Menu Close

රුසියාවේ අධිධ්වනි ගුවන් බලය

RUSSIAS-HYPERSONIC-AIR-POWER

රුසියාව සිය ගුවන් හමුදාව කින්සාල් අධිධ්වනි මිසයිලවලින් සන්නද්ධ කිරීම සක්‍රීයව සිදු කරගෙන යමින් ඇත.

රුසියානු භාෂාවෙන් ‘කිරිච්චිය’ හෙවත් Kh-47M2 කින්සාල් මිසයිලය නවතම උපායමාර්ගික අවි හයෙන් එකක් වශයෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් විසින් ලෝකයට හෙළිදරවු කරන්නේ 2018 මාර්තු පළමුවනිදාය.ගුවනේ සිට නිකුත් කරන මෙම අධිධ්වනික මිසයිලයට සාම්ප්‍රදායික මෙන්ම න්‍යෂ්ඨික අවි ශීර්ෂද රැගෙන යා හැකිය.වාර්තා වන පරිදි කින්සාල් මිසයිලයේ මෙහෙයුම් පරාසය කිලෝමීටර් 2,000 දක්වා වේ.මිසයිලයට මාච් 10කට (ශබ්දයේ වේගය මෙන් 10 ගුණයක්) වැඩි වේගයක් ලගා කර ගත හැකි අතර අවශ්‍ය ගමන් පථයේ ඕනෑම අවධියකදී ගමන් කරන දිශාව වෙනස් කිරීමට පුලුවනි.

කින්සාල් මිසයිලයේ පළමු අධියරය 9K720 ඉස්කන්ඩර් බැලස්ටික් මිසයිලයට සමානකම් පෙන්වයි.එහි මාර්ගෝපදේශන පද්ධතිය මිසයිලය වෙනුවෙන්ම නිර්මාණය කල එකකි.නිශ්චල මෙන්ම ගුවන් යානා ප්‍රවාහන නෞකා ආදී චලනය වන ඉලක්ක වෙත පහරදීමටත් ඊට හැකියාව තිබේ.දියත් කිරීමෙන් තත්ත්පර කිහිපයක් ඇතුලත මාච් 5 වේගය ඉක්මවා යමින් අධිධ්වනි වේගය අත්පත් කර ගනියි.

කින්සාල් අධිධ්වනි මිසයිලයක් දියත් කරන අයුරු

රුසියාව පවසන පරිදි කින්සාල් මිසයිලය මෙන්ම අනාවරණය කල අනෙකුත් අධිධ්වනි අවිවලට ලොව ඕනෑම මිසයිල ආරක්ෂක පද්ධතියක් පැරදවීමේ හැකියාව සතුය.අලුත් අධිධ්වනි අවි හඳුන්වාදීමට හේතු වූයේ එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානය උපාය මාර්ගික සංතුලනය අනතුරේ හෙළීමට පලිගැනීමක් වශයෙන් යැ‍යි රුසියාව විස්තර කරයි.

කින්සාල් මිසයිලවලින් සමන්විත පළමු මෙහෙයුම් ඒකක 2017 දෙසැම්බර් මාසයේදී රුසියාවේ දකුණු හමුදා දිස්ත්‍රික්කයේ පිහිටුවනු ලැබේ.2019 පෙබරවාරි මාසය වෙද්දී කින්සාල් මිසයිලවලින් සන්නද්ධ මිග්-31කේ ෆයිටර් ජෙට් යානා සිදු කල පුහුණු පියාසැරි සහ මුර සංචාර ගණන 380කට වැඩි ‍යැයි සඳහන් වේ.ඒවායි 70ක්ම සිදු කලේ ගුවනේ දී නැවත ඉන්ධන ලබා ගනිමින්ය.

කින්සාල් අධිධ්වනි මිසයිලයක් මිග්-31කේ ජෙට් යානයක රදවා ඇති ආකාරය

මිග්-31කේ ජෙට් යානයකට ගෙන යා හැක්කේ එක් කින්සාල් මිසයිලයක් පමණි

කින්සාල් මිසයිලයක් රැගෙන පියාසර කරන මිග්-31කේ ජෙට් යානයක්

මිග්-31කේ යානයකින් කින්සාල් මිසයිලයක් දියත් කරන අවස්ථාවක්

කින්සාල් අධිධ්වනි මිසයිලයේ මුල් අධියරයේ අවස්ථාවක්

කින්සාල් අධිධ්වනි මිසයිලය පළමුවරට ප්‍රදර්ශනය කරන්නේ 2019 අගෝස්තු මාසයේ පැවැත් වූ ඇවියඩාර්ට්ස් ජාත්‍යන්තර තරඟාවලියේදීය.මෙම මිසයිලය 2019 නොවැම්බර් මාසයේදී ආක්ටික් කලාපයේ සාර්ථකව දියත් කරනු ලැබේ.

මේවන විට,කින්සාල් මිසයිල වලින් සන්නද්ධ මිග්-31කේ ජෙට් යානා නිරන්තරයෙන් කළු මුහුදට සහ කැස්පියන් මුහුදට ඉහළ අහසේ මුර සංචාරක ගුවන් ගමන් සිදු කරති.අස්ට්‍රකාන් පළාතේ අක්ටුබින්ස්ක් ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර තිබෙන කින්සාල් මිසයිලවලින් සන්නද්ධ මිග්-31කේ ජෙට් යානා ගණන අවම වශයෙන් 10ක් වත් වන බව සඳහන් වේ.මිග්-31බී මාදිලියේ යානා භාවිතා කරන කන්ස්ක් ගුවන් හමුදා කඳවුරේ 712 වන ආරක්ෂක ප්‍රහාරක ගුවන් රෙජිමේන්තුව කින්සාල් මිසයිලවලින් සමන්විත මිග්-31කේ ජෙට් යානාවලින් සන්නද්ධ කිරීමේ කටයුතු දැන් සිදු කෙරෙමින් පවතියි.

2020 අප්‍රේල්/මැයි කාලයේදී රුසියාව කින්සාල් මිසයිලය ටුපලෙව්-22M3M දිගු දුර බෝම්බ හෙළන යානයක් සඳහා සාර්ථකව අත්හදා බැලූ බවට වාර්තා පළවිය.ටුපලෙව් සමාගම පවසන පරිදි ඒ හරහා මිසයිල ප්‍රවාහකයාගේ සංග්‍රාමික හැකියාවන් පුළුල් වී තිබේ.රුසියානු ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානී වික්ටර් බොන්ඩරෙව් වරෙක සඳහන් කලේ එක්ස්-32 කෲස් මිසයිලවලට අමතරව ටුපලෙව්-22M3M යානයට අධිධ්වනි මිසයිලද රැගෙන යාමට හැකි වේ යැ‍යි කියාය.ඒ අනුව එම යානය කෲස් මිසයිලවලින් මෙන්ම අධිධ්වනි මිසයිලවලින්ද සන්නද්ධ වනු ඇත.

ටුපලෙව්-22M3M දිගු දුර බෝම්බ හෙළන යානයක්

රුසියානු හමුදාවේ සේවයට එක් වෙමින් තිබෙන පස්වන පරම්පරාවේ සුකොයි-57 ෆයිටර් ජෙට් යානයටද කින්සාල් මිසයිල රැගෙන යාමට හැකි වෙතැයි වාර්තා පළවේ.

කරුණු එසේ වෙද්දී,තමන්ගේම අධිධ්වනි අවි නිර්මාණය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි වෑයමක් ගනිමින් සිටියි.තම රට චීනය සහ රුසියාව සතු මිසයිලවලට වඩා 17 ගුණයක් වේගවත් නවතම “සුපර්-ඩුපර් මිසයිලයක්” නිර්මාණය කිරීමෙහි නිරතව සිටින බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැයි 15දා නිවේදනය කලේය.කෙසේවෙතත්,එවැනි අවියක් සේවයේ යොදවන්නට එක්සත් ජනපදයට හැකිවන්නේ කවදාද යන්න තවමත් අපැහැදිලිය.වර්තමාන තත්ත්වයන් හමුවේ අධිධ්වනි අවිවලින් සිය ගුවන් හමුදාව නවීකරණය කරමින් ගෝලීයව පෙරමුණ ගෙන සිටින්නේ රුසියාව බව පෙනෙන්නට තිබේ.

යූටියුබ් වීඩියෝව නරඹන්න මෙතනින් පිවිසෙන්න >>>  රුසියාවේ අධිධ්වනි ගුවන් බලය

source:southfront.org

%d bloggers like this: