Menu Close

සෙලවෙන අංශු


අද ලියන්නේ මොනවද කියලා හිතමින් ඉන්නකොට විශේෂ මාතෘකාවක් මතකෙට ආවේ නැහැ. බාගෙට ලියලා නතර කරපුවා, මිතුරන් ලියන්නෙයි කියලා කිව්ව දේවල් තිබුනත් ඒවා ලියන්න මූඩ් එකක් මේ වෙලාවේ නැහැ. මම මේ කියන දේ ලියන අය දන්නවා ඇති. ඒ නිසා මම හිතුවා මගේ මතකෙට එන එදිනෙදා අපි අත්දකින ස්වාභාවික සන්සිද්ධි කිහිපයක් වෙන්නේ කොහොමද කියලා තේරෙන භාසාවෙන් කියන්න.

අපි අවට තියෙන හැමදෙයක්ම හැදිලා තියෙන්නේ ‘පරමාණු’ වලින්. පරමාණු, වචනේ බරපතලයි වගේ ද? එහෙනන් අපි පරමාණු වෙනුවට භාවිතා කරමු ‘කුඩා අංශු’ කියන වචනය. මේක කොච්චර කුඩාද කියනවනම් අපේ ඇහැකට පේන්නේ නැහැ. ලොකු කරලා බලන කණ්ණාඩියකින් බැලුවත් පේන්නේ නැහැ. ඉස්කෝලේ කාලේ දැකලා ඇති පොඩි එව්වා ලොකු කරලා බලන ‘ආලෝක අන්වීක්ෂය’. ඒකෙන් පේන්නෙත් නැහැ. ඒ තරමට පොඩියි.

මේ කුඩා අංශු එහාට මෙහාට පැද්දෙන්න ගන්නවා කියන්නේ එතන පොඩි ‘රස්නයක්’ ඇති වෙනවා කියන එක. වේගයෙන් සෙලවෙන්න ගන්නවා කියන්නේ රස්නය වැඩියි. සෙලවීම අඩු වෙනවා කියන්නේ රස්නය අඩු වෙනවා. පන්තියක ළමයෙක් විකාර වැඩක් කරනකොට අල්ලපු ළමයටත් ඒක බලාන ඉන්න බැහැනේ. එයත් ඒකට එකතු වෙනවා. ඔය වගේ තමයි අර අංශු සෙලවෙනකොට එයා තව කිට්ටු අංශුවක හැප්පෙනවා. එතකොට ඒ අංශුවත් ඕං දැන් සෙලවෙන්න ගන්නවා. ඔහොම ඔහොම සෙලවෙන අංශු ගාන වැඩිවෙනවා. මේකට තමා රස්නය පැතිරෙනවා කියන්නේ.

අංශු සෙලවෙනකොට රත් වෙනවා වගේම රත් වෙනකොට අංශු සෙලවෙනවා කියලත් කෙනෙක්ට ගන්න පුලුවන්. අපි යකඩයක් අරගෙන එක කෙරවලක් අතින් අල්ලගෙන අනිත් කෙරවල ටිකක් රත් කරමු. ටික වෙලාවකට පස්සේ යකඩයේ අල්ලන් ඉන්න කොටස රත් වෙනවා දැනෙනවා නේද? ඒ අර කිව්ව අංශු ගැස්සි ගැස්සී ඇවිල්ලා ඔයාගෙ අත ගාව යකඩ කොටසේ අංශු ටිකත් සොලවපු නිසා. ඔයාගේ අත ගාව යකඩේ අංශු සෙලවෙන්න ගත්තම යකඩේ බිම දාන්න, නැත්තන් අත පිච්චෙයි.

දැන් ඔයාගේ අතට දෙනවා මිටියක්. ඔයා මේ මිටියෙන් යකඩෙකට තලන්න ඕනේ. එතන දී අපි යකඩෙන් තලනකොට යකඩෙයි මිටියයි අතර වායු කොටසේ අංශු සෙලවෙන්න ගන්නවා. සෙලවෙනකොට මොකද වෙන්නේ? එතන රත් වෙනවා. මිටියකින් යකඩෙකට කිහිප වතාවක් ගහලා එතන ලාවට අල්ලලා බලන්නකෝ. රස්නේ දැනෙනනවනේ.

රස්නේ දෙයක රස්නය අඩු කරනවා ඒ කිව්වේ කූල් කරනවා කියල හිතමු. එතකොට අර සෙලවෙන අංශු වල වේගය අඩු වෙලා සෙලවෙන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. මේක තමා ‘ඝන’ අවස්ථාව කියන්නේ. ඒ අයිස්. ඔන්න ආයෙම රත් කරන්න ගත්තම මේ අංශු සෙලවෙන්න ගන්නවා. එතකොට ඒ තියෙන්නේ ‘ද්‍රව’. ඒ ජලය. දැන් ඕකත් ආයෙම රත් කරන්න ගන්නවා. එතකොට අර අංශු කලින්ට වඩා සෑහෙන්න වේගයෙන් යන්නේ. ඒ නිසා එක අංශුවකට තව අංශුවක් අල්ලගන්නවත් බැහැ. පුදුම වේගයක්. මේකට අපි කියනවා ‘වායු’ කියලා. ඒ ජල වාෂ්ප.

ඔය අංශු ගැන කතා කරනකොට මට ෆුට් සයිකලේ මතක් වෙනවා. පොඩි කාලේ කිව්වේ පුස්සයිකලේ කියලා. දැන් ඕකේ රෝදෙක හුලං බැස්සා කියලා හිතමු. අපිත් ඉතින් තුනටියෙන් නැවි නැවී පොම්පෙන් හුලං ගහනවා. එතකොට රෝදය පිම්බෙනවා. පොම්පය උඩ පල්ලෙහා යවනකොට පොම්පය රත් වෙනවා අත්දකින්න පුලුවන්. ඒත් ඇයි එහෙම වෙන්නේ?

අර පොම්පයේ උඩ පල්ලෙහා යන කොටස උඩ තියෙන කොට ඇතුලේ තියෙන වායු අංශු ඇවිල්ලා ඒකේ වදින්න ගන්නවා. වැදිලා ආපහු පල්ලෙහාට විසි වෙනවා. ටිකෙන් ටික පොම්පය පල්ලෙහාට තද කරනකොට අර අංශු ආයෙත් වදිනවා. හැබැයි දැන් ටිකෙන් ටික වේගය වැඩි වෙනවා. මොකද අංශු වලට එහාට මෙහාට යන්න තරම් ඉඩකඩ දැන් අඩුයි. අංශු වල වේගය වැඩි වෙනවා කියන්නේ රස්නය වැඩි වෙනවා. ඒකයි පොම්පය රත් වෙන්නේ. දැන් අපි ආයෙමත් පොම්පය උඩට අදිනවා. එතකොට අර අංශු වල වේගය අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ වායුව සීතල වෙනවා. වායුවක් පැතිරී යනකොට සීතල වෙනවා කියල විද්‍යාවේ දී කියන්නේ ඒ නිසා.

සෙලවෙන අංශු ගැන කතා තව ගොඩක් තියෙනවා. ඒවා පසුවට.



%d bloggers like this: