Menu Close

පොලීසිය කා වෙනුවෙන්ද?

ඇමරිකාවේ මේ දවස් වල වෙන දේවල් ගැන ලංකාවේ ගොඩක් අය උනන්දුවක් දක්වනවනේ. ඇතැම් අය දකින විදිහට ඇමරිකාවේ පොලීසිය හා ජනතාව අතර ගැටුමක් තිබෙනවා. තවත් අය එය කළු හා සුදු වාර්ගිකයින් අතර ගැටුමක් ලෙස දකිනවා. මොන විදිහෙන් හරි ගැටුමක් තිබෙන බව පැහැදිලි කරුණක්නේ. ගැටුම කුමක්ද කියන එක තීරණය වන්නේ එක එක පුද්ගලයා එය අර්ථ විවරණය කරන ආකාරය අනුවයි.

විශේෂයෙන්ම ඇමරිකාවේ හා ලංකාවේ සමාජයීය වෙනස්කම් ගැන අවබෝධයක් නැති අය මෙය දකින්නේ තමන් දන්නා ලංකාවේ තත්ත්වයන් මත පරාරෝපණය කරමින්. කළු හා සුදු වාර්ගිකයින් ගැන කතා කරද්දී හිතේ මවා ගන්නේ සිංහල මුස්ලිම් ගැටුමක් වගේ එකක්. පොලීසිය හා ජනතාව අතර ගැටුමක් ගැන කතා කරද්දී හිතේ මවා ගන්නේ ලංකාවේ පොලීසිය. කවුරු වුනත් තමන්ගේ අත්දැකීම් වලට සාපේක්ෂව ලෝකය දකින එක අමුතු දෙයක් නෙමෙයි.

දැන ගන්නට කැමති අයට දැන ගන්න ඇමරිකාවේ පොලිස් නිලධාරියෙක් කියන්නේ කවුද කියලා ටිකක් පැහැදිලි කරන්නම්.

අපි ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය වෙතම නැවත එමු. ඔහුගේ ගෙල මත දණහිස තබාගෙන සිටි ඩෙරික් චෝවින් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.  කළුතර පොලීසිය හරි මැදවච්චිය පොලීසිය හරි ශ්‍රී ලංකා පොලීසියේ කොටස් වෙනවා වගේ මේ මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව “ඇමරිකන් පොලිස් දෙපාර්තමේන්තුවේ” කොටසක් නෙමෙයි. ඇමරිකන් පොලීසිය කියා එකක් නැහැ.

ඇමරිකාවේ නීතිය හා සාමය රැකීම ඇමරිකන් ෆෙඩරල් රජයේ කටයුත්තක් නෙමෙයි. බොහෝ විට එය සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමටත් වඩා පහළ මට්ටකමදී. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කියා කියන්නේ මිනියාපොලිස් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව. එය පිහිටුවාගෙන තිබෙන්නේත්, බදු ගෙවා නඩත්තු කරන්නේත් මිනියාපොලිස් නගරයේ වැසියන් විසින්.

මිනියාපොලිස් නගරය 430,000ක පමණ ජනගහණයක් සිටින වර්ග සැතපුම් 54ක පමණ භුමි ප්‍රදේශයක පැතිරුණු මිනසෝටා ප්‍රාන්තයේ පිහිටි නගරයක්. ජනගහණය අනුව ඇමරිකාවේ නගර අතරින් 46 වන තැනටයි වැටෙන්නේ. 1950දී 98.4%ක්ම සුදු ජාතිකයින් සිටි නගරයක් වුවත් 2010 වන විට සුදු ජාතිකයින්ගේ ප්‍රතිශතය 63.8% දක්වා අඩු වී තිබෙනවා. නගර වැසියන්ගෙන් 18.6%ක් කළු ජාතිකයින්. වෙනත් විවිධ ජනවර්ග වලට අයත් පිරිස්ද විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා.

මිනියාපොලිස් නගරයට නගරාධිපතිවරයෙක් ඉන්නවා. ඡන්දයෙන් පත්ව සිටින නගරාධිපතිවරයා ජේකබ් ෆ්‍රේ. ඇමරිකන් යුදෙවුවෙක්. ඔහු නියෝජනය කරන්නේ මිනසෝටා ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයයි. ඩිමොක්‍රටික් පක්ෂය හා වාමාංශික පක්ෂයක් වූ මිනසෝටා ගොවි කම්කරු පක්ෂය සන්ධානගතව හැදුණු පක්ෂයක්. මේ වන විට මිනසෝටා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ ශාඛාව කියා කියන්න පුළුවන්. 1978 ජනවාරි 1 දින සිට දිගටම මිනියාපොලිස් නගරය පාලනය කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයේ නගරාධිපතිවරයෙක් විසින්. එයින් වසර හතක් නගරාධිපති ලෙස කටයුතු කර තිබෙන්නේ කළු ජාතික කාන්තාවක්.  පසුගිය වසර 75ක කාලය ඇතුළත වෙනත් පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු විසින් නගරය පාලනය කර තිබෙන්නේ වසර 9ක කාලයක් පමණයි.

ලංකාවේ පොලීසිය පිහිටෙවුවේ 1866දී ඉංග්‍රීසින් විසින්. ඒ ලාංකිකයින් පොලීසියක් ඉල්ලා සිටි නිසා නෙමෙයි. පොලීසිය පිහිටෙවුවේ ඉංග්‍රීසි ආණ්ඩුව ආරක්ෂා කර ගන්නයි. වොලී බැස්ටියන්ට “මහජන සේවකයා ඔහු පොලිසියෙ නායකයා” කියා කිවුවත් අද දක්වාම ලංකාවේ පොලීසිය එහි ආකෘතිය අනුවම ලංකාවේ රජය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. බොහෝ අවස්ථා වලදී පවතින ආණ්ඩුව වෙනුවෙන්. පොලීසියට මහජනතාව පාලනය කිරීමට මිසක් මහජනතාවට පොලීසිය පාලනය කරන්න ඉඩක් නැති තරම්. එය කළ හැකි පහසුම ක්‍රමය මහජන නියෝජිතයෙකු හරහා බලපෑමක් කිරීමයි. පොලීසියට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම කළ නොහැකි දෙයක් නොවූවත් අසීරු දෙයක්.

ඇමරිකාවේ පොලීසි කියන්නේ ලංකාවේ මෙන් අහසින් පාත් වූ ආයතනයක් නෙමෙයි. මිනිස්සු එකතු වී ඔවුන්ගේ අවශ්‍යතාවය මත පිහිටුවා ගත් ආයතන. තමන්ට පොලීසියක් අවශ්‍යද, එය කොයි තරම් විශාල විය යුතුද වැනි කරුණු කිසියම් ප්‍රදේශයක ජනතාව විසින් තීරණය කරන දෙයක්.

තමන්ගේ ප්‍රදේශයේ නීතිය හා සාමය රැකී තිබීම ඓතිහාසිකව කිසියම් ගමක, නගරයක හෝ ප්‍රදේශයක ජීවත් වූ මිනිසුන්ට අවශ්‍ය වූ දෙයක්. ඒ  නිසා මිනිස්සු එකතු වී ෂෙරීෆ් වරයෙකු පත් කර ගත්තා. මේ ෂෙරීෆ් ක්‍රමය ඇමරිකාවේ තවම තිබෙනවා. ගම්, නගර හෝ ප්‍රදේශ විශාල වෙද්දී තනි ෂෙරීෆ් වරයෙකුට නීතිය හා සාමය රකින එක කරන්න අමාරු වෙනවා. එවිට තවත් පිරිසක් බඳවා ගන්න වෙනවා. ඔවුන් ස්වේච්ඡා සේවකයින් හෝ ස්ථිර සේවකයින් වෙන්න පුළුවන්. ස්ථිර සේවකයින් වෙනුවෙන් වැටුපක් ගෙවන්න වෙනවා. එසේ වැටුපක් ගෙවා ස්ථිර සේවකයින් තබා ගත යුතුද කියන එක අදාළ ප්‍රදේශයේ වැසියන් විසින් තීරණය කළ යුතු දෙයක්.

කුඩා ප්‍රදේශයකට විශාල ජනගහණයක් ක්‍රමයෙන් සංක්‍රමණය වී නගර බිහි වන විට එවැනි නගර වල අපරාධ ඉහළ යනවා. නමුත් ෂෙරීෆ් වරයෙක්ට තමන්ගේ වියදම් දරන හැම දෙනෙක් ගැනම පොදුවේ බලනවා මිසක් නාගරික ප්‍රදේශ ගැන පමණක් බලන්න බැහැ. ඒ නිසා, නගරාධිපතිවරුන්ට වෙනම පොලිස් දෙපාර්තමේන්තු ඇති කරන්න සිදු වෙනවා. නගරයේ තිබෙන සරසවියක් වගේ ආයතනයකට නගරයේ පොලීසියෙන් ලැබෙන සේවය ප්‍රමාණවත් නැත්නම් තමන්ගේම පොලිස් දෙපාර්තමේන්තුවක් හදා ගන්න වෙනවා. ඔය විදිහට විවිධ හේතු මත හැදුනු පොලිස් දෙපාර්තමේන්තු ඇමරිකාවේ තිබෙනවා. ඒ පොලිස් දෙපාර්තමේන්තු වල වියදම දරන්නේත්, පොලිස් දෙපාර්තමේන්තු පාලනය කරන්නේත් පොලීසියක් අවශ්‍ය වූ අයයි.

සමීක්ෂණ අනුව ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තු 18,000කට නොඅඩු ප්‍රමාණයක් තිබෙනවා. මේවා එකිනෙකින් වෙනස් ස්වාධීන ආයතන. එහෙම නැතුව ලංකාවේ වගේ නීතිය හා සාමය රකින තනි පොලිස් දෙපාර්තමේන්තුවක් ඇමරිකාවේ නැහැ.

පොලිස් නිලධාරීන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාවේ විවිධ පොලීසි වල සේවය කරනවා. සාපේක්ෂව අඩු වැටුපක් ලබමින් ඔවුන් කරන්නේ ජීවිත අවදානමක් තිබෙන රැකියාවක්. 2018 වසරේදී ඇමරිකාවේ පොලිස් නිලධාරීන් පහර කෑමට ලක් වූ අවස්ථා 58,866ක් වාර්තා වී තිබෙන අතර අවස්ථා 18,005කදී ඔවුන්ට තුවාළ සිදු වී තිබෙනවා. වසරකට පොලිස් නිලධාරීන් 100-200 අතර ප්‍රමාණයක් සේවය ඉටු කිරීමට යාමේදී මරණයට පත් වෙනවා. 2019දී මිය ගිය ගණන 147ක්. 2020දී මේ දක්වා 96ක්.

අප කතාව පටන්ගත් මිනියාපොලිස් නගරයේ අඩු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තු පහක් තිබෙනවා. පළමුවැන්න හෙනපින් කවුන්ටි ෂෙරීෆ් කාර්යාලයයි. ඇමරිකාවේ කවුන්ටියක් කියන්නේ ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් වගේ එකක්. ෂෙරීෆ් කාර්යාලයට අනුයුක්තව නිලධාරීන් 800ක් පමණ ඉන්නවා. මෙහි ප්‍රධානියා වන ෂෙරිෆ් වරයා පත් වන්නේ මහජන ඡන්දයෙන්.

මිනසෝටා සරසවියට අයිති තවත් පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙනවා. එය පාලනය වන්නේ සරසවිය පාලනය කරන බලධාරීන් විසින්. මිනියාපොලිස් ගුවන් තොටුපොළ වල නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත්, මිනියාපොලිස් පොදු ප්‍රවාහන (දුම්රිය) පද්ධතියේ නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත්, මිනියාපොලිස් නගරයේ පොදු උද්‍යාන වල නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත් වෙනම තිබෙනවා. මිනියාපොලිස් නගර සභාවට අයත් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මීට අමතරවයි.

මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මිනියාපොලිස් නගරයේ නගරාධිපතිවරයා යටතේ. පොලීසිය නඩත්තු වෙන්නේ නගරයේ වැසියන්ගේ බදු මුදලින්. සාමාන්‍යයෙන් ඇමරිකාවේ බදු මුදල් වැය කරන්නේ බදු ගෙවන අයගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවයි. නගරාධිපතිවරයා පත් වන්නේ මහජන ඡන්දයෙන්. පොලීසියේ ප්‍රධානියාව පත් කරන්නේ නගරාධිපතිවරයා විසින්. මිනියාපොලිස් පොලීසියේ ප්‍රධානියා වගකිව යුත්තේ මිනියාපොලිස් නගරාධිපතිවරයාටයි. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව හා ඇමරිකාවේ වෙනත් පොලිස් දෙපාර්තමේන්තු අතර සම්බන්ධයක් නැහැ.

මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රධානියා කළු ජාතිකයෙක්. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු කරන බවට මූලිකවම වග බලා ගත යුත්තේ ඔහු විසින්. ඔහු එසේ නොකරන්නේනම් ඔහුව ඉවත් කර වෙනත් අයෙකු පත් කළ යුත්තේ නගරාධිපතිවරයා විසින්. නගරාධිපතිවරයා කටයුතු කරන ආකාරය ගැන අසතුටුනම් ඔහුව ඉවත් කළ යුත්තේ නගරයේ වැසියන් විසින්.

ඩෙරික් චෝවින් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වන තුරුම කළු ඇමරිකානුවෙකු වන පොලිස් ප්‍රධානියාට ප්‍රශ්නයක් වී නැහැ. පොලිස් ප්‍රධානියාව නගරාධිපතිවරයාට ප්‍රශ්නයක් වී නැහැ. නගරාධිපතිවරයාව හෝ 1978 ජනවාරි 1 දින සිට දිගටම මිනියාපොලිස් නගරය පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයේ දේශපාලනය නගර වැසියන්ට ප්‍රශ්නයක් වී නැහැ.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඒ වෙලාවේ සිදු වුනු හුදෙකලා සිද්ධියක්ද, එසේ නැත්නම් ආයතනගත වී තිබෙන ප්‍රශ්නයක කොටසක්ද කියන එක විමසා බැලිය යුත්තේ මේ පසුබිමේ සිටයි.

(Image: https://www.fox9.com/news/councilmembers-vow-to-dismantle-minneapolis-police-department-emergency-meeting-set)

%d bloggers like this: