Menu Close

03. සඳක් සේ ( දෙවෙනි දිග හැරුම)

අවසන් වරටත් කණ්නාඩිය ඉදිරිපස වරක් හැරී බැලූ සඳමිණි ගෙතූ කොණ්ඩය වම් උරහිසෙන් ඉදිරියට දමා ගත්තාය.. හෑන්ඩ් බෑගය කරට දමා ගත් පසු කාමරයේ දොර සහ ඉන් පසු ඇනෙක්සියේ පිට දොර වැසීම අනිච්ඡානුගව සිදුවෙයි…
.
සතියකින් පමණ දිවා කෑම පිළියෙල නොකල නිසා ශීතකරණය හිස්ව ඇත   .
.
අද එද්දි එලවලු  චුට්ටක් අරන් එන්න ඕන…. හිතින් හිතාගනිමින් ඇය මිදුල ඔස්සේ පියමැන්නාය…පෙරදා වැස්සේ සුන්බුන් මිදුල පුරාමය…අතුගෑම කල යුත්තේ හොඳින්ම වේලුණ පසුවය…පොළවට ඇලී ගත් කොළ අතර ඇහැල මල් ද විසිරී ඇත….උදාසන සුලඟට මුසු වන ඇහැලැ මල් සුවඳ හැමෝටම නොදැනෙන්නේ මන්දැයි සඳමිණි ට සිතාගන්නට හැකිවූයේත් නැත  ..ඉස්සර පාසල් යනවිට ඇහල මල් සුවඳයි කී විට කෙල්ලන් සිනාවූ හැටිත් මතකයට එයි…..
.
බස් නැවතුමේ සෙනග එතරම්ම නැත…තරමක් උදෑසනින් මාවතට ඒම නිසා තදබදයෙන් තොරව කාර්‍යාලයට යාමේ හැකියාව සැලසේ….තව පැය බාගයක් යනවිට ඊස්මීස් නැතිවෙන අන්දමට බස් නැවතුම පිරීයයි…..එතනින් එහාට බසයට නැගීමම යුද්ධයකි….බහින විට සාරිය අතට ගෙන බහින්නට සිදුවෙන තරම්‍ ය ….
.
බසයේ අසුනකට බරවෙමින් ජීවිතය ගැන යළි යළිත් ආවර්ජනයට සඳමිණි ගේ සිත දිවයන්නට විය… සුධීරගේ ආගමනය සහ වෙන්වීම අතර ගතවූ අවුරුදු පහ…. කිසිත් පලක් නැති කාලයක් ම විය…. ජීවිතයේ තමාට හෝ රටට කිසිත් පලක් නැති ව ගතවූ වටිනා ම අවුරුදු පහ ගැන සිත විස්සෝප වන්නට පටන් ගෙනය….
.
“ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ගාව බහින්නෝ…..”
එජීඔප්පීස්…ඒජීඔප්පීස්….
.කොන්දොස්තර කොලුවාගේ බෑඟිරි හඬ සමග දෙපා පුරුදු ලෙසම ඉදිරි දොරවෙත ඇදේ  …..
.
ආ මිසී….. කටකමිස්සිරියාවක් නැති කොන්දොස්තර කොලුවා කෑගසන්නේ පුරුදු ලෙන්ගතු කමටය….
.
සඳමිණි සිනහවකින් පිළිතුරු දෙමින් බසයෙන් බැසගත්තාය …පාරේ දුම් වලාවක් නගමින් බසය ඇදීගොසිනි….
.
” අහ් මැණිකෙ….ආවද උඹ…?” බියංකා සිනා අහුරක් ගෙන ඉදිරියට එන්නීය ..පුරුදු සොහොයුරු ලෙන්ගතු කම …කිසිම විට අවුරුදු ගණනටම නොවෙනස් වූ දයාව හිත සැහැල්ලුවකින් පුරවාලයි ..
.
“යමං යමං …බඩගිනී….මං උඹට එක්ක කන්න ගෙනාව අදත්  .. හැබැයි රජෝ හෙට ඉඳන් උඹෙ ටර්න් එක…. “
.
බියංකා කෑම පාර්සලයද අතට ගෙන ඉස්සර වූවාය…..
සඳමිණි බෑගයද කුඩයද මේස ලාච්චුවට දමා යතුරු ලා බියංකා සමගින් එක්වූවාය ….
..
” ආ …නඩුව ඉවරලු නේද සඳමිණි….” ආයතන අංශයේ පෙරේරා මිස්….පලමු බත් කට උගුරෙන් පහළට යන්නට පෙරම මේසය වෙත විත් මහ හඬින් ඇසුවාය….හත් අට දෙනෙක්ගේ ඇස් නිතැතින් ම සඳමිණි දෙසට එල්ලවිය  ..ඇය සිනහවක් පමණක් හෙලා බත්පතට මුහුණ හැරවූවාය….
.
“ගෑණියෙක්ට ඉතින් දික්කසාද උනා කියන්නෙ ….ඉස්සරහට බොහොම අමාරු කාලයක්…වෙනව…හ්ම්..”
.
අඬන්න සිටින්නාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් වෙන්නට යන බව දැන් ඉතින් පැහැදිළිය  …
.
” අමාරුවක් කාලයක් ආවොත් මම මිසිස් පෙරේරට කියන්නම්කො…දැනට මොකුත් ගැටලුවක් නෑ….අනේ ස්තුතියි මිසිස් පෙරේරා ..” කටට කොහෙන් වචන ආවාදැයි සඳමිණිම නොදත්තාය….බියංකා හිචිස් ගා අහක බලාගත්තීය.. මිසිස් පෙරේරා ආ වේගයට වඩා වේගයකින් ගස්සාගෙන යනු සඳමිණිගේ නෙත් කොණට හසුවිය..
.
සිහින් සිනාවකට යටින් දැවිල්ලක් සේ මතුවන ලැජ්ජාවක සේයාවක් ඇයට දැනෙන්නට පටන් ගත්තේ එවිටය….

%d bloggers like this: