Menu Close

මෙකැක් වඳුරන්ගේ පරීක්ෂණය

ග්‍රීක කතා වලට අනුව සියුස් හා ප්‍රොමිතියස් එකතු වෙලා ‘මිනිසා’ ව නිර්මාණය කරනවා. නිර්මාණය කරාට පස්සේ සියුස් කැමති වෙන්නේ නැහැ මිනිසුන්ට ‘ගින්දර’ ලබාදෙන්න. ගින්දර කියලා අදහස් කරන්නේ නව නිර්මාණ කිරීමට හැකියාව. එහෙම ගින්දර ලබාදුන්නොතකියි කවදා හෝ මිනිසුන් දෙවියන් හා සම වෙනවා කියලයි සියුස් විශ්වාස කලේ. නමුත් ප්‍රොමිතියස් ඒ දේ ගැන තැකුවේ නැහැ. ප්‍රොමිතියස් අමරණීය කෙනෙක් වුනාට ඔහු මිනිස්සු තමන්ගේ යහළුවන් විදිහටයි සැලකුවේ.

මේ නිසා දවසක් ප්‍රොමිතියස් සියුස්ගෙන් ගින්දර හොරකම් කරලා මිනිසුන්ට ලබා දෙනවා. මේක දැනගත්තු සියුස් තමන්ගේ හොදම යහළුවා වුන ප්‍රොමිතියස්ට දඬුවමක් ලබා දෙනවා. අත පය යකඩ දම් වැල් වලින් බැඳලා ඉන්නකොට දිනපතා රාජාලියෙක් ඇවිදින් ප්‍රොමිතියස්ගේ අක්මාව ඉරා කනවා. ප්‍රොමිතියස් අමරණීය කෙනෙක් නිසා දිනපතා රාත්‍රියේ දී මේ අක්මාව නැවත වැඩෙනවා. මේ දේ සදාකාලිකව සිදුවෙන්න සියුස් නියම කරනවා.

ප්‍රොමිතියස්ට මිනිසුන් සමඟ ඥාතීත්වයක් නෑ. ඔවුන්ගෙන් කිසිම උපකාරයක් ලැබෙන්නෙත් නැහැ. නමුත් ප්‍රොමිතියස් ඔවුන්ට උදව් කරනවා තමන් මේ කරන දෙයින් සියුස් කෝප වෙන බව දැන දැනම. තමන්ට අවසානයේ දී දරුණු ඉරණමක් අත්වෙන බව ප්‍රොමිතියස් නොදැන හිටියේ නැහැ. තමන්ට සම්බන්ධකමක් නැති ප්‍රති උපකාර කරන්න බැරි කෙනෙක් වෙනුවෙන් වෙහෙසීම කැපවීම ලේසි පහසු දෙයක් නෙමේ.

බයිබලයේ තියෙනවා ‘පටු මාවතක්’ ගැන. ඒකේ යෑම පහසු නෑ. ගොඩ දෙනෙක් ඒ මාර්ගයේ යන්නෙත් නෑ. නමුත් නිවැරදි නැවතුමට යන්න නම් ඒ මාර්ගයේ යා යුතුමයි.

“මේ ඉන්නේ අපේ එකානේ… අපි ඇරෙන්න මෙයාට වෙන කවුද උදව් කරන්න ඉන්නේ…”

ඔය කියමන මම විවිධාකාර විදිහට විවිධ තැන් වලදී අහලා තියෙනවා. අපි උදව් කරන්න ඕන ‘අපේ’ එකෙක්ට විතර ද? මම සිංහල නිසා මම රැකගන්න ඕන සිංහල ජාතිය විතර ද?

1960 දශකයේ මෙකැක් වඳුරන් යොදාගෙන පර්යේෂණ බොහොමයක් සිදු කෙරුනා. සමහර පරීක්ෂණ වල සදාචාරාත්මක බව අදටත් ප්‍රශ්න කෙරෙනවා. වඳුරෝ පහලොස් දෙනෙක්ට ආහාර සැපයුවා එක කොන්දේසියක් මත. තමන්ට ආහාර අවශ්‍ය නම් ඒ වඳුරා දම්වැලක් අදින්න ඕන. එතකොට තමන්ට කිසිදු සම්බන්ධකමක් නැති වඳුරෙක්ට ‘විදුලි සැරයක්’ වදිනවා. මේ පරීක්ෂණය ඉදිරියට ගියාට පස්සේ වඳුරෝ දැනගන්නවා තමන්ට කෑම අවශ්‍ය නම් තව වඳුරෙක්ට විදුලි සැර විදින්න සිදුවෙනවා කියලා.

නමුත්, තමන්ගේ බඩගින්න වෙනුවෙන් තව වඳුරෙක්ට විදුලි සැර වද්දන්න ඕන කියලා දැනගත්තම බහුතරයක් වඳුරෝ දම්වැල ඇඳීම ප්‍රතික්ෂේප කරන්න ගත්තා. වඳුරන් තුනෙන් දෙකක් වැනි විශාල කොටසක් තව කෙනෙක්ට විදුලි සැර වැද්දීම වෙනුවට නිරාහාරව සිටීමට කැමැත්ත පල කරා. එක වඳුරෙක් සති දෙකකට ආසන්න කාලයක් නිරාහාරව හිටියා තව කෙනෙක්ට රිද්දන්න බැරිකමට. කලින් පරීක්ෂණ වලදී විදුලි සැරට ලක්වුනු වඳුරෙක් තව වඳුරෙක්ට විදුලි සැර වද්දන්න පෙළබුනේ අනිත් අයට වඩා අඩුවෙන්.

තමන්ගේ යැයි නොකියා පොදුවේ ‘මිනිසෙක්’ වෙනුවෙන් කැපවිම වෙහෙසීම ලේසි පහසු දෙයක් නොවේ. භෞතික සුවයක් නැතත් මානසික සුවය තියෙන්නෙ එතැන. තීරණය ඔබ සතුයි.

%d bloggers like this: