Menu Close

09. අට වෙනි දිග හැරුම


උදාර මඩුගල්ලේ කාර්‍යාලයට පැමිණෙන විට හත පසුවී විනාඩි හතළිස් පහක් ගතවූවා පමණි….මේ වන විට කාර්‍යාල කාමරයේ කිසිවකු සිටිය නොහැකි බව උපකල්පනය කල ඔහු එක්වනම දොර හැරගෙන කාර්‍යාලයට ඇතුල් විය….
.
සඳමිණි උන්නේ කබඩයේ ඉහළ තට්ටුවක ඇති ලිපි ගොනු සකසමිනි…. ඔසරියට නිරාවරිත බඳ ගැන වගේ වගක් නොවූයේ ….කාර්‍යාල කාමරයේ කිසිවෙක් නොඉන්නා බැවිනි…..උදාර මඩුගල්ලේ තම මේසය වෙත ඔසවන පා එක්වනම නවතා මඳක් පමා විය…යන මග ඇය අහුරාගෙනය…තමා ආ බවද නොදන්නීය….ඇය දුටු මනතින් හිතේ යම් ගැස්මක් ඇතිවී නැතිවී යනු ඔහුට දැනුනි….. ඒ හැඟීම ඔස්සේ හිත වෙහෙසවන්නට උදාර ට අවශ්‍ය නොවීය….
.
උදාර මඩුගල්ලේ….හෙමින් උගුර පෑදුවේ..තව දුරටත් එසේ සිටීමට නොහැකි නිසාවෙනි…..
.
සඳමිණි තිගැස්සී උන්හිටි තැන් අමතක ව උඩබිම බැලුවාය….
ඉන් පසු වහා පසෙකට වී ඔහුට ඉඩ දුන්නාය….උදාර කඩිනම් ගමනින් ගොස් අසුනට බර විය …
.
” ගු..ගු…ගුඩ් මෝනින් ස්..ස්..සර්…”
ඇය තත්පර ගණනාවකට පසු කියාගත්තාය….
.
” ගුඩ් මෝනින් මිස්…. ඔය තත්වෙ ගොඩක් කල් ඉඳල තියන එකක්ද මිස් දිසානායක….” උදාර කිසිත් ගණනකට නොගෙන ඇසීය…
.
” ස්..ස්..සර්….ම්..මොකක්ද…සර්…?”
සඳමිණි….විමතියෙන් ඇසුවාය….
.
” නෑ ඔය ගොතගහන එක….මං එක්ක කතාකල හැම දවසෙම මිස් ගෙ ස්ටැමරින් එක මම නෝට් කලා….ඕක ගොඩක් කල්ද…ප්‍රතිකාර මොකුත් ගත්තෙ නැද්ද …? ” උදාර කිසිත් සිනහවක් නොමැතිව බැරෑරුම් ලෙස ඇසීය….
.
සඳමිණි ට පොළව පලාගෙන යන්නට ඇත්නම් යැයි සිතී බොහෝ වේලාය…ඇය නිරුත්තර ව බිම බලාගෙන උන්නාය…උදාර මඩුගල්ලේ තමා විහිලුවකට ගත්සෙයකි…..එක අතකට තමා අත වරද ඇත….අනවශ්‍ය ලෙස ආතතියකින් යුක්තව සිටීම මීට හේතුවය…
.
සඳමිණි සිහින් සිනහවක් පා ….ඇයගේ කටයුත්තෙහි නැවත නියැලුණාය…එහෙත් ඇස දවාගෙන එන කඳුලක් තවම සිරවෙමින් හිත පාරවාලයි… නව ප්‍රධානියා …නැත …තව දුරටත් ඔහු නව ප්‍රධානියා නොවේ….ඔහු වර්තමාන ප්‍රධානියා බවට පත්ව ඇත…තමා සුපුරුදු ලෙස රාජකාරිමය ස්වභාවයට අවතීර්ණ විය යුතුය….සඳමිණි දැඩිව සිතට අවධාරණය කලාය…
.
” මම විහිලුවක් කලේ මිස් දිසානායක ….. අනවශ්‍ය විදියට ටෙන්ශන් වෙන්න ඕන නෑ මා එක්ක වැඩ කරද්දි….මිස්ටර් රණවීර මිස් ගැන හොඳ රෙකමන්ඩේශන් එකකුත් දුන්නනෙ….දැන් රිලැක්ස් වෙලා වැඩ කරන්න…. ” උදාර මඩුගල්ලේ මේසය මත සිය පරිගණකය දිග හරිමින් පැවසීය…
.
” හොඳයි සර්…” සඳමිණි එපමණකින් පමණක් නැවතුණාය….සිත සැහැල්ලු වෙමින් පවතී …..
.
” මිස් දිසානායක ගෙ කම්පියුටර් ක්නොලේජ් එක කොහොමද ….? “
” සර් මම කම්පියුටර් සොෆ්ට්වෙයා හයර් ඩිප්ලෝමා එකක් කරල තියනව…මැනේජ් කරගන්න පුලුවන් ….ප්‍රෝගැමින් කරන්නත් පුලුවන් …. “

“එහෙනම් හොඳයිනෙ…මං හිතුවෙ අර එදා කවුද මිස් කෙනෙක් ව ගන්න කියලා යෝජනාවක් ආව නිසා ඒ ගැනත් සලකා බලන්න…ඉතින් මෙච්චර සුදුසුකම් තියනවනම්…මම ඒ ගැන වොරි වෙන්න අවශ්‍ය නෑනෙ….නේද…? “

සඳමිණි නිහඬ සිනාවක් පා බිම බලාගත්තාය…. උදාර මඩුගල්ලේ සිය ලිපි ගොනුවක හිත රඳවා ගැලී ගියේය…ඔහු රාජකාරිය ට හිත යෙදවූ පසු නැවත එයින් මිදෙන්නේ නැති බව සඳමිණි මේ දින කීපයට වටහා ගත්තාය….රාජකාරිය පළවෙනි තැනට පත් කරගන්නා සිය ප්‍රධානියා පිළිබඳ මනා පැහැදීමක් ඇය තුළ ද ඇතිවී තිබුණි…..
.
*****************************

අම්මා මිය ගියේ සඳමිණි ට වයස පහළව සපිරුණාට පසු නොබෝ දිනකිනි….සඳමිණි පවුලේ එකම දරුවා වීමත් අම්මා නිදන්ගත හෘද රෝගයකින් පෙළීමත් අතර සම්බන්ධයක් විය… සඳමිණි ගේ උපතේ දී වෛද්‍යවරුන් අම්මා සහ තාත්තා ට දැඩිසේ අවදානම ගැන අවවාද කර සිටීම හෙයින් තවත් දරුවෙකු ගැන නොසිතා සිටින්නට ඔවුන් හට සිදුවිය….අම්මා මියගොස් දැනට වසර දහහතකි… සිරිත් පරිදි නිවසේ දුන් දානමානාදියට සඳමිණි ගේ සහභාගීත්වය වැලකී දැන් වසර කිහිපයකි…එය සිදුවූයේ සුධීරගේ තහනම් නියෝගයන් හෙයිනි….තාත්තා ඒ සියල්ල දැන දැනත් සුධීරගේ පාර්ශ්වයම ගන්නට හේතුවූයේ දරු සෙනෙහස ට එහා බිස්නස් ලෝකය ප්‍රබල වූ නිසාදැයි සඳමිණි සිතුවාය…..

ඒ කෙසේ වතුදු තාත්තා ගැන සඳමිණි අහිතක් නොසිතා ඉන්නට බෙහෙවින් තැත්කලාය…නමුත් තමාගේ ජීවිතය ව්‍යාපාර කටයුත්තකට හිලව් කොට ගෙන සුධීරට උගස් කල දා සඳමිණි ජීවිතේ මුල් වතාවට තාත්තා ගැන කලකිරුණාය….තමාගේ කීකරු කම සහ අසරණ කම තාත්තා අයුතු ලෙසින් පාවිච්චි කලා නොවේදැයි ඇය එදා සිතුවාය…..
.
ජීවිතය මේ සා විඩාබරිත වී ඇත්තේ අනුන් විෂයෙහි සිය ආශාවන් කැප කල නිසාවෙන් නොවේද . .? ජීවිතය යනු කෙතරම්ම සුන්දර එකක් වන්නට එසේ නොවී නම් ඉඩ තිබෙන්නට ඇත්ද ….?




%d bloggers like this: