Menu Close

අභිලේඛන විද්‍යාව, පුරා අක්‍ෂර විද්‍යාව හා සෙල්ලිපි

මේ සටහන ගොඩාක් අය දන්න දෙයක් ගැන. නමුත් මේ කෙටි සටහන් මාලාවට මේ සටහනත් අවශ්යමයි කියල මට හිතෙන නිසා ලියන්නේ. ඒ අභිලේඛන විද්යාව, පුරා අක්ෂර විද්යාව හා සෙල්ලිපි ගැන. මේ සමූහයේ සෙල්ලිපි හා වෙනත් පැරණි ලේඛන ගැන සෑහෙන කතාකරනවනේ. ඒ හින්දත් එක්ක බලමු මේ මොනවාද කියලා.

අභිලේඛනයක් කියන්නේ සරළව ගත්තොත් යම්කිසි මතුපිටක සටහන් කරන ලද, කුරුටු ගාන ලද දෙයක්. එච්චරයි. සරළයි. ඒ කියන්නේ ලීයක, රෙද්දක, කඩදාසියක, ගලක ඇත් දළක, බෙල්ලෙක්ගේ කටුවක, ගහක කොළයක නැත්නම් පොත්තක හෝ මැටි බඳුනක වගේ කුරුටු ගාපු, සටහන් කරපු දේවල්. ඒ වගේ ඒවට අපි කියනවා ලේඛන කියල. මේ විදිහට අකුරු නැත්නම් කුරුටු රූප වගේ දේවල් සටහන් කරල තියෙන්න පුළුවන්. මේ විදිහට යම් මතුපිටක සටහන් කරල තියෙන දේවල් ගැන හොයනබලන එක තමා අභිලේඛන විද්යාව (epigraphy) කියන්නේ. හැබැයි මේ විෂයේ දි අවධානය යොමු කරන්නේ අවුරුදු සීයට වඩා පැරණි ලේඛන (inscription) ගැන. ඒ වගේ පරණ ලියැවිලිවල ඇතුළත් වෙලා තියෙන දේවල් වගේම ඉස්සර හිටපු මිනිස්සු ගැන අවබෝධ කරගන්න යොදා ගන්න එකයි තමා මේ විෂයේ දි කරන්නේ. භාෂාවේ ඉතිහාසය හදාරණ අය මේක සහායක විෂයක් විදිහට හදාරනව. ඉතිහාසය පුරාවිද්යාව කරන අය තමන්ගේ විෂයන්වල මූලාශ්රය කොටසක් නිසා හදාරනවා. ලංකාවේ මේ විෂය ගැන උනන්දුව ඇතිවෙලා තියෙන්නේ ක්රිස්තු වර්ෂයෙන් 1850 පහුවෙන කොට වගේ. ලංකාවේ අභිලේඛන ගැන හොයන්න ඉස්ඉස්සෙල්ලම රජයෙන් පත්කළ නිළධාරියා පී. ගෝල්ඩ් ස්මිත්. ඉංග්රීසි ආණ්ඩුවෙන් මෙතුමා පත් කරල තියෙන්නේ 1874 දි. ඊට පස්සේ පත් කරපු එඩ්වර්ඩ් මුලර් මැතිතුමා තමා ලංකාවේ අභිලේඛන පිළිබඳ පළමු වැනි පොත ප්රකාශයට පත් කරන්නේ. ඒ 1883 දී Ancient Inscriptions of Ceylon කියන පොත. ප්රධාන පුස්තකාලවල තියෙනවා.

අභිලේඛන විද්යාව කියන විෂයත් එක්ක සමගාමීව යන විෂයක් තමා ‘පුරා අක්ෂර විද්යාව’ (palaeography) කියල කියන්නේ. මේ විෂයේ දි කරන්නේ පැරණි අකුරු ගැනයි, අකුරු පද්ධති ගැනයි හොයන එක. ඒ කියන්නේ පරණ ලේඛනවල තියෙන අකුරුවල හැඩය, විශාලත්වය, ස්වභාවය, අකුරේ ගැඹුර වගේ නොයෙක් දේවල්. ඒ වගේම අකුරු තැනින්තැනට, කාලෙන්කාලෙට වෙනස්වන හැටි ගැනත් මේ විෂයේ දි හොයනවා. මීට අවුරුදු 2,300කට එහා ලිවුව පූර්ව බ්රාහ්මි අකුරුවලින් වර්ධනය වෙලා ආපු අකුරු පද්ධතියක්නේ අපි මේ කියවන සිංහල අකුරු. අවුරුදු 2,000කට වැඩි කාලයේ මේ අකුරුවල සිදුවුනු වෙනස්කම් ගැන මේ විෂයේ දි අධ්යයනය කරනවා. මේ ගැන ලංකාවේ විවිධ පඬිවරු ලියල තියෙනවා. මහාචාර්ය බන්දුසේන ගුණසේකර මැතිතුමා සිංහල බසින්ම සරළව මේ ගැන ලියපු පොත් හොයාගන්න පුළුවන්. අකුරුවල වර්ධනය වගේම වෙනස්වුණු ආකාරය දැනගන්න නම් මේ විෂය ගැන අවබෝධයක් ගන්න ඕන. ඒ දැනීමෙන් තමා ඒ අකුරු අයිති කාලය මොකක්ද කියල කියන්න පුළුවන් වෙන්නේ. දළ වශයෙන් අවුරුදු සියයක විතර කාලයක තියෙන්නේ එක වගේ අකුරු. පරම්පරා තුනක් විතර යද්දි ඒ අකුරුවල හැඩය වෙනස් වෙනවා. මේ විෂය පිළිබඳ සෑහෙන අවබෝධයක් තියෙන කෙනෙකුට පුළුවන් පැරණි ලේඛනයක් නැත්නම් සෙල්ලිපියක් දැක්කහම ඒක අයිති මොන කාලෙට ද කියල තීරණයට එන්න. ඇත්ත ලිපි අතුරින් බොරු ලිපි වෙන්කරල ගන්න.

සාමාන්ය අය නම් බැරියැ, මේ විෂය ඉගෙන ගන්න අය පවා පටලගන්න දෙයක් තියෙනවා. ඒ අභිලේඛන හා සෙල්ලිපි කියන දෙක. කලින් කිවුවනේ ඕනැම මතුපිටක ලිවුව පැරණි ලේඛන අභිලේඛන කියල. හැබැයි සෙල්ලිපියක් කියන්නේ ගලක් මතුපිට සටහන් කරන ලද ලේඛනයකට. ඒ අනුව ඕනෑම සෙල්ලිපියක් අභිලේඛනයක්, හැබැයි ඕනෑම අභිලේඛනයක් සෙල්ලිපියක් වෙන්නේ නෑ. අභිලේඛන වර්ග ගොඩයි. ගල්ලිපි, තලපත්, පුස්කොල, ඇත්දල ලිපි, මැටිපුවරු ලිපි, රෙදිමත ලියු ලිපි, ලී මත ලියු ලිපි ආදි වශයෙන් වර්ග ගොඩක් තියෙනවා.

ලක්දිව සෙල්ලිපි කියන පොතේ දි පූජ් හිමිපාණන් වහන්සේ මේ සෙල්ලිපි ඒවා ලියල තියෙන තැන අනුව නැවත වර්ග කීපයකට බෙදල තියෙනවා. ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි හා වෙනත් ලිපි කියල. ගල්ලෙන්වල එහෙම නැත්නම් ගල්ලෙන්වල ඇතුළට වැසිවතුර එන එක වලක්වන්න කපල තියෙන කටාරයට පහළින් හෝ ඉහළින් හෝ ලෙණ තුළ සටහන් කරල තියෙන ලිපි, ලෙන් ලිපි. මිහින්තලේ, සිතුල්පවුව වගේ තැන්වල මේ ලිපි බහුලයි. ලංකාව පුරා මේ වගේ ලිපි 3,000ක්වත් ඇති අඩුතරමින්. තවම අනාවරණය නෙවුණු ඒවාත් තියෙනවා. බොහෝ විට පරණම ලිපි තමා මේ විදිහට සටහන් කරල තියෙන්නේ. දැන් දැන් සමහර අය ඉතාම අවියත් ආකාරයට විකෘති කරන්නේ මේ ලිපි. ගලක් මතුපිට සටහන් කරල තියෙන ලිපි ගිරි ලිපි කියල හඳුන්වනවා. ක්රිස්තු වර්ෂය ආරම්භ වුණු කාලේ තමයි මේ ලිපි ගොඩක්. ටැම් ලිපි කියල කියන්නේ ලිපිය සටහන් කරන්න විශේෂයෙන් සකස් කළ හෝ වෙනත් අරමුණකට පිහිට වූ කණුවක සටහන් කරන ලද ලිපියක්. සාමාන්යයෙන් ක්රිස්තු වර්ෂ 9-12 සියවස් අතරේ මේ ටැම් ලිපි බහුලයි. ගල් පුවරුවක සටහන් කළ ලිපි පුවරු ලිපි කියනවා. ඒ වර්ග හතරටම අයිත් නොවන ලිපි වෙනත් ලිපි කියල කියන්න පුළුවන්. අනුරාධපුරේ මහාපාළි දානශාලාවේ බත් ඔරුවේ සටහන් කරල තියෙන ලිපිය උදාහරණයකට ගන්න පුළුවන් කියන එකයි මේ ලියුම්කරුගේ අදහස.

මේ කාරණෙත් කිවුවේ නැත්නම් අඩුවක්. ලංකාවේ පැරණි ලියවිලි ගැන ප්රකාශන දෙකක් නිල වශයෙන්ම තියෙනවා. පළමු වැනි එක තමයි Epigraphia Zeyalanica කියන පොත. 1912 තමයි ඉස්සෙල්ලම පළ වුනේ. දැන් මං හිතන්නේ කලාය 9ක් විතර පළ වෙලා තියෙනවා. ඩි.එම්.ඩි. ඉසෙඞ් වික්රමසිංහමහාචාර්ය සෙනරත් පරණවිතානආචාර්ය චාල්ස් ගොඩකුඹුරේජයන්ත උඩුවරආචාර්ය සද්ධාමංගල කරුණාරත්න හා ආචාර්ය මාලිනි ඩයස් වගේ විද්වතුන් මේ කෘතියේ සංස්කාරකවරු විදිහට ඉදල තියෙනවා. ලංකාවේ අභිලේඛන හමුවන විදිහට මේ පොත් ඵල කරල තියෙන්නේ. ලංකාවේ සෙල්ලිපි කාල පිළිවෙලකට සකසලා පළ කිරීම තමා Inscriptions of Ceylon කෘති මාලාවේ අරමුණ. මේ මාලාව පොත් 10කට සැලසුම් කරල තියෙන්නේ. 1970 වසරේ තමයි මේ පොත් පෙළ ආරම්භ වුනේ. දැනට 1, 2, 5 හා 8 වගේ කාණ්ඩ කීපයක් පමණයි පළ වෙලා තියෙන්නේ. මහාචාර්ය සෙනරත් පරණවිතානමහාචාර්ය සිරිමල් රණවැල්ල හා මහාචාර්ය මැන්දිස් රෝහණධීර කියන විද්වතුන් ඒ ඒ කාණ්ඩ සංස්කරණය කරල තියෙනවා. මේ කිවුව කෘති මාලා දෙකම පළකිරීමේ වගකීම තියෙන්නේ ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුවට.

අභිලේඛන නැත්නම් පරණ සටහන් තියෙනවද නැද්ද කියන එක මතනේ ඉතිහාසය හා ප්රාග් ඉතිහාසය කියන බෙදීම එන්නෙත් නේද? අපි මේව කලින් සටහන් වලින් කතාකරල තියෙන්නේ. මේ ලේඛකයාට දැනෙන විදිහට නම් පුරාවිද්යා මූලාශ්රයත් එක්ක බලද්දි ඉතිහාස නැත්නම් ලේඛන මූලාශ්රයවල තියෙන විශ්වාසනීය බව නැත්නම් ඉතිහාස තොරතුරු අනාවරණය කිරීමේ දි තියෙන ශිතිලතාව වැඩියි. ඇයි එහෙම කියන්නේ කියල කෙනෙක් අහන්න පුළුවන්. පුරාකෘති කියන ඒවගේ අර්ථය අපි අද්දැකල නෑ බොහෝ විට. සෑම විටකම පාහේ ඒවාට තියෙන්නේ පුරාවිද්යාඥයා දෙන අර්ථකතනයක්. නමුත් ලේඛන මූලාශ්රය ඒ තුළින්ම අර්ථ ගැන්වෙනවා. අපි පරෙස්සම්සහගත වෙන්න ඕන ලිඛිත මූලාශ්රයේ තියෙන සත්යබව ගැන විතරයි.

මේ සමඟ දක්වල තියෙන්නේ මිහින්තලේ තියෙන, IV වැනි මිහිඳු රජතුමා විසින් කරවල ලද මිහින්තලේ පුවරු ලිපි දෙක. මිහින්තලේ විහාර පාලනය කළ යුතු ආකාරය ගැනයි මේ ලිපියේ අන්තර්ගත වෙලා තියෙන්න.

චන්දිම අඹන්වල

2020.04.05 / 11.45 AM

%d bloggers like this: