Menu Close

රට ගිය ඇත්තෝ (පළමු කොටස)

සෑම වසරකදීම ලෝකයේ රටවල් ගණනාවක පුරවැසියන් 50,000කට ආසන්න පිරිසකට ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන් වීමට හා පසුව ඇමරිකානු පුරවැසියන් වීමට ඉඩ සලසන ඇමරිකන් ග්‍රීන්කාඩ් ලොතරැයියේ ප්‍රතිඵල ඊයේ (ජූනි 6) ප්‍රකාශයට පත් කෙරුණා. ලොතරැයිය සඳහා අයදුම් කළ අයට සැප්තැම්බර් අවසානය දක්වා තමන්ගේ ප්‍රතිඵලය අන්තර්ජාලයෙන් පරීක්ෂා කළ හැකියි.

වසර ගණනාවක සිටම හරියටම ග්‍රීන්කාඩ් ලොතරැයියේ ප්‍රතිඵල පිටවන කාලයට සමාජ මාධ්‍ය හෝ විද්‍යුත් තැපෑල හරහා සංසරණය වන කතාවක් මෙවරද එසේ සංසරණය වෙමින් පවතිනවා. මේ කතාව අපේ පෙර ලිපියක ප්‍රතිචාර කොටසේ කිසියම් අයෙකු විසින් පළ කර තිබෙනවා. එහි කතාවේ මාතෘකාව හෝ රචකයාගේ නම සඳහන්ව නැහැ.

සොයා ගත හැකි තොරතුරු අනුව මේ කතාවේ රචකයා නිහාල් ගුරුසිංහනම් බ්ලොග්කරුවෙක්. ඔහුගේ “යථාර්ථවාදියා” සිංහල වියුණුව 2018 අවසානය දක්වාම සක්‍රියව තිබුණු එකක්. වසර හත අටක් තිස්සේ එහි ඔහුගේ කෙටි කතා හා කවි රැසක් පළ වී තිබෙනවා. වෙනත් තැන් ගණනාවක තිබෙන නිශ්චිත තොරතුරු අනුව ඔහු මේ කතාව මුලින්ම පළ කර තිබෙන්නේ 2011 ඔක්තෝබර් 23 දිනයි. ඒ ආසන්න දිනයක කවුරු හෝ අයෙක් විසින් පීඩීඑෆ් කර ලේඛකයාගේ නම රහිතව විද්‍යුත් තැපෑල හරහා බෙදා හැර තිබෙනවා.

මේ කතාවේ තාක්ෂණිකව හා/හෝ තර්කානුකූලව නිවැරදි නොවන කරුණු ගණනාවක් තිබෙනවා. මේ වෙද්දී වෙනස් වී තිබෙන දේවල් ගණනාවක්ද තිබෙනවා. ප්‍රබන්ධයක් හැම විටම තාක්ෂනික ලෙස නිවැරදි විය යුතු නැහැ. ප්‍රබන්ධයක් කියන්නේ ලේඛකයෙකුගේ පරිකල්පනයක් මිසක් සැබෑව නෙමෙයි. ඒ නිසා, එවැනි පදනමකින් කෙටි කතාවක් විචාරය කිරීම කිසිම තේරුමක් නැති විහිළුවක්.

කෙසේ වුවත් මේ කතාව සංසරණය වන්නේ ප්‍රබන්ධයක් ලෙස එහි තිබෙන විශිෂ්ඨත්වයට වඩා එහි අඩංගු කරුණු හේතුවෙනුයි. කතාවේ සාරය ඇමරිකන් ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට සංක්‍රමණය වී විනාශ වී යන පවුලක්. වසර හත අටකට පෙර මෙය මා වෙත මුලින්ම යොමු කළ පුද්ගලයා හිතාගෙන සිටියේ මෙය ප්‍රබන්ධයක් නොව සැබෑ විස්තරයක් බවයි. බොහෝ විට මුල් රචකයා එය ලියා පළ කරන විට එවැනි තත්ත්වයක් අපේක්ෂා කරන්න නැතුව ඇති.

පොදුවේ මේ කතාවෙන් කියන්න හදන්නේ ඇමරිකාවට සංක්‍රමණය වුනා කියා හැමදේම ලැබෙන්නේ නෑ කියන එකයි. ඒ කතාව ඇත්ත. ඇමරිකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් ධනවතුන් වී සිටින නිසා ඇමරිකාව රටක් විදිහට ධනවත් රටක්ව තිබෙනවා මිසක් රට ධනවත් නිසා මිනිස්සු ධනවත් වී නැහැ. ඇමරිකාවට සංක්‍රමණය වන කෙනෙකුට සාධාරණව මුදල් උපයන්න වැඩි අවස්ථාවන් මිසක් මුදල් ලැබෙන්නේ නැහැ. ලංකාව වගේ රටක තිබෙන සමහර අවස්ථා ඇමරිකාවේ නැති වෙන්නත් පුළුවන්. ඉගෙන ගන්න අවස්ථා මිසක් අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. හොඳ වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවස්ථා මිසක් සෞඛ්‍යය ලැබෙන්නේ නැහැ. ඇමරිකාවට හෝ ලෝකයේ වෙනත් රටකට කෙනෙක් සංක්‍රමණය වෙනවානම් එසේ කළ යුත්තේ ලංකාවේදී තමන්ට නොලැබෙන අවස්ථා හොයා ගෙන මිසක් සම්පත් හොයා ගෙන නෙමෙයි.

මුල් ලිපිය පළවී මාස කිහිපයකට පසුව වෙනත් තැනක පළ වී තිබෙන අදාළ කතාව පහත තිබෙනවා.

රට ගිය ඇත්තෝ..

එහිම ඉංග්‍රීසි පරිවර්තයක් මෙහි තිබෙනවා.

Its A ‘Big Bite’, Sam

කතාවේ තිබෙන තාක්ෂණික වැරදි හා වෙනත් අඩුපාඩු විවිධ පුද්ගලයින් විසින් පෙන්වා දී තිබෙනවා. ඒ හේතුව නිසා හෝ වෙනත් හේතු නිසා මුල් ලිපිය පසුව යථාර්ථවාදියා බ්ලොග් අඩවියෙන් ඉවත් කරගෙන ඇති බව පෙනී යනවා. ඒ අනුව, මේ කතාව මුල් රචකයා විසින් “අයිතිය හැර දැමූ” කතාවක් වෙන්න පුළුවන්.

කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. සමන් ජයසිංහ හා සිරිල් සපරමාදු. සිරිල් සපරමාදුගේ පවුලේ සාමාජිකයින් අවශේෂ චරිත. මේ සියළු දෙනාම ලංකාවෙන් ඇමරිකාවට ආ සංක්‍රමණිකයෝ.

කතාව කියන්නේ සමන් ජයසිංහ. ඔහු කඩවත සිට ඇමරිකාවේ චිකාගෝ නුවරට එන්නේ සිංහ සමාජයේ වාර්ෂික සමුළුවකට සහභාගී වෙන්නයි. ඔහු සමුළුව අවසන් වීමෙන් පසුව නැවත ආපසු යන්නේ නැහැ. වසර හතරක් තිස්සේ ඇමරිකාවේ රැකියාවක් කරමින් සිටින ඔහු තවත් වසරකට පසුව “තව කීයක් හරි හොයා ගෙන” ආපසු ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කිසියම් සමුළුවකට හෝ පුහුණු වැඩ සටහනකට සහභාගී වීම සඳහා සංචාරක වීසා ලබා ගෙන ඇමරිකාවට ඇතුළු වීමෙන් පසුව කිසියම් පුද්ගලයෙකු ආපසු ලංකාවට නොගොස් ඇමරිකාවේ නැවතීම අභව්‍ය සිදු වීමක් නෙමෙයි. එසේ කළ අය මට පෞද්ගලිකවත් හමු වී තිබෙනවා.

කතාවේ හැටියට සමන් ජයසිංහ ඇමරිකාවට ඇවිත් අවුරුදු හතරක් වෙනවා. කතාව මුලින්ම පළ වී තිබෙන්නේ 2011දී නිසා මෙය 2008 ආර්ථික අවපාතයට පෙර කාලයක්.

“දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහු යනවා.”

මේ කතාව තාක්ෂණිකව සම්පූර්ණයෙන්ම වැරදියි. ඇමරිකාවට පැමිණීමට සංචාරක වීසා ලබා දීමේදී වසර පහක කාලයක් සඳහා බහු ගමන්වාර වීසා බලපත්‍රයක් ලබා දෙන නමුත් එම වීසා බලපත්‍රය මත වරක් ඇමරිකාවට ඇතුළු වීමේදී ඇමරිකාවේ රැඳී සිටීමට අවසර ලබා දෙන්නේ මාස හයක කාලයක් දක්වා පමණයි. මාස හය ඉක්මවා දවසක් හෝ රැඳී සිටීම නීති විරෝධී ලෙස රැඳී සිටීමක්.

“මට බැංකු ගිණුමක් අරින්නවත්, වාහනයක් එළවන්නවත් බැහැ.” 

ඇමරිකාවේ නීත්‍යානුකූල ලෙස පදිංචි වී නොසිටින විදේශිකයෙකුට ඇමරිකාවේ වාණිජ බැංකුවක පුද්ගලික හෝ ව්‍යාපාරික අනේවාසික ගිණුමක් ආරම්භ කරන්න බැරිකමක් නැහැ. එහෙත්, සාපේක්ෂව අසීරුයි. ඒ සඳහා මුදල් ඉපැයූ ආකාරය ඇතුළු අවශ්‍ය තොරතුරු රාශියක් ලබා දිය යුතුයි. වීසා කල් ඉකුත් වීමෙන් පසුව නීති විරෝධී ලෙස රැඳී සිටින කෙනෙක්ට ඔය වැඩේ කොහොමවත් කරන්න බැහැ. වියානා සම්මුතිය අනුව ඇමරිකාවේ සංචාරය කරන ලාංකිකයෙකුට ඇමරිකාවේදී වාහන එළවන්නත් පුළුවන්කම තිබෙනවා. හැබැයි මාස හයක් යන තුරු පමණයි. නීති විරෝධී ලෙස රැඳී සිටින කෙනෙකු ඇමරිකාවේදී වාහන එළවනවානම් එය කරන්න වෙන්නෙත් නීති විරෝධී ලෙසයි.

“not authorized to work කියල පාස්පෝට් එකේ ගහල තියෙනවා.”

“මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්.”

“වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්.”

නීති විරෝධී සංක්‍රමණිකයෙකු විසින් හදිසියේ රැකියාවක් හොයා ගන්නවා කියන එක කළ නොහැකි තරම් අමාරු දෙයක්. කාලය දිගේ ආපස්සට ගියොත් 2008 ආර්ථික අවපාතය වෙලාවේ බොහෝ ඇමරිකානුවන්ට රැකියා අහිමි වුනා. ඔය කියන විදිහේ රැකියාවක් පුරප්පාඩු වෙන කොට අයදුම්කරුවන් සිය ගානක් ඉල්ලුම් කරනවා. ඉන් පසුව, ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙන කොට නීති විරෝධී සංක්‍රමණිකයින් රැකියා කරනවාද කියා පරික්ෂා කරන ක්‍රමවේදය සෑහෙන්න විධිමත් වෙලා. 2008න් පසුව නීති විරෝධී ලෙස රැඳී සිටින්නෙකුට ඇමරිකාවේ රැකියාවක් හොයා ගන්න ඉතාම අඩු ඉඩ කඩකුයි තිබුණේ. ඒ නිසා, අපට සමන් ජයසිංහ විසින් මේ කතාව කියන කාලය 2007 දක්වාවත් පස්සට තල්ලු කරන්න වෙනවා. ඒ කියන්නේ ඔහු පැමිණි කාලය 2003 හෝ පෙර වසරක්. ඒ කාලයේදී වුවත් ගෑස් ස්ටේෂන් වල වැඩිපුරම වැඩ කළේ නීති විරෝධී සංක්‍රමණිකයින් කියන එක බොරුවක්. යම් ප්‍රමාණයක් ඉන්න ඇති.

ගෑස් ස්ටේෂන් එකක සේවය කරන අයෙකු මුහුණ දෙන තත්ත්වයන් ගැන කතාවේ තිබෙන බොහෝ දේවල් නිවැරදියි. එවැන්නෙකුට බොහෝ විට ලැබෙන්නේ අවම වැටුප හෝ ඊට කිට්ටු වැටුපක්.

“තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්.”

මෙය තීරණය වන්නේ අදාළ පුද්ගලයාගේ වියදම් කිරීමේ රටාව මතයි. ඔය වගේ රැකියා කරලාත් ගෙවල් අරගෙන ඉන්න, පවුල් නඩත්තු කරන අය ඉන්නවා. හැබැයි නීත්‍යානුකූලව ඉන්න අය. ඒ වගේම, සමන් ජයසිංහගේම කලින් කතාව මේ කතාව සමඟ ගැලපෙන්නේ නැහැ.

“තව කීයක් හරි හොයා ගෙන ආපහුයනවා.”

සමන් ජයසිංහගේ ලංකාවේ රැකියාව ගැන කතාවේ සඳහනක් නැතත් සිංහ සමාජයක සාමාජිකයෙක් කියන්නේ ලංකාවේ හැටියට දුප්පතෙක් වෙන්න බැහැ. ලංකාවට සාපේක්ෂව හොඳ සමාජ ආර්ථික තත්ත්වයක් තිබෙන කෙනෙක්. සැලකිය යුතු ආදායමක් ලබන කෙනෙක්. නමුත්, ඔහු නැවත ලංකාවට නොයා මේ “අඩුවෙන් ගෙවන පොඩි රස්සාව” කරගෙන ඉන්නේ ඒ රස්සාව කරලත් ඔහුට ලංකාවේ හොඳ රස්සාව කරලා ඉතුරු කරනවාට වඩා ගානක් ඉතුරු කරගන්න පුළුවන් නිසයි. වෙන රටක රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්කම තිබෙන අය පවා තමන්ගේ කැමැත්තෙන් ඇමරිකාවේ පොඩි රස්සා කරගෙන ජීවත් වෙලා තියෙනවා. “තව කීයක් හරි” කියන එකෙන් අදහස් වෙන්නේ සමන් ජයසිංහ දැනටමත් යම් මුදලක් ඉතිරි කරගෙන තිබෙන බවයි.

“මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ “හෝම්ලස් පීපල්” කියල.”

මේක අතිශයෝක්තියක්. ඇමරිකාවේ නිවාස අහිමි පුද්ගලයින් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ වෙන වෙලාවක ලිපියකින් ඉදිරිපත් කරන්නම්.

“අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව. ඉංග්‍රීසි භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මාකියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේමටද නොතේරෙයි.”

මේ කතාවනම් සම්පූර්ණ ඇත්ත.

රට ගිය ඇත්තෝ කතාවේ ඊට පස්සේ තියෙන්නේ සමන් ජයසිංහට සිරිල් සපරමාදු හමු වීම හා සිරිල් සපරමාදුගේ කතාව. රට ගිය ඇත්තෝ කියන්නේ ඇත්තටම සමන් ජයසිංහ විසින් කියන සිරිල් සපරමාදුගේ කතාවයි. සිරිල් සපරමාදු සමන් ජයසිංහ වගේ නීති විරෝධී සංක්‍රමණිකයෙක් නෙමෙයි. ඔහු සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ ස්ථිර පදිංචිය සඳහා ඇමරිකාවට එන්නේ ඇමරිකාවේ ස්ථිර පුරවැසියෙකු හෙවත් ග්‍රීන්කාඩ් හිමියෙකු ලෙසයි. ඇමරිකාවේ ස්ථිර පුරවැසියෙකුට ඇමරිකන් පුරවැසියෙකුට හිමි වන වරප්‍රසාද වලින් විශාල ප්‍රමාණයක් හිමි වෙනවා. වසර පහකට පසුව ඇමරිකන් පුරවැසියෙකු වීමේ අවස්ථාවද ලැබෙනවා.

කතාව අනුව සිරිල් සපරමාදුට ඇමරිකන් ස්ථිර පුරවැසියෙකු වීමේ අවස්ථාව ලැබෙන්නේ ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කර ජයග්‍රාහකයෙකු වීම නිසයි. කතාව අවසන් වෙන්නේ ග්‍රීන් කාඩ් ලොතරැයිය සමඟ සිරිල් සපරමාදු වෙත ආ වාසනාව අවාසනාවකට පෙරළීමෙන්.

ඒ කොටස පිළිබඳව අපි ඊළඟ කොටසින් කතා කරමු.

%d bloggers like this: