Menu Close

10. නව වෙනි දිග හැරුම

අම්මා මිය ගොස් වසර දහහතක් පිරෙන දා මෙහෙණි ආරාමයට දානයක් දෙන්නට සඳමිණි මෙවරද සිතුවාය…. බියංකා සමග ඒ ගැන කතාබස් කලේ මින් මොහොතකට පෙරය…
.
” තාත්තා ගෙදර ජයට දානෙ දෙයි මේ පාරත් …..මම ඉතින් එයාට මැරිච්ච දුවෙක් වුණා සුධීර නිසා….එච්චර ම දරුවෙක්ව අමතක කරන්න පුලුවන් ද බී තාත්තෙක්ට… ” සඳමිණි සුසුමක් හෙලා පැවසුවාය ….
.
” ඇත්තෙන්ම බං…..සල්ලි කියන්නෙ මහ නරුම දෙයක්….බැඳීම්, හැඟීම් ඔක්කොම උගසට ගන්න මහම මහ කාලකණ්නි දෙයක් ඕක….” බියංකා බීම වීදුරුවේ වටයට බැඳෙන ශීත බිඳු අතින් එක්කාසු කරමින් පැවසුවාය….
.
” මං දුවෙක් විදියට එයාල කියන විදියට උන්න..ඉගන ගත්තෙ එයාලට ඕන විදියට…ඇන්දෙ පැලැන්දෙ එයාල කියන විදියට…නිදහසක් වින්දෙ නෑ …එකම දරුවා කියල මාව හිරකලා විතරයි …..ඒත් මං වචනයක් කීවෙ නෑ බී…..”
සඳමිණි හිත දිගහරින්නේ එහෙමත් වෙලාවක බව දන්නා බියංකා නිහඬවම අසා උන්නාය…
.
” මං ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ බී…මං කැම්පස් කාලෙවත් ආදරේ ට මගෙ ජීවිතේ අහලකට එන්න ඉඩ තිබ්බෙ නෑ…ඒ තාත්තා ට බයේ …තාත්තා මට කැම්පස් යන්න දුන්නෙ ආදර සම්බන්ධයක පැටලෙන්නෙ නෑ කියල පොරොන්දු කරවගෙන …..”.
.
” අනිත් කොල්ලො කෙල්ලො ආදරේ කරද්දි මං ඉගන ගත්තා…පොත් ගුල්ලියක් උනා…ෆස්ට් ක්ලාස් එකක් අරන් ඩිග්‍රි එක කලා…ඒත් මට මාව අතෑරුණා බී…මට අන්තිමේ මාවම නැතිඋනා….”.
.
සඳමිණි ගේ හඬ බිඳීයමින් පැවතුණි….තමා කෙරෙහි තමා තුළ උපදින අනුකම්පාව තරම් කෙනෙකු අසරණ කල හැකි වෙනත් මනෝ භාවයක් මිහිපිට ඇත්දැයි සිතාගත නොහැක….
.
” අන්තිමට ..මගේ ජීවිතේ හොඳම කාලෙ සල්ලි පස්සෙ යන සල්ලාලයෙක්ට බිලි උනා….මං නැත්තටම නැති උනා බී…..මට වෙලාවකට ඇත්තෙන්ම ජීවිතේ අප්පිරියයි….” සඳමිණිගේ දෑසින් කඳුලක් බිමට කඩා හැලුණි…..
.
අත් බෑගයේ ඇතුලට අතදමා ලේන්සුව අතට ගෙන ඇසට තබා තද කලද උරහිස් ගැස්සෙන හෙයින් ඇය හඬන බව පිටතට පෙනේ….බියංකා වටපිට බැලුවේ අඳුනන කිසිවෙක් ඇත්දැයි විමසිල්ලෙනි…නැත ….අඳුනන කිසිවෙක් අසලක හෝ නැත….
.
” සඳ….. දැන් ඔය ඇති….අපි යං …යන ගමන් කතාකරමු…. දානෙ ලබන සඳුදනෙ….අපි ඒකට සූදානම් වෙමු…..”
.
සඳමිණි හිස වනා නැගිටගත්තාය….ඇස් දෙක ම තඩිස්සි වී ඇත ….ඇය බිමට හැරවූ නෙතින් සිටියදී බියංකා ත්‍රී රෝද රථයකට අත පෑවාය…ඔවුන් එයට ගොඩ වෙද්දී…..
.
මාවත එහා පසින් නැවතූ වාහනයක දෑසක් …..ඔවුන් දෙස විමසිල්ලෙන් බලා සිටිනු ඔවුන් දුටුවේ නැත……
.
*****************************

සිකුරාදා කාර්‍යාලය ට පැමිණි පසු සඳමිණි , උදාර මඩුගල්ලේ වෙත නිවාඩු අයදුම් පතක් රැගෙන පියමැන්නාය…
.
” සර්…මට සඳුදට ලීව් එකක් ගන්න පුලුවන් ද….? “
.
උදාර මඩුගල්ලේ යනු වචනයේ පරිසමාප්තියෙන්ම උදාර පුද්ගලයෙකු වීමෙන්…සඳමිණි ක්‍රමානුකූලව ඔහු ගැන තිබූ අනියත බිය හා තිගැස්ම හැර ගත්තාය ….
.
” ආ… අත්‍යාවශ්‍ය කාරණයක් ද මිස් දිසානායක ….මට සඳුදට ලෙටර්ස් ටිකක් ඩ්‍රාෆ්ට් කරගන්නත් තියනවා….ම්..ම්….”
.
” සර් ..මම අද ඒ ටික කරන්නම්….සඳුදට අත්‍යාවශ්‍ය ම දේකටයි නිවාඩුව ඉල්ලුවේ නම් ….”
.
උදාර මඩුගල්ලේ විමසුම් ඇසින් සඳමිණි දෙස බැලුවේය… මේ තාක් කල් ඇය හා එක්ව වැඩ කලද පෞද්ගලික කිසිදු කාරණාවක් ගැන විමසා හෝ කතාබහ කර නැති හෙයින්….උදාර මඩුගල්ලේ මඳක් පැකිලුණේය….
.
” මොකද ….මිස් දිසානායක බලන්න මනමාලයෙක් වත් එනවද සඳුදට….”
.
සඳමිණි තිගැස්සී ගියේය….තමා ගැන කිසිවක් රණවීර මහතා වෙතින් නව ප්‍රධානියා දැනගෙන නොමැත ….ඒ හැරෙන්නට සේවා ස්ථානයේ කිසිවෙක් උදාර මඩුගල්ලේ හට තවකෙකුගේ කේලමක් හෝ පෞද්ගලික කාරණාවක් කීමට නම් ළං වන්නේද නැත…..
.
සඳමිණි බිම බලා සුසුමක් හෙලුවාය….තම පෞද්ගලික කාරණා ප්‍රධානියා හමුවේ දිග හැරිය යුතු නැත .ඇය දිරි වඩා හිස එසවූවාය…
.
“මගේ අම්මා නැතිවෙලා මේ සඳුදට අවුරුදු දහහතයි සර්… මම අම්මා වෙනුවෙන් මෙහෙණි ආරාමයකට දානයක් දෙනව එදාට….ඒකටයි නිවාඩුව ඉල්ලුවෙ….”

. උදාර මඩුගල්ලේ … මඳක් තිගැස්සී ගියේය… තමා අනවශ්‍ය විහිලුවක් කලේදැයි ඔහු මොහොතක් සිතීය …
.
” ආම් සොරි….මිස් දිසානායක …රියලි සොරි….ඕකේ යූ කැන් ගෙට් ද ලීව්…
අපි අඟහරුවාදා ට ලෙටර්ස් වල වැඩේ කරමු….” සිය අත්සන යොදමින් නිවාඩු ඉල්ලුම් පත නැවත දිගු කල උදාර මඩුගල්ලේ සුසුමක් හෙලා බිම බලාගත්තේය…
.
සඳමිණි මඳ සිනහවක් පා නිවාඩු ඉල්ලුම් පතද රැගෙන සිය අසුනට ගියාය…පරිගණකය දෙසට නෙත් යොමා උන්නද උදාර මඩුගල්ලේ ගේ සිත තිබුණේ බොහෝ දුර ගොසිනි… අහේතුකව ඇයගේ සිත මෙන්ම තමන්ගේ සිත ද එකම කාරණයක් නිසා රිදවී ඇත …..
.
අමතක කර දමන සියල්ල දියේ එබූ රබර් බෝලයක් සේ ඉල්පි ඉල්පී මතුවෙයි….උදාර සිය නළල ඇඟිලි තුඩින් මිරිකා ආවේගය යටපත් කරගන්නට වෙර දැරීය….එද අසාර්ථක වූ සැණ…. අසුනෙන් නැගිට කාමරයෙන් පිටතට වේගයෙන් ඇවිද ගියේය ….
.
සඳමිණි තුශ්නීම්භූතව බලා උන්නාය …සිදුවූයේ කිමක්දැයි ඇයට වටහා ගත නොහැකි විය….කුමක් හෝ කාරණයක් නිසා ඔහු අතිශය කලබල වූ බව ..නොසන්සුන් වූ බව සහ වේදනාවට පත්වූ බව නම් පැහැදිලිය… එහෙත් එය තමා හේතු කොට ගත් කිසිවක් වීමට නොහැකිය…..සුසුමක් හෙලූ ඇය ප්‍රධාන ලිපිකරු වෙත නිවාඩු අයදුම් පත බාර දීමට නැගී උන්නාය…..

*****************************
.
උදාර මඩුගල්ලේ නිවෙසට පැමිණියේ දරුණුවටම පෙළන හිස රදයක් ද සමගය…..ජීවිතයේ කාර්‍යබහුල බව බොහෝ වේදනාවන් සමනය කලද ….තමා අසරණ වන වේදනාවකට කාර්‍යබහුල බවට වත් කිසිවක් කල නොහැකි බව ඔහු වටහා ගත්තේය….
..
කාලය බොහෝ දුරකට ඇවිද ගොස් ඇතත්….වසර අටකට පෙර අම්මා සහ තාත්තා මිය ගිය හදිසි අනතුර උදාර මඩුගල්ලේගේ සිත මහා වරදකාරී බවකින් නිතර පෙළාලයි….
.
ඒ දවසට නැවත දුව ගොස් වෙනස් කල හැකි නම්….යැයි ඔහුට යළි යළිත් සිතෙන්නට ගත්විට හිස පුපුරා යන තරමේ වේදනාවක් යළි යළිත් දැනෙන්නට පටන් ගනී….
.
” සුදු මහත්තය….ඇයි දෙයියනේ මේ………” සුමනේ තේ බඳුන රැගෙන කාමරයට පැමිණි පසු උදාර සිටිනා ඉරියව්ව දැක කෑගසාගෙන ඔහු වෙත පැමිණියේය….
.
” දෙයියනේ …සහලෝල උණ….ඇයි රත්තරං මහත්තයෝ මට කතා නොකලේ…..” සුමනේ ගේ හැඬුම්බර හඬ උදාර මඩුගල්ලේ ගේ සවනට ඈතක සිට මෙන් ඇසෙන්නට විය …..
.
වදෙන් පොරෙන් මෙන් ගත ලූ වස්ත්‍ර සියල්ල උනා දමා තෙත රෙදි කඩකින් ගත තෙත මාත්තු කර සැහල්ලු ඇඳුමක් ගත දවටා… බලා උන්නද…. උණ බැසීමක් පෙනෙන්නට නැත ….
.
සුමනේ පහත මාලයට දිව විත් දුරකතන අංක ලියූ පොත පෙරලා අංකයක් සෙවීය …වහ වහා ඇමතුමක් ගත් ඔහු ගේ හඬ ඉකිබිඳුමක් බවට ම පත්විය…
.
” අනේ තාරක මහත්තයො ඉක්මනින් එන්න …සුදු මහත්තයා ට හොඳටම උණ….අනේ ඉක්මනින් එන්න….කල්පනාවත් නෑ වගේ ….” සුමනේ කෑගසමින් කීය….
.
විනාඩ් දහයක ඇවෑමෙන් ගේට්ටුව අසල නාද වන රිය නලා හඬින් ස්වයංක්‍රීයව ගේට්ටුව හැර දුන් සුමනේ ප්‍රධාන දොර විවෘත කර බලාඋන්නේ වෛද්‍ය තාරක එනතුරුය…
.
” කෝ උදාර කොහෙද…? “

සුමනේ කිසිත් නොකියා උඩුමහල වෙත කඩිනමින් දිව ගියේය….තාරක ඒ පසුපසින් කඩිනමින් කාමරයට ඇතුල් විය…
.
මූලික ප්‍රතිකාර වලට පසුව සුමනේ ගේ ආධාරය සහිතව උදාර වාහනයට නංවා ගත් තාරක වහා සිය සේවා ස්ථානය වූ සුවදිසි පෞද්ගලික රෝහල වෙත ධාවනය කලේය….


%d bloggers like this: