Menu Close

ඉන්දියාවෙන් බුදු දහම නැතිවීමට හේතු සහ ලංකාවට එහි බලපෑම [2 කොටස]

22467311_10156606767896729_7693019412138555375_o

ඉන්දියාවෙන් බුදු දහම නැතිවී යාම එහි ඉතිහාසයේ දුක්මුසුම අවස්ථාවක් යයි සමහර ඉන්දියානුවන් කියන දෙයකි. බුදු දහම සහ එයින් කියැවෙන අවිහිංසාව ලෝකය පුරා ව්‍යාප්ත වූ කාලයක් තිබිණ. ඉන්දියාවේ අද දින බුදු දහම පවතින්නේ උතුරු සහ බටහිර ඇති කුඩා ප්‍රදේශ කිහිපයක සහ ඉන් ඔබ්බේ ඇති හිමාල කඳු වැටියට යාබදව ඇති ටිබෙට් දේශයේ පමණි.

එයට ආචාර්ය අම්බෙඩ්කාර් මහතා ප්රමුඛව ඩැලිට් වරුන් [Dalits] පසු කලක එක් විය. එසේ බුදු දහම අතුරුදහන් වීමට එක් හේතුවක් සේ කියන්නේ, බෞද්ධ භික්ෂුන් විනයදරව හැසිරීමෙන් වැළකීමය. එයින් පසු එළඹුණේ වඩාත් දූෂීත බ්‍රාහ්මණික ආගම සහ එයින් කිළිටි වූ සමාජය විය.
අනෙක් අදහස වන්නේ; අරාබි සහ තුර්කි ආක්‍රමණ වලට ඉන්දියාව නතු වීමය.

මේ සඳහා උදාහරණයක් සේ මුලින් බ්‍රාහ්මණ වංශිකයන් විසින් පාලනය කල බෙංගාලි සහ සින්ඩ් [Sinds] ප්‍රාන්තවල ඇති වූ තත්වය සලකා බැලිය හැක. මේ ප්‍රාන්ත වල මුලින් සිටි බහු ජාතිය වූයේ බෞද්ධයන්ය. එහෙත් ඔවුන් අමානුෂික සේ බ්‍රාහ්මණ කුළ භේදයෙන් පීඩා වින්දහ.

මේ හේතුවෙන්, මුල් කාලයේ මෙම බෞද්ධයන් විසින් ආක්‍රමණ ශීලී ලෙස පැමිණ කුලයෙන් ඉහළ යයි සම්මත බ්‍රාහ්මණයන් සමඟ ගැටුණු මුසල්මානුවන් සාදරයෙන් පිළිගත්හ. එහෙත් පසුව වූයේ අනෙකකි. කපන්න බැරි අත සිඹිනවා මෙන් ඔවුන්ට ඉස්ලාමයට අනුගත වන්නට සිදුවිය.

පසු කලක බ්‍රාහ්මණවාදය මගින් බුදු දහම විනාශ කරන ලද බව පැහැදිළිය. එහෙත් එය බුදුන්ගේ සමයේ මේ තත්වය වෙනස් ආකාරයක් ගත්තේ, බුදුන් වහන්සේගේ අසමසම ප්‍රඥාව මෙන්ම පෞරෂත්වය හේතුවෙනි. බුදුන් වහන්සේ සත්‍ය විප්ලව වාදියෙක් විය. උන් වහන්සේ වේද ග්‍රන්ථ විවේචනය කලහ. කුළ භේදයට මුල් තැනක් දී තිබුණු, දිව්‍යමය බවක් ආරෝපණය කර තිබුණු වේද ග්‍රන්ථ උන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන ලදහ.

‘සියළුම මිනිසුන් එක හා සමානය’ යන්න බුදුන් වහන්සේගේ පණිවිඩය විය.

අංගුත්තර නිකායේ පැහැදිළි කෙරෙන ආකාරයට, බුදුන් වහන්සේ තම භික්ෂූන්ට මෙසේ වදාළහ. ..”මහණෙනි, ප්‍රධාන කුළ වන ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය සහ ශුද්‍ර යන සිව් කුලයන්, එම කුළ හැරදමා මගේ ශාසනයේ එක් කුළයක මිනිසුන් වෙති”. මේ ආකාරයේ විප්ලවවාදී අදහස් නිසා, බුදු දහමට සහ බුදුන් වහන්සේට බොහෝ සතුරන් ඇති වූහ. මේ සමානාත්ම අදහස් බ්‍රාහ්මණයන්ගේ නායකත්වය සමාජයේ තබා ගැනීමට අවහිරයක් විය. ඒ අනුව ඔවුන් මුලින්ම කලේ බෞද්ධයන්ට අවඥා කරමින් පළිගන්නට උත්සාහ කිරීමය.

අනෙක් දේ නම්, බුදු දහම හින්දුත්වයට ඈඳා ගැනීමට උත්සාහ කිරීමය. බුදු දහම හින්දු ආගමේ ශාඛාවක් සේ ඇති වුනා යයි මතයක් ගොඩ නැගීම ඔවුන්ගේ අරමුණ විය. එමගින් බුදු දහම, හින්දුත්වයට අවශෝෂණය කර ගැනීම බලාපොරොත්තු වූහ. පැහැදිළිවම තමා දෙවියන්ගේ නියෝජිතයෙක් නොවන බව වදාළ බුදුන් වහන්සේගේ වචන අමතක කර, උන් වහන්සේද ක්‍රිෂ්ණ මෙන් දෙවියන්ගේ අවතාරයක් බව ප්‍රචාරය කෙරිණ.

අවසානයේ බෞද්ධයන් අඩු කුලයන්ට අයත් බව සළකන ලදහ.

ආචාර්ය අම්බෙඩ්කාර් මහතා මේ බව හොඳින් පහදා දෙමින්, “එදා බෞධයන් අද දින ඩලිට් වරු වූහ” සේ ලියා ඇත. ඇත්ත වශයෙන්ම මේකියන ලද බ්‍රාහ්මණයන් ගේ උසස් බව බෞද්ධයන් පිළි ගත්තේ නැති හෙයින් එයට පළි ගැනීමක් සේ බෞද්ධයන් අඩු කුළයන්ට අයත් බව ප්‍රචාරය කෙරිණ. ආචාර්ය අම්බෙඩ්කාර් මහතා ගේ The untouchables’ පොත බැලුවහොත්, ඔබට තව මේ ගැන බොහෝ දේ දැන ගත හැක. එනම් බ්රාහ්මණ කුමන්ත්රණ හේතුවෙන් අවසානයේ බෞද්ධයන්ද අඩු කුල යයි සම්මත ගණයට වැටුනහ.

බුදුන් වහන්සේගේ පණිවිඩයේ සරළ බව රැඳෙන ලද්දේ ‘සමානාත්මතාවය’ සහ ආගම හෝ දෙවියන් උදෙසා කරන බිළී පූජා පිළිකෙව් කිරීමෙනි. මිනිසුන් බොහෝ දෙනා හින්දුත්වයට ආකර්ෂණය කර ගැන්මට මේ දුර්ගුණ තිබුණු බ්‍රාහ්මණික ආගම සුද්ධ කිරීමට මෙයද හේතුවක් විය. උදාහරණයක් සේ, සමහර ඉතිහාසඥයන් විසින් කියන ආකාරයට බහුලව හරක් මස් කෑමට ගිජුව සිටි බ්‍රාහ්මණයන එයින් මිදුනේ බුදු දහම හේතුවෙනි. එසේම ජනප්‍රිය වී ගිය බුද්ධ වන්දනාව වෙනුවට ආදේශකයක් සේ රාම සහ ක්‍රිෂ්ණ පිදීම දිරිමත් කෙරිණි.

රාම සහ ක්‍රිෂ්ණ යනු මොහොමඩ් නබි මෙන් යුද්ධයේ දක්ෂයන් විය.

ඔවුන් අවිහිංසාවාදය යන්නට දුන් තැන ඉතා පහත් තැනක් වූ බව, ‘මහා භාරතය’ ග්‍රන්ථය කියවන්නෙකුට තේරුම් යයි. එහි ඇති භගවත් ගීතාවේ, යුධ භුමියේ තම මව පියා හෝ ගුරුවරයා වුවද ඝාතනය කල යුතු බවද, එය ධර්මානුකූල යයිද යන්න අවවාදය විය. මහා භාරතයේ සමහර කොටස් ලියන ලද්දේ බුදු දහම ක්‍රමයෙන් ඉන්දියාවෙන් නැතිවන අවස්ථාවේ වීමම මෙයට සාක්ෂියකි.

කෙසේ නමුදු පහත් යයි සම්මත මිනිසුන්ට ත්‍රිවේදය තහනම් දෙයක් විය.

භගවත් ගීතාවේ, ක්‍රිෂ්ණ කියන්නේ, “දෙවියන් විසින් නියම කල කුල වෙනස’ නීතිය වෙනස් කල යුතු බවය. මේ ආකාරයේ වේද පුරාණයන්වල අවසාන තර්ජනය එන්නේ බුදු දහමට සහ බෞද්ධයාට වීමට හේතුව සොයා බැලිය යුතුය. ජයින ආගමට මෙවැනි තර්ජනයක් ඇති වුනේ නැත්තේ කුමක් නිසාදැයි සොයා බැලිය යුතුය. එය පෙනෙන විදියට නම්, බුදු දහම යමාකාරයක විප්ලවීය දහමක් වීම නිසා යයි සිතිය හැක. බුදු දහමේ නිර්මාතෘ වන සිදුහත් කුමරාම විප්ලව කාරයෙකි.

ඔටුන්න හිමි කුමරෙක් අන්ත දරිද්‍රතාවයේ සිටින භික්ෂුවක් වීම ඔබ පහදන්නේ කෙසේද? එය විප්ලවයක් නොවන්නේද? උසස් යයි සම්මත කුළයක සිටින්නෙක්, පහත් කුළයක මිනිසෙක් සමඟ සංවාදයක් වත් නොදෙන තැනක දී, පහත කුළ යයි සම්මත නිවාසයකින් දානය සිඟා කයි නම් එය විප්ලවයක් නොවන්නේද ? මේ ආකාරයේ ක්‍රියා එදා ඉන්දීය සමාජය කණ පිට හරවන්නක් වෙන්නට ඇත.

යම් කිසි හෙයකින් බ්‍රිතාන්‍යය වැනි රටක සිටින ඔටුන්න හිමි කුමාරයා පල්ලියේ පූජකයෙක් වුණහොත් ඇතිවන තත්වය ගැන සිතීමෙන්, එදා සිදුහත් කුමරා භික්ෂුවක් වී ඇති වූ තත්වයට ගලපා ලන්නට හැක. එහෙත් ජයින ආගම බුදු දහමට වඩා වෙනස් වන්නේ, එහි ඇති විප්ලවීය ස්වරූපයක් නැති හෙයිණි. මේ හේතුව නිසා වසර දහස් ගණනක් මුල් බැස තිබුණු බ්‍රාහ්මණ ආගම විසින් බුදු දහමට සහ බෞද්ධයන්ට පහර දීම පුදුමයක් නොවේ.

ළිපිය දික් වන නිසා මේ මාතෘකාවේ අනෙක් පැත්ත ගැන සොයා බලමු. කෙනෙක් බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා කියා කියති. මේ තර්කය දෙස පක්ෂව හෝ විපක්ෂව කතා කිරීමෙන් කාටවත් ඇති වැඩක් නැත. අවශ්‍ය වන්නේ, සත්‍යය කුමක්දැයි සොයා ගැන්මය. මින් පෙර දැමූ ළිපියක කෙනෙක් කියා තිබුනේ, මධ්‍ය මණ්ඩලයේ ගුරුත්වය අඩුම හෙයින් එහි බුදු කෙනෙක්ගේ උපත සිදුවන බවය.

මොහොතකට මේ තර්කය නිවැරදි කියා සිතමු.එය එසේ නම් බුදුන් වහන්සේ ඉපදිය යුත්තේ ලෝකයේ අභ්‍යන්තරයේ, එනම් පොළව යට හරියටම මැද විය යුතුය. මක්නිසාද යත්, එහි කිසිම ගුරුත්වයක් නැත.

එනම් කෙනෙක්ට එතෙන්ට ප්‍රායෝගිකව ගිය හැකි නම්, ඔහු පාවෙන්න පටන් ගන්නේ, වටේ ඇති අනෙක් ස්කන්ධයන් ගෙන් ඔහුව ඒකාකාරීව අදින හෙයිණි. අනෙක් අතට පොළවේ මතුපිට ඇති අඩුම ගුරුත්වය ඇති තැන කියා කියන්නේ නම්, එය ලංකාවේ දකුණු වෙරළට තරමක් එහායින් ඇති සාගරය වේ. එසේ නම් බුදුන් ඉපදෙන්න ඇත්තේ මහ මුහුදේය…!

එසේ හෙයින් මෙවැනි හාස්‍ය ජනක උපකල්පන මත රැඳ, බුදුන් වහන්සේ කොහේ ඉපදුනාදැයි කීම අන්ධයන් කීප දෙනෙක් අලියෙක් අල්ලාගෙන, අලියා මොන හැඩයේ සතෙක්දැයි කියන්න තැත් කළා මෙන් විගඩමකි. අවශ්‍ය වන්නේ දෘඩ සාධක පමණි.

මේ ළිපිය සඳහා උක්ත රූපය දැම්මේ ඇයිදැයි කියා කෙනෙක් පුදුම වෙනවා ඇත. ගූ-ගලේ ගසමින්, එන හැම දේම කිසියම් පෝස්ට් එකකට දැමීමෙන් වැඩක් නැති බව පෙන්වීමට එය දමා ඇත. මේ ලෝක ගෝලය සත්‍යවූ ලෝක හැඩය යයි, මේ මධ්‍ය මණ්ඩල හරුපය විශ්වාස කරන අය සිතති. එය සාවද්‍ය අදහසකි. අජටාකාශයේ සිට ගන්නා ලද නියම පොළවේ හැඩය සොයා ගෙන බැලුව විට පොළවේ සත්‍ය වූ හැඩය දැක ගත හැක.

මේ රූපයේ පෙන්වන්නේ දුර හා සම්බන්ද විකෘත කරන ලද ජ්‍යාමිතික හැඩ තලයක් පමණි. එය හුදෙක් විස්තර කිරීමට පහසුවක් වන සේ තනන ලද පරිඝණක මොඩලයක් පමණි. මේ පෝස්ට් එක විද්‍යා පාඩමක් නොවුනද, මෙයද නොකියා බැරිය.

ලෝකයේ සමකයට, ලෝකයේ මධ්‍යයේ සිට අඳින ලද රේඛාව ලෝකයේ එක අරයක් වේ. එමෙන්ම භූගෝලීය ධ්‍රැව වලට පොළව මධ්‍යයේ සිට අඳින ලද රේඛාද අරයන් වේ. එහෙත් මේ අරයයන් එකිනෙක සමාන නැත. සමකයට අඳින ලද අරයේ දිග, ධ්‍රැව වලට අඳින ලද අරයයන් වලට වඩා ඉතා සුළු වශයෙන් [21 km] දික් වේ. මේ අතර සාගර ජලයේ ගැඹුරුම ස්ථානය හැතැප්ම 9ක් පමණ වන මරියානා ආඝාදය වේ. එයත් රැගෙන බැලුවත්, මේ අරයකට සාපේක්‍ෂව මේ දෝෂය ඉතාමත් සුළු වේ.

අජටාකාශයේ සිට බැලුවහොත් ලෝකය ඉහත ආකාරයේ රූපයක් නොව පරිපූර්ණ ගෝලයක් වන්නේය.

කෙනෙක් ලංකාවේ බුදුන් උපන්නා කියා කියන්නේ නම්, ඒ සඳහා පැහැදිළි දෘඩ සාක්ෂි සපයන්නේ නැතිව මෝඩ කතා කිව්වාට ඇති පලක් නැත. බුදුන් වහන්සේ ඉපදුනේ කොහේදැයි දැන ගැනීම බුද්ධි ගෝචර කාරණයක් මිසක භක්ති ගෝචර හෝ වාත්ස්‍යාලයෙන් කිවයුතු දෙයක් නොවේ. මේ සම්බන්දව එක් වැරදි මතයක් නම්, රාජාවළියේ කියවෙන ‘සක්වළ’ පිලිබඳ මතයයි.රාජාවලි පුස්කොල ග්‍රන්ථය අනුව මහාමේරුව හදුන්වා මෙසේ හඳුන්වා දී ඉතා පැහැදිළි ලෙස සක්වළ යන්න කියා දී ඇති විට දී, එය අල්ලක් පමණ කුඩා ලංකාවට අටවන්නට යන්නේ මොන තර්කයක් මතදැයි නොතේරේ.

… “අනන්තාපරිමාණ සක්වල උතුම් වූ කෙල ලක්ෂයක් සක්වල ද ඊට උතුම් වූ මේ මගුල් සක්වල සතිස් ලක්ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් සක්වලට ගල් පහුර එහි මැද ත්‍රිකූට තුන පිට මහා මේරුව තිබෙන්නේය.” …

මේ ඉහත අර්ථ දැක්වීම වඩාත්ම ගැලපී යන්නේ, පීරිසි දෙකක් එකිනෙක මුනින් අත තැබුවාක් මෙන් ඇති තරු අනන්ත සංඛ්‍යාවක් ඇති, අප වසන සක්වළ මිසක ඇල්ලක් පමණ වූ ලංකාව ගැන නොවේ. ලංකාව ගැන මෙසේ කිව්වා නම්, කරුණාකර අඩුම ගානේ ග්‍රාමයන් වත් කෙල ලක්ෂයක් තිබුණාදැයි පෙන්වා දිය හැකිද යන ප්‍රශ්ණය ඇසිය යුතුව තිබේ.

තවද ජන කවි සහ අපගේ ඉතිහාසය හරහා යම් ආකාරයක හෝඩුවාවල් සොයා ගැනීම වැදගත් වුවද, ඒවා සාධාරණ සේ අර්ථ දැක්විය යුතුය. මේ පහත ඇත්තේ තවත් විකෘති කිරීමකි.

පහත ඇති ‘ ප‍ටුන්ගම් විස්තර නම් පුස්කොල ග්‍රන්ථයේ කවිය සහ ඒ ගැන කියන දේ බලන්න.

සුරලොව වටකර සැදි මුලු දෙරනෙ
නාලොව වටකර කඩුපුල් මැවුනෙ
දෙව්ලොව වටකර තරු පිරිවරිනෙ
නරලොව වටකර මහමෙර සැදුනෙ

බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා යයි කියන ආකාරයට, “මෙහි කියවෙන අන්දමට මහමෙර යනු එක් කඩයිම් සීමාවක් බව තව දුරටත් පැහැදිලි වෙයි”. තාරකා කියන්නේ ඉතා කුඩා ස්කන්ධයන් නම් මේ කතාව නිවැරදි වේ. තරු කියා කියන්නේ, ඉතා කුඩා වස්තු හෝ, සමහර ආගම් වල තියෙනවා මෙන් ලොව වසාගෙන ඇති දැවැන්ත තලියේ ඇති හිල් නොවේ. ඒ අනුව නම්, තරු යනු ස්වර්ගයේ සිට වැටෙන ආලෝකය එම තලිය හරහා ලොව වෙත වැටෙන්නට තනා ඇති සිදුරු වේ.

මේ සිදුරු හරහා දේව දූතයන් එන්නේය. මේ කිසි දෙයක් විද්‍යානුකූල පැහැදිළි කිරීම් නොවේ. විද්‍යාව යනු අමුතු දෙයක් නොවේ. මා මෙතන කියන විද්‍යාව ගැන අසා නැත්නම්, බුදුන් වහන්සේ දෙසූ ‘කාලාම සූත්‍රය’ බලන්න. මෙතෙක් ලොවට පහළ වූ අග්‍රම විද්‍යාඥයා වූ, දේවාතිදේවවූ, සෘෂීන්ගේත් සෘෂි වූ බුදුන් වහන්සේ වදාළ දේ විකෘති කිරීම නොමනා දෙයකි.

එසේම ලෝකෝපකාරයේ 223වෙනි කවියෙන්ද මහාමේරුව ගැන විස්තර කර, ඒ අනුව බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා කියා කියන්නට අසාර්ථක උත්සාහයක් දරන බවක් පෙනේ.

“තිරසර ගුණැති සත- සව් සතට මැදහත්ව පවතිත් — මහමෙර සුර අසුර- දෙ ලොවට සමව සදා සිටිනෙව්”
“ස්ථිර සාර ගුණ ඇති සත් පුරුෂ අය සත්වයාට මධ්‍යස්ථව පවතිත්. මහාමේරු පර්වතය සුර අසුර යන දෙ ලොවට ම සමානව පවතින්නාක් මෙනි.”

මේවා හුදෙක් සාහිත්‍යමය අගයක් පමණක් ඇති දෑ පමණි.

%d bloggers like this: