Menu Close

රාවණා නොසිටි රාවණාගොඩ, ඩොයිලිට ඔත්තු සපයා ගම්වර ලත් නියඳවත්තේ සට්ටම්ඹි සහ එදා කොත්මලේ රට

කොත්මලේ රට
නැගෙනහිරෙන් හේවාහැට රටින් දකුණින් ඌව දිසාවෙන්, බටහිරෙන් උඩ බුලත්ගමින් (Link 1 >>,  Link 2 >> )  සහ උතුරින් උඩපලාතින් (Link 3 >>, Link 4 >>) සීමා වූ කොත්මලේ රට පැරණි සිංහලේ පලාත් වලට අයත් ප්‍රදේශ බෙදීමකි. මහනුවර යුගයේ සිට බ්‍රිතාන්‍යයන් කෝපි සහ තේ වගා ආරම්භ කල යුගය වනතෙක්ම කොත්මලේ  රටට අයත් භූමියෙන් විශාල ප්‍රදේශයක් කඳුකර වනාන්තර වලින් වැසී පැවතිණි. මේ සමග පෙන්වා ඇති සිතියමින්ද පැහැදිලි වන ලෙසට පැරණි සිංහල ජනාවාස පැවතියේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලේ ඔය සහ එම කොත්මලේ ඔයේ අතු ගංගා වන පැන්න ඔය, පූඩලු ඔය හෙවත් පුන්ඩළු ඔය, රම්බොඩ ඔය නිම්න වලට අයත් පහත් බිම් අවට පමණි. අද මේ ප්‍රදේශ සහ ඒවායේ තිබූ ගම් වැඩි ප්‍රමාණයක් විශේෂයෙන් වී වගා කල වෙල් යායවල් අඩු වැඩි වශයෙන් කොත්මලේ ඔය ජලාශයට යටවී ඇත.

දුටුගැමුණු කුමාරයා පියා සමග විරසක වී සැඟවී සිටි ප්‍රදේශය ලෙස මේ ප්‍රදේශයේ ජනයා විශ්වාස කරන කොත්මලේ රටේ ඔහු හා සම්බන්ධ ස්ථාන, ජනප්‍රවාද ආදිය බහුලව හමුවේ. කොටගේපිටිය ගමේ විසූ ඌරුපැලැල්ලේ ගමරාලගේ දියණිය සමග දුටුගැමුණු කුමාරයා විසූ බවට මෙහි පැරණි ගැමියන් විශ්වාස කල බව ලෝරිද සඳහන් කර ඇත. රයිතලාව හෙවත් රජතලාව ලෙසින් හැඳින්වෙන වෙල් යාය එතුමා අස්වැද්දුවේලු. මේ ආදි නොයෙකුත් ජනප්‍රවාද හුදෙක් අපේ පැරැන්නඟේ නිර්මාණශීලී කතන්දර වශයෙන් විනා කිසියම් හෝ ඓතිහාසික වටිනාකමක් තිබෙන ලෙස සැලකිය නොහැක. ඇතැම්විට එම කතා වල මූලය ඓතිහාසික සංසිද්ධියකින් ප්‍රභවය වූවා විය හැකි වුවද, පසුකාලීනව ඒ වටා නොයෙකුත් අභව්‍ය සිද්ධීන් සහ එකතු කිරීම් ගොනුවී ඇති බව විචාරශීලීව විමසා බැලූ විට පෙනේ. මහනුවර රාජධානි සමයේදී මෙන්ම ඉන්පසු කලක් යන තෙක්ම රටේ මහත්මයා කෙනෙකු යටතේ පාලනය වූ කොත්මලේ රට මෑත යුගයේ ( 19 සියවසේ අවසාන භාගයට පෙර) ප්‍රධාන වශයෙන් මාස්වෙල ප්‍රදේශයේ විසූ වෙලගෙදර පරම්පරාවට අයත් පුද්ගලයන් අතර පැවතී ඇත. රම්බොඩ ඔය, පූඩළු ඔය හෙවත් පුන්ඩලු ඔය, සහ දිඹුල සහ කොත්මලේ ඔයේ ඉහල නිම්න වල පැතිර තිබූ උඩපොනේ කෝරළය සහ එම සියළු ජලධාරා එක්වී සෑදෙන කොත්මලේ ඔයේ පහල ජලධාරා ප්‍රදේශයේ වූ පල්ලෙපොනේ කෝරළය ලෙසින් කොත්මලේ රට ප්‍රධාන කෝරළ දෙකකට බෙදේ. ආරච්චි වසම් 14 ක් සහ දුරයා ප්‍රධානීන් යටතේ පාලනය වූ ප්‍රදේශ 4 ක් යටතේ මෙම කෝරළ දෙකට අයත් ප්‍රදේශයේ ගම් 43 තිබූ බව ලෝරි පවසයි. එම ගම් වල වූ බහුතර ජනයා හීන කුල ලෙස සැලකූ කුල වලට අයත් සිංහලයන් බව පැවසේ.

යතුරුගැසූ ලියැද්ද විහාරයේ ඇති දේව රූපයක් 

කොත්මලේ රටේ ඉන්පසු කාලයට අයත් ජනප්‍රවාද ගෙතී ඇති ප්‍රධාන චරිතයක් වන්නේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියයි. පෙර පරිදිම ඇතැම් සිදුවිය නොහැකි අද්භූත සිද්දීන් ඈ වටාද ගෙතී ඇති මුත් ඇය ඓතිහාසික චරිතයක් විය හැක. අද වනවිට වයිරසයක් බවට පත්වී ඇති ‘රාවණා ආගම’ අදහන්නන්ට සතුටුවිය හැකි කාරණයක් වන්නේ 19 වන සියවස අවසාන භාගය වනවිටත් රාවණා නම සහිත ගමක් කොත්මලේ රටේ තිබීම විය හැකි වුවත් මෙම ලිපිපෙල සඳහා මූලිකවම පාදක වන ලෝරිගේ ගැසටියර් වෙලුම් දෙකේ සඳහන් එවකට මධ්‍යම පළාත (Central Province) ලෙසින් හැඳින්වූ මහනුවර රාජධානියට අයත්ව තිබූ විශාල ප්‍රදේශයක විසිර තිබූ ගම් අතරින් එවන් රාවණා නම සහිත එකම ගම මෙම ගම බව සඳහන් කල යුතුය. පොළොන්නරු යුගයෙන් පසුව සිදුවූ දකුණු ඉන්දීය සංක්‍රමණ සමග මෙරටට පැමිණි ජනයා අතර වූ රාමායන,මහාභාරත ආදී ඉන්දීය වීර කාව්‍යය වල වූ ඇතැම් දේ මෙරට සමාජය තුලටද ක්‍රමයෙන් අවශෝෂණය වූ අතර පහත රට මුහුදු බඩ ප්‍රදේශ තුල මෙන්ම රට ඇතුලත සමහර ප්‍රදේශ කරාද ඔවුන් පැතිරුණ බවට සාධක පවතී. ඔවුන් අලුතින් ඇතිකල ගම් වලට ඔවුන් ඇදහූ දේවකතා වල සඳහන් චරිත වල නම් ඈදීම ස්වභාවික සංසිද්ධියක් වන බැවින් මෙම ගමේ සිටි ජනයා එවකට විශ්වාස කල පරිද්දෙන් රාවණා මෙම ගමේ කලක් පදිංචි වී සිටි ලෙසට වූ පසුකාලීනව ඇතිවන ජනප්‍රවාදය පිළිගැනීම රාවණා ආගම පතුරන තක්කඩින්ට සහ ඔවුන් අදහන ඔලමොට්ටලයන්ටම පමණක් පිළිගැනීමට හැකි දෙයක් විනා අන්යමක් නොවේ. මෙම විශ්වාස පසුකාලීනව තවත් ශක්තිමත් වීමට තේ සහ කෝපි වතු සඳහා ඉංග්‍රීසීන් විසින් දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් ගෙන ඒමද ඉවහල් විය. කොත්මලේ රට තුලම හමුවන සීතාඑළිය පැහැදිලිවම මහඑළිය, හාවාඑළිය, නුවරඑළිය වැනිම වූ පැරණි සීතඑළිය (එනම් සීතල තැනිතලා බිම) යන්නෙහි නම එම ප්‍රදේශ වලට සංක්‍රමණය වූ දකුණු ඉන්දීය කම්කරුවන් අතර ව්‍යවහාරයේදී සිදුවූ විකෘති වීමකි. මේ බව එහි වූ සීතා කෝවිල දකුණු ඉන්දීය ද්‍රවිඩ නමක් සහිත කාන්තාවක විසින් ෆොර්බ්ස් එහි යනවිට පවත්වාගෙන ගිය බව පැවසෙන පහත විස්තර වන තොරතුරු වලින්ද සනාථ වේ. එයට ඔවුන් අතර වූ රාමායන ජනකතා අනුබලයක් වූ මුත් ‘එළිය’ හෙවත් ‘තැනිතලාව’ සමග විශේෂණයක් එකතු වී සෑදුණ ඉහත අනෙකුත් තැනිතලා ප්‍රදේශ මෙන්ම සීතඑළියද මහනුවර රාජධානි සමයේ පතන් බිමක් වූ තැනිතලා ප්‍රදේශයකි. එම පතන් බිම් හරහා ඌව වැනි ප්‍රදේශ වලට යොමුවූ පැරණි වනගත මාර්ග විනා ඓතිහාසික යුගයේ ජනාවාස තිබූ බවට සාධක නොමැත. මේ පිළිබඳව තත්කාලීන තොරතුරු ජෝන් ඩේවි ඉදිරිපත් කරන අතර ඒ පිළිබඳව පෙර ලිපියකින් අප විමසා බැලුවෙමු. එම ලිපිය කියවීමට Link >>

යතුරුගැසූලියැද්ද විහාරයේ ඇති බිතුසිතුවමක් 

මීට පෙර ලිපි වලින් විස්තර වූ ප්‍රදේශ සමග සසදා බැලීමේදී පෙනෙන තවත් වැදගත් කරුණක් වන්නේ කොත්මලේ රට ප්‍රදේශයේ විවිධ කුල වලට අයත් උඩරට සිංහල ජනයාට අමතරව පහත රටින් පැමිණි පහත රට සිංහලයන්, මුස්ලිම් ජනයා මෙන්ම ද්‍රවිඩයන්ද පදිංචි වී සිටීමය (මැදකන්ද  ගම තුල කාපිරි ජනයාද සිටි බව පැවසේ). වතු වගාවට සේවා සැපයීම සඳහා පහත රට සිංහලයන් මෙන්ම ද්‍රවිඩයන්ද පැමිණි බව සිතිය හැකි අතර මුස්ලිම් වරු මහනුවර රාජධානි යුගයේ සිටම සිටි බවට විවිධ සාධක ඉදිරිපත් කල හැකිය. (ඒ පිළිබඳව ඇතැම් තොරතුරු පෙර ලිපියෙන්ද ඉදිරිපත් විය. Link >>) මෙම ගම් වල වූ දමිල ජනයා වතු වගාව සඳහා රැගෙන ආ දකුණු ඉන්දීය දෙමළ ජනයා විය හැකි වුවද ඒ පිළිබඳව පැහැදිලි තොරතුරු ලෝරිගේ සටහන් වලින් හමු නොවේ. නමුත් ඔවුන් පදිංචිව සිටි බව එහි සඳහන් වන සෑම ගමක්ම පාහේ  එවකට තිබූ තේ වතු ආශ්‍රීතව වූ බැවින් ඒ පිළිබඳව සැක පල කල යුතු බවක් නොපෙනේ. නායක්කර්වරු සමග පැමිණි කිසිවෙකු මේ වන විට උඩරට ප්‍රදේශ වල නොසිටි අතර (උඩරට ගිවිසුමට අනුව ඔවුන් සියල්ල ඉන්දීයාවට පිටුවහල් කෙරේ.) ඊට පෙර කලින් කල මෙරටට සංක්‍රමණය වූ දකුණු ඉන්දීය දෙමළ භාෂා කතා කල ජනයා කුල ක්‍රමය යටතේ මෙරට තුල වූ සිංහල බෞද්ධ සංස්කෘතිය තුලට මේ වන විට සාර්ථකව අවශෝෂණය වී තිබිණ. නමුත් ඔවුන් රැගෙන ආ දේව ඇදහිලි ආදිය සිංහල බෞද්ධ ජන සමාජය තුල සිංහල බෞද්ධ දෙවිවරු ලෙසින් නැවත බෞතිස්ම ලැබූහ (පැරණි දේව ඇදහිලි ගැන මෙන්ම අලුතින් එකතු වූ දෙවිවරුන් පිළිබඳවද විවිධ තොරතුරු මෙම ලිපියේ ඉදිරියට ඉදිරිපත් වේ.). අඹතලාව ආදී ගම් වල චෙට්ටි හෙවත් හෙට්ටීන්ද (ඉන්දීය සම්භවයක් සහිත වෙළදාමේ යෙදුන ජන කොටසක්) සිට ඇති අතර ලෝරිගේ තොරතුරු වලින් පැහැදිලි වන ආකාරයට උඩරට සිංහලයන්ට අයත් ඉඩම් චෙට්ටීන්ට මෙන්ම පහත රට සිංහලයන්ට සහ මුස්ලිම්වරුන්ට ක්‍රමයෙන් ණය ගෙවාගැනීමට නොහැකි වීම නිසා සින්න වීම සහ ඔවුන් ඒවා මිලදී ගැනීම ආදී විවිධ ආකාරයෙන් අත්පත් වෙමින් තිබී ඇත.

මෙම සිතියමේ නිල් පැහැයෙන් කොත්මලේ රටට අයත් පල්ලෙපොනේ කෝරලයේ පැරණි ගම්ද, දම් පැහැයෙන් උඩපොනේ කෝරළයට අයත් පැරණි ගම්ද දක්වා ඇත. රතු පැහැයෙන් දැක්වෙන්නේ වතු ආර්ථිකයත් සමග පෙර කැලෑ තිබූ ප්‍රදේශ එලි වී අලුතින් ඇතිවූ නගර සහ කඩමණ්ඩි කිහිපයකි. 

පල්ලේපොනේ කෝරළය

  • වටද්දර -ගොවි සහ නවන්දන කුල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම දමිල ජනයාද වාසය කල ගමකි. වටද්දර ආරච්චි වසමටම අයත් ගමක් වන කළුගලපතන ප්‍රදේශයේ රොඩී ජනයාද සිට ඇත. පිරිමි පාසලක් මෙන්ම පිරිවෙනක්ද තිබී ඇති අතර වටද්දර විහාරය ලෝරි තොරතුරු ඉදිරිපත් කරන කාලයේදී ගම්වැසියන් විසින් ඉදිකල විහාරයක් ලෙස පැවසේ. කෙහෙල්ගමුවේ දෙවියන් උදෙසා වූ කෙහෙල්ගමුව දේවාලය මෙම ගම් වසමට අයත් දෝවිට ගමේ පිහිටා තිබී ඇත. අංගම්මන වලව්වට අයත්ව තිබූ මේ ගමේ තිබූ ඉඩම් පහත රට පුද්ගලයෙකුට විකුනා ඇති බව ලෝරි සඳහන් කරයි. වෙළඳගොඩ සහ  පොල්වතුරේගම්මැද්ද මෙම ගම තුල පිහිටි කුඩා ගම් ලෙස හඳුන්වා ඇත.  පුසුල්පිටිය විහාරයට සේවා සපයන ජනයාද මෙම ගමේ ජීවත් වී ඇත. 
  • බෙරවතලාව/බොරවාගම – වටද්දර ආරච්චි වසමට අයත් බෙරවා කුලයේ සිංහලයන් සහ මුස්ලිම් ජනවර්ගය වාසය කල ගම්මානයකි.
  • කුරන්පිටිය වටද්දර ආරච්චි වසමයට අයත් ගමකි.
  • දෝවිට කෙහෙල්ගමුවේ (කතරගම) දේවාලයට සේවා සැපයූ ජනයා විසූ ගමකි.
  • වෙලගමතැන්න වටද්දර ආරච්චි වසමට අයත් නවන්දන සහ ගොවි කුල ජනයා විසූ ගම්මානයකි.
කොත්මලේ ඔය නිම්නයේ මාවෙල – රජපීල්ල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය
  • මොරපේ – ගොවි, රදා, නවන්දන, බෙරවා (එක පවුලක්) කුල වලට අයත් උඩ රට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනයාද විසූ ගමකි. ලෝරි පරිවර්තනය කර ඉදිරිපත් කරන මෙම ගමේ සිටි පුද්ගලයකුට අයත් ඉඩම් හුවමාරුවක් සම්බන්ධ ලියවිල්ලක සඳහන් වන වගන්තියක් මෙම යුගයේ සිටි ජනයාගේ දේව ඇදහිලි සම්බන්ධ තොරතුරු හෙලි කරයි. වර්ෂ 1803 ට අයත් එම ලියවිල්ලේ සඳහන් වන්නේ එම ඉඩම් හුවමාරුව කිහිරැලි, උපුල්වන්, සමන්බොක්සැල්, විභීෂණ, කන්ද කුමාර, පත්තිනි යන දෙවිවරුන් ආරක්ෂා කල යුතු බවය. කිහිරැලි සහ උපුල්වන් දෙවිවරුන් දෙදෙනෙකු ලෙසින් සැලකීමද, සමන් දෙවියන් සමන්බොක්සැල් ලෙසින් හැඳින්වීමද, කතරගම දෙවියන් කන්ද කුමාර ලෙසින් හැඳින්වීමද මෙහිදී අවධානය යොමු කල යුතුය. මොරපේ කතරගම දේවාලය මෙම ගම තුල පිහිටා තිබෙන අතර, නටබුන්ව ගොස් තිබූ මොරපේ විහාරය 1877 දී නැවත ඉදිකර ඇත.
  • බෝරුවගම – බෙරවා සහ ගොවි කුල වලට අයත් උඩ රට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම දමිල ජන වර්ගයද විසූ මොරපේ වසමට අයත් ගමකි.
  • කොටගේපිටිය මොරපේ වසමට අයත් ගමකි. මොරපේ කතරගම දේවාලයට සේවා සිදු කල ජනයා මෙම ගම තුල සිට ඇත.
  • රන්නන්තලාව මොරපේ වසමට අයත් ගොවිකුල උඩරට සිංහලයන් මෙන්ම පහත රට සිංහලයන්ද විසූ ගමකි. මොරපේ කතරගම දේවාලයට සේවා සැපයූ ජනයා මෙම ගම තුල සිට ඇත.
  • මයිප්පොල – ගොවි කුල සිංහලයන් සහ දමිල ජන වර්ගයට අයත් ජනයා විසූ මොරපේ ගම තුල වූ කුඩා ගමකි.
කොත්මලේ ඔය නිම්නයේ මාවෙල – රජපීල්ල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ හෙල්මළු  ක්‍රමයට සැකසු කුඹුරු. ඈතින් දිස්වන්නේ දැන් කොත්මලේ ඔය ජලාශය බවට පත්වී ඇති කොත්මලේ ඔයයි
  • නවන්ගම – ප්‍රධාන වශයෙන් නවන්දන කුලයේ ජනයාද, පහත රට සිංහලයන්, දමිලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ ගමකි.
  • දෙහින්තලාව – නවන්දන කුලයේ ජනයා, පහත රට සිංහලයන් සහ මුස්ලිම් ජනයා විසූ නවන්ගම ගම තුල වූ කුඩා ගමකි.
  • පුසුල්පිටිය මැදගොඩ රදලගම්මැද්ද ලෙසින්ද හඳුන්වා ඇත. නවන්ගම ආරච්චි වසමට අයත්ය. නවනන්දන හා ගොවි කුල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ කලකට පෙර හමුදා කඳවුරක්ද තිබී අතහැර දැමූ (1833 වන විටත්) ගමකි. පැරණි විහාරයක් වන පුසුල්පිටිය විහාරය මෙම ගම තුල කොත්මලේ ඔය ඉවුරේ පිහිටා ඇත. පුසුල්පිටිය  ගම තුල මෙන්ම කහටදෙණිය, කලපිටිය සහ මාවෙල ගම් තුලද පුසුල්පිටිය විහාරයට සේවා සැපයූ එම විහාරයට අයත් ඉඩම් වල පදිංචි වී සිටි ජනයා සිට ඇත. විහාරයේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුලත් එවකට එම විහාරයේ නායක හිමියන් සතුව තිබූ දීර්ඝ සන්නසක් ලෝරි පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත.
  • විහාරේගම – නවන්ගම ගම තුල වූ කුඩා ගමකි.
  • කිරිවානාගොඩ –  මැද්දේගොඩ බඩල්ගම්මැද්ද (නවන්දන කුලයේ ජනයා වාසය කර ඇත), නවන්ගම සහ පුසුල්පිටිය ගම් අයත් වන ආරච්චි වසමටම අයත් ගමකි. මෙම සියළු ගම් නවන්දන කුලයේ ප්‍රධානියෙකු යටතේ පාලනය වී ඇත.
කොත්මලේ ඔය නිම්නයේ රජපීල්ල ලෙසින් හැඳින්වෙන ස්ථානය
  • හරංගල
  • දොරුවදෙණිය – හරංගල ආරච්චි වසමට අයත් ගමකි.
  • ලප්පානෙගම හෙවත් ලත්පානේගම – පහත රට සිංහලයන් වාසය කල හරංගල  ගම තුල වූ කුඩා ගමකි.
  • කඩදොර – 1848 පමණ සෑදූ ලෙස සඳහන් කඩදොර විහාරය සහ එවකට නටබුන්ව තිබූ වීරමුන්ඩ දේවාලයක් මෙම ගම තුල තිබී ඇත.
  • නුගවෙල – කඩදොර ආරච්චි වසමට අයත් ගොවි කුලයේ සිංහල ජනයා සහ දෙමළ ජනයා වාසය කල ගමකි.
  • වැලිමඩ කඩදොර ආරච්චි වසමට අයත් ගොවි, නවන්දන සහ පහත රට සිංහල ජනයා විසූ ගම්මානයකි.
  • උඩ ගම්මැද්ද – ගොවි සහ වහුම්පුර කුල වල ජනයා විසූ කඩදොර ගම තුල පිහිටි කුඩා ගමකි. මෙම ගමේ පිහිටි උඩුගබ්බාලේ කෝවිල ඉතා පැරණි පූජනීය ස්ථානයක් ලෙස ලෝරි හඳුන්වයි.
  • පල්ලේ ගම්මැද්දකඩදොර ගම තුල පිහිටි කුඩා ගමකි. මුස්ලිම්වරු මෙන්ම නවන්දන සහ රදා කුල වල සිංහල ජනයා සිට ඇත. 
කොත්මලේ ඔය ජලාශය
  • පොල්වතුර හපුගස්තලාවේ වසමට අයත් ගමකි. මුස්ලිම් පල්ලියක් සහ පාසලක්ද තිබූ මෙම ගමේ වාසය කර ඇත්තේ මුස්ලිම් ජන වර්ගයට අයත් ජනයාය.
  • මැදගහවතුර හපුගස්තලාව ගම තුල වූ කුඩා ගමකි.
  • හපුගස්තලාව – මුස්ලිම් පල්ලියක් සහ පාසලක්ද තිබූ මුස්ලිම් ගම්මානයකි.
  • මාවෙල – දුරයා කෙනෙකු යටතේ පාලනය වූ මහනුවර යුගයේ ගබඩාගමකි. දුරා කුලයේ ජනයා සහ පහත රට සිංහලයන් වාසය කර ඇති අතර, ජනප්‍රවාද වලට අනුව දුටුගැමුණු රජතුමා මේ ගමේ දොඩමිටියාව, දියසමිතිය සහ යතුරුගහලියැද්ද යන වෙල් යායවල් අස්වද්දා කොටගේපිටිය යන ගමේ වාසය කර ඇත.  මාවෙල මුලින් නිලමක්කාරයන් වාසය කර ඇති මුත් ඔවුන් රජුට සේවය කිරීම ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් කිර්ති ශ්‍රී (රාජසිංහ) රජු ගම කුල හීන ජනයා හට දී ඇත. නමුත් 1815 මැයි මස ඉංග්‍රීසි ආණ්ඩුව මාවෙල ගම නියදවත්තේ සට්ටම්ඹි නම් ප්‍රදානියෙකු හට ලබාදී ඇත්තේ ඔහු විසින් ජෝන් ඩොයිලි හට සිංහලේ රාජධානිය පිළිබඳව ඔත්තු ලබාදීමෙන් කල සේවය වෙනුවෙන්ය. මෙහි තිබූ තෙල්ලබ්බේ විහාරය අර්ධ වශයෙන් නටබුන් වී තිබී ඇති අතර කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදී එය ඉදිකල බව පැවසේ. එසේම වර්ෂ 1833 දී පමණ ගම්වාසීන් විසින් ඉදි කල පේරගහයට පන්සල නම් තවත් විහාරයක්ද මෙහි තිබී ඇත. එසේම හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය කලක් හිටි බව පැවසෙන හුණුබත් හාල් බෑමේ ගල්ලෙන ලෙස හැඳින්වූ ගල් ලෙනක් සහ දුටුගැමුණු රජු සෑදූ බව පැවසෙන නාගහ පිහිල්ල, රණමුනේ පිහිල්ල සහ අඹගහ පිහිල්ල නම් වූ පීලී 3 ක්ද මාවෙල ගමේ තිබූ බව පැවසේ.
  • කහටදෙණිය – හීන කුල ජනයා විසූ දුරයා කෙනෙකු යටතේ පාලනය වූ මාවෙල ආරච්චි වසමට අයත් ගමකි. මොරපිටිය දේවාලයට සහ පුසුල්පිටිය විහාරයට අයත් ඉඩම් වල පදිංචි වී සිට, එම ආයතන වලට සේවා සැපයූ ජනයා ජීවත් වී ඇත.
  • පන්නගම්මැද්ද – දුරා කුලයට අයත් ජනයා විසූ මාවෙල ගම තුල පිහිටි කුඩා ගමකි. තෙල්ලඹේ විහාරය නම් පැරණි විහාරයක් ගම තුල තිබී ඇත.
  • තම්මිටිය මාවෙල වසමට අයත් දුරා සහ නවන්දන කුල වලට අයත් ජනයා විසූ ගමකි. මොරපේ කතරගම දේවාලයට අයත් ඉඩම් මෙම ගම තුල තිබී ඇත.
කොත්මලේ ඔය ජලාශය
  • තිස්පනේ – අළුවෙල ගම්මැද්ද, කොඩිකාර ගම්මැද්ද, මැදගම්මැද්ද සහ උඩ ගම්මැද්ද ලෙසින් මෙම ගම කොටස් හතරකින් යුක්ත විය. ගොවි කුලයේ ජනයා, රදා කුලයේ ජනයා, මුස්ලිම් ජනයා මෙන්ම පහත රට සිංහලයන්ද වාසය කර ඇත. වර්ෂ 1868 පමණ ඉදි කල තිස්පොනේ විහාරය ඒ වනවිටද හොඳ තත්වයෙන් තිබී ඇත. තවද එම වර්ෂයේම සෑදූ බව පැවසෙන කුමාර දෙයියන්නේ කෝවිල නම් කෝවිලක්ද මෙහි තිබී ඇත. 
යතුරුගැසූලියැද්ද විහාරයේ විහාරගෙට පිවිසෙන ස්ථානයේ ඇති මකර තොරණ
  • මාස්වෙල දුටුගැමුණු රජු දිය නෑ ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ එන නාගහපිහිල්ල පල්ලේගම්මැද්ද ප්‍රදේශයේ පිහිටා ඇත. එතුමා අස්වැද්දු රයිතලාව නම් වූ කුඹුරු යායක්ද, වෙළගෙදර වලව්වද මෙම ගම තුල පිහිටා ඇත. මාස්වෙල පිහිටි යතුරුගැහූලියැද්ද විහාරය වර්ෂ 1843 දී පමණ වෙළගෙදර වලව්වේ අරමුදලේ කංකානම් නිලමේ විසින් ඉදි කර ඇත (දුටුගැමුණු රජු විසින් වී හුලං කිරීමට යොදාගත් කුල්ල (යතුර) විසි කල කමත තිබූ ස්ථානය යන ජනප්‍රවාදය හේතුවෙන් එම නම ලැබී ඇත.) මොරපේ කතරගම දේවාලයට  සේවා සපයන එම දේවාලයට අයත් ඉඩම් වගා කරන ජනයා මාස්වෙල ගම තුල සිට ඇත.
යතුරුගැසූලියැද්ද විහාරය – පැරණි විහාර ගෙය
උඩපොනේ කෝරළය
  • මැදකුඹුර – ගොවි, නවන්දන, බෙරවා, බඩහැල්, පදු කුල වලට අයත් උඩරට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ ගමකි.  ගල් ඔරුවේ වැව ලෙසින් හැඳින්වූ අතහැර දමා තිබූ වැවක් මැද්දේකුඹුර වතු යායේ තිබී ඇත. මෙම ගම තුල පිහිටි මාළිගා පැලැස්ස නම් ස්ථානයේ මහනුවර රාජධානියේ රජකෙනෙකු විසූ බවට ජනප්‍රවාද ගත තොරතුරු පවතී. ගම්වැසියන් විසින් ඉදිකල පැරණි විහාරයක්ද ඇත. දුණුකේදෙණිය සහ කරගහපතන-යාලේතැන්න මැදකුඹුර ගම තුල වූ කුඩා ගම් ලෙස සඳහන් වේ.
  • කඩදොරපිටිය – මැදකුඹුර ආරච්චි වසමට අයත් ගමකි. ලෝරිගේ යුගයේ පමණ සෑදු පන්සලක් සහ කළුගහ උල්ලේ කෝවිල නම් කෝවිලක්ද මෙම ගම තුල තිබී ඇත.
  • පුණ්ඩළු ඔයමැදකුඹුර වසමට අයත් දෙමළ, මුස්ලිම්, පහත රට සිංහලයන් සහ නවන්දන කුලයේ ජනයා වාසය කල ගමකි. 19 වන සියවස අවසාන කාලය වන විට තැපැල් කාර්යාලයක්,  පොලිස් ස්ථානයක්, මුස්ලිම් පල්ලියක්, පිරිවෙනක් සහ කඩ මණ්ඩියක්ද මෙහි තිබී ඇත. පුණ්ඩළු ඔය තේ දිස්ත්‍රික්කයට අයත් වූ තේ වතු 16 ක නම් ලෝරි ඉදිරිපත් කර ඇත.
  • හාල්පොල – ප්‍රධාන වශයෙන් පදු කුලයට අයත් ජනයා වාසය කල මැදකුඹුර වසමට අයත් ගම්මානයකි. පුණ්ඩලු ඔය හරහා හාල්වැල්තොට නම් වු තොටුපොලක්ද ඇත. ගබ්බෙල සහ මාඋස්සාව මෙම ගම තුල වූ කුඩා ගම්ය.
 තේ වතු වලින් සියළුම කඳු මුදුන් වසා ගත් ආගරපතන ප්‍රදේශය
  • දිඹුල – උඩගම සහ මෑතගම ලෙසින් කොටස් දෙකකි. උඩගම පිහිටි මැදබාගේ විහාරය පැරණි පන්සලකි. ඉංග්‍රීසීන් පැමිනීමෙන් පසුවද එනම් 1815 න් පසු වෙනත් විහාරයක් එහි ඉදි කර ඇත. උඩගම කොටසට රාවණාගොඩ, උඩගම, පල්ලේ ගම්මැද්ද, උඩගම්මැද්ද, විජේබාහුකන්ද සහ දිඹුල හෙවත් ඩෙවොන් කඩමණ්ඩිය (Bazaar) අයත්ය. මෑතගම කොටසේ පිහිටි මාකඳුර ඇල 1884 දී ප්‍රතිශංස්කරණය කිරීම අරඹා ඇත. මෑතගම, හින්නාරන්ගොල්ල, කටාරන්දෙණිය, කොස්හින්න, මල්දෙණිය, පල්ලේ ගම්මැද්ද සහ උඩ ගම්මැද්ද මෑතගම කොටසට අයත් ගම්ය. දිඹුල, ලිඳුල, අග්‍රාපතන, සහ කොටගල දිස්ත්‍රික්කද (Tea Districts එනම් තේ වැවූ ප්‍රදේශ) දිඹුල වසමට අයත්වේ.  එම තේ වතු දිස්ත්‍රික්ක වලට අයත් එවකට තිබූ තේ වතු 142 ක පමණ නම් ලෝරි ඉදිරිපත් කර ඇත. දැනට ඩයගම ලෙසින් හඳුන්වන  පෙදෙස එවකට දියගම වූ බව කඩ (Shops) තිබූ ස්ථාන අතර දියගම නම් වූ ස්ථානයක් පිළිබඳවද ලෝරි කරන සඳහනින් පැහැදිලි වේ. දියගම නමින් තේ වත්තක්ද තිබී ඇත. ලිඳුල රෝහලක් සහ දිඹුල සහ අග්‍රාපතන ප්‍රදේශ වල බෙහෙත්හල් (Dispensaries) තිබූ බවත්, කොටගල සහ ලිඳුල පල්ලි සහ, කොටගල, ලිඳුල, Middleton සහ St. George යන ස්ථාන වල පාසැල් තිබූ බවත් සඳහන් වේ. කොටගල, තලවකැලේ, සහ වටගොඩ දුම්රිය ස්ථාන තිබී ඇත.
ආගර ඔය හෙවත් අග්‍රා ඔය ලිඳුල ප්‍රදේශයේදී (ලිඳුල-ආගරපතන-ඩයගම B252 මාර්ගයේ සිට )
  • උඩගම (දිඹුල)– ගොවි කුලේ සිංහල ජනයා සහ පහත රට සිංහලයන් ජීවත් වූ ගමකි. ගම තුල වූ පට්ටිහෙල විහාරය ගම්මුන් විසින්කර ඇත. කළුබණ්ඩාර දෙවියන්නේ කෝවිල නම් වූ කෝවිලක් සහ අතහැර දැමූ ගුණමත් වැව නම් වැවක්ද තිබී ඇත. එඩරු තෙල් වැව සහ සූරිය වැව නම් වැව් දෙකක් ගැනද විස්තර ඇත. ඒවාද අතහැර දමා තිබී ඇති අතර සූරියවැව අසල සෙල් ලිපියක් ගැනද කියැවේ. සියළුම උස් බිම් වල තේ වගා කර තිබී ඇත. විජේපාහුකන්ද (විජේබාහුකන්ද?) මෙම ගම තුල වූ කුඩා ගමකි.
  • කලපිටිය නුගතොට, හේදුණුවැව, සහ මැදගොඩ රටේ ගම්මැද්ද (මැද්දේගොඩ රටේ ගම්මැද්ද හෙවත් පත්තිනි ගම්මැද්ද ලෙසින්ද හඳුන්වා ඇත) යන ගම් අයත් වන වසමටම අයත් ගමකි. මෙම ගමේ පිහිටි මැද්දේගොඩ පත්තිනි දේවාලය 1886 දී ගිනි තබා ඇත. දඩුදඹුල්දෙණිය වැව නම් වූ අතහැර දමා තිබූ වැවක්ද තිබී ඇත. කලපිටිය ගම තුලම වූ පලදොර ඇල්ල නම් වූ කුඩා ගමක් ගැනද සඳහන් වේ.
  • මැද්දේගොඩ රටේ ගම්මැද්ද (පත්තිනි ගම්මැද්ද) – ගොවි කුලයට  අයත් ජනයා වාසය කර ඇත. ඒවාට යාතිකා කල විට ගව රෝග සුව කිරීමේ හැකියාව ඇති බව පැවසෙන දොළහ දෙවියන්ට අයත් ආයුධ (Weapons of the twelve gods) ඇති  කෝවිලක් රන්හාමි නැමැත්තෙක් මෙම ගමේ ඉදිකල බව Le Mesurier පවසයි. (දොළහ දෙවියන් ලෝරි පවසන ලෙසට පහත ආකාරයෙන් විය. වැදියකු දෙවියෝ, වලියකු දෙවියෝ, කොහොඹ දෙවියෝ, වීරමුණ්ඩ දෙවියෝ, වන්නියේ බණ්ඩාර දෙවියෝ, අලුත් දෙවියෝ, කීර්ති බණ්ඩාර දෙවියෝ, මැණික් බණ්ඩාර දෙවියෝ, දේවතා බණ්ඩාර දෙවියෝ, මංගර දෙවියෝ, කුමාර දෙවියෝ සහ ඉරුගල් බණ්ඩාර දෙවියෝ .)
  • Church Holbrook – Agarapatana
  • පල්ලේ ගම්මැද්ද, උඩගම්මැද්ද, පොකුණුවත්ත සහ තැඹිලිගම හෙවත් මරක්කල ගමද කලපිටිය ගම තුල වූ කුඩා ගම්ය.  නමින්ම හැඟෙන පරිදි තැඹිලිගම මුස්ලිම් ජනයා විසූ ගමක් වන අතර, වර්ෂ 1885 දී එම ගමේ නයින්කෙලිනතොට සිට දිඹුල දක්වා වැටී ඇති කුඩා පාරට ලන්ව මුස්ලිම් පල්ලියක් ඉදිකර ඇත. 1887 දී දුරා කුලයට අයත් පුද්ගලයන් 12 ක් පමණ සිටි යමනුන්නේ ගම නම් වූ ගමක්ද කලපිටිය ආරච්චි වසමට අයත් ගමක් ලෙස තිබී ඇත.
  • කුඹල්ඔළුව – දුරයා කෙනෙකු යටතේ වූ  දුරා කුලයට අයත් හීන කුල ජනයා විසූ ගමකි. රෝමානු කතෝලික පල්ලියක් මෙන්ම මුස්ලිම් පල්ලියක්ද තිබී ඇත.  රන්තිලකගේ ඩින්ගාව දුරයා සහ ඔහුගේ බිරිඳ මේ ගම තුල තිබූ බෝකොටුවේ විහාරය ප්‍රතිශංස්කරණය කර බෝකොටුවේ අත්ථදස්සී තෙරුන්නාන්සේට වර්ෂ 1883 මැයි 21 දින පූජා කර විහාරයට (සහ රටේ සිව් දෙසින් එහි පැමිනෙන භික්ෂුන්ට) ඉඩම්ද පිරිනමා ඇත.
  • මැදකන්ද – කුඹල් ඔළුව ගම තුල වූ කුඩා ගමකි. පහත රට සිංහලයන්, කාපිරි ජනයා මෙන්ම දමිල ජනයාද වාසය කල ගමකි. රෝමානු කතෝලික දේවස්ථානයක්ද මෙම ගම තුල තිබී ඇති අතර මේ ගම අසලම කුඹල්ඔළුව-එගොඩ වෙල  ගම තිබී ඇත. Le Mesurier පවසන ලෙසට පන්නදුරයෝ නම් දුරා කුලයේ උප කුලයකට අයත් මෙම ගම් වල විසූ ජනයාට පැවරුන රාජකාරිය වූයේ හකුරු,  හම්බ-හාල්, කහ, ඉඟුරු, බුලත්, පැණි සහ පොලු මස් (එනම් දඩ මස්) රජ වාසලට සැපයීමයි. මෙහි සඳහන් හම්බ හාල් බොහෝවිට හම්බන් නැමැති ඔරු වලින් විදේශ වල සිට ආ හාල් විය හැක. මුස්ලිම් ජනයා එම ව්‍යාපාර වල නිරතව සිට ඇත. හම්බ යන යෙදිම ඔවුන්ට අපහාස කිරීමේ අදහසින් වුවද ව්‍යවහාරයට එන්නේ එම හේතුව නිසා බව සැලකේ. දඩ මස් සඳහා පොලු මස් යන නම යෙදීම එම සතුන් දඩයම් කල ආකාරය පිළිබඳව ඉගියක් සපයයි. එය බල්ලන් සහ මිනිසුන් යොදා සතුන් කොටු කර පොලු වරින් පහරදීම විය හැක. මේ ආකාරයේන් හාවුන්, මීමින්නන්, ඉත්තෑවන් ආදී කුඩා ක්ෂීරපායීන් මෙන්ම විශාල මුව විශේෂ සහ ගෝනුන්ද දඩයම් කලා විය හැක. 
ආගරපතන ප්‍රදේශයේ වතු වල වැඩ කරන දකුණු ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා පදිංචි නිවාස
  • ඕතලාව – ගොවි කුලයට අයත් ජනයා විසූ ගමකි. එම නමින්ම යුත් ආරච්චි වසමට ඕතලාව, අඹතලාව, හඳපාන්ගම, ගන්කේවල,සංගිලිපාලම සහ කොස්ගොල්ල ගම් අයත්ය. පන්නල් ඔය (පැන්න ඔය) ගොවිතැන් කටයුතු කිරීම උදෙසා යොමු කල ගජබා රජුගේ (?) නුවර ලෙස ජනප්‍රවාදයේ එන දීඝ මහනුවර නම් නටබුන් වූ පැරණි නුවරක්  මෙම ගම තුල තිබූ බව පැවසේ. වර්ෂ 1843 දී ගම්වැසියන් විසින් ඇල්වත්තේ විහාරය ඉදි කර ඇත. නමුත් එය ලෝරි සඳහන් කරන යුගය වන විට අතහැර දමා තිබී ඇති අතර පන්සල පමණක් (ආවාස ගෙය) තිබී ඇත.
  • සංගිලිපාලම ඕතලාව ගම තුල වූ කුඩා ගමකි. කඩ කිහිපයක්, බදු අයකරන ස්ථානයක් (Toll-station) සහ රම්බොඩ – පුසුල්පිටිය කුඩා පාරේ (Minor Road) වූ කොස්ගොල්ල තොටුපොල මෙම ගම තුල තිබී ඇත.
  • ගන්කේවල – ගොවිකුල ජනයා විසූ ගමකි.
  • අඹතලාව – ගොවි සහ රදා කුල වලට අයත් උඩරට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයා සහ චෙට්ටීන්ද විසූ ගමකි. ලෝරි පවසන ලෙසට පුසුල්පිටිය විහාරයේ ඇති මෙරටින් හමුවූ විශාලම ඇත් දල යුවල එම විහාරයට පූජා කර ඇත්තේ මෙම ගමේ විසූ අගලවත්තේ සට්ටම්ඹි විසිනි. පහත රට සිංහලයන්, මුස්ලිම් මිනිසුන් සහ චෙට්ටීන් මේ ගමේ බොහෝ ඉඩම් එම යුගය වන විට ඔවුන්ට ණය වූ උඩරට සිංහලයන්ගෙන් ලබාගෙන තිබූ බව පැවසේ.
  • හඳපාන්ගම මැද්දේගොඩ පත්තිනි දේවාලය දේවාලයට සේවා සපයන ජනයා මෙම ගම තුල සිට ඇත.
St. John’s Anglican Church – Lindula
  • පනන්ගම්මන – දුරා කුලයේ ජනයා වාසය කල ගමකි. වර්ෂ 1843 දී මුණසිංගෙදර කිරා විසින් ඉදිකල පුවක්මල්පිදුගොඩ විහාරය මෙම ගම තුල තිබී ඇත. තවද කතිරා (?) නම් හින්දු දෙවියන් උදෙසා එම යුගයේම ඉදිකල හින්දු දේවාලයක්ද පනන්ගම්මන ගම තුල තිබී ඇත. දුරයා කෙනෙකු යටතේ වූ ගම් වසමක් වන පනන්ගම්මන ගම් වසමට නවන්දන සහ දුරා කුල වල ජනයා වාසය කල දෙළුන්තලාමඩද අයත්ය. කරගස්තලාව සහ කටුකිතුල එම ගම් වසමටම අයත් අයත් කුඩා ගම් දෙකකි.
  • තවලන්තැන්න පනන්ගම්මන ගම තුල පිහිටි කුඩා ගමකි. පහත රට සිංහලයන් සහ දමිලයන් වාසය කර ඇත. දෝන ක්‍රිස්ටියානා පෙරේරා හාමිනේ නම් තැනැත්තියක විසින් 1863 දී පමණ ඉදි කල රෝමානු කතෝලික දේවස්ථානයක් මෙන්ම හින්දු කෝවිලක්ද තිබී ඇත. 1870 දී මියගිය වෙලගෙදර රටේ මහත්මයාට අයත් වලව්වක්ද මෙහි තිබූ බව පැවසේ. මෙම ගමේ ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි රජයට අයත් ඉඩම් කැබැලි උදෙසා පහත රට සිංහලයන් අතර නඩු හබ තිබූ බව ලෝරි පවසයි.
තලවකැලේ ප්‍රදේශයේ තේ වත්තක පිහිටි කුඩා ජලාශයක්
  •  රම්බොඩ – ගොවි කුලයට අයත් සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල ගම්මානයකි. තානායමක්, මුස්ලිම් පල්ලියක්, තැපැල් කාර්යාලයක්, පොලීසියක්, බදු අයකරන ස්ථානයක්, පිරිවෙනක් මෙන්ම මුස්ලිම් පාසැලක්ද පිහිටි කුඩා නගරයක් බවට 19 සියවසේ අවසාන භාගය වන විට රම්බොඩ පරිවර්තනය වී ඇත.  මල්හෑව , අඹහෙල , පලාගොල්ල ,  ගැරඩි ඇල්ල, කොණ්ඩගල, ලබුගොල්ල  සහ කුඩා ඔයද රම්බොඩ වසම තුල පිහිටා තිබූ ගම්ය. රම්බොඩ තේ දිස්ත්‍රික්කයට අයත් එවකට තිබූ තේ වතු 22 ක් ලෝරි නම් වශයෙන් සඳහන් කරයි.
  • මල්හෑව රම්බොඩ වසමට අයත් ගොවි කුලයට අයත් සිංහල ජනයා සහ දමිල ජනයා විසූ ගමකි. දළදා කරඩුවේ විහාරය නම් වූ විහාරයක් මෙම ගම තුල තිබී ඇත. එම විහාරය වසර කිහිපයකට පෙර අර්ධ වශයෙන් ගිනිගත් බව ලෝරි පවසයි. රම්බොඩ වත්තේ ගලක් මත පිහිටි මල්හෑව කෝවිල දොළහ දෙවියන් උදෙසා ඉදිකර ඇති අතර, මිනිසුන්ගේ මෙන්ම ගවයන්ගේද ලෙඩ රෝග සුව කිරීමේ බලයක් ඇති ස්ථානයක් බව පෑවසේ. සර්පයකුගේ මෙන්වූ රුවක් සහ දොළහ දෙවියන්ට අයත් ලෙස පැවසෙන ආයුධ කෝවිල තුල තිබී ඇත.
  • ලබුගොල්ල රම්බොඩ ගම තුල පිහිටි ගොවි කුලයේ සිංහල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල ගමකි. ලබුගොල්ලකැලේ රම්බොඩට ඉහලින් වූ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුන රජයට අයත් කැලෑවෙන් කොටසක් ලෙස සඳහන් වේ. ලබුකැලේ වත්ත මෙම ප්‍රදේශයේ පිහිටා  ඇත.
  • ගැරඩි ඇල්ලරම්බොඩ වසමට අයත් ගමකි. නුවරඑළිය මාර්ගයේ හමුවන කඩමණ්ඩියකි.
  • අඹහෙල රම්බොඩ ගම තුල පිහිටි කූඩා ගමකි.
  • පලාගොල්ල –  ගොවි කුලයට අයත් සිංහල ජනයා, මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල රම්බොඩ වසමට අයත් ගම්මානයකි, රෝමානු කතෝලික දේවස්ථානයක් සහ කඩ මණ්ඩියක්ද තිබී ඇත.
 St. Clair දිය ඇල්ල නිර්මාණය කරමින් ගලා බසින කොත්මලේ ඔය
  • කිරින්දේවෙල නියංගන්දොර ආරච්චි වසමට අයත් ගමකි.
  • ලිඳුල – කඩ මණ්ඩියක්, පොලිස් ස්ථානයක්, පල්ලියක්, රෝහලක් සහ පාසැලක්ද තිබූ කුඩා නගරයකි.
  • නානු ඔයනුවරඑළියට ආසන්නම දුම්රිය නැවතුම්පොල වූ නානු ඔය දක්වා නාවලපිටියේ සිට දුම්රිය ධාවනය 1885 මැයි 20 වන දින ආරම්භ විය. 19 සියවසේ අවසාන භාගය වනවිට රජයේ පාසලක්,  තැපැල් සහ ටෙලෙග්‍රාප් කාර්යාලයක්, තානායමක් සහ කඩ මණ්ඩියකින් යුක්ත විය.
  • සීතාඑළිය – 1871 වසරේ මෙන්ම 1881 වසරේද පුද්ගලයන් 40 පමණක් විසූ ගමකි. ෆොර්බ්ස් පවසන ආකාරයට (1840සාමි උම්මා නම් වූ වයසක ස්ත්‍රියක් මෙහි සීතා දේවිය උදෙසා කෝවිලක් ඉදිකර ඇත.
  • තලවකැලේ තලවකැලේ කඩමණ්ඩියේ 1891 වසරේ ජනගහණය පුද්ගලයන් 446 කි.
  • වටගොඩ – 1891 දී පුද්ගලයන් 115 සිටි ගමකි.
  • වලපතන – 1881 වසරේදී පුද්ගලයන් 20 ක් පමණක් සිටි ගමකි.
මූලාශ්‍ර

  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • Eleven years in Ceylon, Major Forbes, 1840

%d bloggers like this: