Menu Close

පිටරට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සහ සිසු ජීවිත

මා කැනඩාවේ සහ ඇමරිකාවේ විශ්ව විද්‍යාල දෙකක ඉගෙන ගත්තෙමි. (ඊට අමතරව මම සෝවියට් වෛද්‍ය පීඨයක ඉගෙනුම ලැබුවෙමි)  මේ හැර ඇමරිකාවේ හාවර්ඩ්, MIT, UCLA,  University of Michigan , University of Kansas, එංගලන්තයේ ලන්ඩන් සහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාල  වලට ගියෙමි. එසේ ගිය විට මට බටහිර ලෝකයේ සිසුන් අධ්‍යාපනය ලබන අයුරු නිරීක්‍ෂණය කිරීමට ලැබුණි. 


බටහිර ලෝකයේ විශ්ව විද්‍යාල වල සිසුන් මහන්සිවී අධ්‍යාපනය ලබති. බටහිර විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය මුදල් ගෙවා ගත යුතු නිසා ලංකාවේ සමහර දෙනෙක් මුදල් ගෙවූ විගස  බටහිර විශ්ව විද්‍යාල වලින් උපාධි දෙනවා කියා සිතති. එය වැරදි මතයකි.  පිලිගත් බටහිර විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලැබීමට මහන්සි විය යුතුය​. විභාග වලට අමතරව එසයින්මන්ට්ස් කල යුතුය​. එසේම විභාග වලින් අසමත් කිරීම තිබෙන නිසා සිසුන් මහන්සිවී පාඩම් කටයුතු කරති. විභාගයෙන් අසමත් වුවහොත් යලි පාඨමාලා සඳහා මුදල් බැඳිය යුතුය​. එම නිසා විභාග වලින් අසමත් වීම යනු ඉල්ලාගෙන කෑමකි.

බටහිර ලෝකයේ විශ්ව විද්‍යාල වල සිසු සිසුවියන් ඉතා විනීතය​. ඔවුන් එකිනෙකාට ගරු කරති. එසේම නවක වධය වැනි පරපීඩක චර්‍යාවන් නොමැත​. මා යෝක් විශ්ව විද්‍යාලයට ගිය මුල් දිනයේදී ජේෂ්ඨ සිසු සිසුවියන් අපට ඩෝනට්ස් දී සාදරයෙන් පිලිගත්තෝය​. ඔවුන් අපව විශ්ව විද්‍යාලය තුල ගෙන ගොස් දේශන ශාලා , උපදේශන සේවා යනාදී ස්ථාන පෙන්වූහ​. ඒ කාලයේ මගේ පරිගනකයේ තිබුනේ උබුන්ටු කියන ප්‍රෝග්‍රෑම් එක වූ අතර දේශන වලදී දෙන ප්‍රසන්ටේ‍ෂන්ස් හරි හැටි වැඩ කලේ නැත​. ඒ නිසා එක් ජේෂ්ඨ සිසුවියක් මට අදාල ප්‍රසන්ටේ‍ෂන්ස් ඇයගේ වියදමෙන් මුද්‍රණය කොට දුන්නාය​. ජේෂ්ඨ සිසු සිසුවියන් අපට ඉතා ආචාරශීලී මෙන්ම උපකාරී වූහ​. 

බටහිර ලෝකයේ විශ්ව විද්‍යාල වල දේශකයෝ බොහෝ දෙනෙකු මහාචාර්‍යවරුය​. ඔවුන් මිත්‍රශීලීය​. දේශකයන් හා සිසුන් අතර විශාල පරතරයක් තිබුනේ නැත​. අපගේ මහාචාර්‍යවරයෙකු වූ වොලී සමහර දිනවල අප සමග ගොල්ෆ් ගැසීමටද ආවේය​. එවිට ඔහු මහාචාර්‍ය හිස්වැසුම ගලවා තරුණ කොල්ලෙකු මෙන් හැසිරුනේය​. එසේම නොයෙකුත් රස කතා කීවේය​. ගොල්ෆ් සෙල්ලම් කිරීමෙන් පසු ඔහු අප සමග එකට ඉඳගෙන ඇල්කොහොල් රහිත බියර් පානය කලේය​.  

විශ්ව විද්‍යාලයේදී අපට දේශකයන් ගෙන් අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් ඔවුන් ගෙන් ඇසීමේ නිදහස තිබුණි. ප්‍රශ්න ඇසීම නිසා අන්නන ක්‍රමයක් තිබුනේ නැත​. මම මහාචාර්‍ය මැප් ගේ දේශන වලදී බොහෝ ප්‍රශ්න ඇසුවෙමි. නොදන්නා දෙයක් වෙත්නම් එය මා නොදනිමි කියා කීමේ නිහතමානීකමද මම ඔවුන් තුලින් දුටුවෙමි. අත්තනායක මොඩ්ල්ලා මෙන් නොදත් දෙයක් බොරුව දන්නවා යැයි කියා ප්‍රලාප කීමක් ඔවුන් තුල තිබුනේ නැත​. ඔවුන් සිසුන්ට ගරුත්වයකින් යුතුව සැලකූහ​. 

විභාග වලදී ඔවුන් ඉතා සාධාරණ වූහ​. හිතවත්කමට , දන්නා අඳුනනකමට , වෙනත් අයථා උපකාර ලබාගැනීමට ඔවුන් ලකුණු වෙනස් කලේ නැත​. (නමුත් කලාතුරකින් එවැනි දේවල් අතීතයේ වාර්තා වී තිබුනි. එහෙත් ඔවුන්ව විශ්ව විද්‍යාලයෙන් අස් කරන ලදි ) වොලී අප සමග සෙල්ලම් කල නමුදු ඔහු විභාගයේදී අප කෙරෙහි තදින් සිටියේය​. සමහර සිසු සිසුවියන් ලකුණු දෙක තුනක් වැඩිපුර ලබා ගැනීම සඳහා මහාචාර්‍යවරුන් සමග හෙට්ටු කරති. නමුත් මහාචාර්‍යවරුන් ඒ පිලිබඳව කෝප ගන්නේ නැත​. අදාල සිසුවාගේ තර්කය සාධාරණ නම් සමහර විට ලකුණු දෙක තුනක් වැඩිපුර දෙති.

විශ්ව විද්‍යාල වල අවන්හල සිසු ජීවිතයේ වැදගත්කමක් ගනියි. ඒවා ඉතා පිරිසිදුය​. සිසුන් පෝලිමේ සිට ආහාරපාන මිලදී ගනිති. ඔවුන් බොහෝ සෙයින් කෝපි බිව්වෝය​. කෝපි දේශන ශාලා වලට ගෙනැවිත් දේශනයට සවන් දෙමින් පානය කරති. මහාචාර්‍ය ඇල්කොක් ගේ දේශන වලට නිතරම මා අසලින් ඉඳගත් සිසුවියක් කැරට් කැබලි ගෙන ආ අතර දේශනයට සවන් දෙමින් හාවෙකු මෙන් කැරට් කෑවාය​. 

පුස්ථකාලය මෙන්ම පාඩම් ශාලාද සිසු සිසුවියන් ගෙන් පිරී තිබුණි. ඔවුන් තවත් අයෙකුට හිරිහැරයක් ලෙස හැසිරුනේ නැත​. තම තමන් ගේ පාඩුවේ ලැප් ටොප් දිග ඇරගෙන පාඩම් කටයුතු කරන සිසු සිසුවියන් මෙහිදී දැකීම සුලබ කරුණකි. 

මම යෝක් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යන කටයුතු අවසන් කොට වසර ගනනාවකට පසු මහාචාර්‍ය ජිම් ඇල්කොක් ගේ පරියේෂණ කටයුත්තකට සහභාගි වීමට විශ්ව විද්‍යාලයට ගියෙමි. ඒ යන විට එවකට පළමු වසරේ සිටි මගේ පුතා මට විශ්ව විද්‍යාලයේදී හමු විය​. ඒ වන විට ඔහු විශ්ව විද්‍යාලයට පා තබා මාස තුනක්වත් නැත​. ඔහුට ලංකාවේ අධ්‍යාපන ආයතන තුල පවතින නවක වධය ගැන යම් අදහසක් දීම සඳහා මම ඔහුට මා වෙත එන ලෙස සන් කොට ඩිපිස් විස්සක්  මා ඉදිරියේ ගහන්නට නියම කලෙමි. ඔහුට මේ නවක වධ කොන්සෙප්ට් එක පිලිබඳව තේරුමක් තිබුනේ නැත​​. ” ආ යූ නට්ස් ” කියූ ඔහු යන්නට ගියේය​.  


%d bloggers like this: