍රමාණය හෝ ජනගහණය අනුව කුඩා රටවල් වෙන්න බැහැ. බොහෝ විට ඔහු “පොඩි රටවල්” ලෙස හඳුන්වන රටවල් අතරට ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල්ද අයත් වෙනවා වෙන්න පුළුවන්. මේ “පොඩි රටවල්” විසින්ද සැලකිය යුතු දේ කර ඇතත් ඒ රටවලට “ලොකු රටවල්” කරන හැම දෙයක්ම කරන්න පුළුවන්කමක් නැහැ. ලොකුපොඩිකම් කොහොම වුනත් කාලයක් තිස්සේ තමන්ගේ රටේ ආර්ථිකය යම් තරමකින් හෝ සමතුලිතව පවත්වාගත් රටවල් මේ තත්ත්වයට සාර්ථකව මුහුණ දෙද්දී එසේ පවත්වා නොගත් රටවල් දෙකොණ පූට්ටු වී ඉන්නවා. ලංකාවට වෙලා තියෙන්නේත් වතුර රත් වෙද්දී හැලියේ කකුළුවාට වුනු දෙයයි.

“දැන් අපි මොකක්ද පාවිච්චි කරලා තියෙන Tool එක. කිසි දෙයක් නෑ. කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහ බැංකුව කරලා නෑ.”

“ඔයගොල්ලො ලඟ විවිධ tools තියෙනවා මේකට. ඒ tools පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහබැංකුව කිසිම tool එකක් පාවිච්චි කරන්නේ නෑ. නිකන් නිදාගන්නවා.”

මේ කතාව අසාධාරණ හා අසත්‍ය කතාවක්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කෝවිඩ් අර්බුදය හමුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තිබෙනවා. ඒ ක්‍රියාමාර්ග වල යෝග්‍යතාවය හා ප්‍රමාණාත්මක භාවය විෂයමූලික කරුණක්. ඇත්තටම ප්‍රශ්නය මහ බැංකුව විසින් ජනාධිපතිවරයාට අවශ්‍ය වූ මුදල් ප්‍රතිපත්ති තීරණ ගෙන නොතිබීමයි.

“අපි කිව්වේ රුපියල් බිලියන 150 ක් බැංකුවලට දෙන්න. මේ Business වල වැරැද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට Security එකක් හැටියට තියාගෙන බැංකුවලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ආර්ථිකය දුවවන්න. මේ Money Circulation එකනේ. මේක සිම්පල් දෙයක්.”

සැබෑ ප්‍රශ්නය මෙහි පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. කෝවිඩ් අර්බුදය හමුවේ ලංකාවේ රජයට ප්‍රායෝගිකව කිසිදු රාජ්‍යමූල්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් නැහැ. මම හිතන්නේ රජය විසින් ලබා දුන් එකම රාජ්‍යමූල්‍ය උත්තේජනය තෝරාගත් අඩුආදායම්ලාභීන් පිරිසකට රුපියල් 5000 බැගින් ලබා දීමයි. එය ලබාදුන් ආකාරය පිළිබඳවත් විවිධ විවේචන තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශය අනුව රටේ විවිධ සමාගම් වලට රජය විසින් විශාල මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒ මුදල කොපමණ මුදලක්ද කියා නිශ්චිතව සඳහන්ව නැහැ. කෙසේ වුවත්, ගෝඨාභය රාජපක්ෂ විසින්ම කියන විදිහට කේන්සියානු උත්තේජනයක් අවශ්‍ය වෙලා තිබෙන මේ වෙලාවේ ලංකාවේ රජය විසින් රටේ සමාගම් වලින් ලබා ගත් භාණ්ඩ හා සේවා වෙනුවෙන් මුදල් ගෙවන්නේ නැහැ. මෙසේ මුදල් නොගෙවා සිටීම සමාන කළ හැක්කේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යොදාගනිමින් ආර්ථිකය තවත් සංකෝචනය කිරීමකටයි. ඒ කියන්නේ පවතින ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියකටයි.

ගෝඨාභය රාජපක්ෂට ආර්ථික අර්බුදය තවත් උග්‍ර වනු දකින්න හෝ රටේ ආර්ථිකය කඩා වැටෙනු දකින්න කිසිදු උවමනාවක් නැති බව ඉතාම පැහැදිලියි. ඒ කියන්නේ ලංකාවේ රජය මේ ආකාරයට පියවිය යුතු බැරකම් නොපියවා ඉන්නේ එය කළ හැකි වෙනත් ආකාරයක් නැති නිසයි. මෙය රජයක් බංකොලොත් වී කඩා වැටීමේ ආරම්භක සංඥාවක්.

පවතින තත්ත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ මේ ආණ්ඩුව නෙමෙයි. නිදහසින් පසුව අනුගමනය කළ සමාජවාදී ප්‍රතිපත්ති නිසා හැදුණු තුවාලයට ජේආර් දුන් බෙහෙත් නිසා තුවාලය තවත් උග්‍ර වුනා. දැන් ආණ්ඩුව වටා ඉන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙහෙයවූ අය තුවාලය වණයක් කළා. යහපාලන ආණ්ඩුව කකුල නොකපා බේරාගන්න උත්සාහ කළත් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබුණේ නැති නිසා ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ලෙස භාර ගන්න වුනේත් කපන්න තිබෙන කකුලක්. නමුත්, ඒ හේතුව නිසා ඔහුට දැන් පවතින ප්‍රශ්නයේ වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඔහු විසින් යෝජනා කළ හා බලයට පැමිණි වහාම ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති හරහා කළේත් කකුල නොකපාම බැරි වෙන තැනකට රට තල්ලු කිරීමයි. කෝවිඩ් නිසා වුනේ එය තරමක් ඉක්මන් වීම පමණයි.

දැන් ලංකාවේ රජයට රජය බංකොලොත් වීම වලක්වා ගන්න කළ හැකි දෙයක් නැති තැනටම වැටිලා. මහ බැංකුවට දුන් “අවවාද” මේ නොහැකියාව මහ බැංකුව පිට පැටවීමේ උත්සාහයක්. මුදල් ප්‍රතිපත්ති වලින් මේ වෙලාවේ විශාල දෙයක් කරන්න බැරි වුනත් යම් කිසි කාලයකට පොඩි “රැවටීමක්” කරන්න පුළුවන්. සති හයකින් මහ මැතිවරණයක් තිබෙන පසුබිමක ඒ වගේ රැවටීමකින් පවතින ආණ්ඩුවට යම් දේශපාලන වාසියක් ලබා ගන්න පුළුවන්.

රජයෙන් මුදල් ලැබිය යුතු අයට ඒ මුදල් නොලැබීම රජයේ නොහැකියාව වුවත්, ඒ මුදල් ඒ අයට අයිති මුදල්. මේ සමාගම් රජයට මොනවා හෝ භාණ්ඩ හෝ සේවා සම්පාදනය කළ සමාගම්. ඒ නිසා, රජය විසින් තමන්ගේ යුතුකම ඉටු නොකරනවානම් හෝ කිරීමේ නොහැකියාවකින් ඉන්නවානම් මහ බැංකුව විසින් යම් මැදිහත් කිරීමක් කිරීම සාධාරණයි. මෙය වෙනත් රටවල සිදු වනවා වගේ ආර්ථික අර්බුදය හමුවේ බංකොළොත් වෙන්න යන සමාගම් වලට මහ බැංකුව විසින් ඇප දීමක් (bail out) නෙමෙයි. මෙහිදී මහ බැංකුව විසින් ඇප දෙන්නේ ආර්ථික අර්බුදය හමුවේ බංකොළොත් වෙන්න යන ලංකාවේ රජයටයි.

මේ සමාගම් වලට රජයෙන් ලැබිය යුතු ගෙවීම් සිදු කර නැහැ. රජය බංකොලොත් නොවුනොත් මේ මුදල් කොයි වෙලාවක හෝ එම සමාගම් වලට ලැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා කර තිබෙන්නේ මෙසේ ලැබෙන්න තිබෙන මුදල් ඇපයට තබා ගෙන එම සමාගම් වලට ණය දෙන්න වාණිජ බැංකු වලට ඉඩ සලසන ලෙසයි.

මේ ආකාරයෙන් මහ බැංකුවට “අවවාද” කරන්න සිදු වී තිබෙන්නේ කවර හේතුවක් නිසා හෝ දැනට මේ ලැබෙන්න තිබෙන මුදල් ඇපයට තබා ගෙන වාණිජ බැංකු විසින් ණය නොදෙන නිසයි. එයට මහ බැංකුවේ නියාමන කොන්දේසිද හේතු වනවා විය හැකි වුවත්, වෙනත් හේතුද තිබෙන බව පැහැදිලියි. රජයෙන් මුදල් ලැබිය යුතු අයට අවශ්‍ය වන්නේ තමන්ට ලැබෙන්න නියමිත මුදල් මිසක්, බැංකු ණයක් නෙමෙයි. ඒ නිසා, ඔවුන් මේ වෙනුවෙන් පොලියක් ගෙවන්න කැමති වෙන්නේ නැහැ. ඔවුන්ට එසේ පොලියක් ගෙවන්න සිදු වීම සාධාරණත් නැහැ. නමුත්, වාණිජ බැංකු විසින් මේ අනාගත ලැබීම් ඇපයට තියාගෙන වුවත් ණය දෙනවානම් ඒ සඳහා ගැලපෙන පොලියක් අය කළ යුතුයි. වෙන කෙනෙකුට වැඩි පොලියකට ණය දෙන්න පුළුවන්කම තිබියදී අඩු පොලියට මේ අයට ණය දෙන්න වාණිජ බැංකු ඉදිරිපත් වෙන්නේ නැහැ. කතාවේ නැතත් ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකුවට බලපෑම් කරන්නේ වාණිජ බැංකු වලට මේ අයට අඩු පොලියකට ණය ලබා දීමට ඉඩ සලසන ක්‍රමයක් හදන්න කියලයි.

දැන් මහ බැංකුව විසින් කියපු දේ කරලා තියෙනවා. වාණිජ බැංකු වලට මහ බැංකුවෙන් 1% බැගින් ණය අරගෙන 4% බැගින් ඒ ණය නිකුත් කරන්න පුළුවන්. මීට පෙර මහ බැංකුව විසින් වෙන් කළ රුපියල් බිලියන 27.5ක මුදලද ඇතුළත්ව රුපියල් බිලියන 150ක මුදලක්. ඒ කියන්නේ අලුතෙන්ම තවත්  රුපියල් බිලියන 122.5ක මුදලක් මහ බැංකුව විසින් එළියට දමනවා. පාරිභෝගිකයින්ට මේ ණය ගන්න පුළුවන් වෙන්නේ රජයෙන් ලැබිය යුතු ගෙවීම් ඇපයට තබා පමණක් වෙන්න බැහැ. වැඩි විස්තර අද හෙටම එළියට එයි.

මේ වැඩෙන් වාණිජ බැංකු වලට 3%ක පොලී ආන්තිකයක් ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ වාණිජ බැංකු විසින් තියා ගන්නේ ඔය වගේ පොලී ආන්තිකයක් නිසා මෙහි වාණිජ බැංකු වලට විශාල හොඳක් හෝ නරකක් නැහැ. ඔවුන්ට කරන්න තියෙන්නේ මහ බැංකුවෙන් සල්ලි අරගෙන පාරිභෝගිකයින්ට නිකුත් කරන එකයි. ඒ වෙනුවෙන් වැය වෙන පිරිවැය ආවරණය කරගන්න 3% ආන්තිකය ප්‍රමාණවත්.

රජයෙන් මුදල් ලැබෙන්න තිබෙන අයට මේ වැඩෙන් වාසියක් වෙන්නේ නැහැ. තමන්ට අයිති, තමන්ට ලැබෙන්න තිබෙන මුදල් වෙනුවට දැන් ඔවුන්ට සිදු වී තිබෙන්නේ 4%ක පොලියට ණය ගන්නයි. රජය විසින් පහුවෙලා හරි මුදල් ගෙවන කොට පොලියක් එක්ක ගෙවනවානම් ප්‍රශ්නයක් නැහැ. එවැනි දෙයක් වන බවක් මම හරියටම දන්නේ නැහැ. මගේ උපකල්පනය පොලියක් නොගෙවන බවයි. මෙය වැරදි උපකල්පනයක්නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න. එවිට ලිපියේ අදාළ කොටස  සංශෝධනය කරන්නම්.

මේ වැඩේ වාසිය තනිකරම රජයටයි. මේ වෙලාවේ රාජ්‍ය සුරැකුම්පත් විකුණලා මුදල් හොයාගෙන මේ ගෙවීම් කළොත් 7%ක පමණ පොලියක් ගෙවන්න වෙනවා. දැන් ඒ වෙනුවට වාණිජ බැංකු වලින් ණයක් ලබා ගන්න අවස්ථාව දීලා පොලියක් නොගෙවා මුදල් ගෙවන එක ප්‍රමාද කරන්න පුළුවන්. මහ බැංකුව අය කරන 1% පොලියත් අවසාන වශයෙන් මහා භාණ්ඩාගාරයටම ලැබෙන නිසා 8%කම වාසියක් තිබෙනවා.

මීට අමතරව මහ බැංකුව විසින් වාණිජ බැංකු වල සංචිත පොලී අනුපාතික 2% දක්වා අඩු කරලා තිබෙනවා. මෙය මහ බැංකුවේ අධිප්‍රතික්‍රියාවක් ලෙස හිතනවාට වඩා මෙයත් “රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට” අවශ්‍ය පරිදි ගත් ක්‍රියාමාර්ගයක් කියා හිතන්න පුළුවන්. මේ හරහා රුපියල් බිලියන 115ක මුදලක් ආර්ථිකයට මුදා හැරෙනවා. මෙය මේ වන විට රටේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන රුපියල් බිලියන 64ක අතිරික්ත ද්‍රවශීලතාවයට එකතු වෙනවා. එවිට එකතුව රුපියල් බිලියන 180ක් පමණ. 4% පොලියට ණය ලබා දීම සඳහා අලුතෙන් නිකුත් කර තිබෙන රුපියල් බිලියන 122.5ක මුදලෙන් සැලකිය යුතු කොටසක්ද අතිරික්ත ද්‍රවශීලතාවය ලෙස එකතු විය හැකි නිසා මේ ගත්තු (හෝ ගන්න සිදු වුනු) හදිස්සි තීරණයෙන් රටේ අතිරික්ත ද්‍රවශීලතාවය රුපියල් බිලියන 250ක් පමණ දක්වා ඉහළ යන්න පුළුවන්.

මේ මුදල් කන්දරාව බැංකු වලට වහාම ණය ලෙස නිකුත් කරන්න බැහැ. ඒ නිසා, වාණිජ බැංකු විසින් කරන්නේ නැවත මේ මුදල් මහ බැංකුවේම තැන්පත් කරන එකයි. ඒ වෙනුවෙන් මහ බැංකුවට 5.5%ක පොලී අනුපාතිකයක් ගෙවන්න වෙනවා. එක පැත්තකින් පාරිභෝගිකයින්ට 4% බැගින් බැංකු වලින් ණය ගන්න අවස්ථාව ලැබෙද්දී අනෙක් පැත්තෙන් 7%ක පොලී අනුපාතිකයකට බැංකු වලම හෝ භාණ්ඩාගාර සුරැකුම්පත් වල මුදල් තැන්පත් කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම, එක පැත්තකින් වාණිජ බැංකු වලට 1% පොලියට මහ බැංකුවෙන් ණය ගන්න ගමන්ම 5.5% පොලියට මහ බැංකුවට ණය දෙන්න පුළුවන්කම තිබෙනවා. මේ වෙළඳපොළවල් දෙකක් වුනත් මේ දෙක එකිනෙකට සම්බන්ධයි. මේ තත්ත්වය යටතේ මහ බැංකුවට ඉදිරියේදී අනිවාර්යයෙන්ම ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරන්න සිදු වෙනවා. ඒ නිසා, මේ වෙලාව අතේ සල්ලි තිබෙන අයට දිගුකාලීන බැඳුම්කර මිල දී ගන්න හොඳ අවස්ථාවක්.

මහ බැංකුවේ රාජකාරිය දිගුකාලීනව රටේ මිල ස්ථායීතාවය පවත්වා ගැනීම මිසක් “රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න” වැඩ කිරීම නෙමෙයි. එයින් අදහස් කරන්නේ ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කර ගත යුතු බව නෙමෙයි.

මහ බැංකුවේ හා රජයේ රාජකාරි දෙක එකක්ම නෙමෙයි. මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති එකට යන වෙලාවල් වගේම නොයන වෙලාවලුත් තියෙනවා. බොහෝ රටවල් වල මහ බැංකු ස්වාධීන ආයතන ලෙස පවත්වා ගැනීම කෙරෙහි ලොකු බරක් තබා තිබෙන්නේ ඒ නිසයි.

රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එක අසාර්ථකනම් මිනිස්සුන්ට එය ප්‍රතික්ෂේප කරන්න අවස්ථාව තිබෙනවා. එවිට වෙන ජනාධිපති කෙනෙක් පත් වෙයි. එහෙත්, රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගියොත් ප්‍රතික්ෂේප වෙන්නේ මහ බැංකුව කියන ආයතනය මිසක් එහි වත්මන් පාලකයින් නෙමෙයි. එහෙම වුනොත් මහ බැංකුවේ රෑටත් පත්තු වෙන ලයිට් සදහටම නිමිලා යන්න පුළුවන්.

මහ බැංකුව විසින් හදිස්සියේ තීරණ ගත්තේ දේශපාලන බලපෑම් වල පීඩනයට යටත් වෙලා නෙමෙයිනම්, හැම පැත්තක් ගැනම හොයා බලලා රටේ යහපත වෙනුවෙන්නම්, එහෙම වෙන එකක් නැහැ. ඒක එහෙමනම් ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රසිද්ධියේම කියපු විදියට “ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ රාජකාරිය” නොකර “නිකන් නිදාගන්න” එකයි මෙච්චර කල් කරලා තියෙන්නේ.

%d bloggers like this: