Menu Close

හැඟුම් දඩමීමාට වහංවී – දෙවෙනි කොටස

අනුන් වසඟ කරගන්නට යන කී දෙනෙක් නම් තමන්ම වසඟ වෙනවද, නොදැනීම?
මේ දෙබස මුලදි වශී කරන්නා තරුනයායි. ඒත් මැද හරියේදි වශී කරන්නට ආපු කෙනා වශී වී යුවතිය වශී කරන්නා බවට පත් වෙනවා! දඩයක්කාරයා ගොදුර බවට පත්වීමක්!! ආනන්ද සමරකෝන්ගේ දෙබසින් දුවන ගීත හැම එකක්ම වගේ හරිම සියුම්…. නාට්‍යමය… මේ බලන්න ….. කියලයි අපි පළමු කොටස අවසන් කළේ.

අයස්මන්ත පීරිස් අක්ෂි වෛද්‍ය විශේෂඥතුමා…..
(ඒ පට්ටම මෙතැනට අදාළම නැහැ වගෙයි. ඒත් මම ඒ ටික එහෙමම තියෙන්න අරිනවා; සහේතුකව. හම්බන්තොට මහ රෝහලේදීම- අයස්මන්ත මහත්තයා හරහා වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියාව කරන රසවතුන්- රසවතියන් කිහිප දෙනෙක්ම හඳුනා ගැනීමේ මහඟු වාසනාවත් අපට ලැබුණා.
ඒ සමහරුන් කවිත් ලියනවා; එකිනෙකා අදහස් හුවමාරු කරගන්නෙත් කවියෙන්. ගීතත් ගයනවා; ගීත කියනවා නෙවෙයි, හොඳේ.
තනතුරුවලින් ඔළුව උදුම්මාගන්නේ නැතිව කාර්ය මණ්ඩලය විතරක් නෙවෙයි, ලෙඩුන් එක්කත් හිනාවෙලා කතා කරනවා.

හැම තනතුරුලාභීන්ම එහෙම වෙනවා නම්! මට හිතෙන්නේ ඒ තෙතමනය; මනුස්සකම කෙනෙකුට එන්නේ සාහිත්‍ය- ගීත- කාව්‍ය- නාට්‍ය වගේ කලාවන් සේවනය කරන නිසා කියලයි.)
තනතුරු ලැබුණාම ගෙම්බෝ වගේ පිම්බෙන්නේ නැතිව, පොළොවේ පය ගහලා……
ඉදින්, යටකී සොඳුරු රසාස්වාදන සමුදුරේ ගිලෙන්නා; අයස්මන්ත පීරිසුන් දැන් අපේ විචාරාක්ෂියට යොමු කරවන්නේ තවත් අමයුරු ගීතයකි.
“බලන්න, එතුමගෙ පුංචි සුදා සුදු කැටියා ගීතය:
පුංචි සුදා සුදු කැටියා කොයිබද උදයේ
ඔහො ටිකකට නවතින්න සුදෝ මොනවද සැලියේ?//
අර තරුනයා තරම් මේ තරුනයාගෙ ප්‍රවේශය සියුම් නෑ. කෙලින්ම මාතෘකාවට බහින ගතියක් තියෙන්නෙ. ඒ විතරක්ද, ඔහුගෙ අභිප්‍රාය එකක් විතරක් නෙමේ බව මේ සතර කන් මන්ත්‍රනය අසා සිටිද්දී අපට අසන්නට සලස්වනවා සමරකෝන් ශූරීහු.
බීමට නම් බොහොම යසයි, කිරි ඇත සැලියේ
ඔව් පනමට මේ සේරු එකයි
නැත මිල වැඩියේ//
කරුණාකරලා කිරි පොඩියක් බොන්නට දෙන්නේ………..
කාසි නැතේ කාසි නැතේ හොඳ සුදු මැනිකේ
කරුනාකරලා කිරි පොඩියක් බොන්නට දෙන්නේ//
ඔහු යන්නේ ආලපන විභක්තියෙන්මයි; පුංචි සුදා, සුදු කැටියා, හොඳ සුදු මැනිකේ.
මා දුටු ඔහුගෙ ආසන්නම අභිප්‍රාය නොමිලේම කිරි වඩියක් සප්පායම් වෙන එක.
නුමුත් ඈ ඔහුව විනිවිද දකිනවා.
මැනිකෙ කියා මා රවටා බොන්නද සිතුවේ
ඔහෙ යන්න අනේ බොරු නොකියා
නොකර කරදරේ//
ඈ ඔහුට කැමති බව පැහැදිලියි. ඈට දුක හිතෙන්නේ අර සියලු ආමන්ත්‍රන ඈ විකුනන්න අරන් යන කිරි අරමුනු කරගන කිව්වා මිස සැබෑවටම ඈ අරභයා නොකිවූ බවක් ඈ තේරුම්ගත් නිසයි.
අහිමිවීම් කිහිපයක්ම සිද්ද වෙන්නයි යන්නේ………….
ඔහු කලබල වෙනවා. අහිමිවීම් කීපයක් වෙන්නටයි යන්නේ…..
ඉන්න ඉන්න අනෙ යන්න එපා අනෙ කිරි නැතුවට කම් නෑ
ඔහු ඈව නවතන්න හදනවා. වාචිකව විතරක් නෙමේ කායිකවත් ඔහුට ඉවසුම් නෑ. ගීතයේ වේගය ධෘත ලය වෙනවා; තාලය ඛේම්ටෝවලින් කහෙර්වා වෙනවා.
ගන්න ගන්න අත ඉවත ගන්න අත
කරදර හොඳ නෑ නෑ//
බලන්න කලින් ගීතයේ විනීත, හැඟීම් ඉස්සර කර නොගන්න, සියලු රිදවීම්; පරාදවීම් සිනහවෙන් බාරගන්න තරුනයා එක්ක.
වෙන දිනන්න ක්‍රමයක් නැති කොට මොහු ඇගේ හෘද සාක්ශියට පහර දෙනවා.

“ඔච්චර පාච්චල් වෙන කොල්ලෝ අද නැහැ Doctor.”
“බෑ කිව්වද, දෙනවා වැඩේ…. ඉන්දියාවේ නං ඇසිඩ්මයි ගහන්නේ…..”
ආදරේද කෑදරේද නැත්තං සල්ලාලකමද ඔතැන තියෙන්නේ… අද කොල්ලෝ ගාව?
“ඒකම තමයි ප්‍රශ්නෙත්….. ආදරේද කෑදරේද සල්ලාලකමද ඔතන තියෙන්නේ?”
“මොකද යකෝ, ඒක මගේ දිහා බලාගෙන අහන්නේ? කාටද #$% මං සල්ලාලකම් කරලා තියෙන්නේ.”
“Sorry, සොරි මහත්තයෝ. මෙයාලගේ මූණ බලන්නත් තහනම්නෙ දෙයියනේ. යකාගේ ආණ්ඩුවක් තමයි.”
“එහෙම බැලුවත් මොකුත් නොකළේ යහපාලන ආණ්ඩු කාලේ. දැන් ඒ යුගේ ඉවරයි හලෝ….” එකෙක් සටනටත් සූදානම්ය!
“Please, මචංලා අදත් දේශපාලනේ නං අදින්න එපා. මේ කතා කියනකල් අහගෙන ඉඳපල්ලකො. ඩිස්ටර්බ් වෙනකොට mood එක බහිනවා.”
“මේ. අර සින්දුවේ කිව්වා වාගේ අත අහකට අරන් කියපන් කියන දෙයක්…. නැත්තං දන්නවනේ….”
මෙන්න  මෙන්න කිරි බොන්න බොන්න අනෙ, කාසී ඕනෑ නෑ!
දෙන්න දෙන්න කිරි පොඩියක් දෙන්නකො, බඩගිනි ඉවසුම් බෑ

කාසි නැතුව මම කොහොම දෙම්ද අහො, ගුටි කන්නට නම් බෑ
ඊලඟට යන සංගීත ඛන්ඩය තරුනයා මුස්පේන්තුව- මුවින් නොබැන ඉඳීමත්, යුවතියගේ අනුකම්පාව වැඩීමත් නිරූපනය කරන්නෙ. බඩගින්න/ අසරනකම නිසානෙ මේ ඔක්කොම!

මෙන්න මෙන්න කිරි බොන්න බොන්න අනෙ, කාසී ඕනෑ නෑ

යන්න යන්න මට එපා ඔබේ කිරි
බඩගිනි ඉවසන්නා//”

ඇයිද ඇයිද අනෙ කෝප ඇයිද අනෙ
බොන්න බොන්න හනිකේ

ඔහුගේ උපක්‍රමය සම්පූර්නයි! 

දෙන්න දෙන්න අහ එන්න එන්න බොමු
පීනමු කිරි සයුරේ// 

ඔහු දිනුවා. ඇගේ මිතුරුකමත්, බොහෝ විට කාලයක් යනතුරු නොනවතින කිරි සැපයුමකුත්!
උඹ නිකං ඒ කෙල්ලව වැස්සියෙක් ගාණට දානවනෙ මචං…..
“බොහෝ කාලයක් යනතුරු නොනවතින කිරි සැපයුමකුත්? ඒක නම් මහ xx කතන්දරයක් මචං, උඹ නිකං කෙල්ලව වැස්සියෙක් ගාණට දානවනෙ..”

“කට වහගෙන ඉන්නවකෝ මනුස්සයෝ. තමුසෙට සියුම් තැන් තේරෙන්නෙ නැහැ…. දැන් බලනවා ‘කිරි’ කිව්වාම ලංකාවේ ඉන්න සේරම කිරියන්ට කොච්චර වටිනවද කියලා.
එන-එන හැම ආණ්ඩුවලින්ම මොකටද පිටරටින්, එකෙක් ලක්ෂ ගානක් වෙන කිරි දෙන්නු ලංකාවට ගෙන්නන්නේ?
තමුසෙලා වගේ ගොන් කිරි බීලා හැදෙන අයගෙ ගොඩ තව වැඩි කරගන්න…”

“අනෙඃ පලයන් මහත්තයො යන්න! අපට කිරි පොවන්න කලින් උන්ගෙන් කිරි ගන්න එපැයි. ලෙඩ වැස්සියෝ ගෙන්නපුවම උන්ට නං කිරි එරෙයි!!”

“Xත්තනි, තොපි හැම වචනයක්ම ගානෙම හොයන්න ගත්තොත් මේ කතාව කවදද කෙළවරක් දකින්නේ? විහිලු නෙවෙයි, සීරියස්ලි මචං, දැන් තමයි කතන්දරේ අරටුවට එන්නේ….” දොස්තර මහත්තයා එහෙම කිව්වම අප තුන්දෙනාම සාවධාන වුණා!
නීතියකට කැමැති නැති නම් මුදුනටම ගොස් නීතිය වෙනස් කරනු- ඇඩොල්ෆ් හිට්ලර්……
අර පලමු ගීතයේ ඉතා සියුම්ව යුවතිය සිය වසඟයට ගන්නවාට වඩා හෘද සාක්ශිය එක්ක සෙල්ලම් කරන තරුනයෙක් මෙතන ඉන්නේ. මේ තමයි අයියේ passive agressor.

මම දන්නේ නෑ මේ යුවල ඊට පසු කොහොම සතුටින් හිටියාද කියල; ප්‍රේමයේදි ඕන උපක්‍රමයක් සාධාරනීකරනය කරන්න පුලුවන් කියනවනෙ. එහෙම නම් ප්‍රශ්නයක් නෑ.

සූක්ශම උපක්‍රම නැති උනත් ඔහු දන්නවා තම අරමුනු ඉශ්ඨසිද්ධ කරගැනීමට නම් ඇගේ හැඟීම් සංකීර්නය මත ක්‍රියා කලයුතු බව.

passive agressor ක්‍රියාත්මක වෙන්නෙ සිය ගොදුර මත වරදකාරී හැඟීම් ජනිත කිරීමෙන්. මේ ගීතයෙ නම් බඩගින්න, අසරනකම.
වශී කිරීම අවසානයේ දෙදෙනා සමාන වෙන්නෙ නෑ; වශී කරන්නා නිබඳවම මේ සම්බන්ධයේ බලවතා වෙනවා, බඩගින්නේ/ අසරනකමින් පෙලෙන්නෙක් උනත්.
කිසියම් ලොකු කතාබහක්, ආත්ම විශෝධනයක් නූනොත් ගොදුරු වූ තැනැත්තා/ තැනැත්තිය සදා වරදක් කල එකෙකුගේ හැඟීමෙන් මැඩෙනවා, වසඟ කරන්නා අතෘප්තිකරව ඉල්ලන නොයෙක් දේ දී ගන්න බැරිකමින්.
අපේ පළමු පාද යාත්‍රා ගමන අවසන සෙල්ල කතරගමදී- මැදින්ම ඉන්නේ මඩකලපුවේ මනොහරරාජන් දොස්තර මහතාය…… 
මේ ලියන්නා වගේ නෙවෙයි, අයස්මන්ත මහත්තයා ත්‍රිභාෂාවන්ම පරිහරණය කරන්නෙක්. මතකයි නේද, මඩකලපුවේ වෛද්‍ය මනොහරරාජන් මහත්තයා, දුන්නු සහතිකේ, අපි ඔකඳ දේවාලයේ ඉඳලා කිලෝමීටර් සීයක් පයින්ම- කතරගමට එන ‘පාද යාත්‍රා’ ගමනේ අතරමඟදී දුන්නු ‘සැටිපිකෙට්’ එක?

‘අන්තිම දවසේ කොච්චිපතානේ ගණදෙවි කෝවිල් බිමේ මනෝහර මහත්තයාලා දෙමළෙන් කතා වුණු දේවල් මටත් සිංහලෙන් කිව්වේ මනෝහර මහත්තයාමයි. මිස්ටර් නිමල්ගේ ෆ්‍රෙන්ඩ්, අපේ අයි ස්පෙෂලිස්ට් මහත්තයා කතා කරන්නේ හොඳ  දෙමළෙන්…… ඒකයි කණ් වෛත්තියර් කියලා කිව්වේ….

ඉතිං උන්නැහේ මේ postsවලට මාතෘකාව ලියලා තිබ්බෙත් ඉංගිරිස්වලින්. Working on emotion complex- first and foremost

“අනේ මහත්තයෝ, මේ වගේ හෙඩිමක් දැම්මොත් නං ටික දෙනෙක් හරි පෝස්ටුව කියවන්නෙම නැතිව හැරිලා යනවා….” මට කියවුණේ නිකම්මය.
“දන්නවනේ…. මම හෙඩිමක් දාන්නෙත්,  foto එකකට කැප්ෂන් එකක් දාන්නෙත් මාවම ආදර්ශෙට අරන්. අත්තානං උපමං කත්වා…. ‘වෙන කෙනෙක් මෙහෙම හෙඩිමක්- කැප්ෂන් එකක් ලියලා තියෙද්දී මට නම් මොනවා හිතෙයිද’ කියලා හිතලත් බලනවා.”
අපි එහෙමය! කොතෙක් වාද-විවාද කරගත්තත් තරහක් නැතිය. අන් මත ඉවසන්නටත්……
“අඩෝ, ගල් ආඳා මහත්තයෝ. තමුන්නාන්සේට කැමති හෙඩිමක් දානවා, හැබැයි මටත් පෙන්නලා. ඒ වගේම මේ post එකක කොහේ හරි ලියන්නත් වෙයි මම දාගෙන ආව මාතෘකාවත්!”

අපි එහෙමය! සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, එකිනෙකාට ගරු කරමින්, දබර කරමින් වුවද එකිනෙකාගේ මත ඉවසමින් කටයුතු කරන්නෙමු. හැබැයි, ප්‍රහාර එල්ල කරන්නට අවස්ථාවක් එළැඹි විට එයත් අත නාරින්නෙමු.

‘මෙතැන කියවද්දී මට පුරාණ ගද්‍ය සාහිත්‍යයේ එන සිද්ධියක් සිහියට ආවා. නරකද ඒක ගැන වචනයක් ලිව්වොත්? ඇගේ කියන වචනයට ලොකු බරක් එනවනේ….

අඩෝ…. මූට ඕනේ අරයගෙ නමත් මේ ලියුමට දාගන්න…වැඩි හොඳක් කරන්න ගිහිල්ලා හිතපුවත් නැති කුණ්ඩාවාඩයක් කඩා වැටෙන්නයි ගියේ. මම ඒ යෝජනාව ඉල්ලා අස්කර ගත්තෙමි.’ මං එහෙම ලීවේ පහුගිය පෝස්ටුවටය. 

“තමුසේ විතරක් සුදනා වෙනවා….. මහ පල් වැඩ හලෝ.
අපේ රෙදි ගලෝනවා වගේ තමුසෙගෙ ඒවත් දානවකෝ බලන්න. ඒයි, පීරා. ලියපන් මචං මෙයා අරයගෙ නම දාන්න යෝජනා කරපු එක….
මොකක්ද මචං අර ජාතකේ… ජාතකේම ලියපං මචං අපි වෙනුවෙන්! මුගේත් සායම යන්න…. කෙළවෙන්න….”
උමංදාවේ අමරා දේවිය ක්ලියෝපැට්‍රා රැජනටත් වඩා තන්වැසි නුවණින් යුතු ඉතිරියක් වූවා නොවේද?
වෙනදාට පෝස්ටුව නොකියවන භවතෙක්, කාගේදෝ උසිගැන්වීම මත දොස්තර මහත්තයාට කීවේය

‘අහෝ මේ එළැඹියේ මහඟු ප්‍රස්තාවෙකි. ඉන් නිසි පල ගතහොත් යෙහෙකි’යි ඒ කෙළෙඹි පුත්‍රයෝ සිතූ නියායැ, ‘හැකි නම් edit කරවැ’යි වහසිබස් දොඩා මාගලක් වන් කොටසකුත් සහිතව දෙවැනි කොටස ලියා එවූහ!

(ඒ මා ලවා පදාස පිටින් ලිපියෙන් ඉවත් කරවා ගන්නටය!
‘වන්නාටය. කියැටි දන්නෙමි, එහෙත් නිමල් දිසානායකයන් වනාහී සාධාරණයම සේවනය කරන්නෙකියි පෙන්වමි. මියෙම්වා රැකෙම්වා කියා එය එසේම පළ කරන්නෙමි.
ඉදින් ‘එයින් අයසක් විණි නම් මා අත වරද නැති’ යැයි කියාත් මෙතැනම ලියා තබම්හ.’)

මෙහෙමනෙ. වේදේහ රජ්ජුරුවන්ගෙ පුරෝහිතයෙක් ලෙස රාජ සේවයට පැමිනි මහෞශධ පඬිතුමාට අවුරුදු දහසය ලැබුවහම එතුමාගෙ අක්කා ලෙස ඉන්න, රජ්ජුරුවන්ගෙ අග්‍රමහේසිකාව වන උදුම්බරා දේවි එතුමාට කියනවා, දැන් ආවාහවිවාහයට කල් එලඹුනු නිසා සුදුසු කුමාරිකාවක් රජ්ජුරුවන් සමග එකතුව හොයනා බවට.
නුවනින් අග්‍ර මහෞශධ පඬි, තම ජීවිත කාලයම එකට ගත කරන්න යන තම බිරිඳ තම නුවනින්ම සොයා ගත යුතුයි තීරනය කර, එම තීරනය දේවීන්නාන්සෙට පවසා,රජතුමා ඇසුවොත් කිහිප දිනකට තමන් එක්තරා කටයුත්තකට ඇතුලු නුවරින් පිටව ගත කරන බව පවසන ලෙසට ඇගෙන් ඉල්ලා, සන්නාලියකුගේ වෙස් ගෙන සැරි සරනවා උතුරු යව මැදුම් ග්‍රාමයේ.
ඔහු යන එක් මගක ඈතින් මතු වෙනවා හුලුකැඳ සැලියක් හිසින් ගත් තරුනියක්.
ඔහුගෙ හිත ඇදී යනවා ඈට දුටු මනතින්ම. ඈටත් ඔහු දුටු සඳ හිතෙනවා ‘මෙවන් පුරුශයෙක් කුටුම්බ සන්ථාපනයට ලැබුනානම්!’ කියල. 
රහසිගත ක්‍රීඩාවක යෙදෙන්නා වැනිව ඔවුන් එකිනෙකා පරීක්ෂණයට බඳුන් කරනවා…. ඉතා සූක්ෂ්මව……..
ඔවුන් ‘එකිනෙකා පරීක්ශා කරනවා’, රහසිගත ක්‍රීඩාවක් කරන විලසට. හිටපන් මචං, මම රඟපාලාම පෙන්නන්නම්!

(ඔව්, ඔව්. දොස්තර මහතා රඟපාන්න අතිදක්ෂයෙකු බවත්, ඒ කටයුත්තකින්ම ශිල්ප දක්වා කුමරියක දිනාගත් බවත්, වෛද්‍ය විද්‍යාලයේ සමකාලීනයන් සාක්ෂියි! ඔය ප්‍රථම ප්‍රහාරය…… පරෙස්සමින්!!!)

ඔහු ඈතදීම ඇගෙ මුහුන බලාගන සිය ඇඟිලි හකුලුවා මිටිකර ගන්නවා (ඔබට පුරුශයෙක් ඉන්නවා ද?) 
ඈ ඔහු මුහුන බලාගනම අත විදහා පානවා – (නැහැ!)
ඊට ටිකක් ලං වෙද්දී දැන් ඔහු අහනවා – ඔබේ නම?’
ඈ – ඉස්සර හරි, අනාගතයෙ හරි, දැන් හරි මේ ලොව යමෙක් නැත්නම් ඒ නැති කෙනාගෙ නම තමා මගෙ නම!

මෙලොව උපන් සත්වයන්ගෙන් නොමියෙන කෙනෙක් නැති නිසා අමර නාමය නැති නාමයයි. ඒ ඔබේ නමද?’
ඔව් ස්වාමීනි
මේ කැඳ කාටද ගෙන යන්නේ සොඳුර?’
පූර්ව දේවතාවන්ට
ඔබේ පියානන්ට?’
ඔව් ස්වාමීනි

ඔහු කුමක්ද කරන්නේ?’
එක දෙක කරනා කෙනෙක් ඔහු, ස්වාමීනී
සී සානවා ඔහු?’
ඔව් ස්වාමීනි
කොතැනක ද?’
කෙනෙක් ගියොත් ආයෙත් නොඑන තැන!

සොහොනක් අසල කුඹුරක?’
ඔව් ස්වාමීනි
ස්වාමීනි, ආවොත් නොඑමි. නාවොත් එමි………….
ඔබ එතැනට ගිහින් අදම එනවාද?’
ඉතින් ආවොත් එන්නෙ නෑ; ආවෙ නැත්නම් එනවා!
පියා සී සාන්නෙ ගඟකින් එතෙර?ගංවතුර ආවොත් අද එන්න වෙන්නෙ නෑ; නාවොත් එනවා?’
ඔව් ස්වාමීනි. මහන්සිත් නැතෑ; හුලුකැඳ බොනු මැනවි ස්වාමීනී!

ඈ කැඳ හැලිය හිසින් බෑවා. කැඳ දෙන්න කලින් ආරාධිතයා අතට පැන් නොදුන්නොත් අවැතක්; අත පැන් නොතබාම කෙලින්ම කැඳ දුන්නොත් මෙතනින්ම මේ කාරිය නවතා යනවැයි හිතුවා, ඔහු.

අමරා දේවී ඔහුගේ කල්පනාභරිත මූන හරහා දුවන සිතිවිල්ල කියවා බලා; හොර හිනාවක් පා; භාජනයෙන් පැන් ගෙන අතට වැඩුවා,ඉතාම පිලිවෙලට; කලබලයකින් තැති ගැන්මකින් තොරව. කැඳ හොඳින් මන්ඩි නොබහින්න කලත්තා, භාජනය යලි පුරවා බෝසතානන්ට දෙනවා, ආගන්තුක සත්කාර පූර්නව; ඒත් බොනවද නැද්ද දඟකාර ලෙස අහන නියායෙන්.
මේ සියල්ල ‘උගුරට හොරා’ කෙරෙද්දී ඈ සිය පියානන්ටත් පරිස්සමට කැඳ ඉතිරි කරගනු මහෞශධ පඬි දකිනවා.

මින් මහෞශධ පඬිගේ පලමු පරික්ශා කිරීම් අහවරයි. ඔහු කෙලින්ම කියනවා-
සොඳුර, මම යනවා ඔබ ගෙදරට. මට පාර කියන්න.

අමරා දේවීගෙ පරීක්ශා ඉවර නෑ:
මේ මඟ ගොස් ඇතුලු ගමට ඇතුලු වූ කල මුලින් අග්ගලා විකුනන සල්පිල —>  ඉන් ඔබ්බේ කැඳ විකුනන සල්පිල —>  ඉනිදු ඔබ්බේ මල් පිපී ගිය කොබෝලීල ගස. එ ගහ මුලින් ඔබ ආහාර ගන්නා අත පැත්තට හැරී ගිය කල අපේ ගෙදර; මා සඟවා කී මග ඔස්සේ යනු මැන ස්වාමීනී!

අමරා නැඟණිය දුන් කැඳිත්ත නිසාවෙන් ආ බව නොවලහා කියා…….
අපගේ සන්නාලි වෙස් ගත් පඬිතුමා ඇගේ දුප්පත් නිවසට ගොස් අමරා නැගනිය දුන් කැඳිත්ත නිසාවෙන් ආ බව නොවලහා කියා, සිය සන්නාලි සාස්තරයෙන් ගෙදර නොයෙක් කොට්ටඋර ඇතුලු මැහුම් ගෙත්තම් වැඩ නොමිලයේම කර,
ඒ ගමේ නොයෙක් මැහුම් ගෙතුම් මිලයට කර දී එක දවසින්ම මසුරන් දහසක් උපයා ගන්නවා.

හවස් වීලා අමරා දේවී එනවා හිසින් දර මිටියක් -හිනේ පලා මිටියක් ගෙන; පෑල දොරින් ගෙට ඇතුලු වෙනවා. පියා එන්නේ බිම් කලුවර වැටුනු පසු. මේ සියල්ල වෙන විදිය අපේ සන්නාලිතුමා නිරීක්ශනය කරනවා හොඳට, දින ගනනාවක්….

එක් දවසක ඔහු ගෙනත් දෙනවා ඈට සහල්; ‘මෙයින් කැඳත්, බතුත්, ඊට අවුලුත් හදන්න සොඳුර

ඊට වඩා මුකුත් කියන්නේ නෑ ඔහු. ඈ සතුටුවැ සහල් බාර ගෙන, පොලා, හොඳ හාලෙන් බතුත්, කැඩුනු හාලෙන් කැඳත්, ඉතා කුඩාවට කැඩිච්ච හාලෙන් කැවුමුත් හදනවා.
මේ එක එක දේ මුවට ගත් සැනෙන්ම ඒවායින් පෙර අත් නොදුටු දිව්‍යමය රසයෙන් මත් වෙන ඔහු ඒ බව නොපෙන්වා කාරා කෙල ගසා, උයන්න දන්නෙ නැතිව මම මම දුක් මහන්සියෙන් හම්බ කල දේ විනාස කරනවදැයි කෝප ගෙන, ඒ සියල්ල එකට අඹරා, ඇගේ ඇඟ පුරාම ගල්වා අව්වේ හිටවා තියනවා.
ඈ කෝප ගන්නේ නෑ.
ඉන්පසු ඈට කතා කල විටත් කිසිම තරහකින් තොරව ඔහු ලඟට එනවා, පැද්දීගන. ඈට ආදරයෙන් කතා කොට, නගරයෙන් එද්දීම ගෙන ආ සිනිඳු වස්ත්‍රයක් ඈට දී යෙහෙලියන් සමඟ ගොස් නා පිරිසිදු වී එය ඇඳගෙන එන ලෙස ඉල්ලා සිටිනවා.
ඔහුගේ දෙවන පරීක්ශන වාරයත් සාර්ථකව අවසානයි.

ඈ සමඟ මගට වන් ඔහු නගරද්වාරය වෙත අවුත්, ඈව දොරටුපාලයාගේ ගෙදර නවතා කිසියම් කාරියකට යන ලෙසින් තම මාලිගාවට යනවා.
එහි සිටින පිරිමි දෙදෙනෙකුට මසුරන් දහසක් දී ඈව විමසන්න විධාන කරනවා. තුන් වරක් ඈ හමුව මුදල් දිගුකරත් ඈ නෙමේ පෙලඹෙන්නේ.
සිවුවෙනි වර ඈව බලෙන් ඇදගෙන යනවා මහෞශධ පඬි වෙත; සක්වල දෙවි දේවතාවන් ප්‍රධාන කරගත් සුදම් සබාවේ ශක්‍රරාජයා මෙන් වස්ත්‍රාභරනයෙන් සැරසීගත් ඔහුව අඳුනාගන්න හැකිවෙන්නේ නෑ, ඈට.
ඔහු අභිමුව ඈ ඔහුගේ මූන බලා මුලින් සිනා සී පසුව හඬනවා.
මේ බත් පත දැන්ම ලැබෙතියි සිතා කරන්නට යන පරදාර සේවනයෙන් ….

ඇයි?

ස්වාමීනී: ඔබවහන්සේ මේ විඳින දිව්‍ය සම්පත් හා සදිසි සම්පත් නිකම්ම ලැබු දේ නෙමේ; ඔබවහන්සේ පූර්වයේ සිට කරන ලද කුසලකර්මවල විපාක. ඒ නිසා මම හිනා උනා. දැන් මේ අනුන් විසින් රක්ශා කැරෙන ස්ත්‍රීන් කරා එලඹ, මේ බත් පත දැන්ම ලැබෙතියි සිතා කරන්න යන මේ පරදාර සේවනයෙන් මතු නරකාදියට යන ඔබවහන්සේ කෙරේ අනුකම්පාවෙන් මම ඇඬුවේ!


මම අකැමැත්තෙන් ගැහැනුන් සමඟ ඉන්න කෙනෙක් නෙමේ. ගෙනාපු තැනටම මේ ගැහැනිය ගොසින් දමව!’

ඔන්න බලන්න නෙවිල් අයියේ, ඔහොම තමන් කරන දුර්ජන ක්‍රියාවත් ප්‍රතිපත්ති පූචානම්වලින් වහලා කාරිය කරගන්න අයත් මම දන්නවා! නරක උනත්- හොඳ නරක අයත් ඉන්නවා…..
එදා රෑ මුකුත් නුවූ පරිද්දෙන් දොරටුපාලයාගෙ ගෙදරට අවුත් ඈ සමග රාත්‍රිය පහන් කරන ඔහු, උදාසන අක්කන්ඩිට ප්‍රකාශ කරනවා, තමන්ට සුදුසු කුමාරිකාවක් සම්බ වූ බව. තුන් වන පරීක්ශනයත් අහවරයි!

ගරු ගාම්බීරව පවත්වන විවාහමංගලෝත්සවයෙන් පසු, අමරා දේවී තොමෝ, රජ්ජුරුවනුත්, නුවරවාසීනුත් දෙන්නට යෙදුන පඬුරුවලින් භාගය බැගින් නැවත ඔවුන්ටම පවරා එක දවසින්ම සියල්ලන්ගේ සිත් දිනා ගන්නවා.
විවාහ මංගල උත්සවයෙන් පස්සේ ………….
ඒ උනාට මිත්‍රවරුනි තමුන්නාන්සේලා දන්නවා මොකද හදිසියේ අපේ නිමල් අයියට අමරා දේවී මතක් උනේ කියල!
මම දන්නවා; මගේ වාට්ටුවේ ඉන්න අමරා දේවී මතක් වෙලා මෙයාට.
අමරා අපේ වාට්ටුවේ……
%d bloggers like this: