Menu Close

‘කෙල්ලෝ දෙන්නෙක් බැලන්ස් කරන එක ටැලන්ට් එකක්’ කියපු එක අවුල් ගියා ඕයි #ShamelessJournal #Page9

| 2020.05.30


මේ සතියම සයිට් එක රෝල් කෙරුවේ තින්නටයි, රැහැන් මාරාටයි, මකරිටයි, අමා අක්කටයි ස්තූති වන්ත වෙන්න. මගේ අතේ කිසිම අකුරක් ඉතුරු වෙලා තිවුණේ නෑ ලියන්න, ලියවෙන්න. ඒ ඇයි ද, හරිම කලාතුරකින් එහෙම වෙන්නේ මට. ලොකුවට ලියන්න, බර වචන දාලා තේරුම් කණපිට හරිපිට හරවන්න කිසිම දක්ෂකමක් නෑ මට,  ඒත් මට තියෙනවා කතා හෙන තොගයක් මගේ ජීවිත කාලෙම අරන් කියන්න, ඒවාට ලුණු ගම්මිරිස් සීනි දදා ලියන්න. ඉතිං කවුරු ලීවත් නොලීවත්, සතියේ දවස් හතම හරි ලියපන් මැණිකේ කියලා කියාගත්තු ගමන් හිටියේ මම මටම. මේ සතියටම මට බැරි වුණා එකම එක වචනයක්වත් ගලපගන්න, මේ උනත් සෑහෙන ට්‍රයි එකක ඉන්නේ මම. ඉතිං බං ඒ ඇයි ද ?

යාළුවො එක්ක ඉද්දි මං ලොකු ටෝක්ස් දෙන්නේ හෙනම අඩුවෙන්, එකක් උන් ඒවා අහන්න ලැහැස්ති නෑ, අනික ඒවා උන්ට කියන එක මට කොම්ෆොර්ටබලුත් නෑ. (මිත්‍රවරුනි අපි ඒ වචනෙට දැන් හිනා වෙලා ඉමු. ‘කොම්ෆොර්ටබලුත්’) ඉතිං අපි වෙන පිස්සු මඟුලක් කියවනවා, සිවිලිම් උඩ යන්න ඒවාට හිනා වෙනවා. ඒත් ඉඳලා හිටලා අර ඇඟේ ඉන්න සතා එළියටත් එනවා, මගේ මතය කියන්නම ඕනෑ කියලා හිතෙන තැන් වල ඒවා කියලත් තියෙනවා, නොන්ඩි වෙලත් තියෙනවා. මේකත් ඒ වගේ අවස්ථාවක් හැබැයි මට හිතන්න දෙයක් ඉතුරු කළ. ඒක, එකම එක ඩයලොග් එකක්, හරියට ‘තප්පඩ්’ ෆිල්ම් එක එකම එක කම්මුල් පාරක් මූලික කරගෙන දුවනවා වගේ, ‘පින්ක්’ ෆිල්ම් එක No means No’ keywords උඩ දුවනවා වගේ. මට බයිස්කෝප් උණ නිසා මගේ ජිවිතේ හැම raw සිද්දියක්ම අන්තිමේ මම මගේ ස්ක්‍රිප්ට් එකට ගන්නවා, ඒක සිනමැටික් විදියට හිතනවා. කැළණියේ චිත්‍රපටි ඉගෙන ගන්න දවසක කිසිම ලෙක්චර් එකක් උනන්දුවෙන් අහගෙන නොඉඳපු මට ප්‍රභාත් සර් කියපු කතාවක් තාම මගේ සබ්කොන්ෂෂ් මයින්ඩ් එකේ පැලපදියම් වෙලා තියෙනවා.

සිද්දිය මෙහෙමයි, බැක්ග්‍රවුන්ඩ් එකේ කිසිම හින්දි සිංදුවක් ප්ලේ වුණේ නෑ, හැබැයි එතැනට ‘පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා’ සිංදුව තිබ්බනම් පංකාදු පහයි මොකද අපි සමිතා මුදුන්කොටුව ගොසිප් එක කියව කියව ඉඳියේ, ගොසිප් වලට ලොකුම දායකත්වයක් මගේ නැති උනත් මගේ යාළුවො දෙන්නා ටූල්ස් විදියට ඔක්කොම සෝෂල් මිඩියා ප්ලැට්ෆෝම්ස් ටික රෙඩී කරන් හිටියේ. ඇඳ උඩම ඒ ෆේස් ටූ ෆේස් මේ බරපතල සාකච්ඡාව වෙන අතරේ අච්චර ඉඩ තියෙද්දී උන් දෙන්නගේ කකුල් හතර අතරේ තිබ්බ පොඩි ඉඩක් අස්සෙම අත් දෙක දෙපැත්තට විහිදාගෙන අල්ල උඩ ඔළුව තියාගෙන එක ඇහැකින් එකෙක්ව පේන විදියටත්, අනිකෙන් අනිකාව පේන විදියටත් හිතින් ස්ලැබ් එක දිහා බලාගෙන හිටියේ මම. ඒ වෙනකොට සමිතාගේ කොල්ලා යැයි කියන කොල්ලගේ ටැටූ එකක් පස්සේ පන්නාගෙන ගිහින් ‘නෑ නෑ මේක නම් බොරුවක්’ කියන ෆයිනල් කොන්ක්ලූෂන් එකට එමින් ගමනේ දෙන්නා හිටියේ, එතැනින් අතුලගේ කසාදේටත්, එතැනින් හර්ෂගෙ දරුවා බලන්න යන්නත් ඔවුන් අමතක කළේ නෑ. මං හිතන්නේ මං ගෙදරකට යනවා වගේම උන් ගියෙත් හිස් අතින්.

ඒ අනියම් සම්බන්ධතා ටික කෙළවර උනේ අපේ වෙනත් පර්සනල් යාළුවෙකුගේ සැමියෙකුට තිබුණු අනියම් සම්බන්දතාවයකින්. ඔවුන්ම ප්‍රශ්න ගේනව, ඔවුන්ම ප්‍රශ්න විසඳනවා. එකම උසාවියක් එතැන. හැබැයි මෙහෙමලු, ඒ අයියා කිසිම වෙනසක් අපේ හිතවතියක් වුණු ඒ අක්කට කරලා නෑලු. ආදරේ අඩු වෙලත් නෑලු, ලිංගික ජීවිතෙත් වරදක් නෑලු. රණ්ඩුත් නෑලු. බලන්න අපි දන්න දේවල්. ‘ඉතිං පිරිමියෙකුට එහෙම කරන්න පුළුවන්ද ?’ සාමාන්‍යයෙන් වෙනත් සම්බන්ධතාවයක් තියෙනකොට තමන්ගේ බිරිඳට හෝ සැමියාට දෙන සැළකිල්ල අඩු වෙනවා, ඒ ස්පේස් එක වෙන කෙනෙකුට දෙනවා. ලව් කරනවා වගේ නෙවෙයි විවාහයක් ඊට වඩා සංකීර්ණයි. දෙන්නා හැමවෙලාවෙම එකට ඉන්නවා, දෙදෙනාගේම දේවල් පොදුවේ ෂෙයාර් වෙනවා, අනම් මනම් දේවල්. ‘ඉස්සර වගේ දැන් නෑ දැන් එයා වෙනස්’ කියන පන්ච් ලයින් එකෙන් තමයි හැම අනියම් සම්බන්ධයකම හොර අල්ලගන්න අනිකාට පුළුවන් වෙන්නේ. එහෙම ඇති ඉතිං, මං හරියටම තිතට දන්නේ නෑ. මේ දේවල් ටික ඒ වෙලාවේ මගේ ඔළුවේ ප්‍රොසෙස් උනා. ඉතිං මං මගේ කන්ක්ලූෂන් එහෙකට ආවා. ‘උට මාර ටැලන්ට් එකක්නේ තියෙන්නේ අයිසේ’ කිසිම අවකාශයක් හිස් නොකර, එක වහලක් යට ඉඳගෙන, ඩබල් ගේමක් දෙනවා කියන්නේ, උට කට්ටකමට, හොරකමට, තක්කඩිකම් වලට හොඳ ටැලන්ට් එකක් තියෙන්න ඕනෑ.

හැබැයි මගේ වචන ටික අත ඇරුනේ එයාලගේ ඉමොෂනල් ක්ලයිමැක්ස් එකක. හරියටම ඡන්දෙ අහලකවත් නැතුව දේශපාලකයෙක් කරපු චැරිටි වැඩක් වගේ. එතැනින් තමයි මගේ කතාව ට්‍රිගර් වෙන්නේ. මං කිව්වනේ මම ඉඳපු පොසිෂන් එක, ඇස් දෙකෙන් යාළුවො දෙන්නා බලාගෙන හිතෙන් ස්ලැබ් එක බලාගෙන. මගේ ටැලන්ටඩ් කතාවට ට්‍රිගර් වුණු ඒ දෙන්නම එකම සැරේ ‘අනූ ඔයා හිතන විදිය නම් වෙනස්ම වෙනස්’ කිව්වා. ඒ කෑල්ල ශේප්. ඒත් එකත් එක්කම එයාලටත් නොදැනීම එයාලගේ මූණට ආපු ෆීලින් ඩිස්ගස්ටඩ් ඉමෝෂන් එක ස්ලැබ් එක බලාගෙන හිටපු මගේ හිත දැක්කා. ඒ වාක්‍ය හරියටම එන්න ඕනෑ, ‘අනූ ඔයා හිතන විදිය නම් අප්සට්ම අප්සට්’ කියලා වෙන්න ඕනේ. ඒත් එතිකලි මගේ හිත රිද්දන්න බැරි කමට අනික් විදියට කියන්නත් ඇති.

let me explain that to you කියලා පටන් ගත්තු කතාව මං ඉවර කළේ සාමාන්‍ය හොරුන්ට හොරකම් කරන්න බැරි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට ටැලන්ට් එක පාවිච්චි කරලා වකුගඩුවක් හොරකම් කරන්න පුළුවන් සිද්ධිය. තවත් එකක් අපි බලමු. බෝම්බ හදන කෙනෙක්, හැකර් කෙනෙක්, මුදලට සූක්ෂමව මිනී මරන කෙනෙක් විතරක්ම නෙවෙයි ඔයා මම. අපි හැමෝගෙම එකිනෙකට වෙනස් ටැලන්ට්ස් තියෙනවා. සමහර වෙලාවට ඒවා skill base talents නෙවෙයි. යාළුවෙක්ගේ ප්‍රශ්නයක් පැහැදිලිව අහගෙන ඉන්න, තේරුම් ගන්න, ඒකට ගැළපෙනම විසඳුමක් දෙන එක, ටැලන්ට් එකක්. හැබැයි ඒක අපි භාවිතා කරන විදිය අනුව අපි හොඳ – නරක කියන කැටගරි දෙකට බෙදෙනවා. හැකර් කෙනෙකුටම පුළුවන් සයිබර් ක්‍රයිම් කරන අනිත් හැකර්ස්ලව අයින් කරලා දාලා තමන්ගේ වෘත්තියෙන් සුදු චරිතයක් වෙන්න, ගේම් ගහලා මිනිමරන්නේකුටම පුළුවන් ස්ට්‍රැටජීස් පාවිච්චි කරලා ඒ ජීවිතේම ගොඩ දාලා දෙන්න, ඉමොෂනල් ටැලන්ට්ස් පැත්තෙන් ඒ ඇහුම්කන් දීම, තේරුම් ගැනීම හොඳ ඩේටා ඇනලයිසිස් එකකින් ඒ පුද්ගලයාව නරක පැත්තකට, වාසි පැත්තකට යොමු කරගන්නත් පුළුවන්. මේ විදියට හෙනම සංවාදයක් මගේ ඔළුව ඇතුළේ පිස්සෙක් වගේ ඔව් පිස්සෙක් වගේ දොඩවනවා.

ඒත් එක්කම මම සතියක් අරගෙන මේක කල්පනා කරනවා, සිත්තම් මායාවක් ලියන්න අකුරුත් හිර වෙනවා. ඇත්තටම මං හිතන විදියේ අප්සට් එකක් තියෙනවද, මහාරාණිත් ‘ඔව්’ යැයි කියනවා. ඒ වෙනම කතාවකදී. මහලු නිවාස වල ඉන්න දෙමාපියන් ගැන වුණු කතාවකදී. ‘ඇත්තටම කවුද දන්නේ එයාලට ඔහොම උනේ එයාලගෙන් දරුවන්ට යුතුකම් ඉෂ්ඨ උනේ නැති නිසාද කියලා’ ඔන්න මම තරඟේ පැරදෙන්න ඔන්න මෙන්න තියෙද්දී තුරුම්පු අදිනවා. ඒක හෙනම සදාචාර ප්‍රශ්නයක් වෙනවා, අපි ගේ ඇතුළේ අයිතීන් සහ මානවහිමිකම් යටතේ වලි කෝල් කරගන්නවා. දැන් ඔන්න මහාරාණිගෙයි මගෙයි කළු පැතිත් ලියැවෙනවා. එතකොටම මට ‘ජෝකර්’ ෆිල්ම් එක මතක් වෙනවා. ‘බැට් මෑන්’ දිනපා…න් කියපු අපි ‘ජෝකර්’ ටත් 2019 ඉඳන් ‘පව්’ කියන්න ගන්නවා. ජෝකර්ව ඒ තැනට දාපු ‘මුරී ෆ්‍රැන්ක්ලින්’ ට ශාප කරන්න ගන්නවා. ‘විජය දේවරකොන්ඩා’ එයාගේ ඉන්ටවීව් එකකදී ලස්සන උත්තරයක් දෙනවා. පුද්ගලයෙක් ගෙවන ජීවිතය නොදැන, එයා ගෙවන මෙන්ටල් ස්ටේජ් එක නොදැන අපිට කිසිම අයිතියක් නෑ, තව කෙනෙකුට විනිශ්වයක් ලබා දෙන්න, අඩුම ගානේ ප්‍රශ්නෙකට උත්තරයක්වත් දෙන්න’

ඒත් අපි මිනිසුන්ට ලේබල් ගහනවා, ජජ් කරලත් බලනවා. හැබැයි ඒකම හේතු කරගෙන මිනිහෙකුට නරක පැත්තකට හැරෙන්නත්, හොඳ රිසර්ච් එකක් කරලා සක්සස් වෙන්නත් ඉඩ ලබා දෙනවා. ඒකට ප්‍රඥාව කියන බෞද්ධ දර්ශනයේ ප්‍රැක්ටිකල් කොන්සේප්ට් එකේ භාවිතය අභාවිතය සිදු වෙනවා. එහෙමත් නැත්තම් මං වගේ ‘ඒ මොකද බං ඒ උනේ’ කියලා හිතාගන්න බැරි උන් පොඩි කාලයක් අරන් මේ වගේ කවුරුත් කියවන්නැති පරතංග විකාර ලියලා ඉන්ටනෙට් එක සන්තෝස කරවනවා. එක අතකින් වෙලාවට මං හැටේ හැත්තාවේ ඉපදුණේ නැත්තේ. එහෙම උනානම් මං යාළුවුනු කොල්ලට මගේ ලියුම් කියවලම මාව එපා වෙනවා. ඒ එපාවීම ඇතිවෙන්න මාසයක් විතර ඒ යකාට ඒ ලියුම කියවනත් වෙනවා. ඒ කොළ වලින් වඩේ කවර හදන්නත් උන්දැට පුළුවන් වෙනවා, එහෙමත් නැත්තම් බෝතල් පත්තරකාරයෙකුට දීලා මී කුණෙන් දියුණු වුණා වගේ දියුණුත් වෙනවා.

සිරාවටම මං හිතන විදිය අප්සට් ද ? සැනසිලිදායක පිළිතුරක් නැතුව මට ලොජිකල් උත්තරයක් දෙන්න, මේක කියවපු කවුරුම හරි මෝඩයෙක් !! හා.. හා… තරහා අවසර, උඹට ඔච්චර මොළේ තිබ්බා නම් මෙච්චර අන්තිම වෙනකම් කියවයි යෑ ! තව ඕපදූප ලබන සෙනසුරාදාවට.

අනූ පෙරේරා | සිත්තම් මායා

%d bloggers like this: