Menu Close

දියතරිප්පු

මේ සටහන මෙතෙක් සටහන් නොතැබූ වෙනම පැත්තක් ගැනයි. ඒ ගල් භාවිත කරල කරන නිර්මාණ ගැනයි. නැත්නම් පාෂාණ භාවියෙන් නිර්මාණය කරන චූඩාමාණික්යය, විසිතුරු ගල් හා ගල් ඇස් කණ්ණාඩි නිර්මාණ ගැනයි. ඒ කියන්නේ මධ්ය කාලීන අවධියේ මෙරට ඇති වෙලා පැවතුණු දියතරිප්පු නිර්මාණ ගැනයි. මහනුවර යුගයේ සිට මේ දක්වාම පවතින අතීත නිර්මාණ කලාශිල්පයන්ගේ ලක්ෂණ මේ යැයි පෙන්වා දෙන කුඩා පරිමාණයෙන් හෝ ලංකාවේ පැවතෙන නිර්මාණයක් තමා දියතරිප්පු. ඒ ගැන බොහොම කෙටියෙන් කතාකරමු. මගේ මේ සටහනට සම්බන්ධ ශිල්පය නැත්නම් ශිල්පියා ඉන්නේ මහනුවර දිස්ත්රික්කයේ උඩුනුවර ප්රදේශීය ලේකම් කොට්ඨාසයේ තියෙන කිරිවවුල කියන ගමේ. මේ ගම සාම්ප්රදායික පිත්තල කර්මාන්තයට ප්රසිද්ධ ගමක්. මම කියන්න යන ශිල්පියා ඉන්නේ සුප්රසිද්ධ ගඩලාදෙණිය පන්සලට ආසන්න තැනක.
අද මෙම ශිල්පය පවත්වාගෙන යනු ලබන්නේ චූලාමණි ගෙදර ගුණසෝම කියන ශිල්පියා. මේ ශිල්පයේ යෙදෙන තවත් අය හිටියත් අද වන විට මෙම ශිල්පය පාරම්පරික උරුමයක් විදිහට කරන එකම ශිල්පියා මොහු බවයි කියැවෙන්නේ. මොහු මෙම ශිල්පය ඉගෙන ගෙන තියෙන්නේ 1928 දි ඉපදුණු චූලාමණි ගෙදර සියදොරිස් හාමිගෙන්. ඒ කියන්නේ ඔහුගේ පියා. සියදොරිස් හාමි ඒ ශිල්පය ඔහුගේ පියා වූ 1800 විතර ඉපදුණු චූලාමණි ගෙදර ඩිංගිරි අප්පු යටතෙයි හදාරළ තියෙන්නේ. ඔහුගේ පියා ඊටත් කළින් ඉපදුණු චූලාමණි ගෙදර ඩිංගිරි නයිදේ. එතකොට පරපුරින් පරපුරට පියාගෙන් පුතාට විදිහටයි මේ ශිල්පය අද වනතෙක් පැවතගෙන ඇවිත් තියෙන්නේ.
මේ දියතරිප්පු ශිල්පයේ අතීතය ගැන හොයල බලද්දි ඒ ගැන ලියැවුණු දේවල් නැහැ. කතාවට තියෙන්නේ ගම්පොළ රාජධානි සමයේ හිටිය හතර වැනි බුවනෙකබාහු රජුගේ ඔටුන්නට මේ පරපුරේ ආදි කෙනෙකු විසින් සිළුමිණක් සාදා දුන්නා කියල. හැබැයි පුදුමේ කියන්නේ මහනුවර යුගයේ හා පසු කාලීන ව පැවති කලාශිල්ප ගැන හොයල බලපු ආචාර්ය ආනන්ද කෛන්ටිෂ් කමාරස්වාමි මැතිතුමාට මේ ශිල්පීන් හමු වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි 1900ට එහා මෙහා කාලේ මුළුමහත් මධ්යම පළාත ගැනම විස්තර හෙවුව ඒ.සි. ලෝරි මැතිතුමාටත් මේ ශිල්පීන් ගැන විස්තර කිසිවක් හමුවෙලා නැහැ.
මේ ශිල්පීන් විසින් විවිධ වර්ගයේ නිර්මාණ කරන බවයි පේන්නේ. ඒ අතර ස්තූපවල පලදන චූඩාමාණික්ය, කුඩා ස්තූප, පෙන්ඩන්ට්, මාල පෙති වගේ විසිතුරු ගල්, අතේ පලදින වළලු හා ඇස් කණ්ණාඩි වැනි දේවල් සකස් කරනවා. මේ වැඩ සඳහා ගන්නේ විනිවිද පේන පළිඟු එහෙම නැත්නම් කළු පැහැ කහට පළිඟු කියන පළිඟු ගල්. දියතරිප්පු ගල් හා බිම් වීදුරු කියල හඳුන්වන ගල් වර්ග. මේවා රත්නපුරේ, ඇළහැර වගේ පැතිවල මැණික් පතල් වලින් ගේන්නේ. අපි කියන විදිහට මේවා අර්ධ මාණික්යමය පාෂාණ.
බොහොමයක් සුළු කලා නිර්මාණ ගැන හොයල බලද්දි ඒ හා සම්බන්ධ අභිචාර තිබුණු බව පැහැදිලියි. ඒත් දැන් මේ ගැන හොයා බලද්දි මේ වගේ පුදසත්කාර නම් මේ ශිල්පීන් සතුව ඉතිරි වෙලා නැහැ. ඒ විතරක් නොව මේ ශිල්පය පිළිබඳ සම්ප්රදායික අභිචාර තිබුණු බවත් දැනගන්න විදිහකුත් නෑ.
දියතරිප්පු නිර්මාණ කිරීම සඳහා පාවිච්චි කරන්නේ සරළ උපකරණ කීපයක්. දැතේ මහන්සිය තමයි ප්රධාන. මේ තියෙන සීමිත උපකරණ අතර පට්ටලය කියන සරළ ලිවරය තමයි වැදගත්. පට්ටලය උපකාරයෙන් තමා පාෂාණ කපා ගැනීම, රටා කපා ගැනීම, කොටස් වෙන්කර ගැනීම වගේ දේවල් කරන්නේ. පට්ටලයේ පින්තූරයක් මේ සටහන සමඟ තියෙන ඡායාරූවේ තියෙනවා. පට්ටලය ක්රියා කරන්නේ පුවක් කිරක් භාවිතයෙන් හදාගත් දුන්න මඟින්. දුන්නේ යොත සඳහා මුව හමක් තමයි ඉස්සර භාවිත කරල තියෙන්නේ. පට්ටලය ක්රියාත්මක කිරීම එක් පුද්ගලයෙකු හෝ දෙ දෙනෙකුයි කරන්නේ. පට්ටලයේ කැරකැවෙන ලෝහ තලය සම්බන්ධ කරන්නේ පන්දම කියල හඳුන්වන මැලියම් භාවිත කරල. පන්දම හදන්න ගඩොළු කුඩු, උළු කුඩු දුම්මල හා පොල්තෙල් භාවිත කරනව.
දියතරිප්පු ඇස් කණ්නාඩියක් හඳන එක තමා විශේෂම දේ. ඒ නිසා ඒ නිර්මාණ ගැන ටිකක් කියන්නම්. ඉස්සෙල්ලම සුදුසු ගලක් අරගෙන පට්ටලය උපකාරයෙන් රළු විදිහට ඇහැට අවශය කොටස් කපා වෙන්කර ගන්නවා. ඇහැ කියල කියන්නේ කණ්ණාඩියේ විදුරුවට. ඒ අවස්ථාවේම රාමුවට ගැලපෙන ආකාරයට ගල හැඩගසා ගැනීමත් කරනවා. ඊට පස්සේ පට්ටලයේ තලයට අල්ලල ඔප දා ගැනීමක් කරනවා. මේ වැඩ ටිකට පැයක් විතර යනවා. ඊට පස්සේ තමා සපු දැවයෙන් සකස් කළ අල්ලුවට සවිකර ගන්නේ. ඊට පස්සෙයි ඒ අල්ලුවේ අලවපු ඇහැ තිරුවාණා ගලක දෙපැත්තට අතුල්ලල අවශය විදිහට ඔප දාගන්නේ. මේ ඔප දාන අවස්ථාවේ ලස්සන බිම්බයක් ඒ ඇහේ පේනවා. ඔප දාල ඉවරයි කියල දැනගන්නේ මේ බිම්බය ගෙවිල ඉවර වෙන්න ඕන. එක් පැත්තක් ඔප දාගන්න පැය එකහමාරක් විතර යනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට දෙපැත්තම සකසා ගන්නවා. මේ වැඩේට සැහෙන වෙලාවක් යනවා. ඊට පස්සේ තමා ඇහැ නියමිත පරිදි ඔප දාගන්න අඩි 4ක් විතර දිග එරමුදු කොටයක අතුල්ල ගන්නේ. එරමුදු මෘදු නිසා මේ වැඩේට උචිතයි කියලයි කියන්නේ. මේ වැඩෙටත් පැය තුනක් විතර ගතවෙනවා. ඇහැ ආලෝකයට ඇල්ලු විට අවට පරිසරයේ තියෙන ගහකොළ එතුළින් මැනවින් පෙනෙන අවස්ථාව ආව කියන්නේ ඔප දැමීම අහවරයි. මේ ඔප දැමීමට වඩිය කියල ද්රාවණයක් භාවිත කරනවා, දියතරිප්පු ගල් පුළුස්සලා ඒ අළුවලින් හදාගන්න ද්රාවණයක් ඒක. ඊටත් පස්සෙයි බොහෝම සුක්ෂම විදිහට ලඟ බලන කොටස සකසන්නේ. ඒවායින් පස්සේ නැවත සුමට කරල රාමවකට සවිකිරීමයි තියෙන්නේ. දැන්නම් ප්ලාස්ටික් රාමු තමා. කෞතුකාගාරවල තියෙන රජ කාලේ ඇස් කණ්ණාඩි බලද්දි පේන්නේ ඒවට ඇත් දළ නැත්තන් සතුන්ගේ අං යොදාගත්ත බවයි.
මේ විදිහට තිස් ඇදිරිය, හතළිස් ඇඳිරිය හා හැට ඇඳිරිය ආදි වශයෙන් ඇස් කණ්ණාඩි හදනවා. කලින් කිවුව වගේ පළිඟු හා කහට පළිඟු තමා ඇස් කණ්ණාඩිවලට යොදාගන්නේ. මේ වැඩවලට ශිල්පියාට පවුලේ අයගේ සහය තමයි ලැබෙන්නේ. ඒකනේ සුළු කලා නිර්මාණ කියල මේව හඳුන්වන්නේ. මහාපරිමාණ නැහැ. මහාපරිමාණව මේ නිර්මාණ කරනවා කියන්නේ මේවගේ තියෙන ගුණාත්මක බව නැතිවෙනවා. හැබැයි දැන් තියෙන තත්ත්වය එක්ක මේ දේ්කම රැකගන්න ක්රමයක් හඳා ගන්න වෙනවා. දැන් තියෙන්නේ කලාතුරකින් එන ඉල්ලුමට සපයනවා මිසක් භාණ්ඩය සපයල ඉල්ලුම හඳන ක්රමයක් නෙවෙයි. හැබැයි කාන්තාවන් පළදිල මාල, විසිතුරු ගල් හා චූඩාමාණික්ය වගේ දේවලට නම් ඉල්ලුමක් තියෙනවා. හැබැයි නිර්මාණ සඳහා සුදුසු ගල් හොයාගන්න එකත් දැන් දැන් ප්රශ්නයක් කියල කියනවා.
ලංකාවේ හිටිය විශිෂ්ට උගතෙකු වන ආචාර්ය ආනන්ද කෛන්ටිෂ් කුමාරස්වාමි මැතිතුමා ලිවුව ‘මධ්ය කාලීන සිංහල කලා’ කියන පොතින් කෑල්ලක් උපුටලා මගේ මේ සටහන ඉවර කරන්නම්.

ජන කොටසකගේ හෝ ජාතියක විශිෂ්ටාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔවුන්ගේ පූර්වගාමීන් විසින් බිහිකළ සමාජ-තාක්ෂණික සම්ප්රදා කුළුගැන්වීම වැදගත් වනු ඇත. කාර්මීකකරණ ක්රියාවලියේ අඬුවලට හසු නොවී තවමත් ජීවමාන මෙවැනි තාක්ෂණික සම්ප්රදා ආරක්ෂා කරගනිමින් පවත්වාගෙන යාම සඳහා යෝග්ය සමාජාරක්ෂණ ක්රමවේද ක්රියාත්මක කිරීම අතීත පරම්පරාව වන්දනය සඳහා පමණක් නොව ලෝක මානවයා හමුවේ ජාතික අනන්යතාව ස්ථාපනය කරගැනීම සඳහා ඇති හොදම මාර්ගයක් වනු ඇත.

චන්දිම අඹන්වල
2020.04.10 /01.39 PM
%d bloggers like this: