Menu Close

ස්වාමිත්වය ගැන

60617827_2297010070542292_4132649108810760192_n

පශ්චාත්ව්‍යුහවාදී සම්ප්‍රදායේ ආධිපත්‍යය තිබෙනා සමයේ ‘ස්වාමිත්වය’ පිළිබඳව අදහස සලකනු ලැබුවේ ප්‍රතික්ෂේප කළ යුතු දුෂ්ඨත්වයක්‌ ලෙසයි. නිදර්ශනයක් ලෙස ලැකේනියානු න්‍යායේ එන ස්වාමියාගේ කතිකාව පිළිබඳව අදහසට අනුව ස්වාමිත්වය යනු සෑම විටම කිසිදා පරිපූර්ණ ලෙස නියෝජනය කළ නොහැකි දෙබෙදුනු ආත්මය හැඟවුම්කාරකයක් මගින් නියෝජනය කිරීමකි – එනිසාම එය සෑම විටම අවසන් වන්නේ එම අර්ථ ජනනය තුළට මුළුමනින් ඇතුලත් කරගත නොහැකි අතිරික්ත විනෝදයක ආකෘතියක් නිෂ්පාදනය කරමිනි. තවත් නිදර්ශනයක් ලෙස ඩෙරීඩා විසින් සිය ගුරුවරයා වූ ෆූකෝ ට එරෙහිව සිය ප්‍රකට විවේචනය ආරම්භ කළ ආකාරය සිහිපත් කළ හැකිය. ඩෙරීඩා පෙන්වා දෙන ලෙස ‘ස්වාමියා’ යනුවෙන් සැබැවින්ම කෙනෙක් පවතින්නේ අපේ මානසික ලෝකයේ පමණි. එය සම කළ හැක්කේ ‘සැබෑ ජීවිතය’ යනුවෙන් අප විශ්වාස කරන ‘දෙය’ සමගිනි. ජීවිතය යනු අසම්පූර්ණ, අර්ථ විරහිත, අහම්බයක් වන්නේ යම් සේද ස්වාමියා යනුද අසම්පූර්ණ, අර්ථ විරහිත, අහම්බයක් ලෙස අප හඳුනා ගත යුතුය.

මෙම සම්ප්‍රදායට එරෙහිව යමින් බදියු යෝජනා කරන මූලික කරුණක් වන්නේ අපට අද දවසේ වඩ වඩා ස්වාමිවරුන් අවශ්‍ය වන බවයි. මේ සඳහා බදියු ගේ තර්කය, සාරාංශ වශයෙන්, මෙලෙස ගොණු කළ හැකිය. දර්ශනය සඳහා ස්වාමිවරුන් අවශ්‍ය බව ඉතාමත් පැහැදිළි වේ. මෙය ඉතා ඈත කාලයේදී සිට හඳුනාගෙන ඇති කරුණකි. දර්ශනය යනු ‘උගන්වන අයගේ වැඩක්’ බවට පත් වූයේ නූතන විශ්ව විද්‍යාල ඇති වීමෙන් පසුව නොව එයට වසර දහස් ගණනකට පෙර දර්ශනයේ ආරම්භයේ සිටමයි. අප දන්නා පරිදි සොක්‍රටීස් ගේ උරුමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ප්ලේටෝ විසින් සිදු කළේ ‘ඇකඩමියාව’ ගොඩ නැගීමයි. ප්ලේටෝ ගේ සිට කොන්ටෙන් මෙයසූ දක්වා දාර්ශනිකයන් විසින් සිය දෛනික ජීවන භාවිතය ලෙස සිදු කරන්නේ ඉගැන්වීමයි. දර්ශනය සහ ඉගැන්වීම අතර මේ සම්බන්ධය තීරණාත්මක වන බව වටහා ගැනීම අපහසු නැත.

අනෙක් අතට, බදියු පෙන්වා දෙන ලෙස, මේ යුගයේ අපට ඉතාම හොඳින් පැහැදිළි වන දෙයක් තිබෙනවානම් ඒ අපට දර්ශනය අවශ්‍ය බවයි. මෙයට සරල හේතුව වන්නේ අප අද දවසේ මුහුණ දෙන්නේ ‘වාස්තවික අර්බුධයකට’ (ධනවාදයේ අර්බුධය, දක්ෂිණාංශික ජාතිවාදයේ වර්ධනය ආදී ලෙස) පමණක් නොව මේ හා බැඳුනු ‘ආත්මීය අර්බුධයකටද’ වීමයි. තවදුරටත් අපේ ජීවිතයේ පුද්ගලික මෙන්ම සාමූහික අවසානය කුමක්ද කියා අප නිශ්චිත වශයෙන් හඳුනා ගන්නේ නැත. නිදර්ශනයක් ලෙස අප මිය ගිය පසු යළි උපදිනවාද, එසේත් නැතිනම් පරිපූර්ණ ලෙස පැවැත්ම අහිමිව යනවාද ආදිය සම්බන්ධයෙන් නිශ්චිත ස්ථාවරයක අද දවසේ ඉන්නේ කවුද? අපේ සාමූහික අනාගතය කුමක්ද කියා නිරවුල් අදහසක් තිබෙන්නේ කී දෙනෙක්ටද? පුද්ගලිකවත්, සාමූහිකවත් අප සිදු කරන්නේ මුදල් උපයා කා බී සතුටින් සිටීමට පමණි. වෙනත් ආකාරයකට කියන්නේනම් ජීවිතයේ තිබෙන්නේ පරිභෝජනවාදය සහ සංවර්ධන දෘෂ්ඨිවාදය පමණි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට දර්ශනය අවශ්‍ය බව පැහැදිළි වෙයි. අද දවසේ ධනාත්මක චින්තනය, ජීවිතය සාර්ථක කර ගන්න මග පෙන්වීම්, ෆෙන්ෂුයි, ඕෂෝ, සද්ගුරු ආදී දේ බොහෝ ජනප්‍රිය වන්නේ මෙම අවශ්‍යතාවය නිසාය. නමුත් අවසානයේදී මේ සියල්ල දර්ශනය සඳහා අසාර්ථක ආදේශක පමණක් බව පැහැදිළි වෙයි. ගැටලුව වන්නේ ඒවා එවැනි අසාර්ථක ආදේශක බව පැහැදිළි කර දිය යුත්තේ කෙසේද යන්නයි. ඒවා අසාර්ථක බව එක්වරම බොහෝ දෙනෙක්ට වැටහෙන්නේ නැත. අවසානයේදී මේ සඳහා තිබෙන්නේ අධ්‍යාපනය සහ දර්ශනය අතර ස්වාමිත්වයේ බන්ධනය මත ගොඩ නැගෙන ඓතිහාසික සම්බන්ධය පමණි. ස්වාමීවරුන් ගේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් බදියු මතු කරන තර්කය, සංක්ෂිප්ත ලෙස, මෙයයි. මෙමගින් අදහස් කරන්නේ ස්වාමීවරුන් යනු පරිපූර්ණ මිනිසුන් ලෙස ඇදහිය යුතු බව නොවේ. එම අර්ථයෙන් මේ පිළිබඳව පැරණි පරම්පරාවේ විවේචනය තවමත් වලංගු වෙයි. නමුත් එම නිසා අප තවදුරටත් ස්වාමිත්වයේ භූමිකාවන් වල වගකීම ගන්නට බිය විය යුතු නැත. අපට අද දවසේ අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් ස්වාමිවරු ඇති කරනා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි.

 

වංගීස සුමනසේකර

%d bloggers like this: