Menu Close

රට (නො) ගිය ඇත්තෝ

රට ගිය ඇත්තෝ ගැනත් රට ගිය ඇත්තෝ ප්‍රබන්ධය ගැනත් දවස් හතරක් කතා කළා. මේ ප්‍රබන්ධය සමහර විට රචකයා විසින් දවසක් ඇතුළත ලියා පළ කළ බ්ලොග් පෝස්ට් එකක් වෙන්න ඇති. ඔය වගේ බ්ලොග් පෝස්ට් එකක් ලියා පළ කරන්නේ මාස ගාණක් පර්යේෂණ කරලා නෙමෙයි. ලිවුවා. පළ කළා. එච්චරයි. වැදගත් කාරණය මේ වගේ බ්ලොග් පෝස්ට් එකක් මේ තරම් දුර ගියේ කොහොමද කියන එකයි.

කිසියම් ප්‍රබන්ධයක් හෝ වෙනත් නිර්මාණයක් හොඳ නිර්මාණයක් වෙන්නේ කොහොමද? මේ කතාව තාක්ෂණික වැරදි බහුල අභව්‍ය හා අසංගත කතාවක්. හැබැයි ඒ හේතු නිසා මෙය නරක නිර්මාණයක් කියා කියන්න බැහැ. නිර්මාණයක් හොඳද නැද්ද කියන එක තීරණය කරන ලොකුම නිර්ණායකය එයට මිනිසුන්ගේ තිබෙන කැමැත්තයි. ඒ අතින්, රට ගිය ඇත්තෝ සාර්ථක නිර්මාණයක්. වසර නවයකට පස්සෙත් රට ගිය ඇත්තෝ සමාජ මාධ්‍ය ඇතුළේ සංසරණය වෙනවා. ඒ ඇයි?

බොහෝ මිනිස්සු කවර හෝ හේතුවක් නිසා තමන් දැන් ගෙවන ජීවිතය ගැන සතුටු නැහැ. විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු ගත්තොත්, බොහෝ දෙනෙක් තමන් දැන් ගෙවන ජීවිතය ගැන සතුටු නොවන්නේ ආර්ථික හේතු මතයි. තමන්ගේ පරිභෝජන මට්ටම ඉහළ දමා ගන්න පුළුවන් ක්‍රමයක් ඔවුන් හැම වෙලාවෙම හොයමින් ඉන්නවා.

මේ විදිහට හිතන අය බටහිර රටකට කොහොම හරි යන එක ප්‍රශ්නයට විසඳුමක් කියලා හිතනවා. නමුත්, එක්කෝ ඒ සඳහා අවස්ථාව නැහැ. එහෙම නැත්නම් එහි අවදානම ගන්න සූදානම් නැහැ. ආසයි බයයි.

බෝට්ටු වලින් පනින තැන දක්වා තල්ලු වෙන්නේ ආශාව හොඳටම වැඩි බය අඩු අය. නමුත්, ගොඩක් අය ඒ ගොඩේ නැහැ. හිතලා බැලුවහම තේරෙනවා ලංකාවෙන් යන එකෙන් තත්ත්වය තවත් නරක් වෙන්න පුළුවන් කියලා. අවිධිමත් ලෙස මනසින් කරන විශ්ලේෂණයක් වුවත් සංක්‍රමණය වීමේ ආවස්ථික පිරිවැය එක්ක බැලුවහම ලැබෙන්න ඉඩ තිබෙන ප්‍රතිලාභ අඩුයි වගේ පේනවා. ඒ නිසා, ඒ අදහස අත ඇරලා දමනවා. බොහෝ විට මේ තීරණය ගන්න පුළුවන් හොඳම තීරණයයි.

ලංකාවට වෙලා ඉන්න එක ගන්න පුළුවන් හොඳම තීරණය වුනත් සංක්‍රමනය වීම ගැන අඩු වශයෙන් හිතන්න හෝ පොළඹවපු මූලික ප්‍රශ්න ටික ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, ගත්ත තීරණය වැරදිද කියන එක නිතරම හිතට වද දෙනවා. ඔය අතරේ බටහිර රටකට සංක්‍රමණය වූ යාළුවෙක්, නෑදෑයෙක් නිවාඩුවට ලංකාවට එනවා. අත දිග ඇරලා වියදම් කරනවා. තමන්ගේ ජීවිතය ගැන තොරතුරු රස කරලා කියනවා. හැබැයි කියන්නේ තමන්ට කියන්න අවශ්‍ය කොටස පමණයි. එතකොට ලංකාවේ ඉන්න මනුස්සයාගේ අර අවුල වැඩි වෙනවා.

සමාජ මාධ්‍ය නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වෙලා. ඉස්සර ඔය වගේ අවුලක් ඇති වුනේ කලාතුරකින් යාළුවෙක්, නෑදෑයෙක් නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක විතරයි. දැන් ඒ මිනිස්සු කන බොන විදිහ, යන තැන් ඇතුළු හැම මගුලම හැම වෙලාවෙම පේන්න තියෙනවා. ලංකාවේ ඉන්න මනුස්සයාට පේන්නේ පිට රට ඉන්න මනුස්සයා පෙන්නන්න කැමති කොටස පමණයි. ලංකාවේ ඉන්න මනුස්සයාගේ අවුල වැඩි වෙනවා. තමන් ලංකාවේ ඉන්න ගත්ත තීරණය වැරදිද කියන අදහස හිතට වද දෙනවා.

රට ගිය ඇත්තෝ වගේ කතාවක් කියෙවුවහම ලංකාවේ ඉන්න කෙනෙක්ට තමන් ලංකාවේ දැන් ගෙවන ජීවිතය පිළිබඳව තෘප්තිමත් වෙන්න පුළුවන්. තමන් ගත්ත තීරණය ගැන ආඩම්බර වෙන්න පුළුවන්.

එහෙමනම්, මේ වගේ කතාවක් විදේශගත ලාංකිකයින් විසින් සංසරණය කරන්නේ ඇයි? කුහකකම නිසාද?

මම මේකට කුහකකම කියලම කියන්නේ නැහැ. මම දකින විදිහට මේ කතාව අභව්‍ය එකක් වුනත් එයින් පිළිබිඹු වෙන්නේ බටහිර රටක ජීවත් වන පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකුගේ සංකීර්ණ මනෝ භාවයේ එක් සැඟවුණු පැතිකඩක්. සිරිල් සපරමාදු චරිතය ඇමරිකාවේ ජීවත් වන සංක්‍රමණිකයෙකුගේ සැබෑ චරිතයක් නෙමෙයි. එහෙත්, ඇමරිකාවේ ජීවත් වන සංක්‍රමණිකයෙකුගේ මනසේ එක අඳුරු මුල්ලක සිරිල් සපරමාදු කෙනෙක් විය හැකියාවක් ලෙස ජීවත් වෙනවා. රට ගිය ඇත්තෝ කතාව තමන්වත් නොදන්න තමන්ගේ මනසේ තිබෙන මේ අඳුරු මුල්ල එක්ක සුසර වෙනවා.

සංක්‍රමිකයින් කියන්නේ හිතා මතා දුෂ්කර හා අවදානම් තීරණයක් ගත් පිරිසක්. මේ අයත් කලකට පෙර කවර හෝ හේතුවක් නිසා ලංකාවේ තමන්ගේ ජීවිතය ගැන අතෘප්තිමත්ව සිටි අය. එහෙම ඉන්න අතර සංක්‍රමණය වීමේ පිරිවැය හා ප්‍රතිලාභ ගැන විශ්ලේෂණයක් කරනවා. කලින් වගේම අවිධිමත් ලෙස මනසින් කරන විශ්ලේෂණයක් වෙන්න පුළුවන්. එහිදී සංක්‍රමණය වීමේ ආවස්ථික පිරිවැය වලට සාපේක්ෂව ලැබෙන්න ඉඩ තිබෙන ප්‍රතිලාභ වැඩියි වගේ පේනවා. ඒ නිසා සංක්‍රමණය වෙනවා. බොහෝ විට මේ තීරණය ගන්න පුළුවන් හොඳම තීරණයයි.

බටහිර රටකට සංක්‍රමණය වන ලාංකිකයා ආරම්භයේදී කට්ටක් කනවා. ඒක බලාපොරොත්තුවෙන් සිටි තත්ත්වයක් මිසක් අනපේක්ෂිත දෙයක් නෙමෙයි. ඔය කට්ට කෑවට පස්සේ සංක්‍රමණිකයෙක්ට තමන්ගේ මුල් ඉලක්කයට යන්න බැරි වෙන එක ඉතාම කලාතුරකින් විය හැකි දෙයක්. ඊට පස්සේ තමන්ගේ දැන් ජීවිතය ගැන සතුටක් ඇති වෙනවා. ඒ සතුට ලබන්නේ තමන් ජීවත්ව සිටි ලංකාව එක්ක සංසන්දනය කරමින්.

ඔය සතුට කඩා වැටෙන්නේ අවුරුදු හත අටකට පස්සේ ලංකාවට ආවහමයි. දැන් ලංකාව තමන් ලංකාවෙන් එන කොට තිබුණු, තමන්ගේ ඔලුවේ තිබුණු ලංකාව නෙමෙයි. සුපර් මාර්කට් එකකට ගියාම තමන් ලංකාවේ ඉන්න කාලයේ දැකලා නොතිබුණු, දැන් ඉන්න රටේදී පරිභෝජනය කරපු හැම දෙයක්ම වගේ ලංකාවේදීත් දකින්න ලැබෙනවා. ලංකාවේ යාලුවෝ නෑදෑයෝ ඒවා පරිභෝජනය කරනවා. කලින් අමාරුවෙන් ජීවත් වූ මිනිස්සු ලොකු ගෙවල් හදාගෙන තමන් දැන් ඉන්න රටේ පාවිච්චි කරනවාට වඩා මිල අධික මෝටර් රථයකින් ගමන් බිමන් යනවා. ජාත්‍යන්තර පාසැල් වල ඉගෙන ගන්න ඔවුන්ගේ දරුවෝ ඉංග්‍රීසියෙන් කතා කරනවා. මේවා දකින කොට තමන් සංක්‍රමණය වෙන්න ගත්ත තීරණය අත්වැරැද්දක්ද කියලා හිතට වද දෙන්න පටන් ගන්නවා.

මේ වගේ අවස්ථාවක එක් අවිඥානක ප්‍රතිචාරයක් වන්නේ අත දිග ඇරලා වියදම් කරන එකයි. තමන් ජීවත් වන රටේදී නොකරන වියදම් ලංකාවේදී නිකම්ම වගේ කෙරෙනවා. සමහර විට ලංකාවේ ඉන්න මනුස්සයාත් තමන් ලංකාවේ හොඳින් ඉන්න බව පෙන්වන්න ඔය වැඩේම කරන්න පුළුවන්. තමන් වඩා හොඳින් බව දෙන්නාම එකිනෙකාට පෙන්නන්න යනවා. නමුත්, ඇතුළෙන් දෙන්නාගේම අතෘප්තිය ඉහළ යනවා.

සංසන්දනයක් කරන සංක්‍රමණිකයාට ලංකාවේ ජීවත් වූ තමන්ගේ තත්ත්වයේ සිටි අයෙකුට සාපේක්ෂව තමන් ලබාගෙන තිබෙන දේවල් හිතපු තරම්ම විශාල නැති බව පේන්න පටන් ගන්නවා. ඒ එක්කම මේ වෙනුවෙන් තමන්ට අත් හැර දමන්න සිදු වී ඇති දේවල් සිහියට එනවා. විශ්‍රාම දිවියේ සුරක්ෂිතතාවය එයින් ප්‍රධාන එකක්.

ලංකාවේ හිටියානම් මහළු වයසේදී තමන්ගේ දරුවෙක් ලඟ වැටිලා ඉන්න පුළුවන්. එහෙත්, බටහිර රටකදී එය අසාමාන්‍ය දෙයක්. ඒ නැති වුනු දෙයට වඩා තමන් සංක්‍රමණය වීම හරහා හිමි කරගත් දේවල් වටිනවාද? සංක්‍රමණිකයාගේ මනසේ කොනක සැඟවුණු සිරිල් සපරමාදු අවදි වෙන්න පටන් ගන්නවා.

ඇමරිකාව ගත්තොත් පාසැල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ දරුවන් නිවසින් පිට වී යනවා. ඒ ගියාට පස්සේ නැවත දරුවන් හා දෙමවුපියන් එකට ජීවත් වන එක සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. හැබැයි සුදු ඇමරිකානු පවුල් වල පවා එසේ සිදුවන අවස්ථා විශේෂ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.

ඇමරිකාවේ බොහෝ දරුවන්ට දෙමවුපියන්ගෙන් ප්‍රාග්ධනයක් ලැබෙන්නේ නැහැ. දෙමවුපියන් කරන්නේ දරුවෙකු වැඩිහිටියෙකු වන තුරු අවශ්‍ය සම්පත් හා රැකවරණය සපයන එකයි. සරසවි අධ්‍යාපනය ලබන බොහෝ දෙනෙක් එය කරන්නේ ශිෂ්‍ය ණය ලබා ගෙනයි. එයින් පසුව, ඒ ණයත් ගෙවමින් ක්‍රමයෙන් ජීවිතය ගොඩ නගා ගන්න වෙනවා. රැකියාවක් කරන්න පටන් ගත් පසු වාහනයක්, ගෙයක් ගන්න මුදල් ඉතිරි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිවාස ණයක්, වාහන ණයක් අරගෙන හෙමිහිට ගෙවාගෙන යන්න පුළුවන්. බොහෝ ඇමරිකානුවන් ජීවිතය පටන් ගන්නේ මේ ආකාරයට සෘණ ශුද්ධ වත්කම් ඇති පිරිසක් විදිහටයි.

සාමාන්‍ය ඇමරිකානුවෙක් තමන්ගේ ණය ගෙවා අවසන් කරලා ශුද්ධ වත්කම් හිමියෙක් වෙන්නේ මැදි වයස පහු කළාට පසුවයි. එතැන් පටන් කළ යුත්තේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කර ගැනීම ගැන හිතන එකයි. අපේක්ෂිත ඉදිරි ජීවිත කාලය ගත කරන්න අවශ්‍ය තරම් වත්කම් ඉතිරි කරගත් කෙනෙක්ට කලින් විශ්‍රාම යන්න පුළුවන්. එහෙත්, එසේ කළ හැක්කේ කාලයක් තිස්සේ වැඩි ආදායමක් ඉපැයූ කෙනකුටයි.

විශ්‍රාම දිවිය ගැන කලින් හිතා සැලසුම් කළ කෙනෙකුට තමන්ගේ දරුවන්ට බරක් වෙන්න අවශ්‍ය නැහැ. බොහෝ ඇමරිකානුවන් තමන්ගේ අවමංගල්‍ය වියදම් වෙනුවෙන් පවා කලින් මුදල් වෙන් කර තබනවා. සාමාන්‍ය ඇමරිකානුවෙක් තමන්ගේ දරුවන් හෝ මුණුපුරන් වෙනුවෙන් මීට වඩා “අසාමාන්‍ය” දෙයක් කරන්නේ අනුන්ට බරක් නොවී ජීවත් වීමට හැකි බවට වන විශ්වාසය තහවුරු කර ගැනීමෙන් පසුවයි. එසේ නැත්නම් මුලින්ම හිතන්නේ අනුන්ට බරක් නොවී ඉදිරි කාලය ගෙවන ආකාරය සැලසුම් කර ගන්නේ කොහොමද කියලයි.

විශ්‍රාම දිවිය අනුන්ට බරක් නොවී ගෙවිය හැකි බව පිළිබඳව සැකයක් නැති ඇමරිකානුවන් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරනවා. මුණුපුරන් බලා ගන්න කාලය යොදවනවා. දරු මුණුපුරන්ගේ වෙනත් වියදම් දරනවා. ඇමරිකානු සංස්කෘතිය ඇතුළේ හැදෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ දරුවන් ඇතුළු දරුවන් මේ දේවල් තමන්ට ලැබෙන “බෝනස්” ලෙස මිස දෙමවුපියන් විසින් අනිවාර්යයෙන් කළ යුතු දේ සේ සලකන්නේ නැහැ. එයට සාපේක්ෂව, දෙමවුපියන් වයස්ගත වූ පසු දරුවන්ට බරක් නොවී ජීවත් වීම ගැන හිතන්නේ ඔවුන් විසින් කළ යුතු සාමාන්‍ය දෙයක් ලෙසයි.

සාමාන්‍ය තත්ත්වය මෙසේ වෙද්දී ලංකාව, ඉන්දියාව වැනි රටකින් සංක්‍රමණය වූ අය තමන්ගේ දරුවන්ට සලකන ආකාරයේ වෙනසක් තිබෙනවා. ඔවුන් තමන්ට හැකිනම් හැම විටකම වගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන වියදම් වෙනුවෙන් මුදල් වැය කරනවා. එසේ කිරීමේදී තමන්ගේ විශ්‍රාම දිවියේ සුරක්ෂිතතාවය කියන කරුණ දෙවැනි තැනට දමනවා. මෙහිදී මෙය තමන් දරුවන් වෙනුවෙන් කරන හා කළ යුතු වටිනා දෙයක් ලෙස දෙමවුපියන් හිතුවත්, දරුවන් බොහෝ විට එය තේරුම් ගන්නේ ඔවුන් තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ සතුට සඳහා කරන දෙයක් ලෙසයි. ඒ වෙනුවෙන්, අවසන් කාලයේ දරුවන් ඔවුන්ට සලකනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔවුන් දන්නේ නැහැ.

වයස්ගත දෙමවුපියන් දරුවන්ගේ ජීවිත වලට බරක් වීම ඔවුන්ට විශාල ප්‍රශ්නයක්. එය ඔවුන් අපේක්ෂා කරන දෙයක් නෙමෙයි. දරුවන්ට මේ බර වැටෙන්නේ ඔවුන් සැලසුම් සහගත ලෙස ජීවිතය ගොඩ නගා ගන්න උත්සාහ කරමින් සිටින කාලයේදී. ඇමරිකාවට ලංකාවෙන් සංක්‍රමණය වී සිටින කෙනෙක් සිරිල් සපරමාදු මෙන් දරුවකුගේ සිංගල් බෙඩ් අපාර්ට්මන්ට් එකකට කඩා වැදුනොත් කතාවේ වගේ දෙයක් වෙන්න බැරිකමක් නැහැ. ඒ බව ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් දන්නවා. ඒ එක්කම තමන්  එවැනි තත්ත්වයකට පත් වෙයිද කියන බයකුත් හිතේ තියෙනවා. රට ගිය ඇත්තෝ කතාවේ සිරිල් සපරමාදු විසින් අයිති කර ගන්නේ කතාව වත්පොත හරහා බෙදා හරින සංක්‍රමණිකයෙකුගේ හිතේ කොනක තියෙන මේ බයෙන් කොටසක්.

සංක්‍රමණිකයෙකුගේ මේ බය එක්කම පසුතැවිල්ලක්ද එනවා. ඒ පසුතැවිල්ල එන්නේ ලංකාවේ හිටියානම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ කියන පූර්ව නිගමනය ඇතුළේ. නමුත්, මෙහිදී සංක්‍රමණිකයා මේ සංසන්දනය කරන්නේ තමන් සංක්‍රමණය වෙද්දී තිබුණු ලංකාවත් එක්කයි. ඒ ලංකාව දැන් නැහැ. ලංකාවේ සිදු වෙලා තිබෙන්නේ භෞතික සම්පත් වඩා සුලභ වීම පමණක් නෙමෙයි. කාලයත් එක්ක සමාජ සම්බන්ධතා වල ස්වභාවයත් වෙනස් වෙලා. තව දුරටත් වේගයෙන් වෙනස් වෙනවා.

ඇමරිකානු දරුවන්ට වයස්ගත දෙමවුපියන් බරක් සේ තේරෙන්නෙත්, ලංකාවේ එසේ නොවෙන්නේත් සංස්කෘතික වෙනසක් නිසාම නෙමෙයි. සංස්කෘතියක් කියන්නේ බාහිර තත්ත්වයන් එක්ක වෙනස් වන දෙයක්. ලංකාවේ මේ තත්ත්වය වේගයෙන් වෙනස් වෙනවා. අද වයස අවුරුදු තිහක් තිස් පහක් පමණ වූ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දරුවන් වැඩිහිටියන් වූ පසු දරුවන් සමඟ ජීවත් වෙන එකක් නැහැ. ඒ නිසා, ඇමරිකාවේ ඉන්න සංක්‍රමණිකයෙක් ලංකාවේ හිටියානම් තත්ත්වය ගැන හිතමින් වද වන එකේ තේරුමක් නැහැ.

මා පෙර ලිපියක පැහැදිලි කර ඇති පරිදි අප බොහෝ විට පරිසිද්ධික තත්ත්වයන් සංසන්දනය කරනවා. එය වැරදි සංසන්දනයක්. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවිතය හා සංක්‍රමණය නොවී ලංකාවේ ජීවත් වන අයෙකුගේ ජීවිත අපට සංසන්දනය කරන්න බැහැ. ඒ දෙන්නා දෙන්නෙක්. සංක්‍රමණිකයා ලංකාවේ හිටියානම් බොහෝ විට ඔහුගේ තත්ත්වය වඩා නරක වෙන්න තිබුණා. ඒ වගේම සංක්‍රමණය නොවූ ලාංකිකයා සංක්‍රමණය වුනානම් ඒත් ඔහුගේ තත්ත්වය වඩා නරක වෙන්න තිබුණා. මේ ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් අපට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට ඉදිරිය බලා තමන්ට හොඳම තීරණය ගැනීමේ හැකියාවක් තිබෙනවා. එය එසේ නොවන්නේ අඩුවෙන්.

රට ගිය ඇත්තෝ කතාවට නැවත එමු. මේ කතාව මෙරු එනවා වගේ සෑම වසරකම ග්‍රීන්කාඩ් ලොතරැයි ප්‍රතිඵල එන දවසට එක වරම උඩට මතු වෙන්නේ කොහොමද?  උඩින් කතා කළ ලාංකිකයින්ගේ හා සංක්‍රමනිකයින්ගේ මනෝ භාවයන් කතාව ජනප්‍රිය වීම පැහැදිලි කරන නමුත් මේ සංසිද්ධිය විස්තර කරන්නේ නැහැ.

රට ගිය ඇත්තෝ කතාව මූලික වශයෙන් ගත්තොත් ග්‍රීන්කාඩ් වාසනාව ඇත්තටම වාසනාවක් නෙමෙයි අවාසනාවක් කියා හඟවන ඩිස්තෝපියානු කතාවක්. ග්‍රීන්කාඩ් ලොතරැයි ප්‍රතිඵල එන දවසට මේක උඩට මතු වෙන්න හේතු දෙයක් තිබෙනවා. ඒ ගැන කතා කරන්න කලින් අපි මේ ග්‍රීන්කාඩ් ලොතරැයි ලැබෙන ක්‍රියාදාමය ගැන ටිකක් කතා කරමු.

ග්‍රීන්කාඩ් ලොතරැයිය නිකම්ම ඇදෙන්නේ නැහැ. ඒ සඳහා අයදුම් කළ යුතුයි. මේ ලොතරැයිය දිනුවා කියලා සල්ලි හම්බ වෙන්නේ නැහැනේ. ලැබෙන්නේ ඇමරිකාවට යන්න අවස්ථාවක්. ඒ කියන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන කෙනෙක් එය කරන්නේ ඇමරිකාවට යන්න බලාගෙන මිසක් වෙන දේකට නෙමෙයිනේ.

අවස්ථාවක් ලැබෙනවානම් ඇමරිකාවට යන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ අය තමන්ගේ ලංකාවේ ජීවිතය ගැන අතෘප්තිමත්. ඇමරිකාවේ වඩා හොඳ ජීවිතයක් තිබෙන බව ඒ අය විශ්වාස කරනවා. මේ සමහර අය ප්‍රසිද්ධියේ ඇමරිකාවට පලු යන්න බනිනවා වෙන්න පුළුවන්. හැබැයි අවස්ථාවක් ලැබෙනවානම් යන්න බලාගෙනයි ඉන්නේ.

සංඛ්‍යාලේඛණ අනුව 2008-2018 කාලයේ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ ලාංකිකයින් ප්‍රමාණය 1,147,458ක්. 1995-2007 කාලයේත් 2019දීත් අයැදුම් කළ ප්‍රමාණය එකතු කළ විට අනිවාර්යයෙන්ම ඔය වගේ දෙගුණයකට වඩා වැඩි වෙන්න පුළුවන්. එකම පුද්ගලයාට දිගින් දිගටම අයදුම් කරන්න බාධාවක් නැති නිසා අයදුම්පත් ගණන ඔළු ගෙඩි ගණනට සංසන්දනය කරන එක නිවැරදි නැහැ. ඒ ගැන හිතුවත්, මිලියන 21ක් ජීවත් වෙන ලංකාවේ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා වරක් හෝ අයදුම් කළ ලාංකිකයින් ගණන මිලියනයකට නැත්නම් මිලියන බාගයකටවත් කිට්ටු වෙන්න පුළුවන්. ඔය මිලියන විසි එකෙනුත් විශාල පිරිසකට උසස් පෙළ සුදුසුකම නැහැනේ. ඒ අය අතරින් විශාල පිරිසක් අයදුම් කර නැත්තේ අවශ්‍ය මූලික සුදුසුකම් නැති නිසා මිසක් ඇමරිකාවට යන්න අකැමැති නිසා නෙමෙයි. එහෙම බැලුවහම අවස්ථාවක් ලැබෙනවානම් ඇමරිකාවට යන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. හැබැයි ඒ බව අනෙක් අයට පෙන්නන්නේ නැහැ.

අපි 2018 අවුරුද්ද ගනිමුකෝ. එම අවුරුද්දේ පමණක් අයදුම් කළ ලාංකිකයින් ප්‍රමාණය 139,527ක්. සෑම ලාංකිකයින් 155කටම එක් අයෙක්! ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ කෙනෙක් අනිවාර්යයෙන්ම ඔබ සමීපයේ ඉන්නවා. හැබැයි බොහෝ විට ඔබට කියන්නේ නැහැ.

මේ විදිහට ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන කෙනෙක් ජයග්‍රාහකයෙක් වෙන එක අහඹු සිදු වීමක්. 2008-2018 කාලයේ ජයග්‍රාහකයින් වී තිබෙන ප්‍රමාණය 8,917ක් පමණයි. ඒ කියන්නේ 129 කට එක්කෙනෙක්. එක් අයෙක් ජයග්‍රාහකයෙක් වෙද්දී තව 128 දෙනෙක් පරාජිතයෝ වෙනවා. 2018 අවුරුද්ද ගත්තොත් පරාජිතයින් 138,750ක්. පසුගිය කාලයේ රටාව අනුව මේ අවුරුද්දේ ඔය පරාජිතයින් ප්‍රමාණය 150,000ක් පමණ වෙන්න පුළුවන්.

මේ මිනිස්සු මොන හේතුවක් හෝ නිසා තමන්ගේ ලංකාවේ ජීවිතය ගැන අතෘප්තිමත් මිනිස්සු. ඇමරිකාවට යන්න තිබෙන කුඩා හෝ ඉඩකඩ වෙනුවෙන් ඔට්ටු තියපු මිනිස්සු. දැන් ඔට්ටුව පැරදිලා. හිතට හරිම අමාරුයි! රටේ ජනගහණයෙන් 156 කට එක් අයෙක් මෙතැන ඉන්නවා. රට ගිය ඇත්තෝ වගේ කතාවක් කියවලා වත්පොත හරහා බෙදා හැරියාම තමන්ගේ හිත ටිකක් හෑල්ලු කර ගන්න පුළුවන්. තමන් අර පරාජිතයින් 138,750න් එක් අයෙක් නොවන බව තමන්ගේ යාළුවන්ට නෑදෑයින්ට හඟවන්න පුළුවන්.

ඔය කතාවේ එක පැත්තක්. ඊ ළඟට අර දිනපු පිරිස. 2018දී නම් 777 දෙනෙක්. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනපු බව දැන ගත්ත ගමන්මනම් මාර සතුටුයි. සතුට නැති වෙන්නේ ටිකක් කරුණු හොයා බැලුවට පස්සේ.

ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනපු බව සඳහන් ලියුම හරි, දැන්නම් ඉලෙක්ට්‍රොනික් රෙකෝඩ් එක හරි, පෙන්නලා ඇමරිකාවට එන්න බැහැ. ඇමරිකාවට සංක්‍රමනිකයෙකු ලෙස ඇතුළු වෙන්න වීසා ගන්න ඕනෑ. ග්‍රීන්කාඩ් ලොතරැයිය ජයග්‍රහණය කිරීම සංක්‍රමනික වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්න ඉඩ සලසන එක් සාධකයක් පමණයි. ඊට පස්සේ තව සෑහෙන්න දේවල් කරන්න වෙනවා. නැත්නම් ඇමරිකාවට යන්නේ ලැබෙන්නේ නැහැ.

– අධ්‍යාපන සුදුසුකම් තහවුරු කරන්න ඕනෑ.
– පවුලේ අයට ඇමරිකාවට ගිහින් අවුරුද්දක් ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදල් තිබෙන බව පෙන්වන්න ඕනෑ. ලංකාවේ හැටියට ලොකු මුදලක්. නැත්නම් ඒ සඳහා වෙනත් විකල්පයක් තියෙන්න ඕනෑ.
– අවශ්‍ය එන්නත් සියල්ල ලබා ගෙන තියෙන්න ඕනෑ. ඇමරිකාවට අවශ්‍ය එන්නත් මිසක් ලංකාවට අවශ්‍ය පොඩි කාලේ ලබාගත් ඒවාම නෙමෙයි. ඒවා වුනත්, ඒවායේ වාර්තා තියෙන්න ඕනෑ. එන්නත් අතර පරතරයක් තිබිය යුතු නිසා මේ වැඩේට කල් යන්න පුළුවන්. නැත්නම් වෛද්‍ය පරීක්ෂණය සමත් වෙන්න බැහැ.
– ජීවත්ව හිටපු හැම තැනක් / කාලයක්ම ආවරණය කරන පොලිස් වාර්තා ඕනෑ.
– ඔය හැම එකම නිශ්චිත අවසන් දිනයකට පෙර කරන්නත් ඕනෑ.

ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන්නේ ලංකාවේ ඉන්න ලාංකිකයින් පමණක් නෙමෙයි. ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් රටවල ඉන්න ලාංකිකයිනුත් ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරනවා. ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරන ඇමරිකාවේ ඉන්න ලාංකිකයෙක් ඉහළ ආදායමක් උපයන, ස්ථිර රැකියාවක් ඇති, කාලයක සිට ඇමරිකාවේ ජීවත් වන අයෙක් වෙන්න පුළුවන්. එවැනි කෙනෙකුට ග්‍රීන්කාඩ් එක ගොඩක් වටිනවා. එහෙම නැත්නම් ඇමරිකාවේ ඉන්න ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක්ට උඩ කියපු කාරණා ඉටු කරන එක පහසු දෙයක්.

එසේ වුවත්, මේ හැම දෙයක්ම සම්පූර්ණ කරන එක ලොතරැයිය දිනන හැම කෙනෙක්ටම කරන්න බැරි බව ඇමරිකන් රජය දන්නවා. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය අනුව 50,000කට හෝ ආසන්න පිරිසකට ඇමරිකාවට එන්න අවස්ථාව දෙන්නත් ඕනෑ. ඒ නිසා, ඇමරිකාව කරන්නේ වඩා වැඩි පිරිසක් ජයග්‍රාහකයින් ලෙස තෝරා ගන්න එකයි. බොහෝ විට 100,000කට ආසන්න පිරිසක්. ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්.

දැන් තව අවුලක් ඇති වෙනවා. 50,000 ඉක්මවන පිරිසක් අවශ්‍ය හැම දෙයක්ම ඉටු කළොත්?

එහෙම වෙන්න ඉඩක් නැහැ. නිකුත් කළ වීසා ප්‍රමාණය පණස් දහසට ආසන්න වෙද්දී තානාපති කාර්යාල විසින් වීසා දෙන එක නවත්තනවා. ඒ නිසා, ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනලා අර උඩින් සඳහන් හැම දෙයක්ම සම්පූර්ණ කරන්න බලාගෙන හිටියත් එහෙම ඉන්න හැම දෙනෙක්ටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. 2008-2018 කාලයේ ග්‍රීන්කාඩ් දිනපු ලාංකිකයින් 8,917 දෙනෙකුගෙන් ඇමරිකාවට යන්න වීසා ලැබිලා තියෙන්නේ 3,584 දෙනෙකුට පමණයි. මේ ප්‍රමාණය 40%ක් වගේ පෙනුනත් ඇත්තටම ඊටත් අඩුයි. මොකද  ග්‍රීන්කාඩ් ජයග්‍රාහකයින්ගේ පවුලේ අයට දෙන වීසා ප්‍රමාණයත් ඔය 3,584ට ඇතුළත්. ඒ නිසා, ඇත්තටම වීසා ලැබුණු ග්‍රීන්කාඩ් ජයග්‍රාහකයින් ප්‍රමාණය 20%ක් තරම් අඩු වෙන්න පුළුවන්. ඉතිරි 80%ටම වීසා ලැබී නැහැ. එක්කෝ ඉහත කාරණා වල අඩුවක් නිසා සම්මුඛ පරීක්ෂණය අසමත් වෙලා. නැත්නම් සම්මුඛ පරීක්ෂණය සඳහා අවස්ථාවක් හෝ හිමි වී නැහැ.

ජයග්‍රාහකයින් අතර ග්‍රීන්කාඩ් හරහා වීසා ලැබෙන ක්‍රියාවලිය ගැන හොඳින් දන්නා ටික දෙනෙක් ඉන්නවා. වීසා ලබා ගැනීම එක පැත්තකින් කාලය එක්ක කරන තරඟයක් බවත්, අනෙක් පැත්තෙන් අනෙක් ජයග්‍රාහකයින් එක්ක කරන තරඟයක් බවත් ඔවුන් දන්නවා. අනෙක් අයගේ වීසා ප්‍රතික්ෂේප වන තරමට තමන්ට වීසා ලැබෙන්න තිබෙන ඉඩකඩ ඉහළ යනවා. අනෙක් අයව අධෛර්යමත් කළ තරමට ඔවුන් අවශ්‍ය කටයුතු කඩිමුඩියේ කර ගන්න එක පරක්කු කරන්න පුළුවන්.

ග්‍රීන්කාඩ් ලොතරැයිය ජයග්‍රහණය කළාට පස්සේ සම්මුඛ පරීක්ෂණ සඳහා යන්න ලැබෙන්නේ තෝරා ගත් අනුපිළිවෙලකටයි. ග්‍රීන්කාඩ් ලොතරැයි ජයග්‍රහණයත් එක්කම මේ අනුපිළිවෙලද අහඹු ලෙස තීරණය කෙරෙනවා. ලැයිස්තුවේ අනුපිළිවෙල අනුව උඩින්ම ඉන්න අයට සම්මුඛ පරීක්ෂණ සඳහා මුලින්ම අවස්ථාව ලැබෙනවා. පහළින්ම ඉන්න අයට බොහෝ විට ඒ අවස්ථාව ලැබෙන්නේම නැහැ. මැද හරියේ ඉන්න කෙනෙක්ට අවස්ථාව ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ තමන්ට වඩා කලින් සම්මුඛ පරීක්ෂණ අවස්ථාව හිමි වන අයට වීසා ලබා දීම ප්‍රතික්ෂේප වීම මතයි.

කලින් යන එක් අයෙකුගේ වීසා ප්‍රතික්ෂේප වීම ලැයිස්තුවේ පිටුපසින් ඉන්න කෙනෙක්ගේ අනාගත ජීවිතයම වෙනස් කරනවා. ඒ බව දන්නා කවුරු හෝ කෙනෙක් රට ගිය ඇත්තෝ වගේ කතාවක් ග්‍රීන්කාඩ් ලොතරැයි ප්‍රතිඵල එන කාලයට මුදල් ගෙවා ප්‍රචාරය කළා වුවත් එය තමන්ගේ වාසිය පිණිස ගන්නා සදාචාරත්මකව හරි හෝ වැරදි තාර්කික ක්‍රියාමාර්ගයක් මිසක් සරල කුහකකමක් නෙමෙයි.

(Image: https://cz.usembassy.gov/diversity-visa-lottery-registration-period-starts-october-3/)

%d bloggers like this: