Menu Close

රට ගිය ඇත්තෝ (සිවුවන කොටස)

රට ගිය ඇත්තෝ කතාවේ මූලික ආකෘතිය, චරිත හා සිද්ධි ගැන අපි කලින් කොටස් වලින් කතා කළා. කතාවේ සඳහන් ගොඩක් දේවල් තනි තනිව ගත්තොත් වෙන්න පුළුවන් දේවල්. නමුත්, සමස්තයක් විදිහට ගත්තොත් මේ කතාව සත්‍යයෙන් බොහෝ දුරස් කතාවක්. ඒ කියන්නේ කතාවේ සඳහන් හැම දෙයක්ම එක පෙළට ඒ ආකාරයටම සිදු වෙන එක සිදු විය නොහැකි තරම් ඉතාම අඩු සම්භාවිතාවක් තියෙන දෙයක්.

කතාවේ තිබෙන තාක්ෂණික වැරදි හැම එකක්ම කතාවේ මූලික ආකෘතියට හානිකර නැහැ. සමන් ජයසිංහගේ වීසා බලපත්‍රය අවුරුදු පහකට වලංගු වෙන්න පුළුවන් කමක් නැතත් ඒ කොටස වෙනස් කළත් කතාව ගලාගෙන යනවා. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය පටන් ගත්තේ 1995 සිට වුවත්, අපිට කතාව ඇතුළේ මේ කාලය තව අවුරුදු දහයක් පස්සට ගෙනි යන්න පුළුවන්. එවිට කතාව ඓතිහාසික සන්දර්භයේ ස්ථානගත කරන්න බැරි වෙනවා තමයි. ඒක අවුලක්. නමුත්, ඒ අවුල පැත්තකින් තියලා චරිත වෙත එබී බලන්න බැරි කමක් නැහැ. නමුත්, කතාවේ චරිත හා සිද්ධි අතර සංගත බවක් නැති වුණාම කතාවේ ආකෘතියම බිඳ වැටෙනවා. මොකද කතාවේ හරය තියෙන්නේ සපරමාදු පවුලේ සාමාජිකයින් අතර අන්තර්ක්‍රියා ඇතුලෙ නිසා.

රචකයා විසින් කරලා තියෙන්නේ තනි තනිව සිදු විය හැකි සිද්ධි ගණනාවක් එකතු කරලා මනඃකල්පිත කතාවක් ගොඩ නගන එක. මේ වගේ මනඃකල්පිත කතාවක් සිදු විය හැකි දෙයක් බව පෙන්වන්න කතාවේ අමුද්‍රව්‍ය වන තනි සිද්ධි තනි තනිව සිදු විය හැකි දේ වීම ප්‍රමාණවත් නැහැ. ඒ තනි සිද්ධි අතර සම්බන්ධය විශ්වාසනීය ලෙස ගොඩ නගන්න ඕනෑ.

ගොඩක් ප්‍රබන්ධ වල ඔය වැඩේ වෙනවා. ප්‍රබන්ධය කියෙවුවට පස්සේ මේක සැබෑ ලෝකයේ කවදාවත් ඔය විදිහට වෙන්න බැරි දෙයක් කියලා අපට තේරෙනවා. නමුත්, කතාවේ හැම හුදෙකලා සිද්ධියක්ම විය හැකි දේවල් නිසාත්, ඒ හුදෙකලා සිද්ධි විශ්වාසනීය ලෙස සම්බන්ධ කරලා තිබෙන නිසාත් අපිට මේ වගේ ප්‍රබන්ධයක් කවදාවත් වෙන්න බැරි දෙයක් කියලා ප්‍රතික්ෂේප කරන්න බැහැ. හොඳ ප්‍රබන්ධයක මූලික ලක්ෂණය ඒකයි.

ලේඛකයා විසින් කතාව එය ගලා යන ඓතිහාසික සන්දර්භය ඇතුළේ නිවැරදිව ස්ථානගත කර ඇත්නම් මේ විශ්වාසය වඩාත් තහවුරු වෙනවා. විශේෂයෙන්ම ඓතිහාසික සන්දර්භය ගැන දැනුමක් තිබෙන පාඨකයින්ට එය බලපානවා. එහෙම නැතත් විශාල අවුලක් නැහැ.

රට ගිය ඇත්තෝ කතාවේ ඓතිහාසික සන්දර්භය නිවැරදි නැති වීමට අමතරව තනි සිද්ධි අතර විශ්වාසනීය ලෙස සම්බන්ධයක් ගොඩ නගලා නැහැ. ඒ කියන්නේ මේ කතාව අඩු වශයෙන් ප්‍රබන්ධයක් ලෙස වුවත් විශ්වාසනීය එකක් නෙමෙයි. ඒ නිසා, කතාව කතාවක් විදිහට වුවත් අසාර්ථකයි. අසංගතයි.

බාල දුව ඇමරිකාවට එන කොටස අවුරුදු පහයි. ඔය වගේ වයසක ඇමරිකාවට එන සංක්‍රමණික පවුල් වල දරුවන් බොහෝ විට පන්තියක් පහු කර පාසැල් යන බව වැනි දේ අමතක කළත් පාසැල් අධ්‍යාපනය අවසන් කරන්න අවුරුදු දොළහක් යනවා. ප්‍රථම උපාධියට හා පශ්චාත් උපාධියට අවම වශයෙන් අවුරුදු පහක් යනවා. කෙළින්ම කියා නැතත් රචකයා කියන්න හදන්නේ අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව දුවලා විවාහ වූ බව කියලයි පෙනෙන්නේ. එහෙත්, කතාවේ තොරතුරු අනුව පොඩි දුව අඩු වයසකින් ගර්භණී වෙලා. එය ලේඛකයාට කියන්න අවශ්‍ය වූ කරුණක් කියා හිතන්න අමාරුයි.

කතාව අන්තිමේ පද්මිණී ගෙදරක දරුවෙක් බලා ගන්නවා. රචකයා පෙන්නන්න හදන්නේ මැද පෙරදිග ගෘහ සේවිකා රැකියාවක් වගේ තත්ත්වයක්. ඇමරිකාවේ ඒ ආකෘතියේ ගෘහ සේවිකාවන් නැහැ. දරුවන් බලා ගැනීම නියමිත කාලය තුළ කරලා හවසට ගෙදර එන වෘත්තීය රැකියාවක්. පද්මිණී කාලයක් මොන්ටිසෝරියක රැකියාවක් කළ කෙනෙක්. ඇමරිකාවේ වඩා ප්‍රචලිත වචනය පෙර පාසැල් කියන එකයි. මොන්ටිසෝරි කියා කියන්නේ පෙර පාසැල් වල උගන්වන එක් ආකෘතියක්. ගොඩක් වෙලාවට පෙර පාසැල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන එකටයි යන්නේ. පද්මිණී මේ වගේ තැනක වැඩ කළානම් ඇයට සේවා පළපුරුද්දක් තිබෙනවා. “බේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල” දුවගෙන් සහතිකයක් ගන්න දෙයක් නැහැ. එහෙම සහතිකයක් කවුරුවත් ගණන් ගන්නෙත් නැහැ. ඔය වගේ විශ්වාසනීය නොවන කරුණු ගණනාවක් මේ කතාවේ මූලික ආකෘතිය ඇතුළෙම තිබෙනවා.

කතාවේ කරුණු අනුව සිරිල් සපරමාදු ඇමරිකාවට එන්නේ අවුරුදු 43ක් පමණ වයසක සිටියදී. ඒ වන විට ඔහු ලංකාවේ වැදගත් රැකියාවක් කරන කෙනෙක්. ඔහුගේ බිරිඳත් රැකියාවක් කරනවා. මේ රැකියා විශ්‍රාම වැටුප් හිමි ස්ථිර රැකියා. ඒ හැම දෙයක්ම දාලා ඇමරිකාවට එන එක විශාල අවදානමක් බව ඔහුට නොතේරෙන්න හේතුවක් නැහැ. ඇමරිකාවට ඇවිත් ගෑස් ස්ටේෂන් එකක රැකියාව කරලා ඔහුට කෙසේවත් තමන්ට ලංකාවේදී තිබුණු ජීවන තත්ත්වය පවත්වා ගන්න බැහැ.

ඇමරිකාවට ලාංකිකයින් සංක්‍රමණය වන ක්‍රම ගණනාවක් තිබෙනවා. සමන් ජයසිංහ මෙන් සංචාරක වීසා වලින් ඇවිත් ගල් වෙන එක එක ක්‍රමයක්. දැන්නම් එහෙම එන කෙනෙකුට ගොඩ යා හැකි කිසිම ක්‍රමයක් නැහැ. සමන් ජයසිංහගේ තත්ත්වය ඇත්ත තත්ත්වයට වඩා ගොඩක් හොඳ තත්ත්වයක්. එහෙම එන එක ගැනනම් කතා කරන එකෙත් තේරුමක් නැහැ. මගේ අදහස එහෙම එන එක දැන්නම් සිදු නොවන තරම් කියලයි. කලින් ඔය විදිහට ආපු ගොඩක් අයත් මේ වෙද්දී ආපසු ලංකාවට ගිහින් හෝ යන්න වෙලා.

තවත් ක්‍රමයක් වෙන්නේ කෙළින්ම රැකියාවක් සඳහා එන එක. මේ අවස්ථාව බොහෝ දෙනෙකුට ලැබෙන එකක් නෙමෙයි. තොරතුරු තාක්ෂණය හා සෞඛ්‍යය වගේ සීමිත ක්ෂේත්‍ර කිහිපයක සීමිත පිරිසක් මේ විදිහට ඇවිත් ඉන්නවා. එවැනි අය ඇමරිකානු ශ්‍රම වෙළඳපොළේ තරඟ කළ හැකි අයයි. ඔවුන්ගේ ආදායම් මට්ටම වගේම ජීවන තත්වයත් ඉතා හොඳයි.

ඇමරිකානු පුරවැසියෙකු සමඟ විවාහ වී පැමිණීම තවත් ක්‍රමයක්. මෙයත් සුලභ ක්‍රමයක් නෙමෙයි. මේ විදිහට පැමිණෙන කෙනෙක්ට රටට එන කොටම සුරක්ෂිතතා දැලක් තිබෙනවා. ඒ නිසා, අනෙක් ක්‍රම වලට එන සංක්‍රමිකයින් මුහුණ දෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.

ලංකාවේ සිට ඇමරිකාවට එන බොහෝ දෙනෙක් එන්නේ ඉතිරි ක්‍රම දෙකෙන් එකකින්. අධ්‍යාපනය සඳහා මුලින්ම පැමිණ ඇමරිකාවේ නැවතීම හෝ ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා පැමිණීම. ඇමරිකාවේදී අහම්බෙන් හමු වෙන ලාංකිකයින් බොහෝ දෙනෙක් ඔය ක්‍රම දෙකෙන් එකකට ආපු අයයි.

ලංකාවේ සිට ඇමරිකාවට අධ්‍යාපනය සඳහා එන අය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළමු කොටස ලංකාවේ සරසවියකින් ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසුව ශිෂ්‍යත්වයක් ලබා පශ්චාත් උපාධියක් හදාරන්න එන අය. මේ විදිහට එන්නේ ලංකාවේ සරසවි වල උඩම ස්ථරයේ ඉන්න ඉතාම දක්ෂ අය කියා කියන්න පුළුවන්. දෙවැනි කොටස මුදල් ගෙවා තමන්ගේ දරුවන්ට ඇමරිකාවේ අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලබා දිය හැකි අයගේ දරුවන්. මේ සඳහා වැය වන මුදල වෙනත් බොහෝ බටහිර රටවලට සාපේක්ෂව වුවත් විශාල මුදලක්. ඉතා කලාතුරකින් දක්ෂකම මත ප්‍රථම උපාධිය හදාරන්න එන සිසුවෙක් වුනත් ඉන්න පුළුවන්. ඒ වගේම, මුදල් ගෙවා එන සිසුන් බොහෝ දෙනෙක්ද මුදල් බලයෙන්ම එන අය නෙමෙයි. බොහෝ විට ලංකාවේ සරසවියකට යන්න වුවත් සුදුසුකම් තිබෙන අය.

ඇමරිකාවට අධ්‍යාපනය සඳහා එන අයට ඇතැම් සීමා වලට යටත්ව මිස රැකියා කරන්න බැහැ. එහෙත්, ඇමරිකාවේ උපාධියක් හදාරන අයෙකුට බොහෝ විට උපාධිය ලබා ගැනීමෙන් පසුව තමන්ගේ කුසලතා මත ඇමරිකාවේ රැකියාවක් හොයා ගන්න පුළුවන්. ඉන් පසුව, රැකියාව සඳහා බඳවා ගන්නා සමාගමේ උදවුවෙන් රැකියා කිරීමේ අවසරය ලබා ගන්නත් පුළුවන්. කාලයක් යද්දී තමන්ගේ කුසලතා මත පදනම්ව ස්ථිර පදිංචිය හෙවත් ග්‍රීන්කාඩ් එක ලබා ගන්නත් පුළුවන්.

ඇමරිකාවට අධ්‍යාපනය සඳහා එන හැම දෙනෙක්ම ඇමරිකාවේ නවතින්නේ නැහැ. පශ්චාත් උපාධියක් ලබාගෙන ආපසු යන කෙනෙකුට ලංකාවේ සරසවියක හෝ වෙනත් තැනක රැකියාවක් හොයා ගන්න අමාරු නැහැ. මුදල් ගෙවා ඉගෙන ගන්න එන කෙනෙක් කියන්නේත් ලංකාවේ ව්‍යාපාර හෝ වත්කම් ඇති කෙනෙක්. ඒ නිසා, ඔය කොයි ක්‍රමයට ආවත් යමෙක් ඇමරිකාවේ නවතින්නේ එහි අවදානමක් නැත්නම් පමණයි. මේ වගේ කෙනෙක් බොහෝ විට අධ්‍යාපනය අවසන් කර ජීවිතය පටන් ගන්නේම හොඳ රැකියාවකින්. ඉන් පසුව, ජීවන තත්ත්වය පහළට වැටෙන එක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

ඇමරිකාවට බොහෝ දෙනෙක් නීත්‍යානුකූල ලෙස පැමිණෙන අනෙක් ප්‍රධාන ක්‍රමය ග්‍රීන්කාඩ් ලොතරැයියයි. සෑම වසරකදීම ලාංකිකයින් සිය ගණනක් මේ ක්‍රමයට ඇමරිකාවට එනවා. අධ්‍යාපනය සඳහා පැමිණ නවතින හා කෙළින්ම රැකියා සඳහා පැමිණෙන අයට රැකියාව හා ආදායම පිළිබඳ ප්‍රශ්නයක් නැතත් ග්‍රීන්කාඩ් එක ගන්න කට්ටක් කන්න වෙනවා. ඒ සඳහා කාලයක් ගත වෙනවා. බොහෝ විට සැලකිය යුතු මුදලක් නීතිඥ ගාස්තු ලෙස ගෙවන්නත් වෙනවා. මේ තත්ත්වයට සාපේක්ෂව ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට එන කෙනෙක් රටට ගොඩ බහින්නේම ග්‍රීන්කාඩ් එක අතේ අරගෙනයි. (ග්‍රීන්කාඩ් එක ලෙස හඳුන්වන ප්ලාස්ටික් කාඩ් එක අතට ලැබෙන්නනම් ඇවිත් මාසයක් විතර යන්න පුළුවන්.)

හැබැයි අවුලකට තිබෙන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට එන කෙනෙකුට ලොතරැයිය නිසා හිමි වෙන්නේ ඇමරිකාවේ ජීවත්වීම සඳහා පැමිණීමේ අවස්ථාව පමණයි. එතැනින් එහාට තමන්ගේ ජීවිතය හා අදාළ කටයුතු සැලසුම් කර ගැනීම එන පුද්ගලයාගේ වැඩක්. ග්‍රීන්කාඩ් ලොතරැයිය නිසා රැකියා කිරීමේ අවසරය මිසක් රැකියාවක් ලැබෙන්නේ නැහැ. වෙළඳපොළේ තරඟ කර රැකියාවක් සොයා ගත යුතුයි.

ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා වීසා ලබා ගැනීමට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම අපොස (උපෙ) මට්ටමයි. මේ සුදුසුකම පමණක් තිබෙන කෙනෙක් ලංකාවේ ශ්‍රම වෙළඳපොළේදී මුහුණ දෙන රැකියා තරඟයට ඇමරිකාවේදීත් මුහුණ දෙන්න වෙනවා. බොහෝ විට ඊට වඩා වැඩි තරඟයකට. අපහසුවක් නැතිව ආපු ගමන් සොයා ගත හැක්කේ ගෑස් ස්ටේෂන් මට්ටමේ රැකියා තමයි.

අවම අධ්‍යාපන සුදුසුකම අපොස (උපෙ) වුවත් ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ලංකාවෙන් ඇමරිකාවට එන අය අතරේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබෙන අය ඉන්නවා. එහෙත්, ඇමරිකාවේ අධ්‍යාපන සුදුසුකම් වලට ලැබෙන සැලකිල්ල ලංකාවේ අධ්‍යාපන සුදුසුකම් වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකුට වුවත් මුලින්ම ගැලපෙන රැකියාවක් හොයා ගන්න එක අසීරු වැඩක්. තමන්ගේම ක්ෂේත්‍රයේ පහළ මට්ටමේ රැකියාවකින් පටන් ගත්තොත් ඉහළට යන්න අවස්ථාව වැඩියි. එහෙත්, ගෑස් ස්ටේෂන් මට්ටමේ අදාළ නැති රැකියාවකට ගියොත් එතැනම හිර වෙන්න පුළුවන්. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට එන කොට තමන්ගේ අනාගතය ගැන මොකක් හෝ සැලසුමක් තිබිය යුතුයි.

ලංකාවේදී උපාධියක් ලබා නැති, වයස අඩු කෙනෙකුට තිබෙන එක් අවස්ථාවක් වන්නේ ඇමරිකාවට පැමිණීමෙන් පසුව උපාධියක් හැදෑරීමේ අවස්ථාව හිමි වීමයි. අවස්ථාව කියා කියන්නේ නොමිලේ කියන එක නෙමෙයි. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට එන ගොඩක් අය ආවට පස්සේ මේ විදිහට කිසියම් අධ්‍යාපන සුදුසුකමක් උපයාගෙන පසුව හොඳ රැකියාවකට යනවා.

කොහොම වුනත් ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට එන එකේ විශාල අවදානමක් තිබෙනවා. සමහර අය මුල් කාලයේ ඇමරිකාවයි ලංකාවයි දෙකම බැලන්ස් කරන්න හදනවා. අන්තිමේ ග්‍රීන්කාඩ් එක අත ඇරලා ලංකාවට යනවා. ඇමරිකාවට ආපු එකෙන් වැඩක් ගන්නනම් අවදානමත් ගන්න වෙනවා.

හරියට සැලසුම් කළානම් ඇමරිකාවට ආවට පස්සේ සිරිල් සපරමාදු පවුලට ගොඩ යන්න තිබුණා. අපි සිරිල් සපරමාදුගේ පරණ මහ බැංකු රස්සාව, අධ්‍යාපන සුදුසුකම් ආදී සියල්ල පැත්තකින් තියමු. මේ පවුලට ගොඩ යන්න අවශ්‍යනම් පද්මිණීගේ දිවා සුරැකුම් රැකියාවෙන් වුවත් ගොඩ යන්න තිබුණා. මේ රැකියාව ලංකාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වන කාන්තා පාර්ශ්වයේ අය අතර ජනප්‍රිය රැකියාවක්. අවුරුද්දක් විතර කොහේ හෝ වැඩ කරලා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගෙන බලපත්‍රය ලබා ගත්තානම් ගෙදරම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් දමා ගන්න තිබුණා.

අපි හිතමු සිරිල් සපරමාදුට හොඳ රැකියාවක් හොයා ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ කියලා. ඔහුට ගෑස් ස්ටේෂන් එකක වැඩට යන්නේ නැතිව බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ පොඩි රැකියාවකට යන්න තිබුණා. පොඩි රැකියාවක් කියන්නේ අපේ බ්ලොග් එකේ ඇනෝ කෙනෙක් නිතරම දමන ප්‍රතිචාර වල අහන විදිහේ සුළු සේවක නැත්නම් පියන් රස්සාවක් නෙමෙයි.

ඇමරිකාවේ හන්දියකට ගියාම බැංකු හතරක් පහක් තියෙනවා. බැංකු ව්‍යාපාරය ගොඩක් තරඟකාරී එකක්. බැංකු රස්සාවක් හැම විටම ලංකාවේ වගේ පොෂ් රස්සාවක් නෙමෙයි. 2019දී බෑන්ක් ටෙලර් කෙනෙකුගේ මධ්‍යස්ථ වැටුප ඩොලර් 31,230ක් පමණයි. ලංකාවේ වාණිජ බැංකුවක බෑන්ක් එක්සෙකටිව් කියන රස්සාවම තමයි.

අවශ්‍ය කුසලතා අනුව බැලුවොත් ඔය රස්සාවත් ගෑස් ස්ටේෂන් රස්සාවක් මට්ටමේම එකක්. පොඩ්ඩක් උඩින් ඇති. හැබැයි ඔය වගේ රස්සාවක් කළානම් සිරිල් සපරමාදුට මානසික ආතතියක් නැතිව වඩා සතුටෙන් රස්සාව කරන්න තිබුණා. ගොඩක් වෙලාවට පුරප්පාඩුත් තිබෙනවා.

ඔයිට වඩා ආදායමක් හොයන්න අවශ්‍යනම් ණය එකතු කිරීමේ රස්සාවක් වගේ දෙයක් කරන්නත් තිබුණා. වැටුපට අමතරව කොමිස් මුදලක් හෝ පාරිතෝෂිකයක්ද ලැබෙන රැකියාවක්. ඔය වගේ රස්සාවක් කළානම් සම්බන්ධතා ගොඩ නගා ගැනීමෙන් පසුව තමන්ගේ අතීත සුදුසුකම් හා පළපුරුද්ද සමඟ ගැලපෙන හොඳ රස්සාවකට පහසුවෙන් යන්න තිබුණා. එහෙම නොකර සිරිල් සපරමාදු ගෑස් ස්ටේෂන් එකේම හිර වෙලා හිටියේ ඇයි?

මේ කතාවේ අවුල්ම තැන සපරමාදු ජෝඩුව පොඩි දුව ළඟට යන තැන. ඒ වෙද්දී සපරමාදු පවුල ඇමරිකාවට සංක්‍රමණය වෙලා අවුරුදු 20කට කිට්ටුයි. මේ වෙද්දී ඔවුන් සතුව ගෙයක් තිබුණේ නැද්ද? පොඩි දුව ළඟට යද්දී ඒ ගෙට කළේ මොකක්ද?

සපරමාදුලා අවුරුදු 20ක්ම කුලියට හිටියද? ඇමරිකාවේ එහෙම වෙන්න හේතුවක් නැහැ. බොහෝ ඇමරිකානුවන් නිවසක් මිල දී ගන්නේ නිවාස ණයක් අරගෙනයි. අවුරුදු 15-30 අතර කාලයකට නිවාස ණයක් ගන්න පුළුවන්. අවුරුදු 15කට ගත්තත් බොහෝ විට ගෙවන්න වෙන මාසික වාරිකය ඒ වගේම ගෙයක් කුලියට ගත්තොත් මාසයකට ගෙවන්න වෙන මුදලට වඩා වැඩි නැහැ. නගරය මැද්දෙන් බැරි වුනත් මිල අඩු උප නාගරික ප්‍රදේශයකින් ගෙයක් ගන්න අමාරු නැහැ. ඒ නිසා පුළුවන්කමක් තියෙද්දී ගෙයක් මිල දී නොගෙන කුලියට ඉන්නවා කියන්නේ ඇමරිකාවේ කවුරුවත් නොකරන මෝඩ වැඩක්.

ගෙයක් මිල දී ගන්න තිබෙන ප්‍රධානම බාධාව ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න මුදල් අතේ නැති වීම. ග්‍රීන්කාඩ් ලොතරැයිය මත පදනම්ව වීසා ලබාගන්නනම් ඇමරිකාවට ඇවිත් වසරක් ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් අතේ තිබෙන බව පෙන්වන්න ඕනෑ. පස් දෙනෙක් ඉන්න පවුලකට ඩොලර් 30,680ක්. ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න ඔය වගේ මුදලකින් කොටසක් ප්‍රමාණවත්. මහ බැංකුවේ කාලයක් වැඩ කරපු, ලංකාවේ ඉඩකඩම් විකුණලා මුදල් අරන් ආපු සපරමාදු පවුල සතුව ඩවුන් පේමන්ට් ගෙවන්න අවශ්‍ය මුදල නැති වෙන්න හේතුවක් නැහැ. අවුරුදු පහළොවකට හෝ විස්සකට ණයක් ගත්තනම් පොඩි දුවගේ ගෙදරට යන කාලය වෙද්දී ණය ගෙවලත් ඉවරයි. ගෙදර වටිනාකමත් කිහිප ගුණයකින් වැඩි වෙලා. සපරමාදු ජෝඩුව දුව ළඟට ගියේ ගේ විකුණලාද? නැත්නම් කුලියට දීලද?

මේ කාලය වෙද්දී සපරමාදු සමාජ සංරක්ෂණ දීමනා ලබා ගන්නවා. එසේ ලබා ගත්තේ සාමාන්‍ය විශ්‍රාමික වයසට කලින් වයස 62දීද? ඒ ඇයි? සිරිල් සපරමාදු හා පද්මිණී පොඩි දුව ළඟට ගියේ කර කර හිටපු රැකියා අත ඇරලද?

ඇමරිකාවේ සමාජ සංරක්ෂණ දීමනා ලබාගත හැකි සාමාන්‍ය වයස 66-67 අතර වයසක්. අවශ්‍යනම් 62 සිට ලබා ගන්න පුළුවන් වුනත් ලැබෙන මුදල සමානුපාතිකව අඩු වෙනවා. ඇමරිකානුවන් සාමාන්‍යයෙන් මේ වයස වන තුරු වැඩ කරනවා. සංක්‍රමණිකයින් මීටත් වඩා වැඩි කාලයක් මිස අඩු කාලයක් වැඩ කරන්නේ නැහැ. ලැබෙන මුදල තීරණය වෙන්නේ වැඩ කළ කාලය සහ ඉපැයූ ආදායම මතයි. කලින් විශ්‍රාම ගන්නේ සමාජ සංරක්ෂණ දීමනා වලට අමතරව විශ්‍රාම දිවිය සඳහා විශාල මුදලක් ඉතිරි කරගත් අයෙක්. එවැනි මුදලක් ඉතිරි කරගෙන නැත්නම් හැකි තාක් කාලයක් වැඩ කළ යුතුයි. ගෙවල් රස්සා අත හැර සපරමාදු ජෝඩුව පොඩි දුව ළඟට ගියේ ඇයි?

දෙමවුපියන් තමන්ගේ දරුවන්ගේ නිවසේ ස්ථිර පදිංචිය සඳහා යන එක ඇමරිකාවේ ක්‍රමය නෙමෙයි. අවුරුදු විස්සක් ඇමරිකාවේ ජීවත් වීමෙන් පසුව සපරමාදු ජෝඩුව එය නොදැන සිටින්න හේතුවක් නැහැ. දරුවන් වැඩිහිටියන් වූ පසු ඔවුන්ගේ ජීවිත වලට අනවශ්‍ය ලෙස මැදිහත් වීම හෝ ඔවුන්ට බරක් වීම දෙමවුපියන් විසින් නොකළ යුතු දෙයක්. සපරමාදු පවුලේ දරුවන් ඇමරිකානුවන් මිස ලාංකිකයින් නෙමෙයි.

මහ බැංකුවේ රස්සාව කළ සිරිල් සපරමාදුට ඇමරිකාවේ බැංකු ගිණුමක් නොතිබෙන්න හේතුවක් නැහැ. එහෙම තිබුණානම් සමාජ සංරක්ෂණ දීමනා එන්නේ බැංකු ගිණුමටයි. එම දීමනා නොලැබී ගිය ආකාරය පැහැදිලි නැහැ.

පුතා ලඟට යන කොටත් සිරිල් සපරමාදුට සමාජ සංරක්ෂණ දීමනා ලැබුණා විය යුතුයි. ඒ වගේම ඉතිරි කරගත් කිසියම් මුදලක්ද නොතිබෙන්න හේතුවක් නැහැ. පාරට නොවැටී නවතින්න තැනක් හොයා ගන්න පුළුවන්කමක් තිබුණේම නැද්ද? ඇමරිකාවේ රැකියාවක් කරන්න අවසරයක් නැති සමන් ජයසිංහට ඔය කාලයේම ගෑස් ස්ටේෂන් එකක රැකියාවක් හොයාගන්න පුළුවන් වුනානම් ඇමරිකානු පුරවැසියෙකු වන, ඔය රස්සාවම කාලයක් කරලා පළපුරුද්දක් තිබෙන, සිරිල් සපරමාදුට ඒ වගේ රස්සාවක් හොයා ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. සෞඛ්‍ය ප්‍රශ්න තිබුණානම් අර්ධකාලීනව හෝ වැඩ කරන්න තිබුණා. ඒ අතර බිරිඳට කතා කරලා ඇයවත් ගෙන්වා ගන්න තිබුණා.

සමස්තයක් විදිහට මේ කතාවේ රාමුව ගත්තහම මෙතැන තියෙන්නේ සමාජයීය ප්‍රශ්නයක්. සිරිල් සපරමාදුව පාරට වැටෙන්නේ ආර්ථික හේතු මත නෙමෙයි. පෙනෙන්න තිබෙන ආර්ථික හේතු පසුපස තිබෙන්නේ සමාජයීය ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඇමරිකාවේ ප්‍රශ්නයක්ද නැත්නම් සපරමාදු පවුලේ ප්‍රශ්නයක්ද?

පවුලේ ලොකු දුව සෘජුවම මුළු පවුලම ප්‍රතික්ෂේප කරනවා. විවාහයෙන් පස්සේ ගිය තැනක්වත් සිරිල් සපරමාදු දන්නේ නැහැ. හැබැයි පියා නොදන්නවා වුනාට පවුලේ අනෙක් අයත් එක්ක ඇය සම්බන්ධතා පවත්වනවාද කියා අපි හරියටම දන්නේ නැහැ. ඇමරිකානු සංස්කෘතිය ඇතුළේ ලොකු මහත් වුනු දරුවන් ගෙදරින් යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙම ගියා කියලා දෙමවුපියන් සමඟ සම්බන්ධතා බිඳ වැටෙන්නේ නැහැ. ඒ සම්බන්ධතා වල ස්වභාවය වෙනස් වුනත් ශක්තිමත්.

පසුව සිරිල් සපරමාදු පුතා ළඟට යනවා. එතැනදීනම් දැකිය හැක්කේ සංස්කෘතික ගැටුමක්. තරුණ පුතෙක් තනියම ජීවත් වන කාමරයකට තාත්තා පදිංචියට ගියාම ඒක අවුල් බව සිරිල් සපරමාදුට තේරෙන්න ඕනෑ. දවසකට දෙකකට හරි සතියකට දෙකකට හරිනම් කමක් නැහැ. දිගටම ඉන්න. ඇමරිකාවේ නෙමෙයි ලංකාවේ වුනත් මේ වගේ දෙයක් සිදු වෙන එකේ අවුලක් තිබෙනවා. කොළඹ කාමරයක ජීවත්වන අවිවාහක පුතෙක් ළඟට තාත්තා නවතින්න ආවොත් අවුලක් නැද්ද?

මේ කතාවේ තාත්තා තමන්ගේ කාමරේට ආවේ ඇයි කියන කාරණයට පුතා සංවේදී නැහැ. ඔහු කරන්නේ තාත්තාව මග හැර පලා යන එක. ඔහුට එසේ කරන්න ආර්ථික හේතු නැහැ. සමහර විට එතැනදී සංස්කෘතික වෙනස බලපානවා ඇති. කොළඹ කාමරයක නැවතී ඉන්න පුතෙක්ට වුනත් මෙය අවුලක් වුනත් ඔහු බොහෝ විට තාත්තාගේ ප්‍රශ්නයට සංවේදී වෙනවා.

සිරිල් සපරමාදු පුතාගේ සිංගල් බෙඩ් අපාර්ට්මන්ට් එකට යන එකේ අවුලක් තිබෙනවා කියන කරුණට පද්මිණී සංවේදී නොවුනේ ඇයි? ඇයත් මේ වෙද්දී ඇමරිකාවට ඇවිත් අවුරුදු 20ක්. රැකියාවක් කරපු සමාජය ආශ්‍රය කරපු කෙනෙක්. ගෙදරට වෙලා බත් තම්බ තම්බ හිටපු ගෑණියෙක් නෙමෙයි.

ගොඩක්ම අවුලක් පේන්න තිබෙන්නේ පද්මිණී හා සිරිල් සපරමාදු අතර අන්තිම හමුවේ. මේ වෙද්දී මොන විදිහකින් හරි සිරිල් සපරමාදු පාරට වැටිලා. හැබැයි කෙස් ගහක තල්ලුවකින් ඔහුගේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. ඒ තල්ලුව දීමේ හැකියාව පද්මිණීට තිබෙනවා.

මේ වෙද්දී පද්මිණීගේ වයස අවුරුදු හැටක් පමණ කියා කියමු. ඇමරිකාවේ හැටියට එය සාපේක්ෂව තරුණ වයසක්.

“දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.”

පද්මිණී සාපේක්ෂව නිරෝගීව ඉන්නවා. රැකියාවක් කරනවා. සිරිල්ට සාපේක්ෂව විශාල ආර්ථික ප්‍රශ්නයක නැහැ. කොහේ හෝ තැනක, අවම වශයෙන් සිංගල් බෙඩ් අපාර්ට්මන්ට් එකක ජීවත් වනවා විය යුතුයි. සිරිල් සපරමාදු පොඩි දුවගේ ගෙදරින් පිට වී ගියාට පසුව ගත වුනු කෙටි කාලය තුළ පද්මිණී ඇමරිකාවට ගැලපෙන විදිහට ගොඩක් වෙනස් වෙලා. සිරිල් සපරමාදු එක්ක ඉන්නකම් පද්මිණී අවුරුදු ගානක්ම කලිසම් ඇන්දේ නැද්ද? ඒ ඇයි?

වැදගත්ම කාරණය පද්මිණීට සිරිල් සපරමාදුව “බේර ගන්න” පුළුවන්කම තියෙද්දී ඇය ඔහුව මග හැර යන්නේ ඇයි කියන එකයි. ලංකාවේ ඉපදුනත් ළමයි තුන්දෙනා හැදුනේ ඇමරිකාවේ කියමු. නමුත්, පද්මිණී? මේ සිරිල් සපරමාදු එක්ක අවුරුදු විසි අටක් පවුල් කාපු, ඒ කාලය තුළ කවදාවත් වෙන් වෙලා නොහිටපු ගෑණි. ඒ ගෑණි එක පාරටම වෙනස් වුනේ කොහොමද? ඇමරිකාවට ආපු අලුත මේ වගේ දෙයක් වුනානම් තව හිතා ගන්න පුළුවන්.

මේ කතාව සමස්තයක් විදිහට මේ ආකාරයෙන් වෙන්නනම් සිරිල් සපරමාදු චරිතය ඇතුලෙ අපට නොපෙනෙන මොකක් හරි ලොකු අවුලක් තියෙන්න ඕනෑ. පද්මිණී හා දරුවන් ගැටෙන්නේ ඒ අවුල එක්කයි.

සිරිල් කියන්නේ උපයන සල්ලි නාස්ති කරන බේබද්දෙක්ද? ලංකාවෙන් එන්න අවශ්‍ය වුනේ සූදුවට ගිහින් ණය ගොඩ ගැහුණු නිසාද? ඇමරිකාවට ඇවිදිනුත් ඒ පුරුද්ද අත ඇරියේ නැද්ද? එහෙම නැත්නම් වෙන ගෑණු පස්සේ යන්න පුරුදු වී සිටි පුද්ගලයෙක්ද? කාලයක් තිස්සේ බිරිඳට හා දරුවන්ට තඩි බාපු, ඒ හේතුව නිසාම දරුවන්ගේ හා බිරිඳගේ වෛරයට පාත්‍රව හිටි කෙනෙක්ද?

ඉගෙන ගත්ත, ලොකු රැකියා කරන අය අතරත් ඔය වගේ චරිත ඉන්නවා. ඔය වගේ තත්ත්වයක් තිබුණානම් මේ කතාවේ සිද්ධි දාමය පහසුවෙන් ගලපාගන්න පුළුවන්. එවිට එතැන තියෙන්නේ සංක්‍රමණය වීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ හිටියත් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්.

සිරිල් සපරමාදු කියා කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් වැඩ කර පඩිය ගන්න බලාගෙන සිටි සම්ප්‍රදායික රාජ්‍ය සේවකයෙක්ද? ඇමරිකාවට ආවට පස්සේ අසාර්ථක වුනේ ඒ නිසාද?

වෙන්න පුළුවන්. නමුත්, එය පවුලේ සාමාජිකයින්ගේ වෛරයට පාත්‍ර වෙන්න හේතුවක් නෙමෙයි.

ඇමරිකන් උණ හැදිලා ආවත් සිරිල් සපරමාදු එක කකුලක් ලංකාවෙන් ගන්නේ නැහැ.

“Panadol ? are you sri lankan?”

ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් අතර දැකිය හැකි පැනඩෝල් මානසිකත්වය අවුරුදු විසි පහකට පස්සේත් සිරිල් සපරමාදුගෙන් දකින්න පුළුවන්. දැන් ලංකාවේ දකින්න නැති ඩිස්ප්‍රින් තිබුණානම් තවත් සතුටු වෙයි.

“ඒව නිකම් “නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව. ”drive through” කසාද බඳින්න තැනක්.”

සිරිල් සපරමාදු කියන්නේ විවාහයක් සාර්ථක වෙන්නනම් හත් දොහක් මගුල් කන්න ඕනෑ කියලා හිතන කෙනෙක්ද?

“දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක විවාහ උනා.”

සිරිල් සපරමාදු දුවලා දෙන්නව බන්දලා දෙන්න හිතාගෙන හිටියේ කුල මල පොරොන්දම් ඔක්කොම බලලද?

”තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව. මම මගේ තාත්ත ඉස්සරහ වාඩි වෙලාවත් නැහැ. මම මටම සාප කර ගත්ත.”

තාත්තා ඉස්සරහ වාඩි වෙලාවත් නැති පුතෙක් කියන්නේ ලංකාවේ සංස්කෘතිය ඇතුළෙම වුනත් කොයි වගේ අවකාශයක ජීවත් වී තිබෙන කෙනෙක්ද?

“මගේ හිතේ තිබූ හීනමානය  නිසා ලංකාවෙ මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා.”

මහ පාරට වැටෙන්න මේ හීනමානයත් හේතු වුනාද?

“ඒ පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.”

ඇමරිකාවට ආවට පස්සෙත් සිරිල් සපරමාදු තමන්ගේ බිරිඳට කලිසමක් අඳින එකටවත් ඉඩ දුන්නේ නැද්ද? ඒක එහෙමනම්, සිරිල් සපරමාදු ජීවත් වෙලා තියෙන්නේ ලංකාවේ අද සංස්කෘතිය ඇතුළේ නෙමෙයි. අඩු ගානේ අවුරුදු පණහකටවත් කලින් ලංකාවේ තිබුණු සංස්කෘතිය ඇතුළේ. ඔය වගේ මනුස්සයෙක් එක්ක බිරිඳ හා දරුවන් ජීවත් වෙන්න ඇත්තේ මොන තරම් පීඩනයකින් වෙන්න ඇත්ද? ගොඩක් වෙලාවට ඔය වගේ මනුස්සයෙක් බිරිඳට හා දරුවන්ට තඩි බාන එකත් පුරුද්දක් විදිහට කළා වෙන්න පුළුවන්. හොද්ද හැඳි ගාල තියෙන තරම තමයි කතාවෙන් පේන්න තියෙන්නේ.

කාලයක් තිස්සේ තමන්ගේ බිරිඳ හා දරුවන්ව විශාල පීඩනයක් යටතේ තියා ගත් පුද්ගලයෙකුගේ කතාව ලෙස සැලකුවොත්නම් මේ කතාව ගැලපෙනවා. ලොකු දුව හැකි ඉක්මණින් පවුලෙන් අයින් වෙනවා. තමන්ට පවුලට පිටින් හමුවන ආදරය සොයා යනවා. පසුව පුතා කරන්නෙත් පවුලෙන් අයින් වෙන එකයි. ඊට කළින්ම ඔහු තමන්ගේ ආතතිය මත් පැන් හා මත් ද්‍රව්‍ය වල උදවුවෙන් අඩු කරගන්න පුරුදු වෙනවා. ගෙදර එපා වී සිටින පොඩි දුව පෙම්වතෙක් හමු වූ වහාම ඔහු එක්ක යහන්ගත වෙනවා. පසුව විවාහ වෙනවා. අන්තිමට බිරිඳත් ඇගේ නිදහස හොයා ගන්නවා.

ප්‍රශ්නයට හේතුව සිරිල් සපරමාදුනම් දරුවන් හා පද්මිණී අත‍ර සම්බන්ධය දුර්වල වෙන්නේ කොහොමද?

පද්මිණී සිරිල් සපරමාදු ක්‍රියා කරන ආකාරයට එරෙහිව ප්‍රමාණවත් ප්‍රතිරෝධයක් දක්වන්නේ නැහැ. බිරිඳට තඩිබාන එක සැමියෙකුගේ පරම අයිතියක් කියා හිතන සම්ප්‍රදායික ගැහැණියක වගේ සැමියාගේ අකටයුතුකම් හා මෝඩකම් ඉවසා ගෙන ඉන්නවා. මෙයින් ළමයින් පීඩාවට පත් වෙනවා. එහි වැරැද්ද ඔවුන්ට පේන්න පටන් ගන්නේ ටික ටික ලොකු වෙද්දී. ඔවුන් පියා වගේම මවත් ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. සිදු වුනේ ඔය වගේ දෙයක්ද?

සපරමාදු පවුල ඇමරිකාවට සංක්‍රමනය නොවී ලංකාවේම හිටියානම් මේ වගේ තත්ත්වයකදී විස්තෘත පවුල විසින් මැදිහත් වීමක් කරනවා. යාලුවෝ සහ අසල්වැසියෝ මැදිහත් වෙනවා. ඇමරිකාවට පැමිණි නිසා ඒ කොටස සිදු වන්නේ නැහැ. ඒ හැර, මේ ආකාරයට සපරමාදු පවුලේ පවුල් සම්බන්ධතා බිඳ වැටෙන්න හේතුව ඔවුන් ඇමරිකාවට සංක්‍රමණය වීම කියා කියන්න බැහැ.

රට ගිය ඇත්තෝ සටහන් පෙළ මෙතැනින් ඉවරයි. හැබැයි මෙයටම අදාළ තවත් ලිපියක් එන්න තියෙනවා. ඒක රට (නො) ගිය ඇත්තෝ.

%d bloggers like this: