Menu Close

ඇමෙරිකන් ෆ්ලොයිඩ් සහ බ්‍රිතාන්‍ය කොල්ස්ටන් -අපේ කාලයේ වීරයෙක් සහ දුෂ්ටයෙක්

නිදහසේ සිටි ජනතාවක් නිවාස අඩස්සියේ රඳවා තැබූ ප්‍රජාපීඩනයෙන් ඔවුන් මිදෙන්නේ කෙසේදැයි කියා, ‘අදහස් ප්‍රකාශයට’ ඉඩ ඇති සෑම රටකින්ම පාහේ දකින්නට ලැබුණා යැයි අද කියන්නට පුළුවනි.

එහෙම පෙළපාලි දකින්නට නොතිබුණ රටවල් මොනවාදැයි සොයා බැලීම ඔබගේ කාර්යයි!

ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති ඇමෙරිකන් පුරවැසියාගේ බෙල්ලට මිනියෑපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙක් දණහිස තබාගෙන සිටීම නිසා ඔහු මිය ගියේය. එහි විඩියෝව ලොව හැම අත පැතිර ගියේය. ඒ, පොලිස් නිලධාරියාගේ හම සුදු වීමත්, ෆ්ලොයිඩ්ගේ හම කළු වීමත් නිසයි.

දණහිස ගෙලට තබාගෙන මෙල්ල කරගැනීම පොලීසිය භාවිතා කරන ක්‍රමවේදයකි. කළු අය කළු අයව එසේ මෙල්ල කරද්දී, නැත්නම් සුදු අය සුදු අයව හෝ ලතින් අය ලතින් අයව හෝ ආසියානුවන් ආසියානුවන්ව එසේ මෙල්ල කරද්දී ඒවා විඩියෝ කරන අය ගැන අපිට අහන්නට ලැබෙන්නේ නැති නිසා ඒසේ සිද්ධ නොවන්නේ යැයි සමහරු විශ්වාස කරති.

පොලිස් භීෂණය ගැන 1968 දී පටන් මාස්පතා වාර්තා කරනුයේ “Reason” සඟරාවයි. එහි අන්තිම පිටුව ඇමෙරිකාවේ සිදුවීම් පමණක් නොව මෑතක දී ලංකාවේ සිද්ධියක් පවා වාර්තා කළේය. නමුත් සඟරාව ලිබටේරියන් දැක්මෙන් යුතු නිසා එහි ඒ වසර පනස් ගණනක් තිස්සේ කරමින් සිටින කර්තව්‍යයට කිසිත් සැලකිල්ලක් නොලැබේ.

මිනියෑපොලිස් පොලිස් නිලධාරියාගේ වෑයම සැකකරුවා මෙල්ල කිරීම නොව, එයින් පරපීඩක වින්ඳනයක් ලැබීම බව විඩියෝව පැහැදිලිවම දක්වයි. එසේම ඔහු සමඟ සිටි අනෙකුත් විවිධ ජනවාර්ගික පොලිස් නිලධාරීන්ද ඒ ගැන කිසිත් නොකළහ.

පොලිස් නිලධාරීන්ට ලැබෙන අපූරු වරප්‍රසාදයක් වූ “සීමිත මුක්තිය,” අවසන් කරන්නට යැයි මිචිගන් කොංග්‍රස් නියෝජිත ජස්ටින් අමාශ් විසින් යෝජනාවක් ඉදිරිපත් කළේ ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසුවයි. ඒත්, ආමාශ් සුදු හමැති, සහ ලිබටේරියන් දේශපාලන දැක්මෙන් යුතු අයෙක් නිසා, ඔහුගේ ක්‍රියාවට හෝ ඒ යෝජනාව ගැන එතරම් කතා බහක් ලෝකයාට දැනගන්නට නොලැබිණ.

නිව් යෝර්ක් නගරයේ 1976 දී සම්මත වූ සිවිල් අයිතීන් නීතියේ 50-a අනුව පොලිස් නිලධාරීන්ගේ, ගිනිනිවන හමුදාවේ සහ සිරබන්ධනාගාර නිලධාරීන්ගේ “පෞද්ගලික වාර්තා” පිට නොදී රහසිගතව තබා ගැනෙයි. එහි අරමුණ වූයේ අපරාධයක් ගැන හරස් ප්‍රශ්න අසද්දී ඇසින් දුටු සාක්ෂි සපයන පොලිස් නිලධාරීන්ව ආරක්ෂා කිරීම සඳහායි.

ඒත්, හැම විටම යම් පිරිසකට පමණක් විශේෂිත නීති හැදීම නිසා හටගන්නා කළින් නොදුටු අතුරුඵලවිපාක මෙහි දී ද වැඩියෙන් ඉස්මතු වූහ. එනම් පරපීඩකයන්ට ඔවුන්ගේ අකටයුතු කරගෙන යන්නට වාතාවරණයක් සකසා දීමයි.

NYPD සේවය කළ ඩැනියෙල් පැන්ටලියෝ 2014 දී ස්ටැටන් අයිලන්ඩ් හි දී එරික් ගාර්නර් නැමැත්තාව ගෙල සිරකර මරණය කැඳවීය. 50-a නීතිය භාවිතා කරමින් පොලීසිය දිගින් දිගටම පැන්ටලියෝ ගේ විනය ඉතිහාසය හෙළි නොකර සිටියහ. වසර පහකට පසුව පැන්ටලියෝව රස්සාවෙන් නෙරපා හරිනු ලැබීය.

2014 දී පටන් ඒ නීතිය වෙනස් කරන්න යැයි ඉල්ලීම් ගණනාවක් තිබුණ ද, වාමාංශික නිව් යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාරයා හෝ වාමාංශික නිව් යෝර්ක් නගරාධිපතිවරයා මෙතෙක් ඒ ගැන කිසිවක් නොකළහ. අද නගරාධිපතිවරයා ඒ ගැන සලකා බැලිය යුතු යැයි කියා ඇත.

මිනියෑපොලිස් නගරය 2011 සිට අද දක්වා ආණ්ඩු කරන ලද්දේ ඩෙමොක්‍රැටික් පක්ෂය විසිනි. ඒත් ඔවුන්ද පොලිස් නිලධාරීන්ගේ වරප්‍රසාද නීති වෙනස් කිරීමට කිසිදු පියවරක් ගෙන නැත.

ඇමෙරිකාවේ ෆෙඩරල් සහ ප්‍රාන්ත ලෙසින් බලය බෙදී පැවතීමත්, ප්‍රාන්ත සහ නගර අතර බලය බෙදී පැවතීමත් ගැන මනා ලෙසින් අධ්‍යයනය කරන්නට කෝවිඩ්-19 වසංගතය තුළ දී ඉඩකඩක් පෑදිණ. වාමාංශික පැත්තට වැඩියෙන් නැඹුරු වෙද්දී, ව්‍යාපාර වසා දැමීම සහ ජනතාවගේ නිදහස අවහිර කිරීම වැඩි වීමත්, දක්ෂිණාංශ පැත්තට වැඩියෙන් නැඹුරු වෙද්දී, ජනතාවට සිය යහපත උදෙසා තීරණ ගත හැකි නිදහස පැත්තට වැඩියෙන් නැඹුරු වීමත් දකින්නට ලැබුණි.

පෙළපාලි, උද්ඝෝෂණ, කඩ සාප්පු සහ දේපල විනාශය වැඩියෙන්ම දකින්නට ලැබුණේ වාමාංශික නැඹුරුවෙන් යුතු පාලකයන් (ඔවුන් පත්කරගත් ජනතාව) කාලයක් තිස්සේ බලයේ සිටින නගර වලිනි.

ඒත්, ඔවුන් පොලිස් මර්දන ප්‍රවණතාවයට ඉඩදෙන වරප්‍රසාද නීතිය ඉවත් කර නොදැම්මේ ඇයි?

වර්ගවාදය දක්වමින් ගෙන යන ‘අවුල්කර පිළිගන්වන ඉතිහාස’ ගැන කදිම රචනාවක් Ever Wonder Why? and Other Controversial Essays (2006) පොතෙන් අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ තෝමස් සවෙල් ඉදිරිපත් කර ඇත. මහාචාර්ය සවෙල් කළු හමැති ලිබටේරියන් දැක්ම යුතු අයෙකි. ඔහුගේ අදහස් ලොව පුරා සීඝ්‍රයෙන් හුවමාරු නොවෙන්නේ පළමු ලක්ෂණය නොව දෙවැනි ලක්ෂණය නිසායි.

ටී. එස්. එලියට් ලියූ මේ අපූරු උපුටනයෙන් සවෙල් සිය කෘතිය පටන් ගනියි.
“මේ ලෝකයේ සිද්ධ වී ඇති හානියෙන් බාගයක් සිදුව ඇත්තේ තමන් වැදගත් යැයි හැඟුම උවමනා ජනතාව නිසයි. ඔවුන් හානියක් කරන්නට අදහස් නොකරති—ඒත් හානිය ගැන උනන්දුවක් ඔවුනට නැත. නැත්නම් ඔවුන් එය නොදකිති, නැත්නම් ඔවුන් එය යුක්ති සගහත කරති, මන්ද ඔවුන් ගැන යහපත් ලෙසින් සිතන නොනිම අරගලයේ ඔවුන් ඇලී ගැලී සිටින නිසයි.” ටී. එස්. එලියට්

‘අවුල් කර පිළිගන්වන ඉතිහාසය’ රචනාවෙන් සවෙල් අපිට අයිඩියලොජි අරමුණු ඇතිව ඉතිහාසය දරුවන්ට කියා දෙන ආකාරය පැහැදිලි කරයි.

“ඔබ ඇමෙරිකන් ස්වදේශීය වැසියෙක් වූවා නම්, යුරෝපීය ආක්‍රමණිකයන් පැමිණ ඔබේ ඉඩම් පැහැර ගැනීම ගැන ඔබට කුමක් දැනේවිද?” ඉතිහාස පංතියක දී සාමාන්‍යයෙන් ඇසෙන වාක්‍යයක් සවෙල් ගැනහැර පායි.

අද අපි සියල්ලන්ම අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම වරදක් බව දන්නෙමු. නමුත් ඇමෙරිකන් ස්වදේශීන් හෝ යුරෝපීය ආක්‍රමණිකයන් එය එදා වරදක් හැටියට සැලකුවේ නැත. ඔවුන් එකිනෙකා වෙතින් ඉඩම් අල්ලා ගත්හ. ඉතිහාසය දිහා අපක්ෂපාතීව බලද්දී, යුරෝපීයයන් පමණක් නොව ආසියානුවන්, අප්‍රිකානුවන්, අරාබි, පොලනීසියන් යනාදී සියල්ලන්ම පාහේ ඔවුන්ගේ එවක ඉතිහාසයේ අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් බව පෙනී යයි.

“ඔවුන්ට වහල්ලු බොහොමයක් සිටි බව අමතක කරන්න එපා,” යන්න 2004 දෙසැම්බර් 14 වැනිදා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ දැවැන්ත සිරස්තලය වූ බව සවෙල් අපිට සිහි කරවයි. ඇතුලත වූයේ වහල් සේවකයන් සිටි ජෝර්ජ් වොෂිංටන් සහ තෝමස් ජෙෆර්සන් වෙත එල්ල වූ අධිචෝදනයයි.

සෑම ජනවර්ගයකම, සෑම හමේ පාටක්ම ඇති අය අතර වහල්ලු සිටීම ලෝක ඉතිහාසයේ දකින්නට ලැබිණ. ඇමෙරිකාව කළු වහල් වෙළඳාම තහනම් කළ පසුව තවත් දශක ගණනාවක් යනතුරු ඔටෝමාන් අධිරාජ්‍යය තුළ සුදු අයව වහල්ලු හැටියට මිල දී ගැනීම සහ විකිණීම දකින්නට ලැබුණි.

මේ දිනවල මම පරිවර්තනය කරමින් සිටින “කොමියුනිස්ට්වාදයේ කළු පොත” සෝවියට් පුරාලේඛනාගාර වලින්ම ගත් දත්ත සහ මූලාශ්‍ර සපයමින් යුක්රේනයේ, ෆින්ලන්තයේ, එස්ටෝනියාවේ, ලිතුවේනියාවේ, ලැට්වියාවේ, පෝලන්තයේ යනාදී රටවල් ගණනාවක ජනතාවක්, සෝවියට් දේශය විසින් බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගත් ගුලාග් කඳවුරුවල හිරකර තිබුණේ 1930 ගණන් සිට 1950 ගණන් මුල් කාලය දක්වායි.

ඒත් ඇමෙරිකාවේ 1807 මාර්තු 2 වැනිදා තහනම් කර දැමූ වහල් වෙළඳාම ගැන කතා කරන අය ඒ සෝවියට් දේශයේ ගුලාග් ගැන දැඩි මුනිවතක් රකිති.

බටහිර නිෂ්පාදන මිල දී ගැනීමට අවශ්‍ය රන් සඳහා පතල් කැනීමට, තම දේශයෙන් පමණක් නොව අහල පහළ දේශ වලින්ද ‘විප්ලවයේ හතුරන්’ කියා යැයි අත් අඩංගුවට ගන්නා අයට ජීවිතය පවත්වා ගැනීමට පවා ප්‍රමාණවත් තරමකට කන්න බොන්න නොදී, සතියේ දින හයක් පැය 11 ක් බැගින් ශ්‍රමය සූරාකෑම වාමාංශිකයාට අනුව වහල් ශ්‍රමයක් යොදා ගැනීම නොවේ.

නමුත්, ඊයේ එඩ්වඩ් කොල්ස්ටන්ගේ ප්‍රතිමාවක් බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් නගරයේ දී පෙරළා දැමිණ. ඒ ඔහු 1689 දී රාජකීය අප්‍රිකානු කොම්පැණියේ උප අාණ්ඩුකාරයා වීමත්, වහල් වෙළඳාමෙන් සිය ධනය උපයාගත් ව්‍යාපාරිකයෙක් යැයි සඳහන් වීමත් නිසයි. ඒ රාජකීය අප්‍රිකානු කොම්පැණියේ වාර්තාවල ඔහු ගැන ඇති අවසාන සටහන ලැබෙන්නේ 1692 ඔහු ඇතුළු සහායකයන් වෙතට ලැබුණ කුඩා සන්තෝෂමක් ගැනයි. ඒ කොම්පැණියේ ආයෝජකයන් අතර එංගලන්තයේ දෙවැනි චාල්ස් රජු, එහි විශාලතම කොටස්ලාභියා වූ යෝර්ක් හි ඩ්‍යුක්වරයා වන ජේම්ස් ස්ටුවර්ට් (රජු), දාර්ශනික ජෝන් ලොක් යනාදී පුද්ගලයන් මහත් ගණනාවක් වූහ. ඒ අප්‍රිකානු කොම්පැණියේ වත්කම් 1752 දී අලුතින් හදන ලද අප්‍රිකානු වෙළෙන්ඳන්ගේ කොම්පැණියට පවරනු ලැබීය. දෙවැන්න 1821 දී විසුරුවා හරින ලදි.

එඩ්වඩ් කොල්ස්ටන් වහල් වෙළඳාමෙන් ධනය උපයන ලද්දෙකි. ඔහුට වෙනත් ව්‍යාපාර තිබිණ. ඔහුගේ වත්කම් වලින් වහල් වෙළඳාමෙන් උපයාගත් ප්‍රමාණය කොපමණක් වූවාද යන්න ගැන කිසිදු දත්ත නොමැත.

එඩ්වඩ් කොල්ටන් මහා දානපතියෙක් වූවා යන්න ප්‍රතික්ෂේප කළ නොහැකියි. 1696 දී ඔහු දුප්පතුන්ට ආහාර සැපයීම සඳහා ස්ථානයක් පවත්වාගෙන යෑමට ආධාර වෙන් කළේය. එය අදත් එදා අරමුණු කරගත් ලෙසින්ම පවත්වාගෙන යන තැනකි. එසේම ඔහුගේ දායකත්වයෙන් ඉදි වූ ඉස්පිරිතාල, පාසැල් යනාදිය අදත් පැවතෙන ඒවා වෙති.

ජෝර්ජ් ෆ්ලොයිඩ් සුදු පොලිස් නිලධාරියෙකුගේ අධම ක්‍රියාවට හසුව මිය ගිය කළු මිනිහෙකි. ඔහු කිහිප වතාවක් සිරබත් කන ලද්දෙකි. ගර්භනී කාන්තාවකගේ නිවහන කොල්ලකන ලද්දෙකි. මත්ද්‍රව්‍ය පරිහරණය කරන ලද්දෙකි. හොර නෝට්ටු භාවිතා කළ අයෙකි.

අවුල්කර පිළිගන්වා ඇති ඉතිහාසය නිසා කොල්ටන් දුෂ්ටයෙක් හැටියටත් ෆ්ලොයිඩ් වීරයෙක් හැටියත් අද ලොව බහුතරය පිළිගෙන සිටිති.

%d bloggers like this: