Menu Close

JVP නිමල්ගෙ දානෙත් එපා!- පළමු කොටස

“දිසානායක, xxxxx ලොකු සාදු හම්බ වෙච්ච වෙලාවේ කිව්වා, නොවැරදීම මේ සැරේ දායක සභාවේ රැස්වීමට ඔයාවත් එක්ක ගෙන එන්නයි කියලා.” කුලතුංග සර් කිව්වේය.

කටුස්සෝ හිතාගෙන ඉන්නේ උන් උකුස්සෝ කියලා…………..
ලොකු හාමුදුරුවන්ගේ වචනය අහක දැම්මත්, කුලතුංග සර්ගේ වචනයට ගරු නොකර ඉන්නට බැරිය. ඒ මං කටුස්සෙකු නොවෙන හින්දාය.
බෙල්ලේ රත්තරන් බැන්ද කටුස්සා ගැන මෑත දිනයෙක දයාබර ඔබට කිව්වා මතකය. ඊයේ-පෙරේදාවක තවත් කටුස්සන් වර්ගයක් ගැන ත්‍රී වීලරයක පිටුපස තිබුණු සටහනකින් දැනගත්තෙමි. හැබෑ අර්ථවත් සටහන මේකය: ‘කටුස්සෝ හිතාගෙන ඉන්නේ උන් උකුස්සෝ කියලයි’.

කොහොම හිතුවත් කටුස්සා කටුස්සාමය. ඕනෑ කරන වෙලාවට, ඌට ඕනෑ විදිහට පාට මාරු කරන්නට හැකියාව ඇත්තේ උන්ට විතරය.

අපට, අවුරුද්දටත් ගේ අස්සෙම ඉන්න කියා, වෙසක් එකටත් ගෙට වෙලාම ඉන්න කියලා, මඟුලට- මරණෙට පිටස්තරයන් වද්දා ගන්නට එපාය කියලා නීතිත් දම්මලා අපව ආරස්සා කළ උත්තමයෝ….
උන්ගේ එකෙකු මියගියාම තම-තමුන්ගේ ආරස්සාව ගැන නොහිතුවෝය; උන්ම දැමූ නීති ගැන පයිසෙකටවත් මායිම් නොකළහ.
ඒ නීති කඩන්නන් ගැන මොනවා කරන්නද?

Three වීල් පාඨයකින්ම කියනවා නම් ගුල්ලා වැඩ්ඩෙක් වෙන්නේ බාල ලෑල්ලක් දැක්කාමය!

මම නම් නීතියට බයය. ගුල්ලන්ට බයය.
ඒ මා බාල ලෑල්ලක් හින්දා නොවේ. මේ කොදෙව්වේ අප වැනි පුංචි සිඤ්ඤෝලාට එක නීතියකුත්, ඉදිමී ඉන්නා අයට තව නීතියකුත් බව දන්නා හින්දාය.
ඒ නිසාම පොසොන් පෝයටත් ගෙට වෙලා ඉන්නෙමි.

එහෙම කළාය කියලා මහින්ද මහ රහතන් වහන්සේවත්, දෙවියන්ට පවා ප්‍රියවූ තිස්ස රජතුමාවත් අහිංසක අප හා උරණ නොවෙනු ඇත.
අප සිරිපා මුඳුනේ ඉර සේවය බලන්නට පේවී සිටින අතරේ අපේ තාත්තා…………
1976 අප්‍රේල් 17 වෙනිදා උදේ අප ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ වාඩිවී ඉර සේවය නරඹන්නට පෙළ ගැසී හිඳිද්දීය, අපේ තාත්තා ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබුණේ. අප්‍රේල් 19 වෙනිදා හවස අප එනවිටත් පශ්චාද් මරණ පරීක්ෂණ නිමාවී, අවමංගල්‍යයේ වැඩ සේරම සංවිධානය කෙරිලාත් ඉවරය.
ඒවායේ බර කරට අරගෙන තිබ්බේ පිරිමි ළමා නිවාසයේ පාලක කුලතුංග සර්, සේ ටීචර්, රංජිත් ගුණසේකර අයියා, සෝමවීර ඇතුළු පිරිසයි .

කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන්’ පොස්ටු කියවූ කෙනෙකුට නම් සෝමවීර ගැන අමුතුවෙන් මතක් කරන්නට ඕනෑ නැත.

අපේ ගෙදරට විදුලියවත් නොතිබුණු ඒ කාලයේ, හදිසියෙවත් කෙනෙකු මට දුරකථන ඇමතුමක් දුන්නෙත් ළමා නිවාසයටයි.
ඒ මදිවාට සතියකට දවස් තුන-හතරක්වත්, අපේ සුනිලුත් මාත් හවස හතේ සිට දහය-එකොළහ වෙනතුරු අල්ලාප-සල්ලාපයේ යෙදී හිටියෙත් කුලතුංග යුවල සමඟයි. එච්චරකුත් නොවේ. “ඔන්නොහෙ රෑටත් කාලා තව ටිකක් කයිය ගහගෙන ඉඳලා යන්න නිමල්…. තාත්තිටත් කතාබහ කරන්න ඉන්නේ ඔයාලා විතරයිනේ….”
සමහර දාට කුලතුංග මහත්මියම අපට කියයි.
(ඒ ජෝඩුව එකිනෙකා අමතාගත්තේ ‘තාත්ති’ ‘අම්මි’ පදවලිනි.)

අපත් බැහැයි කියන්නේ කලාතුරකින් විතරය. ඒ රාත්‍රී භෝජනයටත් වඩා අපේ කතාබහ රසවත් හා හරවත් වුණු හින්දාය. (කුලතුංග යුවලත්, දරු තිදෙනාත් අපෙන් ඈත් වුණේ සර්ට ‘කළුතර-රිච්මන්ඩ් කාසල් ළමා නිවාසයේ’ පාලක තනතුර ලැබුණාමය.)
මං ඔය ගොඩක් මහත්තුරු වගේ වැඩි සැදැහැවතෙක් නෙවෙයිනේ!
“සර් දන්නවනේ මම ලොකු සර්ධාවන්තයෙක් නෙවෙයි කියලා. මම දායක සභාවටත් සැරේකට දෙකකට වැඩිය ගිහින් නැහැ, මෙච්චර කාලෙකට.” මම කීවෙමි.
ඒ ‘පුළුවන්කමක් තිබේ නම් මාව හළලා යන්නකෝ’ කියන ටික ඇඟවෙන තාලයටය.

“ඔන්නොහෙ යං. ගෙදර මරණයක් වුණත්, පාංශකූලේ දෙන්න වෙන්නේ ගමේ පන්සලටනේ මනුස්සයෝ!”

“සර් කියන නිසා මම එන්නං. මට ඔය සභාවේ ඉන්න උපාසකම්මලාගේ වැඩ දැක-දැක කට වහගෙන ඉන්නයි බැරි. ඒකයි මම පන්සලට යන එක අත ඇරලම දැම්මේ.”

ඒ දවස්වල xxxxx පන්සල හොඳටෝම පොඩි එකකි. එතකොට ලොකු හාමුදුරුවන් වහන්සේ මංගල සාදුය. පන්සලේ හිටියෙත් හාමුදුරුවරුන් වහන්සේලා හතර නමක් හෝ පස් නමක් හෝ විතරය.
චතුර ධර්මකථික හබරකඩ ඉන්ද්‍රරතන හාමුදුරුවන් වහන්සේත් එයින් කෙනෙකි. 
මහරගම ඒ පන්සලේ ආවාස ගෙය දියවින්නේ පන්සලේ මේ ආවාසයටත් වඩා පුංචිය………
ආවාස ගෙය පැරණි ගෙදරකි. බණ මඩුව බාග බිත්තියකින් වටවුණු පුංචි ශාලාවකි. එකම කුටීරයකින් සැදුණු බුදු ගෙය ගොඩ නැඟුණේත් පසුකාලීනවය. “ඒ වෙලාවේ තමයි නිමල් මට පන්සල්වලට අරක්ගෙන ඉන්න දායක අම්මණ්ඩිලා එපාම වෙලා ගියේ.”
රේස්වලින් රේස් එකට පිම්මක්’ post එකේදී ඔබට හමුවුණු RPR මට කිව්වේ තරහෙන් පුපුරමිනි. (RPR 71 කැරැල්ලේ වැරදිකාරයෙකුවී හිරේ තැප්පෙකි.)

“අර මොකෝ?”

“xxxxx ලොකුම දායිකාව වත්තේගෙදර ….හාමිනේනෙ. බුදු ගේ හදද්දී ඒකේ මල් ආසනේ ඒ ගෑනිට තනියෙන්ම හදවන්න ඕනි කියලා එක යුද්ධයක් කළානෙ. වෙන කිසිම කෙනෙකුට හවුල්වෙන්න දුන්නෑ. දිවිය ලෝකෙට ගිහින් සක්කරයාව තනියෙන්ම අයිති කරගන්න හිතන්නැති.”

“ඉතින් මංගල සාදුවත් ඒකට මොකුත් කිව්වේ නැද්ද?”
“කොහේ කියන්නද නිමල්? කොයි උන්නාන්සේද ප්‍රධාන දායකයන්ව තරහ කරගන්න කැමති?”
කුලතුංග සර් ලොකු සාදුගේ ආරාධනය ගැන මට දන්වන කාලයේ, අර කියූ මංගල හාමුදුරුවන් වහන්සේ අපවත්වී, ප්‍රධාන ගෝල හිමි නමට පන්සලේ නායක තනතුර ලැබිලාය. එතකොට උන්වහන්සේ උපාධියක් හෙමත් අරගෙන ඉවරය.
දැන් තියෙන දායක සභාවල තනතුරු හිමිවෙන්නෙත්  බල-පුළුවන්කාර උදවියටමය……..
දායක සභාවට ඇවිත් හිටි අය අතරේ නැන්සි ආච්චී, කේ.ඩී.ඒ. රම්‍යලතා (අනුලා ඇන්ටි), නන්දා මලවිසූරිය අක්කාගේ තාත්තා මලවිසූරිය අංකල්, වී.ජී. පියදාස අයියා වගේ ගොඩ දෙනෙක් වූහ.

(මට හරියටම නිච්චි නැතත් ඒ වෙද්දී පන්සලේ ලොකු සාදුට ‘ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති’ තනතුරත් ලැබිලාද කොහෙදය.)

“අද දායක සභාවේ තමුන්නාන්සේලාව විශේෂයෙන්ම පන්සලට කැඳෙව්වේ අපේ පන්සලේ කරන්නට යන මහ විශාල පුණ්‍ය කටයුත්තක් ගැන සාකච්ඡා කරන්නයි. මේ කාලය රටට, ගමට, දායක උපාසක-උපාසිකාවන්ට විතරක් නෙවෙයි, ආර්ය බුද්ධ පුත්‍රයන් වන අපටත් ත්‍රිවිධ රත්නයේ වගේම සියලු සම්‍යක්දෘෂ්ටික දෙවි-දේවතාවුන් වහන්සේලාගේත් ආරක්ෂාව ඇල්ම-බැල්ම අවශ්‍ය කාලයක්…..”
ලොකු හාමුදුරුවන් එහෙම කිව්වාට ඒ කාලයේ කොරෝනා තිබුණේ නැත; ඩෙංගු තිබුණේත් නැත. සාර්ස්, කුරුළු උණ, මී උණ එහෙමත් තිබ්බේ නැතිය.
තිබුණේ තද පෑවිල්ලක් විතරය.

“…. අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ වගේ කාලයක පරිත්‍රාණ ධර්ම දේශනාවකින් ලැබෙන පිහිට මනින්න පුළුවන් තරමේ එකක් නෙවෙයි. විසාලා නුවරට තුන්බිය ආව වෙලාවෙත් බුදුහාමුදුරුවෝ පිරිත් දේශනා කළා. මේ කාලේ අපිත් තීරණය කළා ඒ විදිහටම රතන සූත්‍රය සජ්ජායනා කරන්න…..”
වට වන්දනාවේ යන නඩය ඈතින් රුවන්වැලි සෑය පෙනෙන්නට ගන්නා විටම සාදු නාද දෙන්නට ………….
“සාදු සාදු සාදූ!” වට වන්දනාවේ යද්දී රුවන්වැලි සෑය ඈතින් පෙනෙද්දීම සාදුකාර නැඟෙයි.
එදාත් එහෙමය!
රතන සූත්තර දේශනාව ගැන කියවෙනවාත් එක්කම, කලින් උගන්වලා තිබ්බා වගේ ප්‍රධාන දායිකා උපාසිකාව දොහොත් මුඳුනේ තියා මහ හයියෙන් සාදුකාර දුන්නාය.
“අනේ සාදු!”

ඊයේ රාත්තිරියේ අපූරු වීඩියෝවක් බලාගන්නට මට වාසනාව ලැබිණි. ‘විලාප දෙමින් හැඬීමේ පෙරහුරුවක්’. ශ්‍රී ලංකේය දේශපාලන බිමේ ‘රජුන් තනන්නන්’ ලෙස විරුදාවලී ලද පරම්පරාවේ ‘ආරුමුගම් තොණ්ඩමන්’ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමතිතුමාගේ අවමඟුල රාජ්‍ය ගෞරව සහිතව ඊයේ පැවැත්විණි.

කොරෝනා මර්දන සටනේ ඉහළ සෙන්පතියන්ගේ උපදෙස්, සෞඛ්‍යාරක්ෂිත උපායන් නොතකමින් VIPලාත් එකතුවී පැවැත්වුණු ඒ අවමඟුලේදී හඬා වැලපෙන හැටිය, අර වීඩියෝවේ rehearsal කළේ.
දැන් දේශපාලන රැස්වීම්, උත්සව, පෙළපාලි, මාරාන්තික උපවාස හැම එකක්ම වාගේ මෙහෙම කල් ඇතිව පිටපත ලියවී; පෙරහුරු පවත්වා කෙරෙන නාඩගම් වුණත්- ඉස්සර ඒ තරම් දියුණුවක් තිබුණේ නැතිය.

ආරුමුගම් තොණ්ඩමන් ඇමතිතුමාගේ අවමඟුල් උත්සවයේදී විලාපදී හඬන්නට වතුකර කතුන්ට විශේෂ පුහුණුවක්……..
හැබැයි, ඒ කාලෙත් අර උපාසකම්මා කල් තියා පුරුදු-පුහුණුවී හිටි බව නම් මොනවට පැහැදිලි විණි.

“කලබල නොවී ඉන්නකෝ උපාසිකා නෝනා මහත්තයා මම කියනකල්….. මේක සාමාන්‍ය පිරිත් සජ්ජායනයක් නෙවෙයි…. සතියක දෙකක පින්කමකුත් නෙවෙයි. මහ විශාල එකක්…. අපේ පන්සල වගේ පුංචි පන්සලකින් කරන්න තියා හිතන්නවත් බැරි තරමේ විශාල කටයුත්තක්.
ඒ නිසාමයි මම අද දායක සභාවට ගමේ හැම දෙනාටම එන්නය කියලා දැනුම් දුන්නෙත්. මොකද මට මේ ගමේ හැම දෙනාගේම උදව්ව ඕනෑ වෙනවා මේ පින්කමේදී… හැම දෙනාගෙම…..”

xxx ලොකු සාදු හොඳ කථිකයෙක් නොවේ. කියන ටික කිව්වෙත් වරුවක් අරගෙනය. ඒත් පන්සලේ නායක තනතුර ලැබුණාට පස්සේ එතෙක් නොතිබුණු තේජසක් නම් ඇවිදින්ය. එතෙක් නොතිබුණු බලයක්…..?

“මම පන්සල් යන ජාතියෙ එක්කෙනෙක් නෙවෙයි. හැබැයි මම පිලොසොෆි එකෙන් බුඩිස්ට්. මං කාටවත් වරදක් කරන්න යන්නෙත් නැත්තං, මං කාටවත් ගේමක් ගහන්න යන්නෙත් නැත්තං, මගේ පව් වැඩ නැත්තං මට මේක ඇතුළේ බය වෙන්ඩ දෙයක් නැහැ.”

එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකු ලෙස රඟපාන්නෙකි. මං මේ කියන්නේ ලංකාව පුරා බොහොමයක් පන්සල්වල ඉන්නා උදවිය ගැන නොවේ. ටෙලියක ඉන්නා කෙනෙකු ගැනය. චීවරධාරීන් යහමින් හිටියත්, මේ මනුස්සයාට ටෙලිය සඳහා සිවුර පොරවා ගන්නට පෙර පේ වෙන්නැයි කියලාත් සමහරුන්ගෙන් උපදෙස් ලැබිලාය.
සිවුරු පොරවාගෙන හාමුදුරු චරිතය රඟපාන්න කලින් පේවෙන්න කියලත් සමහරු මට කිව්වා…………
“… මට සමහර කට්ටිය පේ වෙන්ඩත් කිව්වා…. මං කිව්වා, නෑ…” මේ කියාගෙන යන්නේ ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයේ සිරිරතන හාමුදුරුවන් වහන්සේට රඟපෑ දසුන් පතිරණ කියූ දේවලින් ටිකකි.

“… මං කිව්වා ‘නෑ’…. මිනිස්සු ආදර ගෞරව කරන මේ සිවුර කියන එක ඇඳුමක් විතරයි. අපි සිවුරට වඳිනවා තමයි. ඒත් අපි වඳින්න ඕනේ සිවුර ඇතුළේ ඉන්න මනුස්සයටනේ. මට නම් මනුස්සයෙකුට වඳින්න සිවුරක් දරාගෙනම ඉන්න ඕනේ නැහැ…. මනුස්සයෙක් වුණාම ඇති, මට පුළුවන් බිම දිගා වෙලා වඳින්න…..”.

ඒ ටික කිව්වේ මට දැනුණු වැදගත්ම දෙයක් කියන්නටය. සිවුර දරාගෙන ස්වාමීන් වහන්සේ නමක් ලෙස රඟපානවිට හිතමිතුරු යාළුවන් වඳිද්දී සිතට නැඟුණු හැඟීම් ‘දස්සා’ හංගන්නේ නැත. “යාළුවො කට්ටියම වඳිද්දී නම් පර්සනල්ටිය up වුණා!”.

පොදු ජනතාවගෙන්; එහෙයියන්ගෙන් හිටු කියලා වැඳුම්-පිදුම්-උපහාර ලබන අයගෙ මොන-මොනවා up වෙනවා ඇතිද? උන්නැහේලාට වැඳ-පුදා; බදා -වැළඳ; පඬුරු-පාක්කුඩම් පිරිනමා එතුමන්ලාව වරදට පොළඹවන්නේ අපමය. ඒවා රස වැටුණාම දැන් ඇති කියා දාලා යන්නට හිතේවිද?
නායකකම්-පට්ටම්-තානාන්තර ලැබෙද්දී…..(පලා කටුස්සාගේ ෆොටෝ එක චන්දන දිසානායකගේය.)
එදා ලොකු හාමුදුරුවන් වහන්සේටත් වෙලා තිබෙන්නට ඇත්තේත් මේකමය. නායකකම ලැබෙනවාත් එක්ක, personalty එක up වීමය! යසිසුරු-සම්පත් ලැබීමය!! බලය වර්ධනය වීමය!!!
මේ හදන්නේ ඒ තේජස රටටම පෙන්වන්නටය. එමඟින් තව-තවත් බලවත් වෙන්නටය.

“මට ඕනේ මේ පුංචි මහරගමෙන් සිරි ලංකාවටම සෙතක්-ශාන්තියක් පතුරවලා අරින්න…. රතන සූත්‍රය ලක්ෂ වාරයක් සජ්ජායනා කරලා….” උන්වහන්සේට කතාව නවත්තන්නට වෙන තරමේ සාදුකාරයකි, එතකොට නම් බණ මඩුවෙන් නැඟුණේ. දැන් රැස්වීමේ නිඳා වැටෙමින් උන් වැඩිම දෙනෙකු පණ ගසා ඇවිදින්ය; ප්‍රබෝධවත් වෙලාය.

“මේ සජ්ජායනා කරන එකට මාස ගණනාවක් යනවා. පටන් ගත්තාට පස්සේ ලක්ෂ වාරය සම්පූර්ණ වෙනකල් මොනම හේතුවක් නිසාවත් පිරිත් දේශනාව නවත්තන්න බැහැ. රෑ දවල් නොබලා, නොකඩවා පිරිත සජ්ජායනා කරන්න වෙනවා!…”

එවෙලේම උන්වහන්සේ ඒ සඳහා යන මාස ගණනාව ගැනත් කීවෝය. මට ඒ ගණන නම් හරියටම මතක නැත.

“… මේ පිරිත් සජ්ජායනා කරන උන්නාන්සේලා සම්පූර්ණයෙන්ම මස් මාංශවලින් වැළකිලා….. පිරිසිදුව පේ වෙලා ඉඳගෙනයි පිරිත් දේශනාවට සහභාගී වෙන්නේ. අඩුම ගන්නේ උම්බලකඩ ටිකක්වත් දානෙට මුහු කරන්න බැහැ…”
දැන් කාලයේ සර්ධාවන්තයන් වැහි-වැහැලාය… හැම තැනමය………….
මගේ මතකය මහ පුදුමාකාර එකකි.
අද මේවා මතක් වේගෙන-වේගෙන එන්නේ සිනමා පටයක් පරිද්දෙනි. කලින් වතාවල ‘මුල් පිටුව බලන්නට මහ පාන්දර උපාසිකාවකගේ ගෙදරට වැඩිය හිමි නම’ ගැන කියද්දීවත්,
බක්කරේගේ pork දානය’ ගැන කියද්දීවත් අද කියන දේවල් මතක් වුණේ නැති හැටි. 

“ඔබ වහන්සේ කියනවා නම් උම්බලකඩ ටිකක්වත් නොදා දානේ ටික පිළියෙළ කරලා ගේන්න අපිට පුළුවන් හාමුදුරුවනේ…” කලබලය නිසා තවත් උපාසිකාවකට හාමුදුරුවරු ‘කියන්නේ නැති’ බව අමතක වෙලාය. උන්වහන්සේලා ‘වදාරනවා’ විතරනේ.

“අනේ උපාසකම්මේ…. මෙහෙම දෙයක් කරද්දී ඒ වගේ අවදානමක් ගන්න විදිහක් නැහැනේ…. අපි හිතාගෙන ඉන්නේ වෙනම කෝකියන් දෙතුන් දෙනෙක් ගෙන්වලා, පන්සලේම නතර කරවාගෙන ඒ දවස්වල දානේ පිළියෙළ කරවාගන්න….”

අනේ හත්තිලව්වේ… ලොකු සාදු එහෙම ‘වදාරපුවාම’ බණ මඩුවේ හිටි අයගෙන් ඇහුණු හීල්ලීම…. හූස් කියලා උඩට හුස්ම ඇදීම….
පහුගිය ජනාධිපතිවරණය කටේ තියෙද්දී කැලණිය පන්සලට නයි පැටෙව්වේ නාග ලෝකයෙනි! මෙදා පොටේ මහ මැතිවරණයේදී ..
පහුගිය ජනාධිපතිවරණයට කලින් දවස්වල; ප්‍රචාරණ කටයුතු අවසන්වූ දවස්වල නාග ලෝකයෙන් නයි පැටෙව්වා මතකද? කැලණි ගඟෙන්…?
ඒ වංගියේය ‘නාග ලෝකයෙන් චීන කරඬුවක දමාගෙන ආ ධාතුන් වහන්සේලාත්’ කැලණිය පන්සලේම අසීමිත මහජන ප්‍රදර්ශනේට තිබ්බේ…

ධාතු වන්දනා කරන්න පෝලිමේ එන උපාසක-උපාසිකාවන්ට එක නෙලුම් පොහොට්ටුව ගණනේ හාමුදුරුවන් වහන්සේලාම සතර අගතියෙන් තොරව බෙදුවේ….

ඒ වගේ ‘කේඩෑරි නයි පැට්ටෙකු’ නොවේ,
ළඟ එන මහ මැතිවරණයට ඉස්සෙල්ලා නාග ලෝකේ ඔක්කොම නයි මෙහාට පැටෙව්වත් එදා අපේ පන්සලේ ධර්ම ශාලාවෙන් නැඟුණු ‘හූස්’ ගෑම පරද්දන හූස් කීල්ලක් ඇහෙනු බැරිය.
‘අනේ හාමුදුරුවනේ…. කොහොමද එහෙම කරන්නේ…?”

“එක නේන්නං. මෙහෙම පිනක් කරගන්න ලේසියෙන් හම්බ වෙනවද?”

“අපේ ගෙවල්වල කිරි දාන දෙනකොට අපි ලුණුවත් රස බලන්නැතිව උයන්නේ….”
සකුණ යුද්ධය වගේම එදා ධර්ම යුද්ධයකුත් කෙරීගෙන ගියේය!
විනාඩි ගණනාවක් යන තුරුම ‘ධර්ම යුද්ධය’ කෙරීගෙන ගියේය.
එතකොටවත් මට වචනයක්වත් කතා කරන්නට හිතුණේ නැත.
ඒ ශ්‍රද්ධාව ගැන මට හිනා නැඟුණා මිස තරහක් හිතට ආවේම නැත.

බුදු දහම ආරක්ෂා වෙන්නේ සංඝ පරම්පරාවක් පවතිනවා නම් පමණි. එහෙම වෙන්නට පන්සල් තිබෙන්නට ඕනෑය. පන්සල් රැකෙන්නේ අර වාගේ සැදැහැතියන් නිසාය.

මා වැනි නසරානියන්ගෙන් පන්සලකට වෙන සෙතක් නැත.

‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ’ හරිම කලාතුරකින් අපට සර්ධාවක් ඉපදිලා පිනක් කරගන්නට හැදුවත් ඒක ඉවර වෙන්නෙත් අවුලකිනි.
එක්ගල්ඔය පන්සලේදී ලක්ෂ ගණනක පිනක් කරන්නට ගිහින් වුණේ ඒ සන්තෑසියයි.

වාසනාවට දියවින්නේදී එහෙම දෙයක් වුණේ නැත.
හැබැයි, ඒ දෙපොලේමත්.. අපේ පන්සලෙත් නායකකම් ඉසිලුවේ උගත් හිමිවරුන්ය.

උගතුන් වෙනවාත් එක්කම; වියතුන් වෙනවාත් එක්කම ප්‍රායෝගික බුද්ධිය මකබෑවී යනවාද?
දියවින්න පන්සලේ ශබ්ද පූජාව … (foto- මිෂාන් රන්දික)
අපේ ලොකු හාමුදුරුවන් ඒ කාරණයේදී නම් greatය.
විරෝධතාව නැඟෙන්නට ඉඩදී බලාගෙන හිටි සේක. සිනා මුහුණින් යුතුව ඉවසාගෙන අසා සිටි සේක.
උපාසක- උපාසිකා පිරිසගේ ආවේගයන් අඩුවී…. ධර්ම සංවේගය හීනවී යනතුරු බලා සිටීමෙන් පසුවය එතුමෝ මුව විවර කළේ………
%d bloggers like this: