Menu Close

කළු, සුදු හා අළු

මා කවර ආකාරයක හෝ භීෂණකාරී ක්‍රියා අනුමත නොකරන අයෙකු බව මේ බ්ලොග් එක දිගටම කියවන අය දන්නවා. භීෂණය අනුමත නොකරන මා පොලිස් භීෂණය කෙසේවත් අනුමත කරන්නේ නැහැ. පොලීසිය ඉන්නේම ජීවිත හා දේපොළ ආරක්ෂා කරන්න නිසා පොලිස් නිලධාරියෙකු අතින් ජීවිතයක් නැති වීම සාමාන්‍ය පුද්ගලයෙකු අතින් ජීවිතයක් නැති වනවාට වඩා නරක දෙයක්.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය වැරැද්දක්. සිදු විය යුතුව නොතිබුණු දෙයක්. මා කෙසේවත් එය අනුමත කරන්නේ නැහැ. එහෙත්, මේ සිද්ධිය ගැන කතා කරන්නන් පහසුවෙන් අමතක කර දමන ඇතැම් කරුණු නැවත මතක් කර ගත යුතුයි. ප්‍රශ්නයක් හඳුනාගෙන විසඳුම් හොයන්නනම් පළමුව අන්තවාදී නොවී ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි.

ඇමරිකාවේ පොලීසි කියා කියන්නේ ඒකීය පුද්ගලයින්ගේ අවශ්‍යතා මත ඔවුන් විසින් සාමූහික තීරණයකින් පිහිටුවා ගෙන  පොදු අරමුදල් වලින් නඩත්තු කරන ආයතන. පොලිස් නිලධාරියෙකුගේ කාර්ය භාරය වන්නේ අදාළ ප්‍රදේශයේ නීතිය හා සාමය රැකීමයි. වෙනත් වචන වලින් කිවුවොත් තමන් වෙනුවෙන් වියදම් දරන පුද්ගලයින්ගේ ජීවිත හා දේපොළ ආරක්ෂා කර දීමයි.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයට හේතු වූ සිද්ධි දාමය ආරම්භ වන්නේ 911 අංකයට ලැබුණු හදිසි දුරකථන ඇමතුමකින්. දුරකථන ඇමතුම දෙන්නේ “කප් ෆුඩ්ස්” කඩේ සේවකයෙක්. කඩේ අයිතිකරු මහ්මුද් අබුමයියාලේ. පලස්තීන ඇමරිකානුවෙක්. සිද්ධිය වෙන වෙලාවේ ඔහු කඩේ ඉඳලා නැහැ. කවුන්ටරේ ඉඳලා තියෙන්නේ වයස අවුරුදු 17ක බාලවයස්කරුවෙක්. දුරකථන ඇමතුම දී තිබෙන්නේ මේ දරුවා. ඇතැම් විට ග්‍රීෂ්ම නිවාඩුවේ කීයක් හෝ හොයා ගන්න වැඩ කරන දරුවෙක් වෙන්න ඇති. දුරකථන ඇමතුමේ ඉංග්‍රීසි භාවිතය අනුව බොහෝ විට සුදු හෝ කළු ඇමරිකානු දරුවෙක් නොවිය හැකියි. අයිතිකරුගේ ඥාතියෙක් වෙන්නත් පුළුවන්.

දුරකථන ඇමතුම අනුව කඩේට පැමිණි පුද්ගලයෙක් බඩු අරගෙන මුදල් ගෙවීමෙන් පසුව මුදල් ගෙවා ඇත්තේ හොර නෝට්ටු වලින් බව පෙනී ගොස් තිබෙනවා. කවුන්ටරයේ සිටි දරුවා එම පුද්ගලයා පසුපස ගොස් මුදල්, ජංගම දුරකථනය හෝ සිගරැට් ආපසු දෙන මෙන් ඉල්ලා ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. දුරකථන සංවාදය අනුව පැහැදිලි නැතත් ජංගම දුරකථනය ඉල්ලුවේ මුදල් ගෙවන තුරු ඇපයක් ලෙස වෙන්න පුළුවන්. පසුව මහ්මුද් අබුමයියාලේ විසින් සඳහන් කර තිබුණු පරිදි මේ පුද්ගලයා (ජෝජ් ෆ්ලොයිඩ්) ඔහුගේ කඩේට නිතර ආ ගිය ඔහු දන්නා කෙනෙක්.

දුරකථන ඇමතුම අනුව කඩේට පැමිණි පුද්ගලයා තමන්ට තමන්ව පාලනය කර ගත නොහැකි තරමට හොඳටම මත් වී සිටින පුද්ගලයෙක්. ඔහු දැන් කඩේ ඉදිරිපස මෝටර් රථයකට වී ඉන්නවා. ඒ අනුව, පොලිස් කණ්ඩායමක් වහාම සිද්ධිය වූ තැනට එනවා.

පොලිස් කණ්ඩායම වහාම එන්නේ අදාළ පුද්ගලයා තමන්ට තමන්ව පාලනය කර ගත නොහැකි තරමට හොඳටම මත් වී සිටින බවට ලැබුණු තොරතුරටද බරක් තබා විය යුතුයි. ඊට අමතරව මේ ප්‍රදේශය පොලිස් සුපරික්ෂාව යටතේ තිබෙන අපරාධ වැඩි ප්‍රදේශයක් කියා හිතන්න පුළුවන්.

ජෝජ් ෆ්ලොයිඩ් පොලිස් අණට අවනත වන්නේ නැහැ. චෝවින් ඔහුගේ දණහිස ෆ්ලොයිඩ්ගේ ගෙල මත තබා පීඩනයක් දමන්නේ ඔහුව අවනත කර ගැනීමේ අරමුණින් මිස මරා දැමීමේ අරමුණින් නෙමෙයි. මේ ක්‍රියාව පොලිස් අත් පොතේ තිබෙන, ඔවුන්ගේ පොලිස් පුහුණුවේ කොටසක් වන ක්‍රියාවක්. එවැන්නක් කළ යුතු අවස්ථාද පුහුණුවට ඇතුළත්. එහෙත්, මේ අවස්ථාව එවැනි අවස්ථාවක් නෙමෙයි. මෙය පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ සීමාව ඉක්මවා යාමක්.

පොලිස් නිලධාරියෙකු තමන්ගේ සීමාව ඉක්මවා යාමෙන් ජීවිතයක් හානි වූ විට එයට දඬුවම් හිමි විය යුතුයි. අධිකරණය හරහා එය සිදු විය යුතු නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. මේ අවස්ථාවේදීද අපක්ෂපාතී ලෙස හා කාර්යක්ෂම ලෙස ඒ කටයුත්ත සිදු වී තිබෙනවා. කිසිදු දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකු විසින් අධිකරණයට බලපෑම් කර නැහැ. ඒ වගේම අධිකරණය මහජන උද්ඝෝෂණ වල පීඩනයට යටත්ව තීන්දු දිය යුතුත් නැහැ. පොලිස් නිලධාරියෙකු අතින් තමන්ගේ සේවය ඉටු කරන්නට යාමේදී සිදුවන නොදන්නා පුද්ගලයෙකුගේ මරණයක් පිළිබඳව තීන්දුවක් දීම ක්ෂණිකව කළ හැක්කක් නෙමෙයි. දෙපැත්තටම කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් දෙන්න වෙනවා.

පොලිස් නිලධාරීන් සෘජුවම චුදිතයින් වී සිටින මේ වගේ නඩුවකදී ඔවුන් අපක්ෂපාතී ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වීම විහිළුවක්. ඔවුන් අනිවාර්යයෙන්ම බලන්නේ තමන් බේරෙන්නේ කොහොමද කියලයි. මේ වන විට කවුරුත් දැක තිබෙන වීඩියෝව නොවන්නට සිද්ධිය හා අදාළ සියලු කරුණු අධිකරණය හමුවේ එළිදරවු වෙන්නේ නැහැ. මෙවැනි වෙනත් අවස්ථා වලදී සීමාව ඉක්මවා යන පොලිස් නිලධාරීන් ඕනෑ තරම් නිදහස් වෙනවා ඇති.

මේ සියලු සිද්ධි වලට කළු සුදු භේදය බලපාන්නේ කොහොමද? චෝවින් ෆ්ලොයිඩ්ගේ ගෙල මත අවම බලය වෙනුවට මාරාන්තික බලය යෙදීමට චෝවින් සුදු ජාතිකයෙක් වීමත්, ෆ්ලොයිඩ් කළු ජාතිකයෙක් වීමත් බලපෑවාද? සීමාව ඉක්මවා යන සුදු පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරුණු විට පොලිස් නිලධාරියා නිදහස් වෙන්නේ කළු සුදු භේදයක් නිසාද?

මේ වගේ කරුණක් දිහා සරලව බලන්න බැහැ. මතුපිටින් පෙනෙන විදිහට සුදු පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරෙනවා තමයි. නමුත්, ඒ හේතුව නිසාම මෙය කළු සුදු ප්‍රශ්නයක් කියා කියන්න බැහැ. පොලිස් නිලධාරියා කළු ජාතිකයෙක් වුනානම් ෆ්ලොයිඩ් තවමත් ජීවත් වෙනවාද? ෆ්ලොයිඩ් සුදු ජාතිකයෙක් වුනානම් ඔහු තවම ජීවත් වෙනවාද? මේ වගේ ප්‍රශ්නයකට විද්‍යාත්මක පිළිතුරක් හොයන එක ගොඩක් සංකීර්ණ වැඩක්. ඒ නිසා, සුදු ජාතිකයෙක් අතින් කළු ජාතිකයෙකු මිය ගිය පමණින් එහි කළු සුදු ප්‍රශ්නයක් තිබෙන බව කියන්න බැහැ. නැති බව කියන්නත් බැහැ.

සුදු පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මිය ගිය විට කළු ජාතිකයින් ඒ ගැන සංවේදී වෙනවා. තමන් කළු ජාතිකයින් වීම නිසා අසාධාරණයට ලක් වන බව ඔවුන් හිතනවා. නීතියෙන් කොයි තරම් සීමා දැම්මත් ජාතිවාදය කියන එක මුළුමනින්ම තුරන් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, කළු ජාතිකයින්ගේ කණස්සල්ල පදමනක් නැති එකක් කියා බැහැර කරන්න බැහැ. මේ කාරණයේදී කළු ජාතිකයින් සමඟ එකඟ වන සුදු ජාතිකයින් හා වෙනත් අයද විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට තමන්ගේ විරෝධතාව දක්වන්න තිබෙන අයිතිය ඇමරිකානුවන් විසින් පිළිගන්නා දෙයක්. ඒ වගේම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබෙන අයිතියක්.

ඇතැම් විට මේ විරෝධතාකරුවන් අතර සිටින පිරිස් සීමාව ඉක්මවා යනවා. එවැනි අවස්ථා වලට විශාල මාධ්‍ය අවධානයක් හිමි වෙනවා. එහෙත්, සමස්තයක් ලෙස බොහෝ විරෝධතා සාමකාමීයි.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය විරෝධතා වලට ආසන්න හේතුවක් පමණයි. මේ විරෝධතා හරහා මතු වන්නේ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබුණු ප්‍රශ්නයක්.

ආදායම, අධ්‍යාපන මට්ටම්, සෞඛ්‍යය වගේ කොයි දෙයක් බැලුවත් කළු ජාතිකයින් ඉන්නේ පසුපසින්. පොලිස් නිලධාරියෙකු අතින් මරණයට පත් වීමට තිබෙන සම්භාවිතාව බැලුවත් මේ වෙනස කැපී පෙනෙනවා. එහෙත් සැබෑ ප්‍රශ්නය වන්නේ මෙයයි. කළු ජාතිකයෙකුට කළු ජාතිකයෙකු වීම නිසා තිබෙන ප්‍රශ්න මොනවාද?

ජෝජ් ෆ්ලොයිඩ් සිදු වීමෙන් බැහැර වී පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතිකයෙකු මිය යන්න වැඩි ඉඩක් තිබෙනවාද කියන කරුණ පිළිබඳව පමණක් අපි දැනට පොදුවේ අවධානය යොමු කරමු.

පොලිස් නිලධාරියෙකුට ඇතැම් තත්ත්වයන් යටතේදී තීරණයක් ගන්න තිබෙන්නේ ඉතාම කෙටි කාලයක්. ඒ වගේ වෙලාවක ලොකු විශ්ලේෂණ කර කර ඉන්න බැහැ. ක්ෂණිකව ගිණි අවියට අත යනවා. මෙහිදී තීරණය ගැනෙන්නේ ඔවුන්ගේ පුහුණුව හා පූර්ව නිගමන මත පදනම්ව අවිඥානිකවයි.

තමන් ඉදිරියේ සිටින පුද්ගලයා සතුව අවියක් තිබෙනවාද කියන එක මේ විදිහට ක්ෂණිකව තීරණය කළ යුතු දෙයක්. පොලිස් නිලධාරියා විසින් කළු ජාතිකයින් ජීවත් වන ප්‍රදේශයකදී හමු වන අහඹු පුද්ගලයෙක් අතේ ගිණි අවියක් තියෙන්න වැඩි ඉඩක් තිබෙනවා කියන පූර්ව නිගමනයේ සිටියොත් කළු ජාතිකයෙකුට එරෙහිව වඩා ඉක්මණින් ගිණි අවිය පත්තු වෙන්න ඉඩ තිබෙනවා. පොලිස් නිලධාරීන් අතින් නිරායුධ කළු ජාතිකයින් වැඩිපුර මිය යන්නත් ඉඩ තිබෙනවා.

පරිගණක සමාකරණය මගින් මෙවැනි තත්ත්වයක් තිබේදැයි හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කර තිබෙනවා. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් 50 දෙනෙකු යොදාගෙන සිදු කළ පරිගණක සමාකරණ අධ්‍යයනයක් [1] මත 2005දී ප්‍රකාශිත පර්යේෂණ ප්‍රතිඵල අනුව පොලිස් නිලධාරියෙකු විසින් නිරායුධ කළු ජාතිකයෙකුට වෙඩි තියන්න තිබෙන සම්භාවිතාව නිරායුධ සුදු ජාතිකයෙකුට වෙඩි තියන්න තිබෙන සම්භාවිතාවට වඩා වැඩියි. එහෙත්, නිසි පුහුණුවක් ලබා දීමෙන් මේ තත්ත්වය වෙනස් කළ හැකියි.

කොලරාඩෝ සරසවියේ සිසුන් 69 දෙනෙකු යොදාගෙන සිදු කළ පරිගණක සමාකරණ අධ්‍යයනයකට අනුව ඔවුන් කළු ජාතිකයෙකු දුටු විට සුදු ජාතිකයෙකු දුටු විටදීට වඩා ඉක්මණින් ගිණි අවිය පත්තු කරන නමුත් ආසියානු පෙනුම ඇති අයෙකුට ගිණි අවිය පත්තු කරන්නේ සුදු ජාතිකයෙකුට පත්තු කරනවාටත් වඩා කල් ගැනීමෙන් පසුවයි. මෙයින් තහවුරු වන්නේ අනෙක් පුද්ගලයා අනතුරුදායක පුද්ගලයෙක් වීම පිළිබඳව තිබෙන පූර්ව උපකල්පනයයි. පොලිස් නිලධාරීන් 80 දෙනෙකු යොදාගෙන සිදු කර ඇති 2016දී ප්‍රකාශිත වෙනත් අධ්‍යනයකට අනුව පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකුට වෙඩි තියන්නේ සුදු ජාතිකයෙකුට වෙඩි තියනවාට වඩා කාලයක් අරගෙනයි [3].

ඉතාම අලුත් පර්යේෂණ පත්‍රිකාවකට අනුව හමේ පැහැය ඈතට නොපෙනෙන තරම් අඳුර වැටීමෙන් පසුව පොලීසිය විසින් වාහන නවත්වද්දී කළු ජාතිකයින්ගේ වාහන නවත්වන්නේ දවල් කාලයේදී නවත්වනවාට වඩා අඩුවෙන් [4]. මේ වගේ දෙයකින් කියවෙන්නේ කළු ජාතිකයින් පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ පූර්ව නිගමනයන් ඇති බවයි. මෙය හරියට එල්ටීටීඊ ප්‍රශ්නය තිබුණු කාලයේදී චෙක් පොයින්ට් එකකදී දෙමළ සේ පෙනෙන අයෙකු පරීක්ෂාවට ලක් වීමට වැඩි ඉඩක් තිබීමට සමානයි.

කළු ජාතිකයෙකු අපරාධකරුවෙකු වීමට වැඩි ඉඩක් තිබෙන බවට පූර්ව නිගමනයක ඇමරිකාවේ පොලිස් නිලධාරීන් සිටින බව පැහැදිලි කරුණක්. ඔවුන් එසේ සිතන්නේ පදනම් විරහිතවද නෙමෙයි. එහෙත් මේ පූර්ව නිගමනය අහිංසක කළු ජාතිකයෙකුගේ ජීවිතය හා මරණය වෙන් කර අඳින ඉරක් වෙන්න පුළුවන්. පොලිස් නිලධාරියා සුදුද කළුද කියන එක මත මේ පූර්ව නිගමනය වෙනස් වෙනවාද? තවත් මෑතකාලීන පර්යේෂණයකට [5] අනුව පොලිස් නිලධාරියා කළු ජාතිකයෙකු වුවා කියා තත්ත්වය තවත් නරක අතට මිස හොඳ අතට වෙනස් වෙන්නේ නැහැ.

කළු ජාතිකයින්ට කළු ජාතිකයින් වීම නිසා අසාධාරණයක් වෙනවාද කියන එක එක එල්ලේ නිගමනය කළ හැකි සරල දෙයක් නෙමෙයි. එහෙත්, බොහෝ දෙනෙක් එසේ විශ්වාස කරනවා. මේ විශ්වාස වල පැහැදිලි දේශපාලනික බෙදීමක් තිබෙනවා. ඒ බෙදීම පර්යේෂණ ප්‍රතිඵල වලටත් බලපානවා.

දේශපාලන බෙදීමේ එක පැත්තක ඉන්න අයට අනුව කළු ජාතිකයින් කළු ජාතිකයින් වීම නිසාම මුහුණ දෙන ප්‍රශ්නයක් නැහැ. මේ වචන මගේ වචන වුනත් අදහස මේ වගේ එකක්. මේ මතය අනුව ඇමරිකාවේ ඕනෑම කෙනෙකුට තමන්ගේ දක්ෂතාවය හා උනන්දුව මත ඉහළ යන්න අවස්ථාව තිබෙනවා. ඒ නිසා, කළු ජාතිකයින්ට විශේෂ අවස්ථා ලබා දිය යුතු නැහැ.

කළු ජාතිකයින්ගේ ජීවන තත්ත්වය පහළ මට්ටමක තිබීමට හේතුව අධ්‍යාපනය, චර්යාවන් ආදී කරුණු මිස කළු ජාතිකයෙකු වීමම නොවන බව දත්ත ඇසුරෙන් පර්යේෂණාත්මකව පෙන්වා දිය හැකි කරුණක්. එහෙත්, කළු ජාතිකයින් අධ්‍යාපනය, චර්යාවන් ආදී කරුණු වලින් වෙනස් තැනක ඉන්නේ ඇයි කියන එක දේශපාලනික කරුණක්. එය ඔවුන්ගේ වැරැද්දක්ද නැත්නම් සමාජ ක්‍රමයේ වැරැද්දක්ද?

දේශපාලන බෙදීමේ අනෙක් අන්තයේ ඉන්න අයට අනුව කළු ජාතිකයින් අද සිටින තත්ත්වයේ සිටීමට ඓතිහාසික කරුණු හේතු වී ඇති නිසා ඔවුන්ට වූ ඓතිහාසික වැරැද්ද නිවැරදි වන තුරු ඔවුන්ට විශේෂ සැලකිලි හිමි විය යුතුයි. මෙය රතු ඉන්දියානුවන් වැනි වෙනත් අයටත් අදාළයි.

කාලයක් තිස්සේ මේ දෙවන මතයට ඇමරිකානු දේශපාලනයේ වැඩි ඉඩක් හිමි වුනා. එහිදී තමන්ට අසාධාරණයක් සිදු වන බව සුදු ඇමරිකානුවන්ට පෙනුනා. විශේෂයෙන්ම සුදු ඇමරිකානු පිරිමින්ට. එක පැත්තකින් බැලුවහම වත්මන් පරම්පරාවට වන්දි ගෙවන්න වී තියෙන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් කළ වරදකට. මගේ එක සුදු ජාතික මිතුරෙක් “නේටිව් ඇමරිකන්” කියන යෙදුමට දැඩි සේ විරුද්ධයි. ඔහු කියන්නේ තමන් ඉපදුනේ ඇමරිකාවේ නිසාත්, තමන්ට වෙනත් කිසිම රටක් නැති නිසාත්, තමන්ද නේටිව් ඇමරිකන් කෙනෙක් බවයි. ඒ නිසා, එක් කණ්ඩායමක් පමණක් එසේ හැඳින්වීම වැරැද්දක් බවයි.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පිළිබිඹු වුනේ ඇමරිකාවේ සුදු ජාතිකයන්ගේ පීඩනය. එහෙත්, ට්‍රම්ප් මතුවීමත් සමඟම කළු ජාතිකයින්ගේ පීඩනය ඉහළ ගියා. දැන් කැකෑරෙමින් එළියට එන්නේ ඒ පීඩනයයි. ඇමරිකාවේ ප්‍රශ්නය පවතින සමාජ ක්‍රමය ඇතුළේ එක් එක් කණ්ඩායමට වෙන් කෙරෙන අවකාශය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ධනවාදය පිළිබඳ හෝ ඇමරිකානු අර්ථ ක්‍රමයේ පදනම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අවකාශය තීරණය විය යුත්තේ ධනවාදය ඇතුළේ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියේ හෙට්ටු කිරීම් මතයි. සාමකාමී විරෝධතා කියන්නේත් එහි කොටසක්. මේ වගේ කරුණකදී හරි දේ තීරණය කළ හැකි වෙන විදිහක් නැහැ. එය දැන් සිදු වෙමින් තිබෙනවා.

Reference

[1] Plant, E. A., & Peruche, B. M. (2005). The consequences of race for police officers’ responses to criminal suspects. Psychological Science, 16(3), 180-183.

[2] Sadler, M. S., Correll, J., Park, B., & Judd, C. M. (2012). The world is not black and white: Racial bias in the decision to shoot in a multiethnic context. Journal of Social Issues, 68(2), 286-313.

[3] James, L., James, S. M., & Vila, B. J. (2016). The Reverse Racism Effect: are cops more hesitant to shoot black than white suspects?. Criminology & Public Policy, 15(2), 457-479.

[4] Pierson, Emma, et al. “A large-scale analysis of racial disparities in police stops across the United States.” Nature human behaviour (2020): 1-10.

[5] Johnson, D. J., Tress, T., Burkel, N., Taylor, C., & Cesario, J. (2019). Officer characteristics and racial disparities in fatal officer-involved shootings. Proceedings of the National Academy of Sciences, 116(32), 15877-15882.

%d bloggers like this: