Menu Close

ගෘහාශ්‍රිතකරණය සහ බල්ලා

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක පිට රටක ඉඳන් සුද්දෙක් එනවා ලංකාවේ පදිංචියට. උන්දැ ලංකාවේ ඉන්නකොට මුලච්චි වෙනවා හීන්දෑරි කෙලි ගැටිස්සියක්. මේ සුද්දටත් ඉතින් භාසාව දන්නේ නැති වුනාට කාරි නෑ කියල ඒ කෙලි ගැටිස්සියත් එක්ක හාද වෙනවා. මුලදි මුලදි නම් සුද්දට තේරෙන්නෙත් නෑ කෙල්ල කියවන ඒවා කෙල්ලට තේරෙන්නෙත් නෑ සුද්දගේ අපබ්‍රංසේ. කෙල්ලව සුද්දෙක්ට කරගහන්න පුලුවන් උනාය කියල පවුලෙ උන්දැලත් හරිම සන්තෝසෙන් හිටියෙ.

දැන් ඉතින් දෙන්නා දෙමහල්ලෝ පවුල් පන්සල් වෙලා සෑහෙන කාලයක්. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. කිරි සුද වාගේ පොඩි එකෙක්ගේ මූණ. අනික් ළමයා නම් අම්මා වගේ. දැන් සුද්දටත් සිංහල එහෙම ටික ටික පුලුවන්. යාන්තන් වචනය දෙක කතා කරනවා. ළමයි දෙන්නව නගරේ ඉස්කෝලෙට දාපු නිසා දැන් උන්දලත් ඉගෙනගන්නේ සිංහලෙන්. පොත්ත සුදු වුනාට සිංහල යස අගේට කතාකරන්න පුලුවන්.

දැන් මම මේ පොඩි කතාන්දරය කිව්වේ මොකට කියලද හිතන්නේ. මේ පොඩි කතන්දරේ ඇතුලේ සෑහෙන දේවල් හැංගිලා තියෙනවා. නිකමට හිතලා බලන්න දැන් අපේ ගමේ ගොඩේ සමහර චාරිත්‍ර වාරිත්‍ර හැදිලා තියෙන විදිහ. ඔය කතාව අස්සේ එව්වා හැංගිලා තියෙන්නේ. මම ඒක විස්තර කරන්න යන්නෙ නැහැ. ඒක ඔයැයිලට හිතන්න දෙන්නම්.

දැන් අපි පොඩ්ඩකට යමු ඉස්කෝලෙ පැත්තට. පොඩි කාලේ ඉස්කෝලෙ ළමයින්ට උගන්නනවා ‘ගෘහාශ්‍රිතකරණය’ කියල පාඩමක්. දවසක් ළමයෙක්ගෙන් ටීචර් ඇහැව්වලු ගෘහාශ්‍රිතකරනය වුනු සත්තු කවුද කියල. ඉතින් ළමයා තමන්ගෙ ගෙදරම උදාහරණයකට අරගෙන කිව්වලු මෙහෙම; “බල්ලා, පූසා, හාවා, කාක්කා, මීයා, කැරපොත්තා, මකුළුවා, මකුණා, උකුණා, ගැරඬියා…”

ගැරඬියා කීව හැටියේ ටීචර් ඇහැව්වලු ගැරඩි කොහෙද ගෙදර කියල. එතකොට ළමයා කිව්වලු “සුමානෙකට දෙකකට සැරයක් එනවා. ආපුවම තාත්තා භූමිතෙල් ගහලා එලෝගන්නවා” කියලා.

දැන් ඔය සතාසිව්පාවන්ගෙන් ගොඩ දෙනෙක් ගෘහාශෘතකරණය වුනු සත්තු නෙමේ කියල දන්නවනේ. ගොඩ දෙනෙක් වරද්දගන්න තැනක් තියෙනවා ගෘහාශ්‍රිතකරණය හා හීලෑ කිරීම ගැන. ගෘහාශ්‍රිතකරණයේ අතුරු ප්‍රතිඵලයක් තමා හීලෑ වීම. බල්ලා තමා පලවෙනියෙන් හීලෑ වුනු සතා. ගෘහාශ්‍රිතකරණය කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට සත්තු ශාක මුල් විදිහෙන් වෙනස් වුන එක.

පොඩි උදාහරණයක් කියන්නම්කෝ. දැනට අවුරුදු 12000 ක් වගේ සෑහෙන්න කාලෙකට කලින් වී ශාකය කැලෑවල තමා වැවුනේ. පැහිච්ච වී ඇට සුළගෙන් විසිරිලා තමා වැවුනේ. මිනිස්සුන්ට ඉතුරු වුනේ අර සුළගෙන් විසිරිලා ගිහින් ඉතුරු වුනු කරල් ටික විතරයි. ඉතින් මේ මිනිස්සු වගා කළේ අන්න ඒ වී ඇට. ඉතින් කාලයත් එක්ක සම්පූර්ණයෙන්ම වගේ ඇට සුළගෙන් විසිරෙන්නේ නැති මුල් ශාකයෙන් වෙනස් වී ශාකය හැදුනේ එහෙම. අන්න ඒකටයි ගෘහාශ්‍රිතකරණය කියන්නේ. මිනිස්සුන්ගේ පාලනය යටතට ගත්තු නිසා ශාක සතුන් වෙනස් වීම.

ඔය වගේ මුං, ඉරිඟු. තිරිඟු වගේ ශාක කාලයත් එක්ක වෙනස් වුනා. මුල් කාලයේ ඉරිඟු ශාකය හීනියට ඇටේ ඇටේ උඩට හිටින විදිහට තිබුනේ. දැන් බලන්න එපැයි. ඔය පල්ලෙහා පින්තූරයේ ඉන්නේ දැන් ඉන්න ගෘහාශ්‍රිතකරණය වුනු ගවයන්ගේ ආදිතමයා බොස් ප්‍රිමිජීනියස්කියන ගවයා.

ඒත් ඉතින් අද ළමයෙක්ගෙන් ගෘහාශ්‍රිතකරණය කියන්නෙ මොකක් ද? කියල ඇහුවොත් බල්ලාකියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න දන්නෑ.

%d bloggers like this: