Menu Close

මරණයෙන් පසු සිදු වන දේ ගැන නූතන දර්ශනයේ ස්ථාවරය

saskiafernandogallery-jagath-weerasinghe-untitled-iv-2019

 

පහතින් තිබෙන්නේ පසුගිය ඉරිදා, එනම් මැයි මස 31 වන දා පැවති ‘ඔන්ලයින් මෙයසූ සැසියට’ සම්බන්ධ දේශන සටහනයි. එයට සම්බන්ධ වන අයට මෙන්ම යූටියුබ් මගින් එය නරඹන අයටද එය මෙම සටහන අතිරේක කියවීමක් ලෙස කියවීම ප්‍රයෝජනවත් වෙයි කියා සිතමු. නමුත් මේ සියල්ල අර්ථවත් වන්නේ මේ සමගම කෙනෙක් මෙයසූ ගේ පොත කියවන්නට උත්සාහයක් ගන්නේ නම් පමණි.

බොහෝ දෙනෙක් අර්ථ විරහිත ලෙස දකිනා ගමනක් අපි හිතුවක්කාරී ලෙස යමින් සිටිමු. සමහරවිට අනපේක්ෂිත අනාගතයක් වෙත එය අපව රැගෙන යනු ඇත.

පසුගිය ඉරිදා බුදු දහම සම්බන්ධයෙන් තරමක කතා බහක් ඇති වූ බැවින් සහ එය මෙම සමස්ත සංවාදය ලාංකික සන්දර්භයක සාකච්ඡා කිරීමේ දී වැදගත් වන බැවින්, එම සංවාදයට සවන් දෙන ලෙස යෝජනා කරමු. ‘බටහිර ඉවුරේ දර්ශනය’ යූටියුබ් අඩවියේ එම දේශනය සඳහා සබැඳිය මෙතැනින්.

 

***

 

අපි අවසන් වරට සංවාදය නතර කළේ නිරපේක්ෂ අවබෝධයක් වෙත යාම සඳහා මෙයසූ ගේ යෝජනාවට එල්ල වූ විවේචනයත් සමගිනි. මෙයසූ යෝජනා කරන්නේ ජර්මන් විඥානවාදීන් අනුව යමින් සහසම්බන්ධතාවාදයේ සැඟවුණු සද්භාවවේදී සත්‍යය අප නිරාවරණය කර ගත යුතු බවයි. ජර්මන් විඥානවාදීන් විසින් කාන්ටියානු සහසම්බන්ධතාවාදයේ පරිබාහිර එහිම-ස්වරූපය යන්න ප්‍රතික්ෂේප කර එකම පවත්නා දෙය බවට සහසම්බන්ධය පත් කර ගනියි. ඒ අනුව ඔවුන් විසින් සිදු කරන්නේ අපට නිරපේක්ෂ අවබෝධයක් වෙත යාමට තිබූ බාධාව ලෙස පෙනී ගිය දෙය, අපට ඇති එකම නිරපේක්ෂ දැනුම බවට පරිවර්තනය කිරීමයි.

නමුත් මෙම ජර්මන් විඥානවාදී ප්‍රවේශය අර්බුධයට යන්නේ කරුණුමයභාවය පිළිබඳව අදහසත් සමගිනි. එමගින් කියන්නේ අපගේ මෙම සහසම්බන්ධතාවාදී ලෝකය පදනම් වන ප්‍රාථමික කරුණු ඇති වූ හේතුව අපට කිව නොහැකි බවත් එම නිසා මෙම සහසම්බන්ධිත ලෝකය යනු එකම සහ පරම වූ පැවැත්ම කියා අපට කිව නොහැකි බවත් ය. මෙයසූ ගේ යෝජනාව වන්නේ අප දැන් මෙම කරුණුමයභාවය පිළිබඳව අදහස පරමකරණය කළ යුතු බවයි. මෙහි සරල අදහස වන්නේ අපේ පැවැත්ම පදනම් වන මෙම හේතු-විරහිතභාවය පරම වනවා කියා අප කිව යුතු බවයි. ඒ අනුව අපේ පැවැත්මට මෙන්ම කිසිදු පැවැත්මකට අවසන් හේතුවක් නොමැති වන අතර සියල්ල සිතා ගත නොහැකි ලෙස, හේතුවකින් තොරව, වෙනස් වීමේ හැකියාවකින් යුතු වේ. මෙයට හේතුව වන්නේ කිසිවක් සඳහා පරම වූ හේතුවක් නොමැති වීමයි.

මෙවැනි අදහසකට එල්ල විය හැකි ක්ෂණික විරෝධය කුමක්ද?

අප දුටු පරිදි එවැනි විරෝධයකින් කියා සිටිනු ඇත්තේ මෙහිදී මෙයසූ විසින් කරුණුමයභාවය සහ අහඹුභාවය පටලවාගෙන ඇති බවයි. අහඹුභාවය යනු දැනුමේ නිමේෂයකි. යම් යම් දේ අහඹු වන බව අපි දනිමු. මා අසල ඇති පොත කවදා හෝ විනාශ වී යනු ඇත. එම දැනුම අපට දැනටමත් තිබෙන නිසා එම පොතේ විනාශ වී පොත නොවන වෙනත් දෙයක් බවට පත්වීමේ හැකියාව – ‘අහඹුභාවය යනුවෙන් අදහස් කරන්නේ මෙයයි – ගැන අපට දැන් තිබෙන්නේ අවබෝධයකි.

නමුත් කරුණුමයභාවය යනු මෙලෙස පොත වැනි දෙයක් නොවේ. එමගින් කියන්නේ මේ ආකාරයට ලෝකය තුළ පැවැත්මක් ලෙස මා පැවතීම පදනම් වන ප්‍රාථමික කරුණු පිළිබඳවවයි. වෙනත් ආකාරයකට කියන්නේ නම් මාගේ පැවැත්මේ මූලික ලක්ෂණ ලෙස අප හඳුනා ගත් සාධක මෙලෙස පවතින්නේ ඇයි? අපට නිශ්චිත පිළිතුරක් නොමැති වන්නේ මෙම ප්‍රශ්නයටයි. එම නිසා අපට ඒ සම්බන්ධයෙන් තිබෙන්නේ දැනුමක් නොව නොදැනුමකි. එය කිසි සේත් අහඹු වනවා කියා අපට කිව නොහැකි වේ. එනම්, එය විනාශ වී ගොස් වෙනස් දෙයක් බවට හෝ නොපැවත්මක් බවට හෝ පත් වනවා කියා අපට කිව නොහැක. සමහරවිට, අපට සිතා ගත නොහැකි ලෙස, සැඟවුණු හේතුවක් එයට තිබෙනු ඇත. එම නිසා ඒ සම්බන්ධයෙන් අපට තිබෙන්නේ දැනුමේ නිමේශයක් නොව නොදැනුමේ නිමේෂයකි.

මෙම විරෝධයට මෙයසූ ගේ ප්‍රතිචාරය කුමක්ද?

සංක්ෂිප්ත වශයෙන් මෙහිදී මෙයසූ ගේ තර්කය වන්නේ ‘අපට සාපේක්ෂ’ ලෝකය යනුවෙන් අප අත්දකිනා ලෝකය නම් කිරීම වෙනුවෙන් නූතන දාර්ශනිකයා ගෙවිය යුතු වන්දිය වන්නේ මෙය බවයි. වෙනත් ආකාරයකට කියන්නේ නම්, ඔහු පෙන්වා දීමට උත්සාහ කරන්නේ කරුණුමයභාවය යන්න අහඹු වීම අනිවාර්ය බව – සහ එනිසාම පරම ලෙස වලංගු වන බව – නූතන දාර්ශනිකයා විසින්ම තහවුරු කරනා බවයි. මෙයට හේතුව වන්නේ අහඹුබව අපට සාපේක්ෂ කිරීමට එරෙහිව ප්‍රතිශක්තීකරණය වී තිබීමයි. එය අපගේ සාපේක්ෂ ලෝකය වෙත ගෙන යාමට කොපමණ උත්සාහ කළ ද එය කළ නොහැකි  වන්නේ එය අපේ ලෝකයෙන් පරිබාහිරව තිබීම අපේ ලෝකය මෙලෙස පැවතීමේ හේතුව ලෙස ගත යුතු නිසාය.

මරණය සම්බන්ධයෙන් මෙයසූ ගේ ඉමහත් ජනප්‍රිය දෙබස් නාටකය ඔහු අපට ඉදිරිපත් කරන්නේ මෙම තර්කය පැහැදිළි කිරීම වෙනුවෙනි. මෙම නාටකයේ චරිත පහක් සිටියි: දේවවාදියෙක්, අදේවවාදියෙක්, සහසම්බන්ධතාවාදී දාර්ශනිකයෙක්, ආත්මවාදී විඥානවාදියෙක් සහ, අවසානයේ, සමපේක්ෂී භෞතිකවාදියෙක්. මේ චරිත පහ අතර සාකච්ඡාවට බඳුන් වන්නේ අපගේ මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද යන ගැටලුවයි. පළමු ආස්ථාන දෙක දාර්ශනිකව දුර්වල ආස්ථාන වන නිසා අදාළ ප්‍රස්තූතය සම්බන්ධයෙන් ඒවා ප්‍රමාණවත් නොවන බව ඉතා ඉක්මනින් පෙන්වා දිය හැකි ය.

දේවවාදියා ගේ ආස්ථානයේ ඇති දුර්වලතාවය වන්නේ එමගින් අපගේ පරිමිත දැනුම තුළින් සිතා ගත නොහැකි දෙවි කෙනෙක් ගේ පැවැත්ම පූර්වකල්පනය කරන නිසාය. මෙය කිසි සේත් සාධාරණ ආස්ථානයක් නොවන බව පෙන්වා දීම අපහසු නොවේ. එමගින් කියා සිටින්නේ අපට කිසි සේත් සිතා ගත නොහැකි දෙයක් – අපරිමිත වූ දෙවියන් – පවත්නා බවත්, අප මරණයෙන් පසු එම සිතා ගත නොහැකි දෙය වෙත සිතා ගත නොහැකි ආකාරයෙන් ගමන් කරනා බවයි. මෙම අදහස අපට පිළිගත හැක්කේ විශ්වාසය මත පමණක් කියා තේරුම් ගැනීම අපහසු නොවේ. නමුත් මේ සමගම අප අවධාරණය කළ යුතු වන්නේ මේ තර්කය මේ ආකාරයටම බුදු දහම සම්බන්ධයෙන් ද වලංගු වන බවයි. අප ගියවර දුටු ලෙස ‘මගේ ලෝකය’ කෘතියේ තිබෙනා මූලික දුර්වලතාවය වන්නේ මෙම ආධානග්‍රාහී විශ්වාසයයි. එමගින් අපට මේ මානසික ලෝකය ඇති වූ ආකාරය සම්බන්ධයෙන් සිදු කරන පැහැදිළි කිරීම වටහා ගත හැක්කේ මේ මානසික ලෝකයේ කොන්දේසි වල සිට පමණි. නමුත් ම මානසික ලෝකය ඇති වීමට පෙර පැවති තත්වයක් පිළිබඳව ‘මගේ ලෝකය’ කතුවරයා දැන ගත්තේ කෙසේද? අපට කිසිදු පැහැදිළි කිරීමක් නැති ප්‍රශ්නය වන්නේ මෙය වන අතර ඒ සඳහා අපට තිබෙනා එකම ප්‍රතිචාරය වන්නේ එය නලින් ද සිල්වා ගේ පුද්ගලික ආගමික විශ්වාසය හා බැඳුනු එකක් පමණක් වන බවයි. මේ හා සම ලෙස අප මරණයෙන් පසුව ‘සවිඥානයක්’ ලෙස ගන්ධබ්බයෙක් ලෙස සිට තවත් උපතක් සමග සම්බන්ධ වනවා කියා දැන ගන්නේ කෙසේද? එය ද කළ හැක්කේ අපේ මේ අවබෝධ කර ගැනීමේ කොන්දේසි රැඩිකල් ලෙස වලංගු නොවන තත්වයකදී කියා පැහැදිළි වේ. නමුත් එවැන්නක් කළ බව අප දැන ගන්නේ කෙසේද? මෙය අපගේ පුද්ගලික විශ්වාසය පමණක් බව පැහැදිළි වේ. එතනදී එය ඉහත දේවවාදියාගේ විශ්වාසයට වඩා වැඩියෙන් හොඳ හෝ නරක හෝ වන්නේ නැත. ඒ දෙකම එක හා සමාන ලෙස හඳුනා ගත හැක්කේ පුද්ගලික විශ්වාසයන් ලෙස පමණි.

නමුත් මෙම ඉරණම ම සම්ප්‍රදායික නිරාගමිකවාදයට ද මෙලෙසම අදාළ වන බව පැහැදිළි වේ. මාගේ මරණයෙන් පසුව මාගේ පැවැත්ම මුළුමනින් අතුරුදහන් වී යන බව අප දන්නේ කෙසේද? නැවතත් මෙතන දී අපට යොදා ගැනීමට තිබෙන්නේ අප මෙතෙක් වේලා සාකච්ඡා කළ නූතන දර්ශනයේ මූලික ආස්ථානයම පමණි. මරණයට පත් වීමෙන් පසුව සිදු වන්නේ කුමක්ද කියා අප දන්නේ නැත. එය අපට පරීක්ෂා කර බැලීමටත් නොහැකි වේ. එනිසා නිරාගමිකයා කියනා ලෙසට අපට, අපගේ පැවැත්ම මරණයෙන් පසුව නියත ලෙස අතුරුදහන් වී යන බව සැකයකින් තොරව තහවුරු කළ නොහැකි වේ. එම නිසාම, අපට පැමිණිය හැකි සාධාරණ නිගමනය වන්නේ මේ සම්බන්ධයෙන් අප කිසිවක් දන්නේ නැති බව පමණි. ඒ වෙනුවට සහසම්බන්ධතාවාදී දාර්ශනිකයා කියා සිටින්නේ මේ ඕනෑම එකක් නිවැරදි විය හැකි බවයි. දේවවාදියා කියනා ලෙසට අප සිතා ගත නොහැකි දෙවි කෙනෙක් වෙත යාමට ද හැකිය, නිරාගමිකයා කියනා ලෙස ට අපගේ පැවැත්ම අතුරුදහන් විය හැකිය. එසේත් නැතිනම්, අපට සිතා ගත නොහැකි ආකාරයේ වෙනත් දෙයක් වීමට ද හැකිය. නමුත් මේවා අතරින් නිවැරදි වන්නේ කුමක්ද කියා අපට දාර්ශනිකව කිව නොහැකි වෙයි. මෙම ආස්ථානය අඥයවාදයක් (agnosticism) යනුවෙන් මෙයසූ හඳුන්වන්නේ මෙම නිසාය. අඥයවාදය යනු එකිනෙක තරඟකාරී ස්ථාවර කීපයක් තිබෙන විට ඒවා අතරින් නිවැරදි වන්නේ කුමක්ද කියා දන්නේ නැති බව පිළි ගන්නා ආස්ථානයයි. සහසම්බන්ධතාවාදය යනු, එම අර්ථයෙන්, අඥයවාදයක් බව පැහැදිළි වේ. එමගින් කියා සිටින්නේ අප දන්නේ නැති බවයි.

සිව්වැනි චරිතය වේදිකාවට අවතීර්ණ වන්නේ මෙතැනදීය. ‘ආත්මවාදී විඥානවාදියා’ ලෙස මෙයසූ විසින් නම් කරන මෙම චරිතය ඉදිරිපත් කරන්නේ මෙවැනි තර්කයකි. සරල ආගම්වාදියාව මෙන්ම සරල නිරාගමිකයාවද ප්‍රතික්ෂේප කිරීමේදී සහසම්බන්ධතාවාදී දාර්ශනිකයා නිවැරදි වේ. නමුත් ගැටලුව වන්නේ මේ දෙක අතරින් එකක් නිවැරදි වීමේ ඉඩ ඇය අතින් පිළිගැනීමට ලක් කිරීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මාගේ මරණයෙන් පසුව මගේ පැවැත්ම අවසන් විය හැකිය යන්න පිළිගැනීමට ඇයට සිදු වේ. නමුත් සත්‍ය වශයෙන්ම මෙය සාධාරණ තර්කයක් වන්නේ ද? සහසම්බන්ධතාවාදියාගෙන් ආත්මවාදී විඥානවාදියා විමසා සිටින්නේ මෙයයි. මෙයසූ ගේ සාධනය තුළ කේන්ද්‍රීය වන්නේ මේ චරිත දෙක – ‘සමපේක්ෂී දාර්ශනිකයා’ සහ ‘ආත්මවාදී විඥානවාදියා’ – අතර ඇති වන විවාදය වන නිසා අපි මෙය පුළුල් ලෙස විමසා බලමු.

ආත්මවාදී විඥානවාදියා මෙහිදී ඉදිරිපත් කරන තර්කය අවබෝධ කර ගැනීම අපහසු නොවන්නේ එය මේ වනවිට අප හොඳින් දන්නා විඥානවාදයේ සෞත්‍රික සූත්‍රගත කරගැනීම මත පදනම් වන නිසාය. මගේ ‘මරණයෙන් පසු’ තත්වයක් ගැන සිතීම යනුවෙන් අදහස් කරන්නේ මාගේ පැවැත්ම අහෝසි වූ පසු තිබෙනා තත්වයක්නම් එවැන්නක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ කිසිදු අර්ථයක් නොමැති වේ. මෙයට හේතුව වන්නේ එවැන්නක් සිතීම සඳහා මාගේ සිතීමේ හැකියාව අවශ්‍ය වීමයි. නමුත්, අනෙක් අතට, මාගේ සිතීමේ හැකියාව පවතිනවා යනු මාගේ පැවැත්ම අවසන් නොවනවා යන්නයි. එම නිසා මරණය යනු කිසි සේත් මාගේ පැවැත්මේ අවසානය විය නොහැකි වන්නේ එවැන්නක් සිතීම අත්‍යන්තයෙන් විසංවාදී වන නිසාය. මෙහිදී ඇති වන්නේ මගේ මානසික ලෝකයෙන් පරිබාහිරත්වයක් පිළිබඳව සිතීමේදී ඇති වන අත්‍යන්ත අපහසුවේම තවත් පැතිමානයකි. නලින් ද සිල්වා මෙය සූත්‍රගත කළ ආකාරය යළි සිහිපත් කරන්නේනම්, මනසින් පරිබාහිර යථාර්ථයක් ඇති බව අපට කිසිදා සිතා ගත හැකි නොවේ. මෙයට හේතුව වන්නේ සිතීම යන්න සෑම විටම මාගේ මානසික ලෝකයේ අභ්‍යන්තරයට අයත් ක්‍රියාවක් පමණක් වීමයි. එම නිසාම ‘මනසින් පරිබාහිරත්වය’ යන්න සෑම විටම ‘මනසේ අභ්‍යන්තරයට’ අයත් සිතුවිල්ලක් මිස අන් යමක් නොවේ. මෙම තර්කය මේ ආකාරයටම මාගේ මරණයෙන් පසු තත්වයටත් අදාළ වන බව පැහැදිළි විය යුතුය. එම ‘පසු තත්වය’ යන්නෙන් කුමක් අදහස් වුවත් එය කිසි සේත්ම මාගේ පැවැත්මේ අවසානය විය නොහැකි වේ. මෙයට හේතුව වන්නේ එවැනි අවසානයක් පිළිබඳව සිතීමේ පූර්ව කොන්දේසිය ලෙස මා පැවතිය යුතු වීමයි. මාගේ පැවැත්ම අවසාන වීම මට රැඩිකල් ලෙස සිතා ගත නොහැකි වන්නේ මේ නිසාය. ‘මා නොමැති බව’ යනුවෙන් කුමක් අදහස් වුවත් එය මටනම් කිසිදා වටහා ගත හැකි දෙයක් නොවේ. මේ අනුව ආත්මවාදී විඥානවාදියා පැමිණෙන්නේ මෙවැනි නිගමනයකටයි: අපගේ මරණය යනු කිසිදා විය නොහැකි දෙයක් වන අතර අප කුමන හෝ අරුතකින් සදාකාලිකව පැවතිය යුතු වන වේ. සහසම්බන්ධතාවාදියා මෙහිදී සිදු කරන වැරැද්ද වන්නේ ‘එහිම-ස්වරූපයක්’ පැවතිය හැකි බව ඇය විසින් නිහඬව පිළිගැනීමයි.

මෙම වඩා සංකීර්ණ දාර්ශනික අභියෝගයට සහසම්බන්ධතාවාදී දාර්ශනිකයා ට පිළිතුරු දිය හැක්කේ කෙසේද? කරුණුමයභාවය යන සංකල්පයේ තීරණාත්මක වැදගත්කම හමු වන්නේ මෙතැන දීය. අප හට මෙවැනි පැවැත්මක් උරුම වන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් අපට ඇති නොදැනුම හෙළි කරන්නේ මෙයයි – අපට තිබෙන්නේ හේතු ඵල සම්බන්ධයක් ලෙස තේරුම් කළ හැකි, පදනමක් තිබෙන, ආරම්භය පාරදෘශ්‍ය වන පැවැත්මක් නොවේ. මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස මේ පැවැත්ම මේ ආකාරයටම සදාකාලිකව පැවතිය යුතුයි කියා කියන්නට ද අපට පදනමක් නොමැත. මෙයින් අදහස් කරන්නේ අපට මරණයෙන් පසු අපගේ පැවැත්ම අතුරුදහන් වීම සිතා ගත හැකි බව නොවේ. එම කරුණේදී ආත්මවාදී විඥානවාදියා නිවැරදි වෙයි – එවැන්නක් සිතීමට උත්සාහ කරනා ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් විසංවාදයකට හසු වෙයි. නමුත් – තීරණාත්මක තර්කය මෙයයි – අපට සිතා ගත නොහැකි දේ වියනොහැකි වනවා කියා ප්‍රතික්ෂේප කිරීමට අපට පදනමක් නොමැත. මෙයට හේතුව වන්නේ අන් කිසිවක් නොව අපගේ පැවැත්ම වෙත පරම වූ අනිවාර්යතාවයක් ලබා දීමට කිසිදු හේතුවක් අපට සිතා ගත නොහැකි වීමයි. එම නිසාම අපට මෙම පැවැත්ම මෙලෙස අඛණ්ඩව අවසානයකින් තොරව පවත්නා බව තාර්කිකව පෙන්වා දිය නොහැකි වේ. එය එසේ තිබිය හැකි බව සත්‍යයක් වුවත්, සහ එම අර්ථයෙන් ආත්මවාදී විඥානවාදියා නිවැරදි වුවත්, එය එසේ නොවීමට ද හැකියාවක් තිබේ. එම නිසා අත්මවාදී විඥානවාදියා නිවැරදි වන්නේ අර්ධ ලෙස පමණක් කියා අපට පැහැදිළි වෙයි. මරණයෙන් පසු තත්වයක් අපට සිතා ගැනීම කළ නොහැකි වුවත් එය වියනොහැකිබව අපට කිව නොහැක. වෙනත් ආකාරයකට කියන්නේනම් මරණය සම්බන්ධ කරුණේ දී අපට සිතීම සහ වියහැකිභාවය අතර විසම්බන්ධයක් සලකුණු කළ යුතු බව පෙනී යයි – අපට සිතා ගත නොහැකි දේ වියහැකි බව පිළිගැනීමට අපට සිදු වේ.

නමුත්, මේ මගින් සහසම්බන්ධතාවාදී දාර්ශනිකයා සාධනීය යමක් නොකියන බව මතක තබා ගැනීම වැදගත් වෙයි. අවම වශයෙන් ඇය සම්බන්ධයෙන් මෙයසූ ගේ අර්ථකථනය සමග අප එකඟ වන්නේනම් එය එසේ වන බව අපට පෙනී යයි. සහසම්බන්ධතාවාදී දාර්ශනිකයා කියා සිටින්නේ මේ වියහැකිබව සම්බන්ධයෙන් අපට කිසිවක් දැන ගත නොහැකි බව පමණි. එනිසා අප මෙය වටහා ගත යුත්තේ අපගේ දැනුමේ සීමාවක්, අපේ පරිමිතත්වයේ ප්‍රකාශමාන වීමක් ලෙසයි. ඇය කියා සිටින්නේ මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද කියා ඇය දන්නා බව නොව ඇය නොදන්නා බවයි. මේ අනුව මරණයෙන් පසු වියහැකි දේ අතර ඉහතින් විස්තර කළ ආගමික ආස්ථානය මෙන්ම අදේවවාදී ආස්ථානය ද එක ලෙස වියහැකි බව ඇය කියා සිටියි. එය සිදු වන්නේ කෙසේද කියා අපට දැන ගත නොහැකි වුවත් එහි හැකියාව – වියහැකිබව – ප්‍රතික්ෂේප කළ නොහැක. මේ විවිධ වියහැකිභාවයන් අතරින් එකක් හෝ කීපයක් හෝ අප නොදන්නා වෙනත් වියහැකිභාවයක් හෝ සිදුවිය හැකිය. නමුත් මේවා අතරින් සත්‍ය වශයෙන්ම වලංගු වන්නේ කුමක්ද, නිවැරදි වන්නේ කුමක්ද කියා අපට කිසිදා පරීක්ෂා කර බැලීමට නොහැකිය. එනිසා මෙහිදී අපට හමු වන්නේ රැඩිකල් නොදැනුමක නිමේෂයකි – අපේ දැනුමේ අත්‍යන්ත සීමාව අපට මුණ ගැසෙනා මොහොතකි.

එම අර්ථයෙන් මේ කරුණුමයභාවය යන සංකල්පය තුළින් අපගේ පැවැත්මේ සැබෑ පදනම, එහි සදාකාලිකත්වය අල්වා ගැනීමට හැකි වන්නේ කෙසේද? මෙමගින් කියා සිටින්නේ අපේ අත්‍යන්ත නොදැනුම ගැන නොවේද? මේ සඳහා පළමුවෙන් අප ‘ආකල්පමය වෙනසක්’ ඇති කරගත යුතු බව මෙයසූ යෝජනා කරන්නේ මෙම නිසාය. එම ආකල්ප වෙනස නියෝජනය කරන්නේ මෙම දෙබස් නාටකය තුළ මෙයසූ හඳුන්වා දෙන පස්වැනි සහ අවසාන චරිතය විසිනි. ඒ තමයි – මෙයසූ ගේ හඬ නියෝජනය කරනවා යනුවෙන් ඉතාම පැහැදිළි වන – සමපේක්ෂී දාර්ශනිකයා ය.

අපි එය මීළඟ කොටසින් පුළුල් වශයෙන් සාකච්ඡා කරමු.

 

වංගීස සුමනසේකර

 

 

 

 

***

%d bloggers like this: