Menu Close

හැඟුම් දඩමීමාට වහංවී – පළමුවෙනි කොටස

කඩවසම් තරුණයෙක් ගං ඉවුරේ………… යුවතියක් ගං තීරයේ ………
    එන්නද මැනිකේ මමාත් දියඹට
    කඩන්ට කෙකටිය මල්
    ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි ඔහො-
    පිපිච්ච කෙකටිය මල්!
කදිම සුම්බරයකින් හිස වසාගත්, සුදු මේස් බැනියමක් ඇඳි, පලේකාට් සරමක් කැහැපට ගහගනිමින් ඉන්න කඩවසම් තරුනයෙක් ගං ඉවුරේ.
ඔහුගේ ඇමතුම ලබන යුවතිය නැමී ගං තීරේ,කෙකටිය මල් නෙලනවා. ඇගෙ මනාව වැවුනු ඝන කෙස් වැටියෙන් මිදුනු කෙහෙ රැල්ලක් පහත් වී, එහෙ මෙහෙ මල් හොයන ඇගෙ ඇසක් අසල රූමත් කොපුල මත නැටවෙනවා. ඔහුගෙ සේවය ඇයට අවශ්‍ය නැති හැඩයි:
    මහන්සි වෙන්නට එපා එපා අනෙ,
     එපා එපා අනෙ, ඉන්නකො ගං ඉවුරේ!
ඔහු තමන්ගෙ හිත රිද්දගන්නෙ නෑ. මල් වර්නනා කරන නියායෙන් ඔහු ඈව වර්නනා කරනවා.
    ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි ඔහො-
     නැමිච්ච කෙකටිය මල්!
     ඔන්න ඔන්න රැල පාරට තෙමෙනව මැනිකෙගෙ සුදු සේලේ
     ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි ඔහො
     මැනිකේ ඇඳි සේලේ! 
ඈය උත්තර දෙන්නේ හරිම විනීත ලීලාවෙන්!
ඇය ඉතා විනීතව උත්තර දෙනවා.
     තෙමීච්චදෙන් ඔහෙ, තෙමීච්චදෙන් ඔහෙ
      තෙමිච්චදෙන් ඔහෙ ඒකට කමාක් නැතේ”
දිගින් දිගටම ඈ හෙමීට ඔහුව තල්ලු කර දැමුවත් ඒවායේ ලොකූ ප්‍රතිරෝධයක් නැති බව වටහාගන්න අපේ තරුනයා නිර්භීතව, ඒත් සූක්ශමව ඇගේ හදවත ආක්‍රමනය අරඹනවා.
නිදිගෙ පංච තන්තරේ නොකඩවා කියවන රසික-රසිකාවන් නම් දැනටමත් අන්ද-මන්ද වෙලයි ඉන්නවා ඇත්තේ. ‘කෝ නිදිගේ සිංහල අක්ෂර වින්‍යාසය?’ කියලා. ඒ මදිවට ලියන රටාවත් වෙනස්නේ…. ටිකාක් හරි. එක-එක්කෙනා ලියන-කියන විදියත් වෙනස් වෙන්නේ එකිනෙකාගේ ඇඟිලි සලකුණු වෙනස් වෙනවා වගේ… ඉසියුම්ව.
දන්නවනේ අපේ අක්ෂි වෛද්‍ය විශේෂඥ දොස්තර අයස්මන්ත පීරිස් මහත්තයා. උන්නැහේ තමා ‘නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි’ පෝස්ටු දෙක ලිව්වේ. කුණු ලෝබයා! 
හැබැයි, ලෝබකම තියෙන්නේ ලියන්න.
දවසේ වැඩිම වෙලාවක් රාජකාරියට යෙදෙව්වත් මේ මනුස්ස ප්‍රාණියා දැනුමෙන් සපිරෙන්නත් වෙලාව හොයාගන්නවා; පොත-පත කියවනවා. කියවනවාට වඩා ඔබින්නේ ඒවා ජීරණය කරගන්නවා කියන එකයි. ගොඩක් පොත්වල පදාස පිටින් කටපාඩම් කරලද කොහෙද.
ඔන්න, එයා තමයි අද මේ පෝස්ටුවත් ලියන්නේ. ලියන්නත් කලින්ම උන්නැහේ නීතියක් දාපි!
මම ලියනවා නම් අජිත් තිලකසේන- සුගතපාල ද සිල්වා දෙන්නව ගුරු තන්හි තියාගෙනයි ලියන්නේ……….

“මගේ සිංහල මම ලියන්නේ අජිත් තිලකසේන සහ සුගතපාල ද සිල්වා දෙන්නව ගුරු තන්හි තියාගෙන…”

වැඩේ කරවාගන්න ඕනේ නිසා මං දොස්තර මහත්තයාගේ ඒ කොන්දේසියට එකඟ වුණා.
එතකොට එක ප්‍රශ්නයක් නම් ආවා. දොස්තර මහත්තයා ලියන කොටස කොහොමද වෙනම පෙන්වන්නේ? උත්තරේ මේකයි. එතුමාගේ කොටස ප්‍රධාන නිසා කළු පැහැයෙන් තියනවා. මේ මැටිමෝල් වහන්සේ හිටි ගමන් පෝස්ටුවේ මැද්දට පනින ඒවා විතරක් වෙනම පාටකින් පාටින් දානවා…. මේ කරලා තියෙනවා වගේ. දැනට ඔය මදැයි. තව විස්තර පස්සේ කියමු….
අර තරුණ හාදයාට නම් ඉවුරේ ඉන්න හින්දා ගණනක් නැතිව ඇති. ඒත් අනේ, අර දැරිවි….. දියඹේ බැහැගෙන දිගටම කෙකටිය මල් කඩ-කඩා හිටියොත් ‘ජල සන්නිය’ හැදෙනවා ඒකාන්තයි. එහෙව් සීදේවී කෙලි පොඩිත්තියෙකුට අනාදි වෙන්න දෙතෑකිය? පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් බලලා ඉඳිමු නේද….
අර තරුණයා සූක්ෂ්මව තරුණියගේ හදවත ආක්‍රමණය කරන්න පටන් ගත්තලුනෙ, මෙහෙම…..
    මමත් මලක් නම් ඔය මල් කලඹේ
     මැනිකේ නෙලනවනේ!
     ඔහො හීන් සැරේ, ඔහො හීන් සැරේ
     සුදු අත් දික් කරලා
     එ මල නෙලාවි අනේ!
‘කරදර නොකර යන්න අනේ’ වගේ කළු-සුදු උත්තරයක් දෙන්නයි ඇයට සිදු වෙන්නේ…….
දැන් ඈ කොටු වෙන්න යන්නේ! ඈ කලු සුදු උත්තරයක් දිය යුතුයි. ‘අනේ යන්න අනේ කරදර නොකර’ වගෙ උත්තරයක්. මොකද, ඈ ඔහුව නෙලාගන්නවා නම් නෙලාගන්න විදියත් ඔහු දැනටමත් කියා ඇති නිසා: හීන් සැරේ සුදු අත් දික් කරලා මාවනෙලාවි අනේ!
ඒත් ඈ ඉතා බුද්ධිමත්.
     එහෙම උනොත් එය නෙලන්නෙ නැහැ නැහැ
      නෙලන්නෙ නැහැ නැහැ තියෙන්න හරිනවනේ”
එහෙම විතරක් කිව්වා නම් ඔහු සමඟ මීට වඩා ඇයි හොඳයියක්, ගනුදෙනුවක් නොමැති බව ඔහුට සන්නිවේදනය කරනවා ඈ. නුමුත්-
සැඩ පාරට ඔහෙ ගහගෙන යන්නට තියෙන්න හරිනවනේ!
මම මල (ඔයා) නෙලන්නෙ නැත්නම් (ඉදිරියේ ඇති; අපි නොදන්න) ජීවිතය කියන සැඩ පාරට අහුවෙලා විනාස වෙන්න පුලුවනි. මම ඔයාව නෙලා, ඒ අතෝරයෙන් බේරා ගත යුතුද?
සැඩ පාරට අහුවෙන කෙකටිය මල් මම නම් දැකලා නැහැ. එහෙම උනත් ඒක එතරම් ලොකු ව්‍යසනයකුත් නෙමේ. නුමුත් කොහෙවත් නැති සැඩපාරක් කතාවට එකතු කිරීමෙන් ඈ නව මානයක් මේ නාට්‍යයට ගෙනෙනවා.
අනෙක් අතට, ස්වයංපීඩක/ පරපීඩක කාමය ගෑවිලා නැති ප්‍රේමයක් කොහෙද තියෙන්නෙ?
නිමල් අයියා ඕකට කියන්නෙ ප්‍රණය කලහ කියල නේද?
ඔන්න එක ආදරවන්තයෙක් හිටියා…. (foto- අමල් මහේෂ් නුගපිටිය)
මම දන්න එක් ආදරවන්තයෙක් හිටියා- පැයක් දෙකක් පෙම්බරිය එක්ක දුරකථනයේ….. හිටිමින්; ඉඳිමින්; ඇවිදිමින්; නිදමින්; කතා කර-කර සිටින. අවසන ඔහුට ඈ අපි දැන් කතා කලා ඇති බබී. චුට්ටක් රන්ඩු කරමුයි කී කල ඈට අවනතව රන්ඩුවක් ඇදගෙන හොඳහැටි බැනුම් අසන. ඒ පුරුශයා හිටියා කිව්වට දැනුත් ඉන්නවා නිමල් අයියේ. ගවීන් මල්ලී, ඔයාට ඕනේ නම් මට එයාව නහයෙන් වුනත් පෙන්නන්න පුලුවන්!!
“#$%#$@ *%#$%#……………”
ආයෙ මතකද ඔයාලට, අඹු සැමි ප්‍රශ්නය විසඳීමෙදි මහෞශධ පන්ඩිතයන් කියූ දේ:
ඉක්බිති මහ බෝසතාණන් වහන්සේ, දේවයෙනි, යම් වේලෙක අඹුසැමි දෙමහල්ලෝ රහසිගත වැ ලෝකාස්වාද රතියෙන් කෙලනාහු ඔවුනොවුනට තොප මා කෙරෙහි මදකුත් ප්‍රේමයෙක් නැති. තොපගේ සිත බැහැර යැ යි මෙසේ ඔවුනොවුනට නැත්තක් කියද්ද බොරුයෙන් චෝදනා කෙරෙද්ද, එ වේලෙහි ඔහු දෙමහල්ලෝ ඔවුනොවුනට, අධිකව ප්‍රිය වන්නාහ යි තුන් වන පැනය වදාළ සේක. දේවතා දූ පෙර සේ ම පූජා කළා ය.
(උම්මග්ග ජාතකය- වීරසිංහ පතිරාජ. අවුරුදු 800කට එහා ලියැවුනු, ගුනපාල සේනාධීරයන්ගේ සංස්කරනය- 1978)
තවද,
අප මේ වසන, ඉපදෙන, මැරෙන, හිනා වෙන, දුක් වෙන, ලෝක ධාතුවත් මේ මුලු මහත් විශ්වයත් සිතුවිල්ලකින් නිර්මානය කල ශ්‍රී ක්‍රිශ්නා අන්ත අසරනව අයැදිනවා රාධාගෙන්:
ඔය කාම දේවයාගේ රැහැන් නම් බාහුවලින් කිටිකිටියේ මා බැඳ…….
    (රාධා!)
    ඔයාගෙ දත් හරිම සුන්දරයි,
    ඔයා ඔය තරමටම මා එක්ක තරහින් නම්
    ඔය තියුනු ඊතල වන් නියවලින් මා පාරන්න
    ඔය කාමදේවයාගේ රැහැන් නම් බාහුවලින්
    කිටිකිටියේ වෙලා මා බැඳ දමන්න
    ඔය මනහර බුහුටි දත්වලින් මා තොල් හපන්න
    ප්‍රියේ! මිහිරියේ!! (චාරුශීලේ)
    ඔයාට සතුටු හිතෙන- ඇවිස්සෙන ඕනම දෙයක් කරන්න මට-
    අනේ රාධා ඔය තේරුමක් නැති උඩඟුකම අතඅරින්න
    ආල ගින්නෙන් මගෙ හදවත ඇවිලී ගොස්
    ඔබේ මුඛ කමලේ (නෙලුම් මලේ) මීවිත
    බොන්න ඉඩ දෙන්න මට.”

මේ ගීත ගෝවින්දයෙ- දහ වෙනි එහෙම නැත්නම් චතුර චතුර්භුජ උල්ලාසය (chapter එක)- චතුර්භුජ කියන්නේ අත් හතරක් ඇත්තා කියන එක- ඒ කියන්නේ විශ්නු දේවයන්ගෙ නාරායන ස්වරූපයනෙ; චතුර කියන්නේ – ඉංග්‍රීසියෙන් flirting කියන එක වඩා ආසන්න අදහස දෙනවා.
තරහ උන රාධා යාලු කරගන්න, සිය වැරදි ඇත්නම් තමන්ට කරන්නැයි ශ්‍රී ක්‍රිශ්නා රාධාට මුඛරිකමින් යෝජනා කරන දඬුවම් බලන්න. එකම එකක් විතරක් විමසල බලමු. ‘නියපොතුවලින් සූරන්න; පහුරු ගාන්න.’ නියවලින් පාර හිටින්න හූරන එකත් නිකම්; ආවාට ගියාට කරන්න බෑ. මොනරෙක්ගේ පාද වගෙ කැලලක් හිටින විදියටයි සූරන්න කියන්නේ. (මයුර පාද කියලා කියන්නෙ ඒ සලකුනට.) මේවා ඉතින් දඬුවම්ම වෙනවද දිගටම කරගෙන යනකොට…..
මටත් ඔය වගේ දඬුවම් කරන කෙනෙක්ව හොයල දීපංකො මචං!
“බලාගෙන ගියාම දැන් කාලේ තියෙන කෙළි මොනවද කියලා හිතෙනවා…. පීරිස්!” නෙවිල් හූල්ලලා කිව්වා. හීල්ලුවේ කම්මැලිකමටද දුකටද කියලා හිතාගන්නවත් මට බැරි වුණා, මනුස්සයා ඒ එක්කම කතා කරපු නිසා.
“මටත් ඔහොම දඬුවම් කරන්න කෙනෙක්ව හොයලා දීපන්කො මචං!”
“උඹට දඬුවම් කරවාගන්න කෙනෙක්ද ඕනි, උඹ දෙන දඬුවම් විඳින්න කැමති කෙනෙක්ද ඕනි?” (සභාවේ සිනා.)
සභාව කිව්වට හතර දෙනයි. මෙහෙමයි ඒක වුණේ. කොරෝනාව කඩා වැටිලා ඇඳිරි නීතිය පැනෙව්වේ හිටි ගමන්. කොළඹ අපට නීති තදයි.
“නිමල් අයියේ, ගෙදර කන-බොන ජාති තත්ත්වේ කොහොමද?” අයස්මන්ත මහත්තයා ඉස්සෙල්ලාම කතා කළා.
“අවුලක් නෑ.” මට කියැවිණි.
“දන්නවනෙ… ඔයාලා වගේ අය මේ දවස්වල වැඩියෙන්ම පරෙස්සම් වෙන්න ඕනි. මොනම දේකටවත් ගෙදරින් එළියට බහින්න එපා. ඔයාල ගේට්ටුව ළඟ සංගමේ රැස්වීම් පවත්වන්නත් එපා…. මම යන-එන ගමන් ඕනේ කරන දේවල් ගෙනත් දෙන්නම්. අවුරුදු ගානක් තිස්සේ බෙහෙත් කරලා බේරාගෙන ඉඳලා දැන් ඔයාව කොරෝනාවලට බිලි දෙන්න ඕනෙ නැහැනෙ. තේරුණාද?”
කොරෝනා නිසාත් අපට අහඹු වාසනාවක් කඩාගෙන වැටුණේය……..
කීකරු වුණු නිසා මම ගෙදරටම කොටු වීමි. ඒ අඩුව පිරවුණේ අප හතර දෙනා වැඩියෙන් අදහස් හුවමාරු කරගන්නට ක්‍රමයක් සොයාගැනීමෙනි.
ඉතින් පොඩි ඉඩක් හරි ලැබුණු විගස අපි හතර දෙනා පිළිසඳරක යෙදෙන්නට අමතක නොකළෙමු. වැඩියත්ම අපේ කතාබහට ලක්වුණේ ගීත; පොත්; සිනමා පට; නාට්‍ය ආදියයි. එක දවසක් නම් අපේ සල්ලාපය ඉතාමත් රසවත් ඉසව් කරා විහිදුණේය; තවත් දවස් කිහිපයකටත් දිග්ගැස්සුණේය.
“මේ ගැන ලියනවකො මහත්තයෝ. නෑනාගේ පෝස්ටුව කියවපු ගොඩ දෙනෙකුත් කිව්වනේ ඔයාට තව ලියන්නෙයි කියලා. මේ discussion එක ලිව්වොත් මරුවට හිටීවි.” මම ආරාධනා කළෙමි. “කොරෝනා නිසා පොඩි විවේකයකුත් තියෙනවනේ.”
අපේ හතරෙන් දෙකක්ම වැඩි වෙලාවක් තිස්සේ කළේ අහගෙන ඉඳීමය; ලියන්නට බැරි තරමේ අනුපාන එකතු කිරීමය. මොකද, එයාලා සාහිත්‍ය-කලා සේවනය අඩු මාත්‍රාවකිනුත්, වෙන-වෙන දේවල් සේවනය වැඩි මාත්‍රාවලිනුත් කරන්නවුන් වීම නිසාය. ඒ හිලව්වට වගේ මං කැඩපතක් ඉදිරියට ගියාම හමුවෙන එකා ටිකක් කතා කළේය. වැඩියත්ම කතා කරන්නට දේවල් තිබුණු කෙනාටය මගේ ඇරයුම යොමු වුණේ.
මේ යකා හදන්නේ උඹව කඩේ යවන්න; උගේ වැඩේ කරෝගන්න…………
“පිස්සුද මචං. උඹ ලියන්න එපා. මූ හදන්නේ උගේ බ්ලොග් එකට උඹ ලවා ලියවන්න. මේකා සේරම ලියන්නෙත් අපි කියන-කරන ඒවා….” බ්ලොගය නොකියවන කෙනෙක් උදැල්ල දැම්මත්, දොස්තර මහත්තයා ලියන්නට එකඟ වුණේය; කොන්දේසි සහිතව. හිතාදර ඔබ දැන් කියවන්නේ ඒ ලේඛනයයි!
  
සමාවෙන්න නිමල් අයියේ, මගේ මේ කඨෝර පරිවර්තනයට. ගීත ගෝවින්දයෙ ගීත පාද අටෙන් අටට යන්නේ (අශ්ඨපාදි; ඒවා ශබ්ද රසය මතු වෙන්න හරිම රාගයෙන් ගයන්නයි, මෙහි නිර්මාතෘ ජයදේවයන් ව්‍යවහාර වර්ශ 1148 දි මේවා නිර්මානය කලේ. උතුරු ඉන්දීය රාගධාරී සංගීතයේ පියා ලෙස සැලකෙන්නෙත් මෙතුමාමයි.)
මේ අශ්ඨපාදිය ගායනය කල යුත්තේ දේශවරාඩි රාගයෙන්. තාලය අශ්ටතාලි. දැන් මේ රාග භාවිතයේ නෑ. මම වෙනත් රාගවලින් මේ ගායනා අහල තියෙනවා. ඒවා නම් මේ ලෝකයේ වෙන්න බෑ…. දිව්‍ය ගාන්ධර්වයන් විසින්ම නිර්මානය කලා වෙන්න ඕන.
“ගීත ගෝවින්දයට බැස්සොත් මම සම්පූර්නයෙන්ම පීලි මාරු කරගෙන තව පැයක් දෙකක් වෙනමම පැත්තකට යයි. පොඩ්ඩක් සැරෙන් සැරේ බලන්න හොඳේ. අද ටිකක් වැඩී වගේ මට කියවුනේ මේ පීලි පනින එක වැඩී වගේ දැනුනු නිසා!😔Hide or report 
ඕං එනව මං ඔරුවෙ නැඟීලා ………..
“බලන්න දෙයක් නැහැ. Doctor ගීත ගෝවින්දෙට බැස්සොත් නම් බඩුම තමයි…. නිමල් අංකල් දන්නවද වැඩක්? ඩොක්ටර්ගේ වාහනේ කබියේ මේ දැනුත් ‘ගීත ගෝවින්දය’ පොතක් තියෙනවා.” ගවීන් කිව්වේය. “ඩොක්ටර්ට මත් වෙන්න වෙන මොකුත් ඕනි නැහැ….. ගීත ගොවින්දේ අතට ගත්තම ඇති.”
“ගවීන්, අයස්මන්ත මහත්තයා ගීත ගෝවින්දෙන් ආනන්ද සමරකෝන් මහත්තයාට උදව් ගන්නවද…. ආනන්ද සමරකෝන් මහත්තයාගෙන් ගීත ගෝවින්දයට උදව් ගන්නවද කියලයි මට තෝරාගන්න බැරිව බලා ඉන්නේ….” මං කියද්දී නෙවිලුත් කෝන්තරයක් පිරිමැහුවේය.
“ඒ එකක්වත් නෙවෙයි…. මට තේරෙන්නේ නම් මේ සැරේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වගෙයි!”
“අඩෝ… #$%. කවුද ගොනා? මේ…. අහගෙන හිටපන් ඉස්සෙල්ලා…. හරිද…. පොල් පැලේ!”
    ඕං එනව මං ඔරුවෙ නැගීලා මැනිකේ ලඟට සැනේ
     ඔහො හනිකට හනිකට හනිකට එනවා ඔරුවට නැගී ගෙනේ
කෙකටිය මල් නෙලන යුවතියට, අපේ තරුනයාට ඒත්තු ගන්වන්න සිද්ද වෙනවා ‘තමන් ඇයට ලබාගන්න තරම් වටිනා කෙනෙක්/දෙයක් බව.’
පීනනවා මම එතකොට එගොඩට මාලුවෙකුගෙ වෙසිනේ……

ඒත් ඈ ඔහුව තරව අල්ලාගෙන, කැන්දන් යනවා පියවි ලෝකයෙන් කල්පිත ලෝකයට.

  පීනනවා මම එතකොට එගොඩට මාලුවෙකුගෙ වෙසිනේ.
        සිහින් දැලක් දා අල්ලාගන්නව කොහෙද එවිට මැනිකේ.

   ගන්නව එතකොට කුරුලු වෙසක් මම රූං කියා යනවා.
        ඕ එනවා එනවා පස්සෙන් එනවා ගුරුලු රජෙකු ලෙසිනේ.”
මේ තර්ගය මෙහෙම යන්න බෑ, ඈ ඔහුට අකැමැති නම්.
හැම ලපයි-සිපයි ශුක්‍රානුවකටම ඉඩ නොදෙන ආඩම්බරකාර ඩිම්බයක් මෙන්ම ඈත් බුරුලක් දෙන්නෙම නෑ.
  ගන්නව එතකොට සියුම් වෙසක් මම කොහොමද අල්ලන්නේ.

       අල්ලන්නේ මම එතකොට මැනිකෙව මගෙ මේ ගීත දැලේ.
       ඔහො එලනව එලනව වට කර ගන්නව ලක්සන ගීත දැලේ.”
ආනන්ද සමරකෝන්- ලීලා අශෝකා… එන්නද මැණිකේ මමත් දියඹටා කඩන්ට කෙකටිය මල්………..
ඇගේ පරීක්ශනය අවසාන වෙනවා.
මෙතැන කියවද්දී මට පුරාණ ගද්‍ය සාහිත්‍යයේ එන සිද්ධියක් සිහියට ආවා. “නරකද ඒක ගැන වචනයක් ලිව්වොත්? ඇගේ කියන වචනයට ලොකු බරක් එනවනේ….”
“අඩෝ…. මූට ඕනේ අරයගෙ නමත් මේ ලියුමට දාගන්න…” වැඩි හොඳක් කරන්න ගිහිල්ලා හිතපුවත් නැති කුණ්ඩාවාඩයක් කඩා වැටෙන්නයි ගියේ. මම ඒ යෝජනාව ඉල්ලා අස්කර ගත්තෙමි.
  නටනව එතකොට ගී කියමින් මම ඔබෙ ගී දැල ඇතුලේ
   ඔබ හා ගී කියමින් මම නටනව සෑම කලේ
මේ දෙබස මුලදි වශී කරන්නා තරුනයායි. ඒත් මැද හරියේදි වශී කරන්නට ආපු කෙනා වශී වී යුවතිය වශී කරන්නා බවට පත් වෙනවා! දඩයක්කාරයා ගොදුර බවට පත්වීමක්!! ආනන්ද සමරකෝන්ගේ දෙබසින් දුවන ගීත හැම එකක්ම වගෙ හරිම සියුම්; නාට්‍යමය….. මේ බලන්න…..
දොස්තර මහත්තයා එහෙම කිව්වට, ඊළඟ කොටසින්ම තමයි එයා කියන්න හදන දේ බලන්න වෙන්නෙ, හොඳේ!

%d bloggers like this: