Menu Close

මහ සයුරේ අඩි 25,000ක් යට කිමිදෙන යෝධ බූවල්ලෙක් හමුවේ!

මේ යෝධ බුවල්ලා හමුවී ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවාහී පර්යේෂණයක නිරතව සිටින ලෝක විද්‍යාඥයන් කණ්ඩායමකටයි. එසේ හමු වී ඇත්තේ මෙතෙක් යෝධ ඩම්බෝ බූවල්ලකු නොගිය තරම් ගැඹුරු සාගරයේදියි. මුහුද ඇති අධික පීඩනය නිසා මිනිසාට ඒ තරම් දුරක් කිමිදෙන්න බැහැ. මේ දර්ශන පටිගත කර ඇත්තේ සාගර පත්ලට හෙමින් සීරුවේ කිමිදෙන ගමන් අවට ඇති සියල්ල කැමරාවට නැගිය හැකි විශේෂ කුමුදුවක් මගිනුයි.

යෝධ ඩම්බෝ බූවල්ලාට ඒ නම ලැබුණේ උගේ හිස දෙපස ඇති අලි කන් සමාන වරල් දෙක නිසයි. මේ බුවල්ලා අයත් වන්නෙත් අනිත් බූවල්ලන් අයත් වන ග්‍රිම්බොටේයුදිස් ගණයටමයි. ඇතැම් විට මේ බූවල්ලන්ගේ අඬු වටා කුඩයක ආකාරයට විහිදෙන බද්ධ සම නිසා ඔවුන්ට ඡත්‍ර බූවල්ලන් ලෙසත් හඳුන්වනවා.

ලෝකයේ මහා සාගර පහේ වඩාත් ගැඹුරු ම තැන්වලට කිමිදෙමින් ඒ මට්ටමේ වෙසෙන සතුන් ගැන නිරීක්ෂණ කිරීමේ ‘පංච අගාධ ගවේෂණය’ නම් පර්යේෂණ ව්‍යාපෘතියක කොටසක් ලෙසයි ජාවා පර්යේෂක කණ්ඩායම ක්‍රියා කළේ. ජාවා දූපතේ වෙරළෙන් පිටත් වූ ජාවා අගාධ කණ්ඩායම ඔවුන්ගේ විශේෂ රොබෝ කුමුදුව එම අගාධ පත්ලට යැව්වා.

ඒ ගමනේ දී තමයි යෝධ ඩම්බෝ බූවල්ලාගේ මේ ලෝක වාර්තා ගත පිහිනුම වාර්තා කිරීමට හැකි වුණේ. ඔවුන් ඒ ගමනේ දී යෝධ ඩම්බෝ බූවල්ලන් දෙදෙනකු‍ නිරීක්ෂණය කළා. මුල් ම යෝධ ඩම්බෝ බූවල්ලා හමුවුණේ අඩි 19,000ක් ගැඹුරේ පිහිනමින් සිටියදියි. ජාවා අගාධයට හෙමින් හෙමින් බසින ගමන් දිය යට වීඩියෝ කැමරාවෙන් එවන් දර්ශන ඉහළ සිට නැරඹුවා. ඔවුන් එයින් විස්මයට පත් වුණා. යෝධ බූවල්ලෙකු මුහුද යට යනු දුටු වැඩි ම ගැඹුර ඒක තමයි.

මීට කලින් යෝධ ඩම්බෝ බූවල්ලකු ගිය වැඩිම ගැඹුර ලෙස වාර්තා වුණේ බාබෙඩෝස් ගැඹුරු මුහුදේ මුහුදු මට්ටමේ සිට අඩි 16,500ක් යටදියි. ඒ 1950දියි.

වැඩිවෙලාවක් ගියේ නෑ ඔවුන් වඩාත් විස්මයට පත් වුණේ අඩි 23,000දියි. ඒත් යෝධ ඩම්බෝ බූවල්ලෙක්. ඒ තමා බූවල්ලකු මුහුදේ යටට ගිය මෙතෙක් වාර්තා ගත වැඩි ම දුර. ඒ ගැන සඳහන් කරමින් ඒ ව්‍යාපෘතිය භාර ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ඇලන් ජේමීසන් කියන්නේ මෙහෙම දෙයක්. ‘මේ අනුව පෙනීයන්නේ බූවල්ලන් වැනි සතුන්ගේ පරිසරයට අනුගත වීමේ හැකියාවයි. ඔවුන්ට සාගර ජලයේ කොපමණ පීඩන වෙනස්කම් තිබුණත් ඒ සියල්ලට අනුව හැඩ ගැසෙමින් මුහුදේ ජල වපසරිය තුළ සියයට 99ක් ම තම ජීවන වටාපිටාව කර ගත හැකි බවයි.’

විද්‍යාඥ ජේමීසන් පැහැදිලි කරන ආකාරයට අනුව බූවල්ලාගේ පරිසරයට අනුගත වීමේ හැකියාව ලබා ගෙන ඇත්තේ ඌ සතු සෛලවල ඇති සුවිශේෂී හැකියාව නිසයි. ‘ඔබ හිතන්න, සෛලයක් කියන්නේ බැලූනයක් වගේ දෙයක් වගේ කියලා. ඒත් ඒක පීඩනයකදී පුපුරා යන්නට ඉඩ තියෙනවා. එත් පුපුරා යාමට ඉඩ නොදී පවත්වා ගෙන යාමට හැකි ජෛවරසායනික ක්‍රියාවලියක් බූවල්ලා තුළ තියෙනවා. සාගරයේ යට දී මුහුණ දීමට සිදු වන පීඩනයට හැඩ ගැසීම සිදු වන්නේ සෛල ක්‍රියාකාරිත්වයේ සුවිශේෂී තත්වයක් නිසයි.’ ඔහු තවදුරටත් පහදා දෙනවා.

මේ වගේ තවත් ව්‍යාපෘති හතරක් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා. ඒවා නම් පුවර්ටෝ රිකෝ අගාධය, මරියානා අගාධය, දකුණු සෑන්ඩ්විච් අගාධය, අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් විපත සිදු වූ මුහුදු පත්ල ද මීට අයත් වෙනවා. මේ වගේ නව සොයා ගැනීම් ඒවායෙනුත් වාර්තාවුනොත් ‘මල් කැකුළු’ ඔස්සේ ඒවා ද සමීප කරවීමට අප බලාපොරොත්තු වෙනවා.

 
%d bloggers like this: